සිතුවිලි

නාමලී මහගෙදරට ගොඩවුනේ මාස තුනකට විතර පස්සේ . කඩෙන් ගත්ත කේක් පෙට්ටිය ටී පෝ එක උඩින් තිබ්බ නාමලී ආඩම්බර ලීලාවෙන් සාලෙ පුරාවටම ඇස් යැව්වා

” හොඳ සුවඳක් එනවා ,අම්මා මොනවද අද උයන්නේ ? “

” ඔයා ආස නිසා අද කහ බත් උයනවා “

” බස් වල ඇවිල්ල මට හරි මහන්සිත් එක්ක . ඉශාර නම් එන්න හවස් වෙයි එයා අද ඩියුටි “

නාමලී කියන්නේ රෝහිණී ගේ වැඩිමහල් දියණිය . නාමලී විවාහ වෙලා ඉන්නේ පොලිස් නිලධාරියෙක් එක්ක . ප්‍රේම සම්බන්ධයකින් අනතුරුව වෙච්ච විවාහය වෙලා දැන් අවුරුදු පහක් විතර. කොළඹ ඉපදුනු නාමලී දැන් ජීවත් වෙන්නේ සැමියාගේ ගම් පළාත වුණ අම්බලන්ගොඩ යි. යමක් කමක් ඇති පවුලක ට නාමලීව විවාහ කරලා දෙන්න බලාගෙන හිටපු රෝහිණීට , නාමලී පුන පුනාම ඕනේ කියලා කියපු තරුණයාව විවාහ කරලා දෙන්න සිද්ද උනේ ඉෂාර ව විවාහ කරගන්න නොලැබුණොත් තමන් සිය දිවි නසා ගන්නවා කියලා නාමලී නිතර නිතරම කියපු නිසයි .

” නංගි එහෙම ආවෙ නැද්ද මේ පැත්තේ”

” එයාට මේ ටිකේ වැඩ ටිකක් වැඩී කියලා කිව්වා . හැමදාම මට කෝල් කරනවා හැබැයි “

” අනේ එයාට තියෙන වැඩ “

නාමලීගේ මුහුණේ තිබුණේ සමච්චල් සහගත හිනාවක් . අවුරුදු විසි දෙකෙන් හදිස්සියේම විවාහ වුණ නාමලී ඇගේ නංගි වෙච්ච අමාලි කරගත්ත විවාහය ගැන ඒ තරම් සතුටු වුණේ නැහැ . අමාලි විවාහ වුණේ පෞද්ගලික ආයතනයක ඉහළ තනතුරක් දරන මේනක එක්ක. ගෙවල් දොරවල් යාන වාහන තියෙන මේනක වගේ කෙනෙක්ව නංගි විවාහ කරගත්ත එක ගැන නාමලීට මුල ඉඳලම මදිකමක් වගේ දැණුනා . ඒකට හේතුව වුණේ ඇගේ සැමියා පොලිස් කොස්තාපල්වරයෙකු වුන එක .

” මේනකට මේ ළඟදිත් තිස් හතළිස්දාහකින් පඩි වැඩි වෙලා තිබුණා . නංගිටත් ප්‍රමෝශන් එකක් ලැබිලාලු “

රෝහිණී එහෙම කියද්දී නාමලීගේ හිත යට ගිනි දැල්වුනා .

” ඔච්චර හම්බ කරල කරලා එයාලා මොනවද අම්මෙ කරන්නේ ?”

” මේ ටිකේ නං අලුතෙන් ගන්න ඉඩමකුත් බලනවලු “

” අපි ගත්ත ලෝන් වලට කැපිලා ඉශාරගේ අතට එන්නෙම හතලිස් දාහයි . ඒකෙන් තමයි අපි මුළු මාසෙම ජීවත් වෙන්නේ “

” උඹ ඉක්මන් වුණා කියලා උඹට හිතෙන්නේ නැද්ද නාමලී ? “

” හහ්.. මගේ මිනිහ මට හොඳයි . අම්මටත් අර සල්ලි තියෙන බෑණව ලොකු වේගෙන එනවද කොහෙද ? “

” එහෙම එකකට කිව්වා නෙමෙයි නාමලී . උඹලට තිබුණා කීයක් හරි ඉතුරු කරගෙන යමක් කමක් කර ගෙනම කසාද බඳින්න “

ප්‍රේම සම්බන්ධය පටන් ගත්ත මුල් කාලයේදී නාමලීට ඉෂාරව පෙනුනේ රාජ කුමාරයෙක් වගේ . ඒ කාලේ ඉෂාර නිතරම තමන්ට පුංචි පුංචි තෑගි දුන්නත් දැන් එහෙම කරන්න ඉෂාර අතේ කීයක් වත් ඉතුරු වෙන්නේ නැත්තේ ගෙදර වියදම් වලට මුළු වැටුප ම යට කරන්න වෙලා තියෙන නිසා කියලා නාමලී දන්නවා. ඒත් ඕනම ගැහැනියක් වගේ පුංචි පුංචි පුදුම කිරීම්වලට නාමලීත් ආස කලා

” නාමලී ඔන්න නංගිත් හෙට එනවලු “

රාත්‍රියේ රෝහිණී ට ආව දුරකථන ඇමතුමෙන් පස්සෙ ඇය සතුටින් ඉපිලෙමින් නාමලීට එහෙම කිව්වත් නාමලීට නම් ඒ ගැන සතුටක් දැනුනේ නැහැ

” ඔයාවත් කාලෙකින් දැක්කේ නැති නිසා හෙට කොහොම හරි එනවා කියලා කිව්වා “

පහුවදා උදේ හතහමාර වෙද්දි සුඛෝපභෝගී මෝටර් රථයක් ගේ ඉස්සරහට ඇවිත් නැවැත්තුවා . ඔය එන්නේ තමන්ගේ නංගි වෙච්ච අමාලි කියලා දන්න නිසාම නාමලී ගේ ඇතුලටම වෙලා හිටියා . රෝහිණී සතුටින් ඉස්සරහට ගියේ තමන්ගේ පොඩි දුවව පිළිගන්න

” කෝ අම්මේ අක්කා ? “

අමාලි එහෙම අහගෙන ගේ ඇතුලට එනකොට නාමලී හිටියේ කුස්සියෙ . ලිපේ තිබුණ හොද්ද හැදිගාමින් හිටපු නාමලී ,අමාලි කුස්සියට ඇතුල් වෙච්ච බව දැනගත්තේ ඊට කලින් කවදාවත් දැනිලා තිබුනේ නැති ආකර්ෂණීය විලවුන් සුවඳින්

” අක්කේ.. ඉතින් කොහොමද ඔයාට. අනෙ අපිට ඔයලාගෙ ගෙදර එන්නවත් නිවාඩුවක් නැතිවුනානේ ? “

අමාලි වෙනදටත් වඩා ලස්සන වෙලා පිරිලා ගිහින් කියලා ඇයව දැක්ක ගමන්ම නාමලී ට හිතුනා. වටිනා රෙද්දකින් නිමවුණු දිග සායත් , එයටම ගැලපෙන තනි පැහැයකින් යුක්ත බ්ලව්ස් එකත් අමාලිට ගෙනැවිත් තිබුණේ අමුතුම ලස්සනක් . අමාලිගේ ගෙල සරසපු තරමක් මහත රන් දම්වැල දැක්කම නාමලීගේ ගෙල සරසපු හීනි චේන්පටට නාමලීගේ අත ඉබේටම ගියා .

අමාලි නාමලීගේ අතින් අල්ලගෙන සාලයට එක්කගෙන යනකොට අමාලි ගේ සැමියා වන මේනකත් එක්ක නාමලී ගේ සැමියාවුන ඉෂාර කතාබහ කර කර හිටියා . දැක්ක ගමන්ම තරමක් තිගැස්සෙන පෞරුෂයක් හිමි මේනක ඉතා කඩවසම් තරුණයෙක් . ගමක හැදුන වැඩුන අහිංසක කුලෑටි තරුණයෙක් වුන තමන්ගේ සැමියා මේනක ලඟදි ඉතාම පුංචි පුද්ගලයෙක් කියලා නාමලීට හදිසියෙම හිතුනා .

” අපි නිවාඩු දවසක් බලලා ට්‍රිප් එකක් යමුකෝ . අම්මටත් ගෙදරට වෙලා ඉඳලම එපා වෙලා ඇතිනේ “

තේ බොන අතරේ අමාලි එහෙම කිව්වේ රැකියා කටයුතුවලින් කාර්යබහුල වෙච්ච ජීවිතයෙන් ඇත්තටම විවේකයක් ඕන නිසා

” අපි නුවරඑළිය වගේ පැත්තකට යමු. මට පුළුවන් එහෙන් hotels book කරන්න “

මේනකත් අමාලිගෙ අදහසට කැමැත්ත පළ කළේ එහෙම

” අනේ කොච්චර හොඳද දරුවෝ . අපිට මෙහෙම එකට වාඩි වෙලා තේ එකක් බොන්න වත් වෙලාවක් නැහැනේ ඇත්තටම . එහෙම එකේ මෙහෙම ගමනක් යන එක නං වටිනවා . ඔයාලට දරුමල්ලො ලැබුණම ඕවට වෙලාවක් කොහොමත් නැති වෙයි “

රෝහිණී කතාකරන අතරතුරත් නාමලී බලාගෙන හිටියේ නංගි දිහා . ඇත්දළ පැහැයට හුරු ඇගේ හම දිස්නෙ ගහනවා කියලයි නාමලීට හිතුනෙ.ඇය විසින්ම දාගත්ත මේකප් එකත් ඒ ලස්සන තවත් වැඩි කරලා.තමන්ටම කියලා ලිප්ස්ටික් කූරක් වත් නැති නාමලීට දැනුනේ තමන්ගෙ නංගි දැන් අයිති වෙනමම ලෝකයකට කියලයි . ඇත්තටම ඒ වගේ ලෝකයක ජීවත් වෙන්න නාමලී හීන මැව්වාට ඇය ඉක්මන් වෙලා කරගත්ත කසාදය ඒකට බාධා වුණා කියලා නාමලීට ආයේ ආයේ හිතුනා .

” එයාලට ඉතින් දවස ගානේ පාටි , හම්බ වෙන්නේ ලොකු ලොකු මිනිස්සු,අඳින්නෙ දහස් ගණන් වල ඇඳුම් . එහෙම එකේ සතියට එක ගානේ හරි ට්‍රිප් යන්න බැරියැ අම්මේ “

නාමලී කේන්තියෙන් එහෙම කිව්වේ අමාලිත් ඇගේ සැමියාත් පිටත් පිටත්වෙලා ටික වෙලාවකින් ඉශාරත් රෑ වැඩ මුරයට ගියාට පස්සේ.

” අපි මේ ලෝන් ගෙවාගෙන මාසේ ජීවත් වෙන්නෙත් හරි අමාරුවෙන් . ඉස්සරහට දරුවෙක් ගැන හිතනවා නම් ගෙයක්වත් හදාගෙන තියෙන්න ඕනේ . අපිට තියන ප්‍රශ්න එයාලා දන්නෙ නැහැනෙ මෙතන ට්‍රිප් යන්න කතා කරන්නේ “

නාමලී තමන්ගේ හිතේ තියෙන කෝපය පිට කරන හැටි රෝහිණි අහගෙන හිටියේ සාවධානව .

” මම ඒ දවස් වල උඹට කට කැඩෙනකම් කිව්වා නාමලී. මම මේ කියන්නේ ඉෂාර නරක ළමයෙක් කියලා නෙමෙයි . හැබැයි උඹලට තිබුණා කසාද බඳින්න කලින් අනාගතේ ගැන හිතන්න . මම දෑවැද්දට දීපු සල්ලි ටිකත් උඹලා ඒ දවස් වල ම නාස්ති කළානේ. බලපන් නංගි කොච්චර ලස්සනට ඉන්නවද කියලා “

” අනෙ එයාගේ ලස්සන. පිට ඔපේ විතරයි “

” ඇයි? ඒකි මොකද්ද උඹට කරපු වැරද්ද?

” දැන් මේ මං ආව වෙලාවෙම එයා තකහනියේ ඇවිල්ල ගියේ එයාගෙ ලොකුකම පෙන්නලා යන්න නෙමෙයිද ? “

නාමලීගේ සිතුවිලි අමාලිගේ සිතුවිලි වලට වඩා හාත්පසින්ම වෙනස් කියලා රෝහිණී ට වැටහිලා තිබුණේ අද ඊයෙක නෙමෙයි . නාමලී හැමදාම එකම තැන ඉන්නන්, අමාලි පියවරෙන් පියවර හැමදාම ඉදිරියට යන්නත් හේතුව ඒ සිතුවිලි කියලා ආයෙමත් පාරක් රෝහිණීට හිතුනා .

ආපහු ගෙදර ගිහින් දින ගණනාවක් යන තුරුත් නාමලීගේ හිතේ වැඩ කලේ අමාලි ගැන සිතුවිලිමයි. නංගි විදින ජීවිතය තමන්ටත් විඳින්න තිබුණානම් කියලා අමාලිට දහස් වර හිතුනා

” ඔයාට මොකක් හරි අසනීපයක් ද නාමලී ?”

ඉශාර හවස් වරුවක නාමලී ගෙන් ඇහුවේ දවසින් වැඩි වේලාවක් නාමලී කල්පනා කර කර ඉන්නවා දැක්ක නිසයි

” ඔයාට වෙන රස්සාවක් හොයා ගන්න බැරිද ඉෂාර ? නැත්නම් ප්‍රමෝෂන් එකක්වත් ? “

” ඔයා හිතන තරම් ලේසියෙන් ඒව කරන්න බැහැ නාමලී. පොලිසියේ රස්සාවේ වුණත් වැඩ කෙරෙන පිළිවෙලක් තියෙනවා “

” ඒ උනාට අපේ ජීවිතේ පිළිවෙළක් නැහැ නේ “

” පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණට මෙච්චර දවසක් අපි හොඳට ජීවත් වුණානෙ නාමලී. එකපාරටම ඔයාට හැදුන පිස්සුව මොකක්ද ? “

” නැහැ අනේ අපි බැඳල දැන් අවුරුදු කීයක් ද ? තාම අපිට වාහනයක් වත් ගන්න බැරිවුනා නේ “

දවසින් දවස නාමලීට තමන්ගේ ජීවිතයේ අඩුපාඩු පේන එක වැඩි වුණා. ඉශාර වැඩ ඇරිලා ගෙදර එනකොට නෝක්කාඩු කියන්න නාමලී බලාගෙන හිටියා. ජීවිතයේ තිබුන සතුට ඈතකට පලා යනවා ඉශාරට ඉවෙන් වගේ දැනුන නිසා මේ ගැන හෙමින් සීරුවේ රෝහිණී ට කියන්න ඉශාර හිතුවා.

ඉශාරගෙන් ආව ඇමතුමට පස්සේ නාමලීගේ මේ වෙනසට හේතුව හිතාගන්න රෝහිණීට ඒ තරම් අමාරු වුණේ නැහැ.

” ඇයි අම්මා මට හදිස්සියේම එන්න කිව්වේ ?”

එදා හවස මහ ගෙදරට ගොඩ උනේ අමාලි.

” මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ පුතේ . අක්කා ගැන “

” ඇයි අක්කට මොකද ? “

රෝහිනි මුල ඉඳලම හැම විස්තරයක්ම අමාලිට කිව්වා . රැකියාවක් කරන්න තරම්වත් අධ්‍යාපන සුදුසුකම් හදාගන්න උනන්දු උනේ නැති අක්කා දවස පුරාම ගෙදරට වෙලා මොනව කරනවද කියලා අමාලි ටත් හිතාගන්න බැරි වුණා . හැබැයි තමන්ගෙ ජීවිතය ගැන සෑහීමකට පත් නොවෙන අක්කා වෙනුවෙන් මොනවම හරි කරන්න අමාලි හිතාගත්තා

එක දවසක් උදේ නාදුනන කාර් රථයක් ගේ ඉස්සරහ නතර වෙනකොටම නාමලී එළියට ආවා .අව් කන්නාඩි යුවලක් පැළඳ ගත්ත තමන්ගේ නංගී රියදුරු අසුන පැත්තෙන් එලියට එනකොට නාමලී පුදුම වුණා . මොන මොනවදෝ බඩු ගොඩක් පිටුපස ආසනයෙන් එළියට අරගෙනයි අමාලි නාමලීගේ ගෙට ගොඩ උනේ

” ඔ..ඔයා මෙච්චර දුරක් තනියම ආවද ?වාහනේ ?”

” ඔව් අක්කේ. මං ආවෙ ඔයාගෙන් ලොකු උදව්වක් ඉල්ල ගන්න “

කිසිම දේකින් අඩුපාඩුවක් නැති,ලක්ෂ ගානක වැටුපක් ලබන තමන්ගේ නංගිට තමන්ගෙන් ගන්න තියෙන උදව්ව මොකක්ද කියලා නාමලීට ඒ වෙලාවේ හිතාගන්න බැරි වුණා

” ඔයා බඳින්න කලින් අම්මගෙන් අහගෙන රසට කේක් හැදුවා නේද ? ඔයාට පුලුවන්ද මට කියලා දෙන්න ? කේක් හදන්න බඩු ,තැටි ඔක්කොම මම ගෙනාවා . අලුතින් ගත්ත අවන් එකකුත් කාර් එකේ තියනවා “

එදා දවල් වරුව පුරාම නාමලී කේක් හදන හැටි තමන්ගෙ නංගිට කියලා දුන්නා . විවිධ වර්ග වල කේක් හදන්න දැනගෙන හිටපු අමාලි කිසිම දෙයක් නොදන්නවා වගේ නාමලී එක්ක එකතුවෙලා කේක් හැදුවා

” ඔයා දන්නවද අක්කේ . අනිත් අයට පුළුවන් හැමදේම අපිට බැරි වෙන්න පුළුවන් ,හැබැයි අපිට පුළුවන් එක දෙයක් හරි තියෙන්න පුළුවන් . ඒ මොකක්ද කියලා හොයාගන්න එකයි අපි කරන්න ඕනේ “

තමන්ගේ අක්කට මගහැරුනු පාඩමක් අමාලි ඉතාම සීරුවෙන් අක්කට කියලා දෙන්න පටන් ගත්තා

” හැමෝටම හැමදේම ලැබෙන්නේ නැහැ අක්කේ.හැබැයි අපි අපිට තියෙන දේවල් ගැන සතුටු වෙන්න ඕනේ . දැන් බලන්න , ඔයාට කේක් හදන්න පුළුවන් .ඒත් මට බැහැනේ . මට බැහැයි කියලා මම දුක් වුණේ නැහැ .ඒක අහගන්න මම ඔයා ලඟට ආවා “

” අපිට නැති දේවල් ගැන හිත හිත දුක් වෙන්න පටන් ගත්තොත් , අපිට තියෙන දේවල් අමතක වෙලා යන්න පුළුවන් .එහෙම උනොත් වෙන විනාසය ගැන ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ජීවිතේ ගොඩක් වෙනස්කම් වලට මුල්වෙන්නේ අපේ සිතුවිලි “

” ඔයාට මෙච්චර රසට කේක් හදන්න පුළුවන් එකේ ඔයා බිස්නස් එකක් පටන් ගන්න .මේ අවන් එකත් ඔයාම තියාගන්න . අනිත් වැඩ වලටත් මම ඔයාට උදව් කරන්නම් . ඔයාට පුලුවන් මේ ගමේ ඉන්න හොඳම කේක් හදන කෙනා වෙන්න . මම දන්නවා මගේ අක්කට ඒක කරන්න පුළුවන් කියලා “

අමාලි ඒ වචන ටික කියලා ඉවර වෙනකොට නාමලීගේ ඇස් වල හිර වෙලා තිබුණු කඳුළු එළියට ආවා.තමන් හිතාගෙන හිටියට වඩා සෑහෙන්න වෙනස් කෝණයකින් තමන්ගෙ නංගි ජීවිතය දිහා දකිනවා කියලයි නාමලීට හිතුනේ. තමන් හඳුනා නොගත්ත තමන්ගේ වටිනාකම තමන්ට කියලා දුන්න නංගිට නාමලි දින ගණනාවක් යනකන්ම හිතෙන් පින් දුන්නා

ඔබේ සමීපතමයන් සතුව ඇති දේවල් ඔබ සතු නොවෙන්නට පුළුවන්. නමුත් ඔබට සතුටු විය හැකි දෙයක් ඔබේ ජීවිතයෙන්ම ඔබට හොයාගන්නට පුළුවන් .අවශ්‍ය වන්නේ ඔබ එයට එක වරක් හෝ උත්සාහ කිරීම පමණයි

More Stories

Don't Miss


Latest Articles