මහා කාලි කෝවිල ආශ්‍රිත තිරුවිලා මංගල්ලය ලොන්ඩරිවත්තට සුවිශේෂ උත්සව සමයකි. සති දෙකක පමණ කාලයක් තිස්සේ විවිධාකාර පූජා විධි රැසක් සමග පැවැත්වෙන මේ මහා මංගල්ලය ඇරඹෙන්නේ කොඩි ගස එසවීමෙනි. උත්සව සමය පුරා උදේ හා සවස් කාලයෙහි විශේෂ අලංකාර පූජා උත්සව සිදු කෙරේ. ඊට අමතරව කාලි මෑණියන් වෙනුවෙන් සිදු කෙරෙනා කිරි අභිසෙස් පූජා, රදම් පෙරහැර වීදි සංචාරය කිරීම්, දිය නෑමේ උත්සවය, කොඩි බස්සන උත්සවය, අසාර්ය උත්සවය, තිරු ඔංජිල්ලාව,මල් සැරසීම හෙවත් පූංගාවනම්, පොංගල් පූජාව, ගිනි පෑගීම් ආදියෙන් උත්සවය සමලංකෘත වේ. මෝදර මුහුදු වෙරළේ සිට කොහොඹ කළය හා කාවඩි පරවකාවඩි නැටුම් ගැයුම් වැයුම් සමගින් පෙරහැරෙන් පැමිණෙන බැතිමතුන් ගිණිමැලය හරහා ඇවිදීම මෙහි සුවිශේෂ ම අංගයක් වේ. උත්සවය අවසන් වන්නේ මෝදර මුහුදු වෙරළේ දී හෝලි සමරනාකාරයෙන් වර්ණ ආලේප කරගෙන ප්‍රීති වී මෑණියන් නැහැවීමෙනි. එය මංජල් නීරාට්ටු විලා ලෙස හැඳින්වේ.
මේ උත්සවයට ලොන්ඩරිවත්තේ ජනතාව පමණකුදු නොව කොළඹ අවට බොහොමයක් සිංහල හා දමිළ ජනතාව සහභාගී වීම සුවිශේෂ ය. මහා කාලි මෑණියන් වෙත විත් යාදිනි කියා බාර හාර වීම නිරන්තරයෙන් සිදු වන්නකි. දරු ඵල ලබා ගැනීම වෙනුවෙන් ද විභාග සමත් වීම වෙනුවෙන් ද නඩු හබ දිනා ගැනීම වෙනුවෙන් ද ගිහි ජීවිතයෙහි එකී නොකී අප්‍රමාණ දුක් ගිනි නිවාගැනීම වෙනුවෙන් ද කාලි මෑණියන් ගේ පිහිට ආශීර්වාදය පතා පැමිණීමට කොළඹ අවට ජනතාව පුරුදු වී සිටිනුයේ සියවසක පමණ කාලයක සිටයි. ඉතින් සිය කුල දෙවඟන වෙනුවෙන් මෙසේ දීර්ඝ උත්සව සමයක් පුරා පුද පූජා පවත්වා එතුමිය වෙනුවෙන් කෘත ගුණ සැලකීම ද තවදුරටත් දේවාශීර්වාද ලබා ගැනීම ද මේ මහා මංගල්ලයෙහි අරමුණ වේ.
උත්සව සමය පුරා කෝවිලේ දායක සභාවේ අනුග්‍රහයෙන් දහවල් දානය සැපයේ. එබැවින් මේ සමයෙහි ගෙවල් වල දහවල ළිප ගිනි මෙළවීමක් සිදු වන්නේ නැත.
මෙවර තිරුවිලා මංගල්ලය සඳහා සහභාගී වන ලෙස උමා කන්දසාමි ගඟුල් විජයවීර නගරාධිපතිවරයාට ළෙංගතු ඇරයුමක් කොට සිටියා ය. ගඟුල් ස්තූතිපූර්වකව එම ඇරයුම පිළිගත්තේ ය. කෝවිලේ මංගල්ලය ගැන වෙන කවදාකවත් නොවූ සතුටක් පාරුල් ට දැනෙන්නට ගත්තේ ඊට ගඟුල් ගේ සහභාගීත්වය නිසාවෙනි.
පූජා සමයේ හැම සන්ධ්‍යාවක ම ගඟුල් ගෙදර ගොස් යළි ලොන්ඩරි වත්තට පැමිණියේ ය. ඔහු එන්නේ සතුට අරගෙනයි. සිනහව බෝ කරගෙනයි. ආදරය උතුරවාගෙනයි. සිරියාව වපුරාගෙනයි.
කෝවිල තුළ පහන් දැල්වේ. දුම් සුවඳ ඉහිරේ. පිච්ච මල් සුවඳ පැතිරේ. සීනු හඬ රැව් දේ. පූසාරි ගේ යාතිකා හා ආසිරි හැම බැතිමත් හිසක් මත ම ස්පර්ශයීය වෙයි. බැතිමතුන් ගේ වර්ණවත් සළු පිළි ද සැළෙණා නූපුර ද නළලත තැබෙනා තිලක ද භක්තිමත් බවක් ඇති කරයි. කාලි දෙවඟන ඉදිරියේ පූජා වට්ටි තබා බාර හාර ඉෂ්ට කෙරේ. ආශ්ර්වාද ලබා ගැනීම් සිදු වේ. කාලි මෑණී කෝවිල අනුහස් ඇති තැනක් සේ බැතිමත්හු සලකති.
හවසට ගෙදර විත් දිය නා වරල තෙත පෙරමින් කෝවිලට යන පාරුල් ගඟුල් අසලින් ම දේව මෑණියන් ඉදිරියේ වැඳගෙන නෙතු පියාන හිඳී. ඇමති සුරත් විජයවීර ට ඔවුන් ගේ සෙනෙහස සිඳ බිඳ දමන්නට ඉඩ නොදෙනා ලෙස අයැදීම මිස පාරුල් ට වෙන ඉල්ලීම් නැත. වැඳගෙන ඇස් පියා සිටිනා යුවතියගේ ශාන්ත මුහුණ දෙස ගඟුල් බලා සිටිනුයේ මුණිවර දෑසකිනි.
“ඔයාට ගොඩක් ප්‍රාර්ථනා තියනව වගේ”
කෝවිලෙන් පිට වී ගෙවල් පේළි දෙසට එන ගමන් ගඟුල් පවසයි.
“එකයි”
“එකයි…”
“හ්ම්. ඔයාව මට නැති කරන්නෙපා කියල විතරයි”
ගඟුල් ගේ අතැඟිල්ලක් යන්තමින් පාරුල් ගේ අතැඟිල්ලක ස්පර්ශ වේ. ඇගේ අතැඟිල්ල ඒ ස්පර්ශය පතා හිඳී. සියක් දහසක් සංවේදී ස්නායු ඒ ස්පර්ශයෙන් අවදි වේ. ඔහු ගේ අතක දෑතින් ම එල්ලී කම්මුලක් ඒ අතට තද කරගන්නා ලෙස හිත බල කොට ඉල්ලා සිටී. නමුත් ඒ කිසිත් නොමැතිව බිම බලාගන්නට ඇයට සිදු වේ.
“මං ඔයාට නැති වෙන්නෑ පාරු. ඔයා වෙනුවෙන් මුළු ලෝකෙත් එක්කම ෆයිට් කරන්න වුණත් මං ලෑස්තියි. මගෙ හිත හයියයි”
පෝය නිවාඩු දවසේ උදයෙන් ම වත්තට එන්නට ගඟුල් පොරොන්දු වී සිටියේ ය. එදා ඔහු ආවේ සුදු කපු කමිසයකට සුදු ඉරි වැටුණ අළු පාට සරමක් ඇඳගෙන යි. ඒ මීට පෙර ඔහුගෙන් පාරුල් දැක නොමැති විලාසිතාවකි. ඒ විලාසිතාවට ඔහු ගේ පෞරුෂය තවත් තීව්‍ර ව පෙනිණ.
“ඔය කොල්ලට ඇස්වහ වදී. ඔහොම ගිලින්න වගේ බලන්නෙපා බං”
උමා පාරුල් ගේ කනට කොඳුරා කීවා ය. ඕ විළියෙන් කොපුල් රක්ත වර්ණ කරගෙන නිහඬ වූවා ය. ඇයට ඔහු කිරුළක් දරනා නිරිඳෙකු සේ දැනේ. ගඟුල් ගේ හිතේ යමක් තිබුණි. උදෑසන පූජාවට සහභාගී වී කැඳ දානයෙන් සප්පායම් වී ඔහු පාරුල් ගේ ගෙදර ආවේ ය. ජුලී ඉක්මන් කොට ප්ලාස්ටික් පුටුවක් පිසදමා ඔහු ට අසුන් පැනවූවා ය.
“අනේ තරහ අවසරයි මහත්තයො. ඇමතිතුමා දැනගත්තොත් නගරාධිපතිතුමා අපේ ගෙට ගොඩවෙලා මෙහෙම පුටුවක…”
“අයියෝ අත්තම්මෙ”
ගඟුල් ජුලී ට ඒ කතාව සම්පූර්ණ කිරීමට ඉඩ දුන්නේ නැත.
“අද මං ආවෙ ඕගොල්ලොත් එක්ක දෙයක් කතා කරන්න. ඇත්තම කිව්වොත් දෙයක් කියන්න”
පාරුල් ගේ උදර කුහරය සීතල වී ගියේ ය. ඔහු එහෙව් කතාවක් ඇයට කියා තිබුණේ නැත. චන්දුල යහන මතින් හිඳගත්තේ ය. උමා එතැන කුඩා තීරයෙහි බිත්තියට හේත්තු වී සිටියා ය. පාරුල් සිටියේ ගෙට ගොඩ වෙන ප්‍රධාන උළුවස්සට පිටදීගෙනයි.
“පාරුල්ගෙයි මගෙයි අතරෙ සම්බන්ධයක් තියනව චන්දුල”
චන්දුල, රිදී හා ජුලී පමණකුදු නොව පාරුල් පවා තිගැස්සී ගියා ය. උමා නම් මඳහසක් නගා ගත්තා ය.
“ඕගොල්ලො බය වෙන්නෙපා. මං පාරුල්ව මගෙ ඇස් දෙක වගේ බලාගන්නව”
එහෙම කියා ඔහු ඇස් උස්සා පාරුල් දෙස බැලුවේ ය. ඒ බැල්ම කොයි තරම් ඇගේ පපුව ගැඹුරට කාවැදුණේ ද යත් ඈ වෙනුවෙන් ඔහු ට කරන්නට බැරි දෙයක් නොවන බවට හැඟීමක් ආත්මයට ම කිඳා බැස්සේ ය. මේ වෙලාවේ ගඟුල් මෙහෙම කරාවියි ඇය බලාපොරොත්තු වූයේ ම නැත. චන්දුල ගේ ප්‍රතිචාරය කෙසේ වනු ඇත්දැයි ඈ සිටියේ බියෙනි. මුවැත්තක සේ වෙව්ලමිනි. ගඟුල් ගේ හිත රිදෙන වචනයක් චන්දුලගෙන් පිට වූවොත් හිස ගසා මියැදෙන්නට ඇයට සිදු වනු ඇත. ඈ උමා දෙස බැලූයේ අභය යදිනා බැල්මකිනි.
ඒ කම්පන තරංගය තුනී වී යාමෙන් පස්සේ චන්දුල යහන මතින් නැගී හිඳ කුඩා ඉස්තෝප්පු කොටසට විවර වන උළුවස්සට හේත්තු වූයේ ය.
“ඒත් සර් මේව…”
“චන්දුල”
ගඟුල් අසුනෙන් නැගී චන්දුල ට සම්මුඛ ව සිටගත්තේ ය.
“මං දන්නව ඔයාගෙ හිතේ තියන අවිනිශ්චිතකම. ඔයා පාරුගෙ අයියනෙ. ඉතිං එහෙම නොවුණොත් තමයි පුදුම වෙන්න ඕනෙ. මාව විශ්වාස කරන්න චන්දුල. දැං ඉතිං මේ ඔයාගෙ වගේම මගෙත් පණ”
ඔහු එසේ කීවේ නිකටින් පාරුල් දක්වමිනි. ඇය බිම බලා ගත්තා ය.
“මේක ලේසි නෑ කියල මං දන්නව. හැබැයි කොච්චර අමාරු වුණත් මං මට ඕන දෙයක් අත්ඇරල පැත්තකට වෙන මිනිහෙක් නෙවෙයි. මට ඕගොල්ලොන්ගෙන් ඕනෙ කැමැත්ත විතරයි”
“මහත්තය වගේ රත්තරං කඳකට කෙල්ලෙක් දෙන්න අකමැති දෙමව්පියෙක් සහෝදරයෙක් නෑ මහත්තයො. ඒත් මෙහෙම දෙයක් වෙන්නෙ කොහොමද… ඇමතිතුමා දැනගත්තොත් මොන ගිනිවිජ්ජුම්බරයක් වෙයිද…”
චන්දුල ට පෙර ඒ පිළිතුර දුන්නේ ජුලී ය. ජීවත් වීමෙන් ලද අත්දැකීම් මත මෙහෙම මොහොතක කම්පිත වීම හා කලබල වීම ඇගෙන් බලාපොරොත්තු විය යුතු යමකි.
“සර්…”
චන්දුල උගුර යටින් කතා කළේ ය.
“නංගි කැමති කෙනෙකුට කවදාවත් මගෙ අකමැත්තක් නෑ. එයාට හොඳක් වෙන්නයි හැමදාම මං ප්‍රාර්ථනා කළේ. ඒත් සර්…”
“චන්දුලට හිතෙනවද මං නිසා පාරුල්ට නරකක් වෙයි කියල…”
“සර් හිතන විදිහට සර්ගෙ දෙමව්පියො හිතයි කියල බලාපොරොත්තු වෙන්න බෑ නේද…අපි පොඩි මිනිස්සු සර්..මේ කෙල්ලගෙ හිත ආයෙ ආයෙත් කැඩිල බිඳිල යනව බලන්නනං මට බැරි වෙයි”
“මේක පොරොන්දුවක් චන්දුල. මං ඔයාගෙ නංගිට දුකක් දෙන්නෑ. ඔයාට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ අපේ තාත්තතං… ඒ ප්‍රශ්න විසඳගන්න වැඩේ මං කරන්නං. අම්ම පාරුල් ගැන දන්නව. එයා පාරුට ආදරෙයි. ඒක නිසා අපේ ගෙදරින් බාගයක් දැනටමත් මං දිනල ඉවරයි”
ඒ අනපේක්ෂිත සිදුවීම වූයේ ඒ වෙලාවේ ය. රථ පෙරහැර වහ වහා විත් නතර විය. රිය දොර ඇරී වැහෙන හඬවල් නැගිණ. අමාත්‍ය සුරත් විජයවීර තොල් පිට පෙරළාගෙන රියෙන් බැසගත්තේ ය.
“මං හිතුව. මං හිතුව උදෙන්ම නාගෙන දෙමළ නළුවෙක් වගේ ලකලෑස්ති වෙලා යන්නෙ කාලි කෝවිලේ පූජා මංගල්ලෙට තමයි කියල. ඉලන්දාරිය දෙයියන්ගෙ ආශිර්වාදෙ එහෙම අරං වෙන්නැති වැඩ පටං ගන්න ඇත්තෙ නේද…”
සුරත් ඉස්තෝප්පුව ඉදිරියේ සිටගෙන උළුවස්ස දෑතින් අල්වාගත්තේ ය. පාරුල් මඳක් පස්සට වූවා ය.
“මං වතාවක් ඇවිත් මේ අම්මලට කියල ගියා මෙයාව ගෙට දාගන්න එපයි කියල. මේ ඒක ක්‍රියාත්මක වෙන හැටි වෙන්න ඇති නේද…”
රිදී බියෙන් ගැහුණා ය. ඔවුන් ගේ දුප්පත් පුංචි ලෝකයට මේ වාගේ ප්‍රශ්නයක් හොඳට ම ලොකු වැඩි ය.
“කාටවත් දොස් කියන්න එපා තාත්තෙ”
සුරත් ඉදිරියේ ප්‍රථම වතාවට ගඟුල් කතා කළේ ය.
“මමයි මෙහෙට ආවෙ. මං ආවෙ මේ අයගෙන් පාරුල් ඉල්ලගෙන. තාත්තට කියන්න තියන දෙයක් මට කියන්න. කරන දෙයක් මට කරන්න”
සුරත් පාරුල් වෙතට ගොරෝසු බැල්මක් හෙළුවේ ය. ඇය අඩියක් පස්සට තබා ගෙතුළට යන්නට සූදානම් වූවා ය. ඒ සුරත් ගැන බියකට නම් නොවේ. ඔහු ගඟුල් ගේ පියා වන නිසාවෙනි. නමුත් පාරුල් ට ඇතුළට යන්නට නොදී ගඟුල් ඇගේ අතක් තදින් අල්වාගත්තේ ය.
“මං පාරුල්ව තෝරගෙන ඉවරයි තාත්තෙ. මගෙ ළඟින් මගෙ පැත්තකින් ඉන්න ඕන ගෑනු ළමය එයා කියල මං තීරණේ කරල ඉවරයි. ඉතුරු දේවල් අපි ගෙදරදි කතා කරමුද තාත්තෙ…”
සුරත් ගේ මුව නලියෑවේ ය. සිය පුත්‍රයා විසින් ඔහු ව අවමානයට ලක් කළ බවට හැඟීමකින් උදහස් වී ද මේ මිනිසුන් ඉදිරියේ තව දුරටත් කතා නොකළ යුතු යයි ඉවසීමෙන් යුතුව වහා ආපසු හැරී ගියේ ය. රථ පෙළ නික්මිණි.
“අනේ දෙයියනේ… අපේ දූවිල්ලක්වත් ඉතුරු කරන්නැතිවෙයිද දන්නෑ. ඒකට කමන්නෑ පැංචියෙ”
ජුලී ඉදිරියට ආවා ය.
“උඹේ සතුට මේ මහත්තයනං… මේ නාකි අපිට දැං ඉතිං උන්නත් දාහයි මළත් දාහයි. හැබැයි මහත්තයො… මගෙ කෙල්ලට පිරිමියෙක් නිසා වෙච්ච දේ මේ පැංචිටනං කවදාවත් වෙන්න දෙන්න එපා. බුදුං වඳින අත් දෙකෙන් වැඳල ඉල්ලන්නං මං”
“අනේ මොනාද අත්තම්මෙ කියන්නෙ… ඕගොල්ලො කාටවත් වරදක් වෙන්නෑ. අපේ තාත්ත කාට කළත් මට එහෙම කරන්න බයයි කියල මං දන්නව. චන්දුල මාව විශ්වාස කරන්න. අම්මෙ මාව විශ්වාස කරන්න. එච්චරයි මට ඕනෙ”
රිදී දරා ගත නො හැකි හැඟීමක් වී ද තදින් උහුලාගත්තා ය. පාරුල් ගේ සතුට ගඟුල් නම් මොන දෙවියෙකු ගේ හෝ යකෙකු ගේ පුතෙකු වී ද ඔහු ඇයට ලැබිය යුතු ය යන්න ඇයට සිතුණ එක ම සිතිවිල්ලයි. නමුත් ඒ වදන් කරන්නට බැරි තරමට මේ මොහොතේ ඇය හැඟීම් වලින් පිරී ගොස් සිටියා ය. චන්දුල ට කියන්නට යමක් වූයේ නැත. ඔහු පාරුල් වෙතට විත් ඇගේ උරහිස මතින් අතක් දමාගත්තේ ය. ඔහු ගේ ඇස් කෙවෙයි. උගුර හිර වී තිබේ. පාරුල් ගඟුල් ගේ අතින් මිදී චන්දුල ව බදාගත්තා ය.
“මට ගඟුල්ව අත්අරින්න කියන්නෙපා අයියෙ. මට ඒක කරන්න බෑ. දවසක එයා මාව අත්ඇරියොත් මිසක්… මට ඒක කරන්න බෑ”
ගඟුල් අයියාත් නංගීත් දෑතින් වැළඳගත්තේ ය. ඔහු ගේ මුවග වූයේ ජයග්‍රාහී සිනහවකි. පාරුල් ගේ ඇසින් ගිළිහුණ සතුටු කඳුළක තෙත, චන්දුල ගේ බැනියමට උරාගත්තේ ය.