වැරැද්ද

මලිතිගේ උසස්වීම ගැන දැනගත්තා ට පස්සේ අසංකිට කිසිම වැඩක් කරගන්න බැරුව ගියා. කාර්‍යාලයේ නාන කාමරේ ඇතුළට කිහිප වතාවක්ම ගිහින් කඳුළු පිහිදාගෙන ආවත්, අස් වලට කඳුළු එන එක නැවතුණෙත් නැහැ. ඒ මදිවට අංශයේ ඉන්න අය තමන්ට මූණ හරවන් හිනා වෙන විත්තියකුත් අසංකිට පේනවා. මාස ගානක් තිස්සේ ආත්ම ගෞරවය පවා  එහෙන් මෙහෙන් උකස් කරන්න උත්සාහ කරමින්  ලං කරගන්න බලාපොරොත්තු වෙලා හිටපු හීනේ අහිමිවීම අසංකිව උමතු කරවන්න පටන් අරන් තිබුණේ.

දවල් වෙනකොට මලිති ගේ පෙම්වතා මුලු ඔෆිස් එකටම  සංග්‍රහයක් ගෙනල්ලා තිබුණා. ඒකෙන් පස්සේ ආයෙම මලිති ඉස්මතු වෙලා කතා කරන්න ගත්තා.  අසංකි කේක් කෑල්ලක් විතරක් අරගෙන කාර්‍යබහුල විදියට ඇමතුමක් ආ වග පෙන්වමින් කාර්‍යාලයේ පිටුපස කොරිඩෝවට ආවා. චතුරිට ඇමතුමක් ගත්තත් පිළිතුරු ලැබුණේ නැහැ. අසංකි කේක් කෑල්ල උඩ තට්ටුවේ ඉඳගෙනම ඈතට විසි කලා.  ජීවිතෙත් ඒ කේක් කැල්ල වගේ විසි වෙලා ගිහින් නේද කියලා අසංකිට හිතුණා.

අසංකි සඳරුවන් සර්ට ඇමතුම් කිහිපයක්ම ගත්තත් පිළිතුරු ලැබුනේත් නැහැ.  ඒකත් හිතට මහ වදයක් වගෙයි අසංකිට දැනුනේ. ඒ මදිවාට සඳරුවන් සර් අද කාර්‍යාලයේ දකින්නත් නැහැ. 

හවස කාර්‍යාල වෙලාව අවසන් වෙලා ගෙදර යනකල් අසංකි ගෙවලා දැම්මේ ජීවිතේ දිගම පැය කිහිපය. කොහොම හරි හවස බස් එකේ එල්ලුණාට පස්සේ තමයි අසංකිට හුස්මක් වැටුණේ. 

“දෙය්යනේ… මේ මිනිහා මාව කෑවා…”

බෝඩිමට ඇවිල්ලා  ජංගම දුරකතනය අතට ගත්තාම තමා අසංකි චතුරිගේ කෙටි පණිවිඩය දැක්කේ. චතුරි අසංකි එක්ක හිතවත් කාර්‍යාල සගයෙක්.අසංකිගේ සමහර හැසිරිම් ඍජුවම විවේචනය කල කෙනෙක්. 

“සඳරුවන් සර් රට ගිහින් .. දැන් අලුත් එම් ඩී සඳරුවන් සර්ගේ නෝනාලු… මලිතිව රෙකෲට් කරලා තියෙන්නේ සඳරුවන් සර් ලු…”

අසංකි කෝපයෙන් ඇඳ ඇතිරිලි ඇදලා දැම්මා. කොණ්ඩේ කඩා දාගෙන නාන කාමරේ වැටිලා හිටියා. ශවර් එක ඇරලා දාලා ඒ යටට වෙලා   ඔහේ හිටියා. අම්මවයි, අප්පච්චීවයි මතක් වෙලා පපුව පැලෙන වේදනාවක් දැනෙන්න ගන්නකොට අසංකි ජීවිතේ ගැන තීරණයක් ගත්තා.  චතුරිට කෙටි පණිවිඩයකින් තමන්ගේ තීරණය කිව්වා. අම්මට , අප්පච්චි ට ලියුම් කෑලි දෙකක් ලිව්වා. අනෙක් ලියුම අඬ අඬා ලිව්වේ නයනට. අවුරුදු දෙකක වෙලේ ඉඳන් ආදරේ පෙන්න පෙන්න එන ඇස් දෙක අසංකිට මැවිලා පෙනුණා. ඒත් ජීවිතේ පැටලිලා ඉවරයි. පිස්සුවෙන් වගේ ඉලක්ක හඹාගෙන යන්න පටන් අරගෙන තමන්ගේ ජීවිතේ මිණී වල තමන්ම කපා ගත්ත බවත්, ඒ වෙනුවෙන් සමාවෙන්න කියලත් අසංකි හැම ලියුමකම ලිව්වා. 

අසංකි ට සිහිය ආවේ ආරක්ශාකාරී ඇස් දෙකක් යට. අසංකි ආයෙම ඇස් පියාගත්තා. ඊට පස්සේ හැමදේම කලුවර වුණා. අසංකි ට ඒ කළුවර ගැන දැනුණේ බයක්.  ඊට පස්සේ ආයේම අසංකි ඇස් ඇරියා. ඒ ආරක්ශාව පිරුණු ඇස් තවම තමන්ට ඉහළින් පේන බව තහවුරු වෙද්දී අසංකි වට පිට බැලුවා. 

වම් පැත්තේ චතුරියි එයාගේ පෙම්වතයි. අනෙක් පැත්තේ මලිති. අසංකි ආයෙම ඇස් පියාගත්තා.පපුව ඇතුලේ කැකෑරෙන් වේදනාව එලියට පෙනේවි කියලා බය හිතුණා. ජීවිතේ අත හැර ගන්න ගත්ත උත්සාහයත් ව්‍යර්ථ වෙලා ගිහින් වග ඇයට වැටහුණේ  ඒ හැමදේම දැක්කට පස්සේ. 

“මෙහෙම රෙස්ට් කරන්න දෙමු.. නයනයා ළඟ ඉන්නවනේ..”

“ඔව් මචං.. වීකෙන්ඩ් නිසා ලොකු රශ් එකක් නෑ..”

“කවුන්සෛන් සෙශන් එකක් දාලා තියෙන්නේ. උඹ කතා කරලා බලලා මට ඕකේ එක දීපං…”

අසංකිට හීනෙන් වගේ එහෙමත් ඇහුණා.  අසංකි ආයෙම නිදාගත්තා.

“අසංකි…නැගිට්න්න.. ඔයා කාලා බෙහෙත් ටිකක් තියෙනවා බොන්න ඕනි…”

පැය ගානක සුව නින්දකට පස්සේ එකපාරටම ඇස් ඇරුණේ දිව්‍යමය ස්වරේකින්. නයනගේ ඇස් ඉස්සරහ අසංකි උන්නේ පැරදිලා. නයනගේ ඇස් මඟෑරලා සඳරුවන් සර්ගේ කාර් එකට නැඟපු වතාවල් කීයක්ද කියලා අසංකි මතක් කරන්න උත්සාහ කලා. ඒත්, ඒක ගණන් කරන්න පුලුවන් තරමේ නෙවෙයි. 

“මං කවන්නද ?”

අසංකි ඔලුව වැනුවා. ඒත් නයන බලෙන්ම කෑම ටික ලං කරගෙන වාඩි වුණා. අසංකි ගේ ඇස් වලින් කඳුළු බේරෙනවා.

“අඬන්න තිබුණ කාලේ ඉවරයි කියලා හිතන්න….  “

“ආයේ මට හිනාවෙන්න පුලුවන් වෙන එකක් නෑහැ. ප්ලීස්.. මගෙන් ඈතට වෙලා ඉන්න…”

අසංකි නයන දිහාවට අත් එකතු කරලා වැන්දා. 

“අසංකි….”

“ප්ලීස්…. අනේ..”

නයන නිහඬවම අසංකිට කැව්වා. බෙහෙත් ටික බොනකල් බලාගෙනත් හිටියා. ඊට පස්සේ  ලියුම් කවරයක් ගෙනල්ලා දුන්නා. අසංකි ඒ ලියුම් කවරේ ගත්තේ නයන දිහාම බලාගෙන.

“මොකද්ද මේ..”

“බලන්න…”

ඒකේ තිබුණේ කාර්‍යාලයේම  බණ්ඩාරවෙල ශාඛාවට මාරු වීමක්. ඇයගේ ඉල්ලීම මත මාරුවීම ලබා දෙන බව සඳහන් කරලා තිබුණේ මානව සම්පත් කලමනාකාරණ අංශයේ නව ප්‍රධානි, මලිති කාරියවසම්. 

අසංකි නයන දිහා බැලුවේ කිසිම දෙයක් නොවැටහෙන  ගානට.

“අපේ ඉලක්ක වලට යනකොට සමහර දේවල් තියෙනවා, ඒ දේවල් උකස් කරන්න හිත හදාගන්නම හොඳ නැහැ.. සමහර දේවල් තියෙනවා, ඒ දේවල් නැති කරගන්න හිතන්නවත් හොඳ නැහැ…… දැන් ඔයාට අලුතෙන් පටන් ගන්නවෙනවා…”

“බණ්ඩාරවෙල ඔෆිස් එකේ අය මේ දේවල් දැනගනීවි නයන…”

නයන අසංකිට පැහැදිලි කලා, තල වපුරලා කුරක්කන් නොලැබෙන බව. ඒත් වැඩිපුරම හිත රිදවන තැන් වලි ඉවත් වෙලා ඉන්න එකෙන්, හිත ශක්තිමත් කරගන්න ඉඩ ලැබෙන බවත් පැහැදිලි කලා. 

“මං කොහොමද අම්මාගේ මූණ බලන්න්‍ර්‍ර්..?”

“මේ දේවල් අම්මලට පැහැදිලි කරන්න උවමනා නෑ..  ඔෆිස් එකේ අවශ්‍යතාවයක් නිසා ට්‍රාන්ස්වර් එක ගහලා කියන්න… අවුරුදු කිහිපයක් ගෙදර ඉඳණ් වැඩට යන එක ඔයාට හොඳයි… අනෙක, මම මගේ අලුත් ටනල් පහ ගහන්නේ බණ්ඩාරවෙල .. ඔයා එහෙ ඉන්නෙක මටත් පහසුයි…”

නයන එහෙම කිව්වම අසංකි එහෙම නොකියා ඉන්න නයනට බල කරා. ඒත් නයන හිනා වුණා විතරයි.

“මට සමාවෙන්න.. මං ඔයාට ඇත්තටම ආදරේ කලා අසංකි…මං දන්නවා ඔයා මාත් එක්ක හිටිය එච් ආර් එක්සෙකටිව් කම බලාගෙම කියලා … ඒත් මම ආදරේ කලේ ඇත්තටම … ඔයාව ඒ පොසිශන් එකේ තියන්න මට පොඩිවත් දෙයක් කරන්න පුලුවන් වුනේ නැහැ… මලිති සෑහෙන්නම ඉස්සරහි හිටියා කොලිෆිකේශන් වලින්… “

ඒ පණිවිඩය සඳරුවන් සර්ගෙන් කියලා දැක්කම අසංකි ඒ අංකය අවහිර කලා. ඉන් එහාට සඳරුවන් සර් වෙනුවෙන් හැඟීමක්වත් නාස්ති නොකරන්න අසංකි තීරණය කරා. 

උපදේශන වාර දෙකකටම අසංකි සහභාගි වුණේ රෝහල් ගත වෙලා ඉන්න අතරේම. නයන ඒ අවස්ථා දෙකේම අසංකි ළඟ හිටියා.

“මට ජීවත් වෙන්න ආස හිතෙනවා ඩොක්ටර් .. ඒත් මට බයයි..මං මහා වැරදිකාරියක් කියලා දැනෙනවා….”

“අපි හැමෝම එක එක කතාවල වැරදිකාරයෝ දරුවෝ…වැදගත් වෙන්නේ ඒ වැරදි නිවැරදි කරගෙන ජීවිතේ ගෙනියන එක… අනෙක , බය හිතුණම අල්ලගන්න අතක් තියෙද්දී ඇයි ජීවිතේ ගැන ආශාව අතෑරගන්නේ ..”

දෙවෙනි උපදේශන වාරයේ අවසානේදී එහෙම කතා බහක් ඇති වුණා.

.

.

.

අවුරුදු හයකට පස්සේ..,

අසංකියි, නයනයි  කුළුඳුලේ දෙමාපියන් වුණා. අසංකිගේ ව්‍යාපාර ආයතනය නැඟී එන කර්මාන්ත අංශයේ නිර්දේශිත නාම අතරට තේරුන බවට පණිවිඩයක් ලැබුණා. 

“මට ජීවත් වෙන්න ආසයි.. දැන් නම් බයක් දැනෙන්නේත් නැහැ… “

අසංකි නයනගේ උරිස්සෙන් ඔලුව තියාගෙන කියනකොට  අහස පුරාම තිබුණ තරු මල් වැටුණේ නයනගේ ඔලුවට. 

ආදරේ කියන්නේ, සමහරවෙලාවට තමන් විසින්ම පටවගෙන ඉටු කරන වගකීමක් කියලා නයන ආයෙම හිතුවා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles