විහඟ පියාපත් 32

0
3689

සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට පෙර තිළිණි අසල කිසිවෙකු සිටීදැයි විමසා පැමිණෙන්නට අකලංක යෝජනා කලේය. මානව සම්පත් කලමනාකාරණ අංශයේ දෙදෙනෙකු ඇය අසල සිටින වග ශයිනි දුටුවාය. ප්‍රබාත් අකලංක වෙත ඇවිද එනු දුටු ශයිනි ඔහු සමඟින්ද හිනැහුණාය. ඔහු පෙරළා ලබා දුන්නේ එතරම් හිතවත් නොවුන සිනහවකි. 

ශයිනි කැබින් එක තුළට ඇවිද ගියේ සිදුවී ඇත්තේ කුමක්දැයි, කල්පනා කරමිනි.

අකලංක ඇය ඉදිරියේ සිට ගත්තේය. 

“මිස් ශයිනි… ඔයා කලබල වෙන්න එපා.. අර තිළිණි සූසයිඩ් කරගන්න හැදුවේ…. මූ අහම්බෙන් දැකලා තියෙන්නේ.. වැරදිලා උඩට ගිහින් ලිෆ්ට් එකේ.. දොර ඇරුනම දැකලා, හිතේ සැකේට ආයේ උඩට ගිහින් තියෙන්නේ..අර ක්ලීන් වලට යූස් කරන කෙමිකල් වගයක් පාවිච්චි කරන්න හදලා.. මූ එතන්ට ගියාම එහායින් තිබුණ වීදුරුවක් බිඳලා මූට අනින්න පැනලා… පස්සේ මූ කම්මුලට ට ගැහුවම ඒකි පොඩ්ඩක් ඩව්න් වෙලා.. එහෙමම බැල්කනියේ ඉඳන් කෑ ගහද්දී තමා කට්ටිය දැක්කේ…”

පළමු වැකියෙන් පසු කිසිවක් ශයිනිට ඇසුනේ නැත. ඕ අඩියෙන් අඩිය පසුපසට ගියාය. නැවතුනේ කිසිඳු හැඟීමක් නැතිවාම සේය. 

ඕ යළි අකලංක දෙස බැලුවේ ඔහු පැවසූයේ කුමක්දැයි ස්ථිරවම විමසා ගන්නා බැල්මක් දරාගෙනය.අකලංක ඔහු පැවසූව යළි පවසමින් ඒ වග සනාථ කලේය. ඉන් පසුව ඕ ප්‍රබාත් දෙස බැලුවාය.

” එයා මාරම ඇග්‍රෙසිව් ඉන්නේ. ට්‍රීට් කරන්න වේවි…”

ප්‍රබාත් පවසද්දී ශයිනි දෑතින්ම මුව වසා ගත්තාය. සැබැවින් තිළිණි ට කුමක් සිදුවූයේද ? චරිත්ගෙ නික්ම යෑම ඇය මෙතරම් පීඩනයකට හෙලුවාද  ? 

“මොකක් හරි ප්‍රශ්නයක් තිබුණද එයාට ?”

ශයිනි හිස සැලුවාය. ඉන් පසුව හෝටලය තුළ වූ යම් අක්‍රමිකතා සිද්දීන් වැලකට සම්බන්ධ වූ ඇගේ පෙම්වතා සහ තමා අතර වූ සිදුවීමද පැවසුවාය. ඇය වෙතට වැටෙන පීඩනයෙන් ඇය මුදවා ගන්නට සැලසුම් කරමින්ම තමා චරිත් වෙත ලබා දුන් අවස්ථාව පිළිබඳව ද කීවාය.  

ඉන් පසුව චරිත් තිළිණි ව ද හැර දමා එක් වරම බැහැරව ගිය බවද කීවාය. චරිත් ගේ නව රැකියාව පිළිබඳව කිසිවක් තිළිණි දැන නොසිටි වගද, ඔහු පිටව යන මොහොත පවා ඇය නොදැනුවත් වගද කීවාය. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය වසර ගණනාවක් වගද, එනිසාම තිළිණි දැඩි සෙයින් ඔහුට බැඳී ආදරය කල වගද කීවාය. අවසානයේ ඇයද මොණරවිල හොටෙල්ස් අතැර  චරිත් සමඟම ඉවත්ව යාමට පවා තීරණය කර උන් වගද කීවාය. 

අකලංක සහ ප්‍රබාත් සියල්ල අසා උන්නේ කිසිත් නොපවසාය. යුවතියගේ ඉච්චාබංගත්වයට හේතු පැහැදිලි ය.  හැර ගිය පෙම්වතා ගේ අඩුව වෙනුවට ඇය මරණය තෝරාගන්නට ඇත. 

ශයිනි චරිත්ට ඇමතුමක් ගත්තාය. පිළිතුරු ලැබුණි. ඇය ඇමතුම විසන්ධි කලේ මහ හඬින් බැන වදිමිනි. අකලංක සහ ප්‍රබාත් ඇය දෙස බලා උන්නේ ඇගේ කෝපය වටහා ගන්නට නොහැකිව මෙනි. 

” මේ  ගෑණිට පිස්සු… මැරීගෙන ලව් කරලා තියෙන්නේ බල්ලෙක්ට …”

ශයිනිගේ කෝපය ට අකලංක සහ ප්‍රබාත්ද ගොදුරු වන තරමේ දෑස් කැල්මන් ඔවුන් දෙදෙනා වෙත වැටුණි. ප්‍රබාත් නම් උන්නෙ ගණනකට හෝ නැතිවය. එහෙත්, ශයිනි ගේ එම ස්වරූපය පලමු වතාවට දුටු අකලංක සියුම් මන්දස්මිතයක් සමඟ ඈ දෙස බලා උන්නේය.

“විස්තරේ කිව්වම අහනව ඉතින් මැරුනද කියලා ? .. කොහොමද මිනිස්සු එහෙම ..”

ඕ ඒ කෝපයෙන්ම ඇසුවේ අකලංකගෙනි. එහෙත් ඒ වනවිට අකලංක මත වැටී තිබු මන්දස්මිතය දුටු ඕ තිගැස්සුණාය. මොහොතක ට ගොලුවූවාය. අකලංක උන්නේද අන් සිහියක නිසා, ප්‍රබාත් වැලමිටට පහරක් ගසා පියවි සිහියට අදින තුරුම ඔහුටද ඇගේ තිගැස්සුම් විමතිය ගණනකට වූයේ නැත. 

අකලංක ගේ හැසිරීමෙන් පසු ශයිනි වහා හැඟීම් සඟවාගන්නට උත්සාහ කලාය. පිට මිනිසුන් දෙදෙනෙකු ඉදිරියේ වූ හැසිරීම පිළිබඳව තමාටම දොස් පවරා ගත්තාය. ඉන් පසුව අකලංක සහ ප්‍රබාත් ට ස්තූති කලාය. තිළිණි පිළිබඳව සොයා බලන්නට අවසර ඉල්ලමින් ඔවුන් දෙදෙනාට සමු දුන්නාය

“චික් යකෝ උඹ…. ඒකිට මාට්ටු …”

ප්‍රබාත් පවසද්දී අකලංක හිනැහුණා පමණි. කොහොමටත්, තම සිනහව ඇයට කොහෙන්ම හෝ හසු විය යුතුය. එතෙක් අමයුරු නමින් ඇය මවාගන්නා සිනහව මේ සිනහවටම සමාන වන ලෙසින් තිබුණා නම් ඇතිය. 

ප්‍රබාත් හික්කඩුවේ අදාල වැඩසටහන ආවරණය කර පැමිණියේ පසුදින උදෑසනය. ඔහු හෝටලය ට ඇතුළු වන විටම ශයිනි කොරිඩෝව දිගේ එමින් උන්නාය. ඔහු ඇය හා හිනැහුණාය.

“කොහොමද යාලුවට?”

“නිදි … ඊයේ ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා බැලුවා… එයා කතා කරන්නේ නැති එක තමා අවුල .. ෆෝන් එකෙන් චරිත් ට කතා කරන්න උත්සාහ කරන එක කරන්නේ….”

“කතා කරාවි ටිකකින්.. නිදහසේ ඉන්න දෙන්න.. ඇහැ ගහගෙන ඉන්න…”

ශයිනි ඔහුට ස්තූතිවන්ත වන වග පැවසුවාය. උදෑසන ආහාරය පිළිබඳව ද විමසුවාය. 

ඉන් පසුව ශයිනි යළි තිළිණි වෙත ගියාය. ඇය ඒ වනවිට ද උන්නෙ කිසිවෙකු අමතන්නට උත්සාහ කරමිනි. ශයිනි ඇය අසලින් ඉඳ ගත්තාය. ශයිනි දෙසට පා කෙරූ කඳුළු බැල්මකින් පසු ඕ දිගින් දිගටම කලේ කිසිවෙකු අමතන්නට උත්සාහ කිරීමය. 

සතියක් ගෙවෙද්දී තිළිණි එක් වරම සේවයට වාර්තා කරන්නට අවැසි වග පැවසුවාය. එහෙත් ශයිනි කීවේම තවත් කල් විවේක ගන්නට වෛද්‍ය උපදෙස් ඇති වගය. තිළිණි ගේ ඉල්ලීම අභිබවා යන්නට තරමේ වන තුරුම්පු නොවු නිසා අවසානයේ ඕ තිළිණි හා එකඟ වූවාය. 

තිළිණි කිසිඳු වෙනසක් නැතිවම රාජකාරියට පිවිසියාය. එහෙත් ශයිනි ඇය ගැන අවධානයෙන් සිටින්නට කිහිප දෙනෙක්ම යොදවා තිබුණි.

සති තුනකට පසු අකලංක ගේ ටෙලි නාට්‍යයේ දර්ශන වාර සියල්ලක්ම පාහේ නිම වෙමින් තිබුණි.

ඒ දිනයේම සවස බන්ධනා කැටුව යෑමට චරිත් මොණරවිල හොටෙල්ස් වෙත පැමිණි අතර , පහල කොරිඩෝවේ සිටි තිළිණි ද , ඉහළ බැල්කනියේ සිටි අකලංක ද, මෝටර් රථය තුළ සිටි ශයිනි ද සිදුවීම හොඳින්ම දුටුවෝය. 

“එහෙනම් මේකයි සීන් එක…”

අකලංක බන්ධනාගේ හදිසි වෙස් පෙරලීමට හේතුව හැඳින ගත්තේය. එසේ නම්  තිළිණි ගෙ ජීවිතයෙන් චරිත්ව ඉවතට ඇද ගන්නට හේතුව වී ඇත්තේ  බන්ධනාය.

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here