ආකාස මෝස්තර – 45

ජීවිත වලට අමතක නොවෙන මොහොතවල් උදා වේ. එබඳු මොහොතවල් වැඩි වෙන තරමට ජීවිතයක් සොඳුරු ඉසව්වක් වේ. එවන් තැනෙක ජීවන ලාලසාව දැල්වේ.

පාරුල් ට මේ එහෙව් රාත්‍රියකි. ඒ රාත්‍රිය එහෙම ම නතර වී තිබෙනවා නම් වැනි ලෝභී හැඟීමක් ඈ තුළ නො වූවා නොවේ. අනිත් අතට ගැස්මක් ද හිත යටින් නැගී සිටියේ ය. මේ ඈ මෙහෙව් ගමනක් පැමිණි මුල් වතාවයි. කොහේ ගියත් හැන්දෑ වන විට ඈ ගෙදර පැමිණිය යුතු යයි චන්දුල විසින් නිල නොවන නීතියක් පනවා තිබිණ. “රෑ වෙලා ගෙදර එනව එහෙම නෙවෙයි” කියා කිසි දා ඔහු ඇයට කියා නැත. නමුත් “හැන්ද වෙන්න කලින් එනවනෙ…” කියා කොහේ හෝ යතොත් විමසීම ඔහු ගේ සිරිතයි. පීඨයට යන එන ගමන් ගැන එහෙම විමසුමක් නැත. හැන්දෑ වනතුරු පුස්තකාලයට වී හිඳ අඳුරත් සමග  ගෙදර පැමිණෙන අවස්ථා ඕනෑ තරම් තිබේ. එතකොට හිතේ කිසිදු දෙගිඩියාවක් නැත. ගැස්මක් නැත. වැරදිකාර හැඟීමක් ද නැත. නමුත් අද එහෙම නොවේ. “අයියෙ මං එන්න චුට්ටක් රෑ වෙයි” කියා ඈ චන්දුල ට පණිවිඩයක් තැබුවා ය.

නමුත් සැබවින් ම දැනුණේ ගෙදර යන්නට බැරි ලෝබකමකි. තව බෝ රෑ බෝ වනතුරු වුව ගඟුල් ගේ නෙත් පහන් එළි මැද්දට වී ඉන්නා ආශාවකි. ඒ පිරිමි සුවඳේ තනි අයිතියට නතු වී හිඳීමේ තෘෂ්ණාවකි.

වෙනදාට ඈ ගෙදර ගියේ තනිවයි. නමුත් මේ රාත්‍රියේ එවැන්නකට ගඟුල් ඉඩ තැබුවේ නැත.

“මට යන්න පුළුවන්”

කියා ඈ කියත්දී,

“හරි ඉතිං මං ඔයාව ඩ්‍රොප් කරන්නං. ඔයා මගෙත් වගකීමක්”

කියා ඔහු ඇගේ අතකින් අල්වා ගත්තේ ය. ලොන්ඩරි වත්තට ලං වත්දී පාරුල් ගේ ගැස්ම වඩාත් වැඩි විය. වැඩි වැඩියෙන් ඈ සීතල විය. නගරාධිපති ගඟුල් විජයවීර ගේ රියෙන් ලොන්ඩරි වත්තට එනවා කියන සිතිවිල්ල පවා ඈ වෙව්ලුවා තිබේ. නමුත් ගඟුල් සැහැල්ලුව සිටියේ ය.

රිය නතර වෙත්දී චන්දුල ගෙයින් පිටතට ආවේ ය. රිදී ද ජුලී ද ගෙතුළින් එබිකම් කොට බැලූහ. පාරුල්ටත් කලින් ගඟුල් රියෙන් බැසගත්තේ ය.

“අපේ අම්ම ෆැකල්ටි එකට ආපු ගමං පාරුව ගෙදර එක්කං ගිහිං. දෙන්නත් එක්ක චැට් එකක් දාං ඉඳල මට පාරුව ඩ්‍රොප් කරන්න කිව්ව”

ඔහු පමාවට හේතුව කීවේ ය. ඒ මුසාවක් නොවී ද මේ තරම් පමා වීමට හේතුව එය නොවේ.

“සර්ට කරදර කළේ ඇයි ඉතිං…පාරුට ත්‍රීවීල් එකක් දාගෙන එන්න තිබුණනෙ”

චන්දුල කීවේ එපමණකි.

“එහෙම හරි නෑනෙ. එහෙනං මං යන්නං පාරු”

ඇය හිස සැළුවේ වෙන කරන්නට දෙයක් නැති කමට ය. කුස ගින්නක් තියෙන්නට විදිහක් ඇත්තේ ම නැත. නමුත් ගඟුල් සමගින් ඔවුන් දෙදෙනාට විතරක් පෞද්ගලික වූ ප්‍රථම රාත්‍රී ආහාරය ගෙන සිටින බව අම්මාටවත් හඟවන්නට පාරුල් බිය වූවා ය. කුසයේ ඉඩ නැතත් ඕ බත් ටිකක් කෑවේ එබැවිනි.

චන්දුල ට වෙනසක් නො දැනුණා ම නොවේ. නමුත් විමසන්නට දෙයක් ඇහිඳාගන්නට ඔහු ට ඉඩක් නොවිණි. එදා ඔහු වැඩිපුර නංගී සමගින් කතාවට නො ගියේ ය. පාරුල් හිතා මතා ම අයියා මගහැරියා ය.

“මගෙ සම්පූර්ණ නම දැනගත්තහම තමයි මැඩම්ට මතක් වෙලා තියෙන්නෙ එයා නම තිබ්බෙ මට කියල. අම්ම කෝල් කරල විනාඩි කීපයක් ගියාට පස්සෙයි මැඩම් ඒ කතාව මට කිව්වෙ. කිසි දෙයක් හිතාගන්න බැරුව මං ගල් වෙලා වගෙයි අම්මෙ හිටියෙ”

“ඒ දොස්තර නෝනත් එක්ක පාරුගෙ මොකක්හරි සංසාර බැඳීමක් ඇති. සමහර විට ගිය ආත්මෙක පාරුගෙ අම්ම වෙලා ඉන්න ඇති දොස්තර නෝන. මොකක් හරි පවකට මේ ආත්මෙ මගෙ බඩේ ඉපදුණාට”

පාරුල් රිදී වටා දෑත් යවා අම්මා ව බදා ගත්තා ය.

“පවකට නෙවෙයි මට ඔයා හම්බුණේ. ඕන්නැති කතා කියන්නෙපා. ගිය ආත්ම ගැන මංදන්නෑ. හැබැයි ඉස්සරහට ඉපදෙන හැම ආත්මෙකම ඔයාගෙ දුව වෙලා උපදින්නයි මං ප්‍රාර්ථනා කරන්නෙ”

චන්දුල ට ඒ කතා ඇසිණ. ඔහු අත් දෙකේ අත්තල මත හිස තියාගෙන ළඟින් ම වන සිංහල උළු වහළය දෙස බලාගෙන නිසලව සිටියේ ය. කිසිදු ගැටළුවක් පේන්නට නැත ද ඔහු ට අමුත්තක් දැනේ. නින්ද පේන තෙක්මානයක වූයේ ද නැත.

පාරුල් පාඩම් කරන්නට උත්සාහ කළා ය. නමුත් මේ රැයේ ඒ සුන්දර මතක සුවඳත් සමගින් ඔහේ වැතිර සිටිනා ලෙසට හිත බල කොට සිටී.

“අයිය බැන්නද…”

කියා ගඟුල් විමසා එවා තිබිණ.

“නෑ”

ඇය කෙටි පිළිතුරක් යැව්වා ය.

“අයියත් එක්ක මං කතා කරන්නං”

කියා ඔහු ලීවේ ය. පාරුල් පපුවේ සුසුමක් පුරවාගෙන යහන මැදින් වැතිරගත්තා ය.

හැන්දෑවේ සුරත් නිර්ධා ට දොස් කීවේ ය. ඔහු බෙහෙවින් කෝපත් ව ඇති බවක් පෙනිණ.

“පනින රිලවුන්ට ඉණිමං බඳින්න හදන්නෙපා නිර්ධා. කොල්ල ඔය කෙල්ල පස්සෙං වැටිලයි ඉන්නෙ කියල මං දන්නව. ඒව නියපොත්තෙං කඩල හරි පොරවෙන් කපල හරි ඉවර කරන විදිහත් මං දන්නව. හැබැයි ඔයා මේවට අනුබල දෙන ගොං වැඩ කරන්නෙපා”

“මොකද්ද ගොං වැඩේ…”

ඇය කඩාගෙන පැන්නා ය. සාමාන්‍යයෙන් නිර්ධා සුරත් ගේ කතා වල එල්ලීගෙන යන්නේ නැත. නෑහුණා සේ සිය වැඩක් බලා ගැනීම ඇගේ සිරිතයි. නමුත් මේ කාරණාව මේ මොහොතේ ම කතා කොට විසඳා ගත යුතු බව ඇගේ ගැහැනු ඉව විසින් සංජානනය කොට සිටිනා ලදී.

“ගොං වැඩේ කියන්නෙ ඒ කෙල්ලව ගෙදරට කැන්දගෙන ඇවිත් අර කොල්ලගෙ වාහනේට පටෝල යවන්න මොළයක් නැද්ද ඇත්තට… ඔය තරුණ වයසට කොල්ලන්ට තේරෙන්නෑ ජීවිතේදි තෝරගන්න ඕන දේවල් මොනාද කියල. අපිට පුළුවන්ද අර රෙදි අපුල්ලන ගෑනියෙක් අපේ නෑනා කරගන්න…ආ…”

නිර්ධා අවඥාසහගත සිනහවක් නගා ගත්තා ය.

“මං මෙතන කසාදයක් හිතේ තියාගෙන මුකුත් කළේ නෑ සුරත්. අනිත් එක ගඟුල් ඒ ළමය ගැන එහෙම අදහසකින් ඉන්නවනං අපිට විරුද්ධ වෙන්න හේතුවකුත් නෑ”

“මොළේ තරම තමයි ඉතිං. දොස්තර කෙනෙක් වෙන්න ඉගෙනගත්ත පළියට අපිට ඒ මිනිස්සුන්ගෙ කුළේ අමතක කරන්න බෑ. උං කව්ද අපි කව්ද…”

සුරත් ගිනි පිඹිමින් සිටියේ ය. නිර්ධා ඊට වැඩි කතාවකට ගියේ නැත. කියනවා නම් කියන්නට ලස්සන කතාවක් ඇයට තිබේ. නමුත් ඒ කතාව නිර්ධා දන්නා බවක් හෝ සුරත් නො දනී!

උමා උදයෙන් ම කෝවිලේ පූජාවෙන් මුරුතැන් බත් ගෙන පැමිණියා ය. නිවාඩු නිසා පාරුල් දිය නා වරලස උනා දමා බංකුව මතට වී සිටියා ය. චන්දුල පුහුණුවීම් සඳහා යාමට සූදානම් වෙමින් සිටියේ ය. හැන්දක් සමගින් මුරුතැන් බත් පීරිසියක් උමා ඔහු වෙත පාත්දී චන්දුල සපත්තු දමන්නේ ය. ඔහු එහෙම ම කට ඇරියේ ය. හදවත නතර වූවා සේ උමා ට නො දැනුණා නොවේ. ඇය හැඳි තුඩින් මුරුතැන් බත් බිඳක් ඔහු ගේ මුවග තැබුවා ය. ආඩම්බරකාරයා ගෙයින් එළියට බැස්සේ ඒ වෙනුවෙන් ඇයට ස්තූති කරන්නේ හෝ නැතිව ය. නමුත් උමා උළුවස්සට පිට දී ඇස් පිරෙන්නට ඔහු දෙස බලා සිටියා ය. ඊළඟට පාරුල් වාඩි වී උන් බංකුව වෙතට ආවේ “අන්න මුරුතැන් බත් කන්න” යයි කියමිනි.

“අරයට හොඳට කවල එහෙම යවල… අපිට කියනව මුරුතැන් බත් තියනවලු..මොකද හෙණ ගහනවද අපිටත් කැව්වනං”

“මේ ගෙදර අයියල නංගිලට කොච්චර කළත් හොඳක් නෑ. ඒක නිසා ඕනවට වැඩිය කරන්නැතුව ඉන්න එක හොඳයි”

උමා ආඩම්බර පෙන්වූවා ය.

“අනේ… අපිට ඉන්නෙ රාජ කුමාරයෙක් වගේ අයිය කෙනෙක්. රට වටේම කෙල්ලංගෙ ඇස් දැං කාන්දං වගේ ඇලිල තියෙන්නෙ අපේ අයියට. මට ලස්සන නෑනෙක් හොයාගන්න බැරි නෑ කොහොමත්..මගෙ වැඩත් කරල දෙන”

“පුළුවං පුළුවං. උඹල දෙන්නටම වැඩකාර කෙල්ලෙක්ව තමයි හොයාගන්න වෙන්නෙ”

“අයියට කේළං කියන්නැත්තං කියන්න දෙයක් තියෙනෝ”

පාරුල් මිමිණුවේ හෙමිහිට ය. නමුත් වයින් කළ බෝනික්කක සේ උමා කලබල වූවා ය.

“ඊයෙ ගඟුල් එක්කනෙ ආවෙ…රෑ වෙලා ආවෙ කොල්ලත් එක්ක වල් ටුවර් එකක් ගිහිංනෙ… කරගන්න තියන ඔක්කොම දැං කරගෙනනෙ තියෙන්නෙ. මං දන්නව. අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දැං ඔය කියන්න යන්නෙ ඇඹුල් කන්න හිතෙනව වගේ කියලද…”

“මේ…කි යකූ…”

උමා හඬ නගා සිනහ වූවා ය. ඊළඟට යෙහෙළිය දෑතින් ම බදා, ඇගේ උරයේ නිකට තියාගෙන පාරුල් ගේ මූණ බලාගත්තා ය.

“කෙල්ලගෙ මූණෙ පෙම් පාටින් මට තේරෙනව වගේ”

“ඒ කියන්නෙ අයියටත් තේරෙන්න ඇද්ද…”

“හොරාට ඉස්සෙල්ල කෙහෙල්මල වැට පනිනව කියන්නෙ ඕකනෙ. දැං මොකද්ද අයියට තේරෙන්නෙ… මං කිව්වෙ මූණෙ පෙම් පාටින් කුරුළෑවක් එන්න වගේ කියල පේනව කියලයි”

“අනේ හරි නරකයි අනේ ඔයා”

පාරුල් උමා ට පෙර දා සිදුවීම ගැන කීවේ ඒ විහිළු වලින් හොඳට ම ඇස් රතු වූවාට පස්සේ ය.

“මං දැනං හිටිය ඔයාට දවසක එයාගෙන් පැනල යන්න බැරි වෙනව කියල. ඔන්නෙහෙ මොනා වෙයිද කියල දෙගිඩියාවෙ ඉන්නැතුව සතුටෙන් ඉන්නව. වෙන්න තියන දෙයක් ඒ වෙලාවට වෙන්නැතෑ. ඒ වෙලාවට ඒවට මූණදෙමු. කෝ බලන්න මගෙ නෑන පොඩ්ඩගෙ මූණ. ඉරණම කරකෝල කරකෝල අන්තිමට ඒකම කළා නේ එහෙනං…”

“මං දන්නව වෙන දෙයක් නෙවේ කියල. ඒත්…මන්දා උමා…ඒක හරියට ඇහැරගන්න ලෝබ හිතෙන හීනයක් වගේ”

“අපි අන්තිම මොහොත වෙනකල්ම ෆයිට් කරමු. වෙන්න බැරි දෙයක් මේ ලෝකෙ නෑනෙ. අනික නැන්දම්මත් ශේප් එකේ”

“අපේ අයිය දැනගත්තොත්නං මං ඉවරයි”

“රාජාගෙ මුළු ජීවිතේම ඔයා පාරො”

“හැබැයි එයාගෙ ජීවිතේ සතුට ඔයා. තාමත් පෙන්නන්නැතුව හිටියට… ඔයාගෙ හීන හැබෑ කරල දෙන්න බැරිවෙයි කියන බයේ පස්ස ගගහ හිටියට… එයාගෙ සතුට ඔයා කියන එක එයා එදා ඔප්පු කරල පෙන්නුව. ඔයාව දකින්නැතුව දොට්ටබැහැල ගියාට වැඩක් නෑ කියල හැඟීමක් තියනව කියල නොකියා කිව්ව”

“අපි රාජාට හෙමින් කියමු. අනික ටික දවසක් යනකල් ඕව කවුරුත් දැනගන්නැති තරමට ලස්සනයි. ඕන එකෙක්ට ඕන කුදයක් ගහගන්න කියල උඹ සතුටෙන් ඉඳහං”

අහස් නිල් පසුබිම මත්තෙන් දැවැන්ත සුදු වලාකුළක් බරැති ගමනක් යමින් තිබිණ. පාරුල් ඒ වලාකුළ මත නෙතු රන්දාගත්තා ය. ඊළඟට මොනවා සිදු වෙන්නට නියමිත ද කියා කවුරු නම් දනිත් ද? ජීවිතය තිබෙන්නේ මේ මොහොත තුළ යි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles