මං ඉඳියෙ පුදුම කම්මැලිකමකින්. ඒක කම්මැලිකමක් කියනවට වඩා ඕනවට වඩා තනි වුනාම දැනෙන එපා වීමක්. මට ඉස්සරනම් ලොකු උවමනාවක් තිබ්බා එහෙම තනියෙන් ඉන්න. ඒ උනට තනියෙන් ඉන්න ගියාම තමයි පිස්සු හැදෙන්නෙ.
මං දවස් තුනක්ම අපාට්මන්ට් එකට වෙලා ඉඳියෙ ඇත්තටම එලියට බහින්න තියා ජනේලයක් ඇරලවත් එලිය බලන්න උවමනාවක් තිබ්බෙ නැති හන්දා. මහ මොකද්ද, වචන වලට හරවන්න තේරෙන්නෙ නැති අමුතුම මූසල බවක් තමයි මගෙ හිත අස්සෙ පිරිලා තිබුනෙ. අද තුන්වෙනි දවස මං අපාට්මන්ට් එක ඇතුලටම වෙලා ඉන්න.මහ අමුතු හැඟීමක් හන්දමයි මං මෙච්චර වෙලා වැටිල කල්පනා කර කර උන්නු තැනින් නැගිට්ටෙ.
මටවත් නොතේරෙන මොකක් හරි හැඟීමක් මට කිව්වා “එළියට පලයං, එළියට පලයං” කියලා. අන්න ඒ වචනෙට ගරුකරලා තමයි මං ඇත්තටම එලියට බැස්සෙ.
මගෙ අපාන්ට්මන්ට් එක තියෙන පාරම අඳුරෙන් පිරිලා තිබ්බෙ. මේ දවස්වල කොහොමත් වැස්සනෙ. අන්දකාරෙ එනවා ඉතින් හවස හතර පහ වෙද්දි. දැන් හවස හයට තියෙන්නෙ ඉස්සර රෑ අටට විතර තියෙන අඳුරක්. මං කලිසමේ සාක්කු දෙකටත් අත් දෙක දාගෙන තමයි පාරෙ වටපිට බල බල ඇවිදන් ගියේ.
වැහිබර ගතිය හන්දද මන්දා පාරෙ වෙනදට තරම් කවුරුවත් ඉඳියෙ නෑ. සාමාන්‍යයෙන් වෙනදට මේ වෙලාවට පාරෙ ලොකු සද්ද බද්ද තිබුනෙ නැතත්, අද අතරින් පතර යන වාහනේක සද්දෙ වුණත් මට ඇහුනෙ වෙනදට වඩා මාර හයියෙන්. හරියට කණ අස්සෙ කීරි ගානවා වගේ.
මං කලේ දිගටම ඇවිදගෙන යන එක. ඇත්තටම විනාඩි ගානකට පස්සෙ තමයි මටත් තේරුනේ මේක මේ මම අවුරුදු ගාණකින් ඇවිදගෙන ගියේ නැති අතුරු පාරක් නේද කියන එක. (ඒකටත් හේතුවක් තිබ්බා. ඒ උනාට ඒ හේතුව මෙතනට එච්චර වැදගත් නැති හන්ද මං ඒක කියන්නෙ නෑ)
මේ පාරත් ඉස්සර වගේම අනික් පාරවල් වගේමයි. ලස්සනට, මිනිස්සු කතා කරන සද්ද, ගෙවල් වලින් එලියට එන කෑම සුවඳවල් වලින් එහෙම පිරිලා තිබ්බෙ. ඒත් දැන් බලන්නකො, හරියට අත ඇරලා දාපු පාලු සොහොන් වත්තක් වගේ.
මෙච්චර වෙලා ඈතින් ඇහිච්ච වාහන සද්ද එහෙම මුකුත් ඇහෙන්නෙ නෑ. වැස්සක් වැටෙන්න ඔන්න මෙන්න වගේ කිය කිය මාවත් කිස් කරගෙන ගිය හුලඟත් එකපාර නැවතුනේ හරියට මොකක් හරි දේකට බයවෙලා වගේ.
මට හිතුනෙ කවුරුහරි මං දිහා බලාගෙන ඉන්නවා කියලමයි.
මගෙ පිටිපස්සෙන් බෙල්ලට හොඳ සීතල හුස්මක් වැටුණා. එක්කෙනෙක්ගෙ නෙවෙයි කීප දෙනෙක්ගෙම. ඒත් සාමාන්‍යයෙන් කවුරුහරි හුස්ම ගන්න කෙනෙක්ගෙ හුස්මෙ තියෙන්නා ඕන උණුහුමක් නේද? සීතලක් නෙවෙයිනෙ?
එහෙම හිතද්දිත් මට දැනුනා මගෙ ඇඟ වෙව්ලනවා. මට ඕන වුනා හැරිලා බලන්න. ඒත් මොනව දකින්න වෙයිද කියන බයේ හිතේ නොතිබ්බ නෙවෙයි. අනෙක් අතට මං කල්පනා කරා “මං මේ හිතෙන් හිතන මනස්ගාත” කියලත්.
හොල්මන් කියලා ජාතියක් මේ ලෝකෙ නෑනෙ. ඉතින් මොකටද බය වෙන්නෙ?
චිරි චිරිස් ගගා නිවි නිවි පාත්තුවෙච්ච වීදි ලාම්පුව දැක්කම නම් මට හිතුනෙ “කවුරු ජනාධිපති උනත් අපෙ රටවල සාමාන්‍යය මිනිස්සු නම් හැමදාම අන්ධකාරෙ” කියල. ඇයි අනේ මේ පාරෙ ලයිට් එකක්වත් හරියට එක දිගට පත්තුවෙන්න හදාගන්න බැරිද මං අහන්නෙ?
මං ආයෙම ඉස්සරහට යන්න හිතුවා. හරිනම් මං ආපස්සට හැරිලා බෝඩිමට යන්නයි ඕන. ඒ උනාට…ඒ උනාට ආපස්ස හැරෙන්න බැරි ගතියක් මගෙ හිතට දැනුනා. මොකක් හරි බයක් හිත අස්සෙ තිබුනා. අඩි තිය තිය ඉස්සරහට යද්දි මට තේරුනා මගෙ පිටිපස්සෙ ඉන්න කෙනත් මාත් එක්කම එන බව.
මට ඇත්තටම ගාථාවක්වත් මතක් වුනේ නෑ. මට තව මේක දරාගන්න බැරි තැනම තමයි මං එකපාර ආපස්සට හැරුණේ. බයෙන් හිටියට කවුරුවත් පිටිපස්සෙ හිටියෙ නෑ. එහෙනම් කොහොමද මගෙ බෙල්ලට සීතල හුස්මක් වැදුනෙ?
ඒ හුස්මක් නෙවෙයි හුලඟ වෙන්නැති කියල හිත රවට්ටගන්න හිතුවට මට බැරිද අනේ හුස්මක් අඳුරගන්න නේද?
මං ආපහු ආපස්සට ආවෙ මාර ඉක්මනට ඇවිදගෙන. ඒ එද්දි තමයි මං දැක්කෙ පාලු පාරෙ එක ගෙදරක ලයිට් දාලා තියෙනවා. මං එද්දි ඒ ගෙදර ඔහොම ලයිට් දාලා තිබ්බෙ නැති බව මට හොඳටම ශුවර්. ඒ උනාට අනේ මන්දා? මං හිතුවෙ දැන් මේ පාරෙ කවුරුවත් නෑ කියලානෙ. මට වැරදිලාද?
මට ඒ ගෙදර අමතක නෑ. මට මතකයි ඒ ගෙදර උන්නු සුභාශ්ව.
සුභාශ්ව කාට අමතක වුණත් මට අමතක වෙන්න විදියක් නෑනෙ. සුභාශ්ව මං තරම් හොඳට කවුරුවත් දැනගෙන උන්නෙ නැතුව ඇති. ඔයාලට කියන්න බැරි වුණානෙ. මම සුභාශ් එක්ක කාලයක් යාලුවෙලා හිටියා. යාලුවෙලා කිව්වට අනේ දන්නෙ නැද්ද මම නම් ඒක ෆ්ලින්ග් එකක් විදියට ගත්තෙ. ආතල් එකට තමයි මං සුභාශ් එක්ක යාලුවෙලා හිටියෙ. එයා කසාද බැඳල හිටිය හන්ද අපි අපේ අෆෙයාර් එක කාටවත් එහෙම පේන්න කරේ නෑ.
ෆෝන් එකෙන් කතා කර එක තමයි වැඩිහරිය කලේ. ඒ කතා කරන ඒවයින් ඉතින් අපි කරන්න ඕන ඔක්කොම ජාතිය කරා කිව්වොත් හරියටම හරි.
සුභාශ්ගෙ නෝන මාර ලස්සනයි. හොඳට උයන්න එහෙමත් පුලුවන්. ඉස්සර මං උයන්න එහෙම කම්මැලි හන්දා සුභාශ් එයාගෙ නෝනට බොරු කියල තව යාලුවෙක්ට කියලා මටත් බත් එකක් අරන් එනවා. එයා මං වැඩට යන්න බස් හෝල්ට් එකේ ඉද්දි දන්න කවුරුවත් පේන්නෙ නැති තැනකින් තමයි මාව කාරෙකට නග්ග ගන්නෙ.
ඔෆිස් එකෙන් බැස්සුවට පස්සෙ එයා හැමදාම මැසේජ් එකක් දානව “පරිස්සමෙන් ආවා නේද?” කියල. හරියට එයා නෙවෙයි වගේ මාව එක්කරගෙන ආවෙ.
මං සුභාශ් එක්ක යාලුවෙලා හිටියෙ ඇත්තටම පොඩි ෆන් එකක් ගන්න. මං හිතන්නෙ නෑ ඒකෙ කිසි වරදක් තියෙනවා කියලා. කොල්ලන්ට පුලුවන් නම් කෙල්ලො එක්ක ආතල් එකට යාලුවෙන්න. කෙල්ලන්ට බැරි මොකෝ කියල තමයි මං හිතුවෙ. ඒ උනාට සුභාශ් නම් උන්නෙ මට වහ වැටිලා වගේ.
ඔයාලා හිතනව ඇති නේ ඇයි අච්චර ලස්සන ශෝක් නෝනෙක් ඉද්දි මේ මං වගේ එකෙක් එක්ක යාලුවෙන්නෙ කියල? ඔය ප්‍රශ්නෙම මාත් සුභාශ්ගෙන් ඇහුවා. එයා නම් කිව්වෙ “මට දැන් ශෙෆාලිව දැනෙන්නෙ නෑ” කියලා.
මට නම් තේරුණේ නෑ ඔය “දැනෙන්නෙ නෑ” කියන එකේ තේරුම මොකද්ද කියලා. දැනෙන්නෙ නැත්තම් මොකටද ඉන්නෙ? කියල තමයි මම ඇහුවෙ.
මට සුභාශ්ව එපා වෙන්න පටන් ගත්තෙ රයන් හම්බුනයින් පස්සෙ. රයන් පුදුම ලස්සනයි.මොඩ්ල් කෙනෙක්. රයන් ලඟදි මට ඇත්තටම සුභාශ්ව මතක් වුණේත් නෑ. කොහොමහරි සුභාශ් නම් ඒකට එච්චර කැමති වුණේ නෑ. එයා මට කිව්වෙම “මං එයාව දාලා ගියොත් එයා මැරෙනවා, එයා කවදාවත් මාව තනි කරන්නෙවත් වෙන කෙනෙක්ට අයිති වෙන්නවත් දෙන්නෙ නෑ” කියලමයි.
“මැරෙන මිනිස්සු කිය කිය මැරෙන්නෙ නෑනෙ” කියලා හිතුවට සුභාශ් මැරුණා. සුභාශ් මැරුණෙ මෙන්න මේ ගෙදරදි. බෙල්ලෙ වැල දාගෙන. කාටවත් හොයාගන්න බැරි වුනා ඇයි සුභාශ් මැරුණෙ කියල. මං බයෙන් හිටියෙ මාව අහුවෙයි කියල. ඒ උනාට මැරෙන්න කලින් මිනිහ මොකක් හරි දෙයක් හන්දා අපේ චැට් ද ඔක්කොම ඩිලීට් කරලා තිබ්බ. පීඩනේ දරාගන්න බැරුව මැරුනෙ කියලා ලියුමකුත් ලියලා හන්දා කේස් එක වැඩි දුර ගියේ නෑ. සුභාශ් මැරිලා තුන් මාසෙ දානෙ දීලා ශෙෆාලි රට ගියා.
ඕව මතක් කර කර තමයි මං සුබාශ්ලගෙ ගෙදර දොර ඉස්සර නතර වෙලා බලන් හිටියෙ, කවුද මේ ගෙදර ලයිට් දාලා තියෙන්නෙ කියලා හිතන ගමන්.
මං මේ කතාව වොයිස් ටයිප් කර කර ඉන්නෙත් එතනට වෙලා.අන්න ඒ වෙලාවෙ තමයි මට මැසේජ් එකක් ආවෙ.
“පරිස්සමෙන් ආවා නේද?”