මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 15

0
269

අපි දෙන්නා ඩේට් කරන්න පටන් ගත්තේ ඔන්න ඔය විදියට.

 ඇත්තටම ඒක ඩේට් කරන එකක්ද නැත්නම් යාළුකමක්ද කියලා අපි දෙන්නම දැනගෙන හිටියේ නැහැ. අපේ ලෝකෙ ඇතුළේ ආදරේ ගැන කිසිම විදියක කතාබහක් තිබුණේ නැහැ. හාදුවක් තියා, වැළඳගැනීමක්වත් අපි අතරේ හුවමාරු වුණේ නැහැ. ඒත් අපි දෙන්නා අතරේ මහා පුදුම විදියේ ලොකු යාළුකමක් ගොඩනැඟුණා. ඒක කොච්චරද කියනවා නම්, එයාට ඕනෑම වෙලාවක මගේ බෝඩිමට එන්නත්, මට එයාගේ ගෙදර යන්නත් පුළුවන් තරමටම අපි ළං වුණා. අපි එකට උපන්දින සැමරුවා. රුවිනියි, මමයි, එයයි එකට ෆිල්ම් බලන්න ගියා. එකට ට්‍රිප් ගියා.

ඒක හරියට නමක් දාගන්න බැරි බැඳීමක් වගේ දෙයක්.

ඒ නමක් නැතිකම ඇතුළේ අපිට ලොකු සහනයක් තිබුණා වගේම, කොහේ හරි ඇතුළතකින් ඒ බැඳීම හරියටම මොකක්ද කියලා කියාගන්න බැරිවීමේ බරකුත් දැනුණා.

“අපි දෙන්නා ඇත්තටම මොකද්ද මේඝා?”

එදා හවස, මූද අයිනේ තිබුණ බෙන්ච් එකක වාඩි වෙලා රළ බිඳෙන දිහා බලාගෙන ඉන්නකොට හේසර හදිසියේම ඇහුවා. මම මූද දිහාම බලාගෙන හීන් හිනාවක් පෑවෙ ඇත්තටම ඒ ප්‍රශ්නෙ මං එයාට කලින් දහස් වතාවක් හිතලා තිබ්බා වගේම ඒ හිතපු වාර ගාණ කොච්චරක්ද ඒ කිසිම අවස්තාවක මට ඒ ප්‍රශ්නෙකට උත්තර හොයාගන්න පුලුවන් උනේ නැති හන්දා.

“ඒකට උත්තරේ මමත් හරියටම දන්නෙ නෑ”

“යාළුවෝද?”

 “යාළුවන්ට වඩා ටිකක් වැඩියි වගේ…”

“එහෙනම් රිලේශන්ශිප් එකක්?”

 “ඊට වඩා ටිකක් අඩුයි වගේ…”

එයා මගේ දිහා බලාගෙන හිනා වුණා මං එහෙම කියද්දි. “භයානක තැනක් නේද?” 

“ඇයි එහෙම කියන්නේ?”

“මොකද අපේ බලාපොරොත්තු පැහැදිලි නැහැ. හැඟීම් පැහැදිලි නැහැ. මේක කොහෙන් කෙළවර වෙයිද කියන එකත් පැහැදිලි නැහැ.”

“ඒක හොඳද නරකද කියලා හිතන්නවත් මට හිතෙන්නේ නැහැ. මට දැනෙන්නේ මේක හරිම ලේසියි කියලා.”

“ලේසියි?” මං එහෙම කිව්වම හේසර මං දිහා බැලුවෙ ටිකක් අමුතු විදියට.

“ලේසිද නැත්තම් ඔයාට දැනෙනවද ඔයා පරිස්සං කියලා?”

ඒ ප්‍රශ්නෙට මට උත්තරයක් තිබුණේ නෑ. මම බය වුණා. මම මේ පිරිමියාට ළං වෙන්නේ ඇත්තටම එයාට ආදරේ නිසාද, නැත්නම් මම හදාගත්ත ෆයර් වෝල් එකට කරදරයක් නොවන විදියට එයා හිටපු නිසාද කියලා මටම හිතාගන්න බැරි වුණා. එයාගේ ඒ ප්‍රශ්නෙ මගේ හිතේ තිබුණ මොකක් හරි අමුතු දෙයක් එකපාරටම නැති කරලා දැම්මා වගේ මට දැනුනා. 

මට දැනුනා මම මෙච්චර දවසක් හිරි වැටිලා ඉඳලා එක පාරටම හේසර අහපු ඒ ප්‍රශ්නෙ එක්ක ඒ හිරි ගතිය මගෙ ඇඟෙන්, හිතෙන් එකපාරටම නැති උනා වගේ.

හේසර මගේ ජීවිතේට ආවට පස්සේ මගේ දවස් ගෙවුණේ කලින්ට වඩා ටිකක් වෙනස් විදියකට. උදේට ඇහැරෙද්දීම වගේ ෆෝන් එකට එන “ගුඩ් මෝනින්” මැසේජ් එක, දවල්ට වැඩ අස්සේ එන “කෑම කන්න අමතක කරන්න එපා” කියන මතක් කිරීම, රෑට නිදාගන්න කලින් අහන “ඔලුව නිදහස් නේද? කරදර නෑ නේද” කියන ප්‍රශ්නෙ… ඒවා මාරම පොඩි දේවල් වුනාට හැබැයි ඒ පොඩි දේවල් ටික නැති වුණොත් දැනෙන පාලුව කොච්චරද කියලා හිතෙන තරමටම ඒවා මගේ දවසට බද්ධ වෙලා තිබුණා.

ඒක ආදරේද කියලා මම දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඒක එයා නැති වුණොත් මහා ලොකු හිස්කමක් දැනෙන ජාතියේ බැඳීමක් බව මම දැනගෙන උන්නා.

ඒ වීකෙන්ඩ් එකේ හේසර මගේ බෝඩිමට ආවේ “ඔයාගෙ අතෙන් උයන බත් ටිකක් කන්නෝන” කියාගෙන. කාමරේ ඇතුළට ඇවිත් වටපිට බලපු එයා, මගේ පොත් රාක්කය ගාව නතර වෙලා හීන් හිනාවක් එක්ක මගේ දිහා බලලා ඇහුවා, “ඔයා මේ කාමරේ ඇතුළේ කොහොමද ඉන්නේ මේඝා?” කියලා අහන ගමන්

“ඇයි? මගේ කාමරේ ලස්සන නැද්ද?” මම ඇඳ උඩට ඇලවෙන ගමන් ඇහුවා.

“ලස්සනයි… හැබැයි හරිම හිස්.”

“හිස්?” මම පුදුම වෙලා ඇහුවා.

“ඔයා වගේ කෙනෙක්ට මේ කාමරේ තියෙන සයිලන්ස් එක ටිකක් වැඩියි වගේ මට හිතෙනවා.”

මම ටිකක් හිනාවුණා. “මට දැන් ඕන වෙලා තියෙන්නෙත් ඒ සයිලන්ස් එක තමයි,” මම කිව්වා.

එයා රාක්කයෙන් පොතක් අරගෙන ඒකේ පිටු පෙරළන ගමන්, “ඔයා තාමත් මේ වගේ ආදර කතා කියවනවද?” කියලා ඇහුවා.

“දැන් නම් ඔය කතා මම පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ,” මම කෙලින්ම කිව්වා.

“ඉතින් විශ්වාස කරන්නේ නැත්නම් ඇයි මේවා කියවන්නේ?”

“මට මතක් කරගන්න… මම කවදා හරි දවසක ඔය දේවල් මුළු හදවතින්ම විශ්වාස කරපු, ඒ වෙනුවෙන් හීන දැකපු කෙල්ලෙක් කියලා.”

හේසර අතේ තිබුණ පොත වහලා මගේ ඇස් දෙක දිහා බැලුවා. “ඔයා මාරම අමුතු පරස්පර විරෝධී චරිතයක්නේ මේඝා,” කියලා එයා හෙමින් කිව්වා.

ඒ වෙලාවේ එයාගේ බැල්මෙන් බේරෙන්න මම අහක බලාගත්තා. මගේ ඇතුළේ තියෙන පරස්පරතා ගැන හේසරට විතරක් නෙවෙයි, මටවත් හරි අවබෝධයක් තිබුණේ නැහැ. ඒත් හේසර ඒ පරස්පරතා අස්සට හෙමින් හෙමින් රිංගනවා කියලා මට දැනුණා.

“ඔයාට කවදාවත් කෙනෙක්ව නැති අඩුව දැනිලා තියෙනවද?”

මම එහෙම අහද්දී එයා ටිකක් වෙලා නිශ්ශබ්දව හිටියා. “තියෙනවා,” එයා අන්තිමට කිව්වා.

“ඒක ආදරේද?”

“සමහර වෙලාවට… ඒක නිකම්ම පුරුද්දක් විතරයි,” එයා හිනාවෙලා උත්තර දුන්නා. “කෙනෙක්ට ඔයා පුරුදු වුණාම, ඒ මනුස්සයා නැති වුණහම ලොකු හිස්කමක් දැනෙනවා. ගොඩක් අය ඒ හිස්කම ආදරේ කියලා වරදවා වටහාගන්නවා.”

එයා ඒ කියපු දේ ඇහෙද්දී මගේ හිත ඇතුළේ කොහේ හරි ගැඹුරු තැනක පොඩි රිදීමක් ඇති වුණා. මම මතින්ද්‍ර ගැන හිතුවේ ඒ විදියටද? කියලා හිත කොඳුරනවා මට ඇහුණා.

“එහෙනම් ආදරේ කියන්නේ මොකක්ද?” මම ආයෙත් ඇහුවා.

“පුරුද්දක් නැති වුණත්, ඒ මනුස්සයවම ආයෙත් තෝරාගන්න එක,” එයා හරිම සන්සුන්ව කිව්වා.

ඒ වචන ටික මගේ ඔළුවේ දෝංකාර දෙන්න ගත්තා. හේසර කියන්නේ මම පහුගිය අවුරුදු දෙකේම මගහැරපු ඇත්ත, හරිම සරලව මගේ මූණටම කියන පිරිමියෙක්. එයා ඒක කියපු විදියට මට මගේ පරණ මතකයන් එක්ක තිබුණ බැඳීම ගැන ආයෙත් සැරයක් හිතන්න වුණා.

හේසර මගේ ජීවිතේට ආවේ හරියට පරණ පොතක් විදගෙන ඒකෙ ඇතුළටම යන කාවෙක් වගේ. 

මම හදාගත්ත ෆයර් වෝල්ස් වලින් පිරිච්ච, පිට කවරේ ලස්සනට තිබුණට ඇතුළෙන් දිරාපත් වෙච්ච මගේ ලෝකේ ඇතුළට එයා රිංගුවේ මටවත් නොදැනීමයි. මම හිතාගෙන හිටියේ මම හරිම ශක්තිමත්, කිසිම පිරිමියෙක්ට ඇතුළු වෙන්න බැරි විදියට මගේ හිතේ දොරවල් වහලා ඉබි යතුරු දාපු ගෑනියෙක් කියලා. ඒත් හේසර ඒ දොරවල් බිඳගෙන ආවේ නැහැ. එයා කළේ හෙමින් හෙමින් මගේ හිතේ තිබුණ පොඩි පොඩි සිදුරු අස්සෙන් රිංගලා මගේ හුස්ම ගන්න අවකාශෙත් එක්කම මික්ස් වෙච්ච එක.

හේසර ඒ විදියට මගේ හුස්මටත් නොදැනීම රිංගද්දී, මට දැනුණේ මම මෙච්චර කාලයක් ආරක්ෂා කරපු ඒ හුදකලා බව හෙමින් හෙමින් දියවෙලා යනවා වගේ.

 එයා මගේ තුවාල වලට බෙහෙත් දැම්මේ නැති වුණත්, ඒ තුවාලත් එක්කම ජීවත් වෙන්න පුළුවන් බව මට කියලා දුන්නා. ඒක ආදරේමද කියලා මම තාමත් දන්නේ නැහැ. හැබැයි මම දැනගෙන හිටපු එකම දේ, මීට පස්සේ මගේ ලෝකය ආයෙත් කවදාවත් පරණ විදියටම සයිලන්ට් වෙන්නේ නැති බව විතරයි. 

ඒ හින්දම මම ඒ නමක් නැති බැඳීම ඇතුළේ තවදුරටත් මාවම පටලවගන්න ඉඩ දීලා බලාගෙන හිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here