ඉඳුදුන්න -29

තරිඳි ඈ මේ දින කිහිපය පුරා දරාගත් පීඩනය කැමරාව ඉදිරියේ මුදා හැරියා ය. ජීවත් වන්නට පවා නොසිතෙන තරමට කලකිරීමෙන් පිරී ඇතැයි කියමින් ඇය වැලපෙද්දී සියල්ල ඇගේ වාසියට හැරවෙන්නට විය.මේ අහඹු වැඩසටහන දෙස ෂෙරිල් බලා සිටියේ දැවෙමිනි;පිළිස්සෙමිනි.

“බබී,ඔයා ප්ලේ කරන ගොඩක් ගේම් ප්ලෑන් කරලා කරන ඒවා කියල ඔයා හිතුවට ඒකෙන් වෙන්නේ ඔයාගේ මෝඩකම් එළිවෙන එක..මේ ඔයාගෙ මෝඩ ගේම් එකක වික්ටිම් එකක් වුණු ළමයෙක් වෙනුවෙන් මට කරන්න පුලුවන් එකම දේ.ඒ ළමයා අහස අල්ලන හැටි, මං ඒ ළමයට රොකට් දෙන හැටි දැන් ඔයාට පොළොවේ ඉඳන් බලන් ඉන්න වෙනව..”

තාත්තාගෙන් ආ ඒ ඇමතුම ෂෙරිල් තවත් ප්‍රකෝප කරන්නට සමත් විණි.ඇය කළේ අත තිබූ අත මානයේ තිබූ දේවල් පොළොවේ ගසා ප්‍රකෝපයෙන් දැඟලීම ය.

තමන් දැවෙමින් පිළිස්සෙමින් හිඳියදී අන් අය ඇතුළාන්ත සාමයෙන් පිරී හිඳීම දරා ගන්නට අපහසු ගැහැනු බොහෝ වෙති.නයනි ද ඉන් කෙනෙකි.පිට පිටම දියණියන් වැදීම නිසා පමණක් නොව තවත් බොහෝ හේතු නිසා ඇය විවාහය තුළ ප්‍රතික්ෂේප වූවා ය.දැන් ඈ හිඳින්නේ ලෝකය කෙරෙහි කෝපයෙනි.ඇගේ කෝපය එල්ල විය හැකි දිශාව හෝ ඇයට වැටහීමක් නැත.

“අක්කට මොකක්ද අමන්දී කරපු වරද?”

අවිශ්ක දිනක් කෙලින්ම ඇසුවේ ය.අමන්දී දැකීම පවා නයනිට අප්‍රසන්න ඇයිදැයි ඔහුට වැටහීමක් නැත.

“ඒකි මං මෙහෙ ඉන්නවට කැමති නෑ.”

නයනිගේ මුහුණේ අබ පුපුරවන්නට හැකි ය.

“ඔයාගෙ ළමයි බලාගෙන ඔයාට කෑම බීමත් හදල දෙනව.එතකොට ඔයා කොහොමද කියන්නේ එයා ඔයාට කැමති නෑ කියල..”

සඳුනි අසන්නේ අවඥාවෙනි.නයනි ඇය දෙස ගිනි පිටවෙන දෑසකින් බලා හුන්නා ය.

“උඹට එක එක මෝස්තර ඉගැන්නුව කියල ඒකි හොඳ එකියක් වෙන් නෑ..ඒකිගෙ තියෙන්නෙ දුෂ්ටකම..”

අමන්දී මේ සියල්ල අසා හුන්නා ය.මේ කියන දුෂ්ටකම ගැන ඇයට කිසිම අදහසක් නැත.ඇය කම්පිත වූවා ය

“අමා, උඹ අවිශ්කට ආදරේ නොකර ඉන්නව ඇති.ඒත් අවිශ්ක උඹට ආදරෙයිනෙ.මට හිතෙන්නෙම ඔය ලොකු නෑනාට බලන් ඉන්න බැරි ඕක.ෆැමිලි ලයිෆ් එක ඇතුළෙ විඳෝපු ගෑනියෙක්ට හරි අමාරුයි තව ගෑනියෙක් සතුටින් ඉන්නව බලන්න.”

සනුරිට ඒ ගැන වූයේ එවැනි අදහසකි.

“අනික අම්මා වුණත් මගෙන් එහෙමකට වැඩක් ගන්නෙම නෑනෙ.මං උයන්නෙවත් නෑ.කඩේ ඉන්නව විතරයි.”

අමන්දී පැවසුවා ය.අර වැඩ මේ වැඩ ඇයට පවරන්නැයි කියමින් නයනි අම්මා සමඟ ද රණ්ඩු අල්ලන ආකාරය ඇයට නොඇසෙනවා නොවේ.ඇය හිඳින්නේ ඉතා කෝපයෙනි.මේ කෝපයට ලක් වන්නට සිදු වීම ගැන අමන්දීට දැනෙන්නේ පුදුමාකාර වේදනාවකි.ඒ වේදනාවෙන් මිදීමක් සිතමින් ඈ කල් හැරියා ය.

“අමන්දී අක්කෙ,ලියුමාක්..”

වේදනාත්මක කාලයක් අවසන් වී අහවර ය.වේදනාත්මක කාලයක අඳුරු වළාකුළු ඈතට තල්ලු කර දමමින් අමන්දීට රැකියා සම්මුඛ පරීක්ෂණය වෙනුවෙන් දිනයක් පැමිණ තිබිණ.

“අපේ අක්කා ටීච වෙන්නනෙ යන්නෙ..”

සඳුනි ප්‍රීතිමත් වූවා ය.ඇය ප්‍රීතියෙන් හිඳින්නට වූ විට නයනි ඈ වෙත කඩා පැන්නේ යක්ෂාරූඪයෙනි.

“උඹලට ඕන වුණේ මෙතන වැඩ කරන ගෑනියෙක් නේද..දැන් එකියක් ගෙනත් තියාගෙන නළෝ නළෝ ඒකිව රස්සාවකටත් යවන්න හදන්නෙ.ඒකිව ඔච්චර නටෝලා උඹලට මොනවද ලැබෙන්නෙ.මට හිතා ගන්න බැරි දේ අන්න ඒක”

අක්කා හිඳින්නේ ඉරිසියාවෙනි.සඳුනි ඒ ගැන නොසිතන්නටත් ඒ ගැන කිසිවක්ම අක්කා හා නොකියන්නටත් සිතුවා ය.ඇය අමන්දී වැලඳ ගත්තේම සන්තෝසයෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles