ඔක්තෝබර් මාසෙ විශේෂ වෙන්න හේතු ගණනාවක් තියෙනවා. එයින් විශේෂම හේතුව තමයි ලෝකෙ ඉන්නෙ හැම පොඩ්ඩෙක්වම සමරන ලෝක ළමා දිනය ඔක්තෝබර් පළවෙනිදාට වැටිලා තියෙන එක.
ලෝකෙ කොයි අතේ, කොයි රටේ හිටියත් මේ හැම පොඩි දරුවෙක් ගැනම ආදරෙන් හිතන්න, ආදරෙන් ඒ දරුවො දිහා බලන්න අපි ඕනම කෙනෙක්ට පුලුවන් බව මම අමුතුවෙන් කියන්න ඕන නෑ.
අපේ ආදරණීය පොඩ්ඩො තමන්ගෙ ඉස්කෝලවල, මොන්ටිසෝරි වල ලෝක ළමා දිනය සමරද්දි, නැටුම් ගැයුම් අතරෙ සතුටු වෙද්දි, තෑගි බෝග ලැබෙද්දි, තායිලන්තය පැත්තෙන් අහන්න ලැබුණෙ හිත ගිනි තියන විදියෙ දුක්බර ආරංචියක්.
මොන්ටිසෝරි යන වයසෙ පුංචි දරුවො 25 දෙනෙක් එක්ක එයාලගෙ ආදරණීය ගුරුවරුන් කිහිපදෙනෙකුත් දෙව්ලොව බලා ගිහින් කියන ආරංචිය ලෝකෙ බොහොමයක් හදවත් වේදනාවෙන් ගිනිබත් කරන්න කටයුතු කල බව අමුතුවෙන් කියන්න ඕන නෑ.
Uthai Thani, Wat Khao Phraya Sangkharam කියන පෙර පාසලේ නස් රථයක් Zeer Rangsit ඉදිරිපිට Vibhavadi පාරෙදි ගිනිගන්නෙ පිපෙන්න ඔන්න මෙන්න පෙති විහිදවමින් උන්නු පුංචි මල් කැකුළු 25ක් පිපෙන්නට කලින්ම ආයෙ මිලින කරමින්.
මේ අවාසනාවන්ත සිදුවීමට හේතුව බස් රථයේ ටයරයක් පැලිලා බාධකයක ගැටීමෙන් බස් රථයට ගිනි ඇවිලීම කියලා තමයි විදෙස් ආරංචි මාර්ග වලින් කියවෙන්නෙ.
මාරක අනතුරෙන් කෙටි වේලාවකට පසුව සොයාගත් දර්ශනවල පේන්නෙ රියදුරු ගින්න නිවීමට උත්සාහ කරමින් සිටි නමුත් ඒ තත්ත්වය තමන්ට මැඩලන්න බෑ කියලා තේරුණයින් පසුව ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තියෙන බව.
ඇසින් දුටු අය පවසන්නේ, බස් රථයේ ඉදිරිපස ටයරයක් පුපුරා යාමෙන් පසුව, එය බැංකොක් නගරයට උතුරින් පිහිටි අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් බාධකයක ගැටී ඇති බවය.
ගින්න ඉතා වේගයෙන් පැතිර ගිය නිසා බස් රථයේ සිටි බොහෝ දෙනෙකුට එම වාහනෙන් පලා යාමට නොහැකි වීම තමයි මේ ඛේදවාචකයට හේතුව. තවමත් ගින්න ඇති වූ හේතුව අනාවරණය වී නොමැති අතර, ඉන් බේරී ඇති 19 දෙනාගෙන් 16 ලමුන් සහ තිදෙනෙකු ගුරුවරුන් බව වාර්තා වෙනවා. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ අය රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බවත් තායිලන්තය පැත්තෙන් ඇහෙන කතන්දර අපිට කියනවා.
ප්‍රවාහන අමාත්‍ය Suriyahe Juangroongruangkit පැවසුවේ බස් රථය “අතිශයින්ම අවදානම් සහිත” සම්පීඩිත ස්වභාවික වායු තත්ත්වයක් යටතේ බලගන්වා ඇති බවත් ඒකත් මේ අනතුරට ලොකු හේතුවක් වෙන්න ඇති බව.
“මෙය අතිශයින් දුක්බර සිදුවීමකි” කියලත් ඒ මහතා තමන්ගෙ ප්‍රකාශය ඉදිරිපත් කරනවා. “අමාත්‍යාංශය මෙම තත්ත්වය පිළිබඳව පියවරක් ගත යුතුය. හැකි නම්, මෙවැනි ඉන්ධන භාවිතය මෙම වර්ගයේ මගී වාහන සඳහා තහනම් කිරීමට අත්‍යාවශ්‍ය වේ.” කියල තමන්ගෙ කතාවෙදි කිව්වට, මේ වෙච්ච දේ ආපස්සට හරිගස්සන බැරි බවත්, දිව්‍යලෝකෙ බලා ගිය ඒ පුංචි දරුවො ආයෙමත් මේ ලෝකෙට එන්නෙ නැති බවත් එතුමන් වගේම අපිත් දන්නවා.
සෝදිසි මෙහෙයුමට නායකත්වය දුන් කණ්ඩායම පැවසුවේ සිරුරු දැඩිව පිළිස්සී ඇති බැවින් හඳුනා ගැනීම පවා අපහසු බවය.
මේ වේදනාබර සිදුවීමත් එක්ක එලියට ආව තව කරුණක් වුණේ ඒ දරුවන් සමග බස් රියේ ගමන් කරමින් උන් තරුණ ගුරුවරියකගේ කථාව.
Kanokwan Sripong කියන ඒ තරුණ ගුරුවරියගේ නමත් සමාජ මාධ්‍යවල මේ දිනවල හරිම ඉහළින් සංසරණය වෙනවා මේ සිදුවීමත් සමග සම්බන්ධ වෙලා.
ඒකට හේතුව තමන්ගෙ අවසන් හුස්ම පොද වෙනකම්ම මේ ගුරුවරිය තමන්ගෙන් ඉගෙන ගන්න පුංචි දරුවන්ව බේරගන්න දරපු උත්සහය නිසාවෙන්.
ඒ ගුරුවරිය තමන්ගෙ උපාධිය ලබාගෙන තියෙන්නෙ පසුගිය සැප්තැම්බර් මාසෙ 26 වෙනිදා. ගලවාගැනීමේ කණ්ඩායම ගින්න නිවලා බස් රිය ඇතුලට යද්දිත් පණ සුන් සිරුරෙන් උන්නු ඒ ගුරුවරිය ඉඳලා තියෙන්නෙ තව අහිංසක දරුවෙක්ව ගින්නට අහු නොවෙන්න වගේ තමන්ගෙ තුරුලු රඳවගෙන.
ගුරුවරියක් කියන්නෙ තවත් අම්මා කෙනෙක් කියන්න මං හිතන්නෙ වෙනස් අර්ථකතන අපිට ඉතින් තවත් අවශ්‍ය නෑ. මේ තමයි නූතන ගුරු මාතාවකට දෙන්න පුළුවන් හොඳම නිදසුන. තමන් ආදරයෙන් තුරුල් කරගත්, පරිස්සම් කරගත් දරුවො රෑනත් එක්ක දෙව්ලොව යන්න ගිය ඇයව මුලු මහත් ලෝකයේම හදවත් තුල හැමදාමත් පූජනීය තැනක රැඳේවි කියලා අපි හිතමු!
ඉතින් දහසක් දරුවන්ව සමරන ඔක්තෝබර් පලවෙනිදාවක, පිපෙන්නත් කලියෙන් පරවෙච්ච ඒ පුංචි මල් කැකුළුවලට ආයෙම ඉක්මණින් මෙවන් අනතුරු නොවන ලොවක ඉපදෙන්න ලැබේවා කියලා අපි පතමු!
මේ ලෝක ළමා දිනය වෙනුවෙන් ඒ දරුවො වෙනුවෙන් ඔබේ ආදරය මේ කතාව යටින් ලියාගෙන යන්න කියලත් අපි ආදරයෙන් ඉල්ලා සිටිනවා!