අලුත් අවුරුද්දක, අලුත් මාසයක අලුත් ම දවසක් උදා වී තිබේ. හැම අලුත් දවසක් ම අලුත් ආරම්භයකි. අයිස් කැප් එකක් හිස පළඳාගත් අමාගී සහස්‍යා මල්වත්තගේ, පිනිබර හිමිදිරියේ ම මිදුලට ආවා ය. ඇය මහ දොර විවර කරන්නේ හඬ නෑසෙන සේ ඉතා හෙමිහිට ය. නැතහොත් අක්කලා දෙන්නාගෙන් කිසිවෙක් බැණවදිති. පිනිබාමින් මිදුලට වී හිඳ පීනස වැඩි කරගන්නවා යි කෑගසති. ඒ ආදරේට බව අමාගී දනී. ඔවුන් කුඩා සන්දියේ ම අම්මා ගෙදරින් වහන් වී ගිය දා පටන් ඇයට අම්මලා දෙදෙනෙක් සිටිති. ඒ අක්කලා දෙදෙනා ය. අම්මා තාත්තාවත් දියණියන් තිදෙනා හා පුතුත් අතැර යන විට අමාගී සහස්‍යා ට වයස අවුරුද්දකි. සාන්වී ලවන්‍යා ට අවුරුදු හයකි. අශ්විනී සවන්‍යා ට දහයකි. සන්දේශ් හිරන්‍ය ට අටකි. දියණියන් ම තිදෙනෙකු හා පුතෙකු අතැර අම්මා කෙනෙකුට වෙනත් පුරුෂයෙකු සමගින් නික්ම යා හැකි ද යන්න, අක්ක නගෝ තිදෙනා ට තවමත් නො විසඳුණු පැනයකි. නමුත් ලෝකයේ එහෙව් දේවල් සිදු විය හැකි බව අත්විඳිනා විට ඔවුහු කුඩා දැරියන් ව සිටියහ.
ළමයි සිව් දෙනා මුතු පොටක් සේ එක්ව සිටිති. තාත්තා ට හුස්ම සේ බැඳී සිටිති. තාත්තා – දුරේෂ් මල්වත්තගේ වූ කලී මල් උයනක් රකිනා උයන් පල්ලෙකු සේ ය. දරුවන් හතර දෙනෙකු ඔහු ට දී බිරිඳ ගෙදරින් අභිණිෂ්ක්‍රමණය කළ දිනයේ ඔහු තමන්ට ම පොරොන්දුවක් දී ගත්තේ ය. ඒ ඔහු ගේ දරුවන්ට කිසි දාක තාත්තා අහිමි නොකරන්නටයි!
අමාගී සේපාලිකා ගස සෙලවූවා ය. එතකොට සිරි සිරි ගා මල් ද පිනි ද තණ පලස මත පතිත වේ. ඇය සීතලෙන් සීත වී යන්නී ය. එතකොට ඕ දෑත් පපුවේ බැඳ ඇය තුළ ම ගුලි වේ.
තවමත් අඳුර යන්තමින් පහව ගියා පමණකි. හරිහැටි හිරු කිරණක් පොළොවට පතිත වී නැත්තේ ය. නොවැම්බර් අග වන විට උඳුවප් ළඟ ය කියා සිහිපත් කරවමින් පොළොවට ගලා හැලෙන සීතල තුනී වී යන්නේ හොඳින් අව් රැල්ලක් වැටුණු පසුයි. ඒ වැහි සිහිල දුරුත්ත ලබත්දීත් නොවෙනස් ය. නමුත් වැහි වලාකුළු අහසේ කුරුමානම් අල්ලනා නොවැම්බර් – දෙසැම්බර් මන්දාරමට අමාගී පෙම්වත් ය. තණ පලස මත දණ හොවාගෙන කොනක සිට සේපාලිකා මල් වට්ටියට එකතු කිරීම හිත දැහැන්ගත කරවනා භාවනාවකි. අමාගී සේපාලිකාවන් අල්ලන්නේ ඇඟිලි තුඩගින් ඉතා පරිස්සමට ය. ඒ එක පෙත්තකට හෝ හානියක් නොවන පරිදි ය. වැහි පොදයකට තැළුණු මල් පෙත්තක් ගැන වුව ශෝක වන හිතක් ඇයට තිබේ!
“එහෙම තමයි… හැම දේම අනිත්‍යයි”
අනිත් අතට ඇය සිතයි.
අමාගී මල් එකතු කොට වට්ටියෙහි අසුරන්නේ ගණන් කරමිනි. එතකොට ඇය වෙන කිසිත් ගැන නොසිතයි. අවධානය බිඳුණොත් මල් ගණන වරදින බැවිනි. දහසකට ආසන්න මල් ප්‍රමාණයක් බොහෝ දිනවල පිපෙයි. ඒ මල් දහස ගණන් කරමින් එකතු කරන්නට අමාගී ට හෝරාවක් පමණ ගත වේ.
මලක් නම් සේපාලිකාවක් සේ විය යුතු යයි ඇය සිතයි. එපමණට ම මෘදු… එපමණට ම සුවඳ… එපමණට ම සරල…
ඔව්! මලක් නම් සේපාලිකාවක් සේ ම විය යුතු!
සේපාලිකා මල් වට්ටියේ දාරයට ඇය සමන් පිච්ච වැලෙන් නෙලාගත් මල් වලින් බෝඩරයක් දැම්මා ය. ඊටත් පිටතින් ඇට්ටේරියා මල් බෝඩරය සැකසුවා ය. සුවඳ!
ඈ මල් එකතු කරගෙන ගෙතුළට යන විට කිරිබත් සුවඳක් හමා ආවේ ය. අශ්විනී හා සාන්වී කිරිබත් වඩවමින් සිටියහ. ගිනි දැල්ලට අල්වා තවාගන්නා කෙසෙල් කොළය මතට උණු උණුවේ කිරිබත් දැමූ විට අමුතු සුවඳක් උපදී. කිරිබත මතට තවත් පොල් කිරි ඉසිමින් කෙසෙල් දලු වලින් තුනී කිරීම ඉක්මනින් කළ යුතු වේ. නැත්නම් කිරිබත තද වන බැවිනි.
“හ්ම්… සුව… ඳයි”
අමාගී අක්කලා දෙන්නා ගේ උරහිස් මතින් එබුණා ය.
“වැඩක් කරල දෙන්න වෙනවට මල් කඩ කඩ ඉඳල එනව මෙතන සුවඳ බලන්න”
“සුවඳ නෙවේ මට රස බලන්න ඕනෙ. අනේ ඒක රසම රසපාටයි ලොකූ… කටක් දෙන්නකො”
කුරුලු පැටියෙකු සේ ඈ මුව විවර කළා ය. අශ්විනී කපාගෙන යන කිරිබත් වලින් අයිනේ තීරුවක් ගෙන නැගණිය ගේ මුවට එබුවා ය. අමාගී කිරිබත් වලින් මුව පුරවාගෙන ම ලොකු අක්කා ගේ කොපුලක් මත සීතල හාදුවක් තැබුවා ය.
“මේකි මිදුලට වෙලා ඉඳල සී…තල වෙලා”
ඇය ආදරණීය තරවටුවක් ද කළා ය.
“ඔයා තමයි මෙයාව නරක් කරන්නෙ ලොකූ”
පොඩි අක්කා ගේ ඒ නෝක්කාඩුවෙහි වන්නේ ද ආදරය ම බව අමාගී දනී.
“ජෙලස් මෙයාට”
කියා ඕ දිව ගියේ සාන්වී අවුස්සන්නට මිස එහෙම හිතිවිලි මාත්‍රයක් හෝ ඇතිව නොවේ.
කිරිබත් මේසය සූදානම් වෙමින් තිබේ. සාන්වී පිත්තල පහන සකසා මේසය මතින් තැබුවා ය. එහි පහළ තැටිය පිච්ච මල් අහුරකින් සැරසුවා ය. අමාගී මල් වට්ටිය බුදු රුව ඉදිරියෙහි පිදුවා ය. සේපාලිකා, සමන් පිච්ච හා ඇට්ටේරියා මල් වලින් නිකුත් වන සුවඳෙන් හැන්දෑ වනතුරු ම ගෙදර පිරී තිබේ.
“තාත්ති එන්න මේසෙ ලෑස්තියි”
අශ්විනී දුරේෂ් ට ඇසෙන සේ හඬගෑවා ය. ඒ වෙත්දීත් මුව දොවා, අල්මාරියෙහි සෝදා නවා තිබූ සරමකින් හා කමිසයකින් සැරසී දුරේෂ් කාමරයෙහි සක්මනේ යෙදී සිටියේ ය. දරුවන් ගේ අම්මා – නිරෝෂා – නික්ම ගියාට පසු වසර ගණනාවක් මේ ගෙදරට අවුරුදු උදා වූයේ නැත. දරුවෙකු ගේ උපන් දිනයකටවත් දුරේෂ් කිරිබතක් නො පිස සිටියේ ය. කිරිබත් යනු සන්තුෂ්ටියේ සංකේතයකි. පුතාලා ට අම්මා කෙනෙකු නොවන ගෙදර කවර සතුටක් ද? නමුත් දූවරුන් යන්තම් තේරෙන වයසට එත්දී ගෙදර පාලනය අතට ගත්තේ ඔවුන් ය.
“ඇයි තාත්ති අපි අපිව දාල ගිය අම්ම කෙනෙක් නිසා අවුරුද්දටවත් කිරිබත් උයන්නැතුව ඉන්නෙ…”
දිනක් සාන්වී එසේ අසත්දී දෙන්නට පිළිතුරක් දුරේෂ් සතු නොවිණ. ඔවුන් වළකන්නට හේතුවක් ඔහු ට තිබුණේ ද නැත.
“තාත්තී”
නැවත ද අශ්විනී ගේ හඬ!
“එනව ආශ් පුතා”
දුරේෂ් ට සිටින්නේ එක් පුතෙකු හා දූවරුන් තිදෙනෙකු වී ද ඒ සිව් දෙනා ම ඔහු ට නම් පුතුන් ය. හැම කෙනෙකුට ම ඔහු අමතන්නේ නමේ කොටසකට පුතා යන ඇමතුම එක් කොටයි.
මල් සුවඳත්, කිරිබත් හා කට්ට සම්බලයේ දෙහි සුවඳත් හරි හරියට ගේ පුරා පැතිරෙමින් තිබිණ. තිර රෙද්ද මෑත් කරමින් දුරේෂ් ආලින්දය හරහා කෑම මේසය වෙත එන විට සාන්වී ලා උණු වතුර ජෝගුවක් මේසයට තබමින් සිටියා ය.
“කෝ මේ අයිය… ඒ ගමන එයාට බුලත් දෙන්න ඕනද කිරිබත් කන්න එන්න කියල… අයියා… අයියා…”
අමාගී සන්දේශ් ගේ කාමරය දෙස බලාගෙන හඬගෑවා ය. ඔහු ගෙන් හාවක් හ්ම්වක් නැත. එබැවින් යුවතිය සන්දේශ් ගේ කාමරය වෙතට ගොස් දොරට තට්ටු කළා ය.
“අයිය… අයිය… තාමත් නිදිද අනේ… ඔන්න මං දොර අරිනවා”
පිළිතුරක් නැති තැන අමාගී දොරගුල කැරකෙව්වා ය. යහන හිස් ය. සන්දේශ් එහි නැත. ඇගේ දෑස් කාමරය පුරා කැරකී ඔහු එහි නොවන බව සහතික කරගත්තේ ය.
“නෑනෙ ඇතුළෙ”
ඒ දෑස් ඊළඟට විශ්මයාර්ථයෙන් කෑම මේසය අසල සිටි අය වෙතට හැරිණ.
“වොශ් රූම් එකේ ඇති”
දුරේෂ් ගණනක් නැතිව කීවේ ය. අමාගී නාන කාමරය දෙසට ගියේ දෙතොල් මුමුණමින් අයියා ට තනිව බැන වදිමිනි.
“මොනා කරනවද මන්ද තාමත් වොශ් රූමෙකේ… ඕකට ගියාම ඉතිං එළියට එන්න හිතෙන්නෑනෙ පැය ගාණකට. සින්දු කියකිය ඇති. බඩගිනියි මටනං ඉන්න බෑ. මේ ගොංවහන්සෙ රෑ ජාමයක් වෙනකල් රෙක්සින් බල බල ඉඳල උදේට නැගිටින්නෙත් නෑ…ඔෆිස් යන්න හිතං ඉන්නෙ කීයටද දන්නෑ”
ඒ සියල් බැණුම්, භූගත ගඟකට වතුර ගිලා බැස්සා සේ එහෙම ම නතර විය. නාන කාමරයේ දොර විවර කොට තිබේ. අයියා එහි නැත. කිසිවෙකු එහි නැත.
“වොශ් රූමෙකෙත් නෑනේ”
ඇය එතැන සිට ම හඬගෑවා ය.
“කොහෙ අන්තරස්දාන වෙලාද මේ හොල්මන”
ඊළඟට ඕ තනිව මුමුණාගත්තා ය.
———💛
ආර්ය නිර්වාන් මහානාම එ් සීතලයේ ම දිය නාගෙන, සළුව ඉණට ඇඳගෙන නාන කාමරයේ සිට කාමරයට පැමිණියේ ය. තවමත් වයස අවුරුදු එකහමාරක් වන ඔහු ගේ සිඟිති පුත් – ආයු – අවදි වී යහනේ වැතිරගෙන ම වට පිට බැලුවේ ය. තාත්තා යහන මත හිඳ කලිසම හඳිනු පුංචි ආයු ට පෙනේ.
“තාත්ති ඔපිත් නන්න”
ඔහු හුරතල් මුදු තානයකින් මිමිණුවේ ය.
“ඔව් මගෙ සුදු මැණික. තාත්ති ඔෆිස් යන්නනෙ. පුතු පැටිය දෝගෙන ඉවරද…”
“ඊලයි. පුතු පැටිය දෝගෙන ඊලයි. අම්මි…”
ආයු ගේ ඇස් කැරකෙමින් හෙව්වේ අම්මා ව ය.
“අම්…මී…”
එසැනෙන් ඔහු හැඬුම්බර වූයේ ය.
“ආ… ඉතිං ඇයි මේ අඬන්නෙ…”
ඇසට පෙනෙන නො පෙනෙන තරම් වන ඉසිහින් කළු කොටු වලින් යුත් සුදු අත් දිග අලුත් ම ස්ලිම් ෆිට් කමිසය ආර්ය ගේ ඇඟට කදිමට ගැලපෙමින් තිබිණ.
“අම්මි කිරිබත් උයනව ඇතිනෙ සුදු පුතුට. අද අවුරුදුනෙ… ම්… අම්මි දැං එයි හොඳේ”
කියමින් කැඩපතෙන් සිය රුව දකිමින් ම ආර්ය කමිසයේ බොත්තම් පෙළ දමාගෙන ගියේ ය. ඔහු ගේ ඇස් සිහින් රේඛා වන් ය. නමුත් තියුණු ය. උස් සිරුර පිරිමි පෞරුෂයෙන් අනූන ය. බොත්තම් පෙළ දිග දිවෙනා දිගු අතැඟිලි පිරිසිඳු පාට ය.
“අම්… මී…”
එක්වර ම ආයු හඬන්නට පටන් ගත්තේ ය.
“අනේ ඉතිං අඬන්නෙපා බබා”
“අම්…මි… මට අම්ම කුක්කු ඕනෙ”
“නිධී… මේ පුතා ඇහැරිල”
ආර්ය එහි සිට ම මුළුතැන්ගෙයට ඇසෙන සේ හඬගෑවේ ය.
“අම්මි එයි දැන්… අඬන්නැතුව ඉන්නකො හොඳේ. තාත්ති අද ඉක්මනට එන්නං පුතු පැටියව පන්සල් එක්කං යන්න. හොඳේ… බබා ආසයි නේද පන්සල් යන්න…”
“බූම් එකෙං… පන්තල්…”
“ඒකනෙ… බූම් එකෙන් පන්සල් යන්නෙ ලොකු කොල්ලොනෙ අනේ. ඉතිං අම්ම කුක්කු ඉල්ලල අඬනවද…”
ආයු ලැජ්ජාවෙන් සිනහ වූයේ ය. ආර්ය පුතාව ඒ විදිහට කතාවට අල්වා ගත්තේ නිධී පැමිණෙන තුරු ඔහු නො හඬවා තබාගන්නටයි. නමුත් ඇගෙන් තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොවේ. දරුවා ආයේ ම කට හදමින් හැඬුම්බර වූයේ මව් කිරි සිහි කරමිනි.
“ඕක තියල එන්නකො අප්ප. මේ ළමය අඬනවනෙ”
එවර ආර්ය ගේ ස්වරයෙහි නොරිස්සුමක් විය. නිධී ඇතැම් විට හැසිරෙන්නේ දරුවා ගැන කිසිදු හැඟීමක් නොමැතිව යයි ආර්ය ට සිතී තිබෙන්නේ වරක් දෙවරක් නොවේ. ආයු හඬත්දීත් ඇය වගක් නැතිව ජංගම දුරකතනයට එබීගෙන සිටින අවස්ථා අනන්ත ය. ඒ වෙලාවට ආර්ය කෑගැසුවොත් ඇය ඒ රුස්සන්නේ ද නැත.
“ඉතිං මං විතරද බලාගන්න ඕනෙ ළමයව… ඔයා ටිකක් නලෝගත්තට මුකුත් වෙන්නෑ”
“මට පුළුවන්ද කිරි දෙන්න… ආ… මට පුළුවන්ද…”
කේත්තිය පාලනය කරගනිමින් ඔහු එපමණක් පවසයි. එතකොට නිධී දරුවා ළඟින් වැතිර ගන්නේ ඔහු ට ද සැර දමමිනි.
“අම්මී… අම්මි ඕනෙ…බබාට අම්ම කුක්කු බඩගිනි”
කියමින් යළිත් ආයු හඬන්නට ගත්දී, කාර්යාලයට යන්නට සූදානම් වූ ඇඳුම් පිටින් ම ආර්ය පුතු වඩාගත්තේ ය. ආයු හඬනවා දකින්නට කොහොමත් ඔහු කැමති නැත. නිධී ට ඒ හැඬුම් ගාණක්වත් නැත. ඔවුන් දෙදෙනා අතරේ නිතර ගැටුම් ඇතිවෙන්නේ මේ කාරණය මතයි.
පුතු වඩාගෙන ම ආර්ය මුළුතැන්ගේ දෙසට ගියේ ය. නිධී කිරිබත් පිසිතැයි ඔහු සිතුවත් එහි ඇති කිරිබතක් නැත. පෙර දා දහවලට පිසූ ආහාර බඳුන් තවමත් පැන්ට්‍රි මේසය මත වේ. ඒවා නිසා පිළුණු සුවඳක් පැතිරේ. කිරිබත් තබා ඔහු කාර්යාලයට යන්නට සූදානම් වෙනවා කියා උදෑසන තේ කෝප්පයවත් පිළියෙල වී නැත.
“නිධී”
ආර්ය තරමක් දැඩි හඬකින් කතා කළේ ය. නමුත් නිධීගේ හඬක් නැත. ආර්ය නැවත ද කාමරයට ආවේ ය. මේස ලාම්පුවට යන්තම් යට කොට ඇති නැවූ සුදු කොළයක් ඔහු ගේ නෙතු ගැටුණේ ඒ අතරේයි. ඔහු වහා ඒ වෙත ගොස් එය දිගැර බැලුවේ ය. ආයු පියා ගේ ගෙල දෑතින් ම වැළඳගෙන කඳුළු බර දෑසකින් බලා හිඳී.
“මාව හොයන්නෙපා. මට ආයෙ එන්නත් බෑ. මං සන්දේශ් එක්ක අලුත් ජීවිතයක් පටංගන්න යනව”
ඒ කවරක් දැයි ආර්ය ට සිතා ගත හැකි නොවිණ. විදුලි සරක හිරියක් ඔහු ගේ සිරුර දිගේ පැතිර යන්නට විය. ඔහු ගේ දෑස් ඒ අකුරු දිග ආයේ ම ගියේ ය. ආයෙ ආයේ ම ගියේ ය. දරුවා යහන මතින් තැබූ ඔහු එහි කොනක හිඳගත්තේ අතින් මුව වසාගනිමිනි. ඔහු ට මහත් උණුහුමක් දැනේ. දිය නෑවේ මීට මොහොතකට පෙර වී ද, දුරුතු සීතල මේ ජනවාරි මුල් ම දිනයේ වැඩියෙන් දැනෙන්නේ වී ද, ඔහු ගේ සිරුර දිග දහදිය රේඛා ගලා බසිමින් තිබිණ. ඊළඟ මොහොතේ නැගිට වීදුරු කවුළුව වෙත ගිය හෙතෙම, තාප්පයෙන් එහා පැත්තේ කොළපාට තණ පලස මැද ඉදි වුණ තනිමහලේ හුරුබුහුටි නිවස දෙස මහලක් ඉහළින් සිට බැලුවේ ය. මේ කිසිවක් නොදැන ඒ නිවස පුරුදු සාමයෙන් හිඳී!