රන් මල් දම් – 14

දා හතර වැනි රන්දම

මන්දාරම් නිවෙසට එනවිට හතරහමාර වී තිබුණි. නිම්නාවී ඉතා ඉක්මනින් සූදානම් වී, ස්වර්ණාටද වැඳ නිවසින් පිට වූවාය.

” ශෝක් කෙල්ල …”

මන්දාරම් කාමරයට පැමිණි පසු ස්වර්ණා කීවේ මන්දාරම් තරහ අවුස්සවන්නටත් එක්කමය.

” දැන් අපි අවුල් ?…”

සිතූ ලෙසින්ම ඔහු ස්වර්ණා අසලින් හිඳ ගත්තේ එලෙස විමසමිනි. ඉන් පසුවද ස්වර්ණා  දිනය පුරා නිම්නාවී තමා වෙනුවෙන් කරන කියන දේ පවසමින් ඒවා අගය කලාය. ඉතා ඉවසීමෙන් සියල්ල කලමනාකරණය කරගන්නා අයුරු කීවාය.

” අනේ අනේ ..මගේ අම්මට තේරෙන්නෙ නෑනේ ඒ කෙල්ල එහෙම ඉවසීමෙන් ඔක්කොම කරන්නේ අම්මගේ පුතාගේ සල්ලි ඕනෑවට කියලා….”

” අනේ එහෙම නම් නෑ.. සල්ලි නැතත් ඒ කෙල්ල ඉඳී ….”

ස්වර්ණා විශ්වාසයෙන් කීවාය.මන්දාරම් අම්මාගේ විශ්වාසය පිළිබඳව ඔට්ටු දමමින් සිනාසුනේය. අම්මා සිටින්නේ මේ අපහසු කාලය ගෙවා දමා ගන්නට හැකි මානසිකත්වයක නම් සියල්ල හොඳින් විසඳෙනු ඇතැයි මන්දාරම්ට දැඩි විශ්වාසයක් වුයේය. නිම්නාවී නිවෙස තුළ අම්මාට නිසලව, සැනසීමෙන් ගෙවා දමන්නට හැකි පරිසරයක් තනනවා නම්, එයම ගෙවා අවසන් කල නොහැකි තරමේ වටිනාකමකි. තාත්තාගේ මරණයෙන් පසු වුවද අම්මා උන්නේ  හඬා නොවැටී සියල්ල දරාගෙනය. එනිසාම අම්මාට මෙය දරා ගැනීම අපහසු නොවේයැයි සිතිය හැක. එහෙත් සදාකාලිකව එක් තැනකටවී සිටින්නට සිදුවේවිදැයි යන සිතුවිල්ල අම්මාට කිනම් බලපෑමක් කරාවිදැයි මන්දාරම්ට අදහසක් වූයේ නැත.

මන්දාරම් රාත්‍රී ආහාරයෙන් පසු අම්මාගේ ව්‍යායාම වෙනුවෙන් සූදානම් වූයේය. ඇය නාන කාමරයට රැගෙන ගොස් පිරිසිදු කරවා යහන වෙත රැගෙන ආවේය. දෙපා තෙත පිසදා සැත්කම කරන ලද පාදයට යටින් කුඩා කොට්ටය තබා ව්‍යායාම සඳහා ඇයට සුව පහසුව සැලසුවේය.

” අහ්හ් අම්මේ …”

“ම්ම් ….”

” එදා ඔයා කොහෙද ඒ ගියේ ?…”

මන්දාරම් අම්මා දෙස නොබලා ඇගේ ව්‍යායාම දෙස අවධානය යොමු කර සිටින වග පෙන්වමින් විමසුවේය. ස්වර්ණා ඉන් තිගැස්සුණාය. මන්දාරම් කෙදිනක හෝ එම පැනය තමාගෙන් විමසන බව ස්වර්ණා දැන උන්නාය. එහෙත් දින ගෙවී යද්දී ඕ සිතුවේ ඔහු එය අතැර දමා ඇති වගය.  එහෙත් දැන් තමාට එයට මුහුන දෙන්නට සිදුව ඇත.

” කවදාද පුතේ ?….”

” එදා මේ ප්‍රශ්නේ වුන දවසේ අම්මේ … එච්චර දුර … මට කියන්නේත් නැතුව ….”

” මහ දුරක්‍ යැ පුතේ … කඩවතට ගියාම පැය එකහමාරනේ ….”

ස්වර්ණා මන්දාරම්ගේ අවලාදය  ගනනකට නොගත් බව පෙන්වමින් කීවාය. මන්දාරම් ඇය දෙස් හරී බැලුවේ පාදය ඔසවමින් කරමින් තිබූ ව්‍යායාමය නොන්වත්වාම කරමින්මය. ස්වර්ණාද වෙනසක් නැති වග පෙන්වමින් පුතු දෙස බලා උන්නාය.

” මහ දුරක් ද නැද්ද කියනෙක නෙවෙයිනේ වැඩේ ….ඔයා ඔය ගිය ගමන තමයි වැඩේ….”

” මං පොඩි ළමයෙක් නෙවෙයින්නේ පුතේ …”

” අහපු එකට උත්තර දෙන්නේ නැද්ද අම්මේ ඔයා ?.. ඔයාට වෙන්නේ මොකද්ද කියලා මං දැනගන්න ඕනි නැද්ද ?….”

මන්දාරම් එවර දැඩි ස්වරයකින් විමසුවේය. ඔහු ව්‍යායාම කරවීමද මොහොතකට නවතා ස්වර්ණා දෙස බැලුවේය. ස්වර්ණාද පුතු දෙස බලා උන්නාය.

” මං ගියේ කෙනෙක්ව හම්බවෙන්න … ඒත් එයාව මුණ ගැහෙන්න වුනේ නෑ … එච්චරක් ඇති ….”

” කවුද ඒ ?…”

“ඇති කිව්වනේ පුතේ .. ඒක අම්මගේ කතාවක් … ආයෙම අහන්නෙපා මගෙන් …”

” ආහ් එහෙමද? එහෙනම් ඔයත් ආයේ මගෙන් කිසිම දෙයක් අහන්න එපා අම්මේ … “

මන්දාරම් චානකට කෑ ගසා යමක් පවසමින් කාමරය තුලට වැදුනේය. දොර මහා හඬින් වසා දැම්මේය. චානක විත් ස්වර්ණාගේ ව්‍යායාම කරවා, ඇයට කලබල නොවී සිටින ලෙසද පවසා මන්දාරම් සොයා ගියේය.  මන්දාරම් උන්නේ දුම් වැටියක් දල්වාගෙනය. චානක දුම් පානයෙන් තොරය. එනිසාම ඔහු කාමරයට ප්පිවිසියේම මන්දාරම්ට බැණ වැදීගෙනමය. මන්දාරම් ඒ බැණුම් ගනනකට නැතිවා මෙන් ජනේලයෙන් ඉවත බලා උන්නේය. චානකද කිසිත් නොවිමසා යහනේ හිඳ ගත්තේය. මද වේලාවකින් මන්දාරම් ආපසු හැරි අම්මා සමඟ වූ කතා බහ සම්පූර්ණයෙන්ම කීවේය.

චානක විමසිල්ලෙන් එය අසා උන්නේය.

” දවල් මම නිම්නාවිට කතා කල වෙලේ ඒකිත් කිව්වා අම්මා පැයක විතර ඉඳන්  කෝල් එකක කියලා …එච්චර වෙලා කා එක්ක මොනවා කතා කරන්නද බං …”

මන්දාරම් අවසානයේ චානකගෙන් විමසුවේය. චානකටද පිළිතුරු දෙන්නට තරම් යමක් සිහි වූයේ නැත.

” අම්මා මොකක් හරි කරදරේක ද බං ?…”

” පිස්සුද බං උබට …නැන්දා කවුරු හරි  යාලුවෙක් හම්බෙන්න යන්න ඇත්තේ බං …”

“එහෙනම් ඇයි බං කියන්න බැරි ඒක ….”

” අපි ඉස්සෙල්ලාම නැන්දාව සනීප කරගමුකෝ බං ….මේවා ඇදලා ගත්තාම නැන්දාගේ හිත හොඳ නැති වෙනවානේ ….”

” ඒ වුනාට බං මං නොදන්න කතාවක් තියෙනවානේ බං …”

” ඒක නොහිතා ඉඳපං බං .. ඉස්සෙල්ලාම වඩා වැදගත් දේ කරගෙන ඉමුකෝ…”

මන්දාරම් චානක සමඟ එකඟ වූයේය. ඔහු පුස්තකාලය තුලට රිංගාගත්තේය.

විදුලි බල්පය දල්වා අවසන්ව ඉවත බලද්දීම යමක් දුටුවේය.

” ඔබ පිටව යන විට මා නිවා දමා යන්න …”

මන්දාරම්ගේ මුවඟට මන්දස්මිතයක් දැනුණි.  ඇය තමා හ එකට එක කරන්නීය.

නිම්නාවීට වෙහෙස දැනුනා වුවද ඕ උන්නේ ස්වර්ණා තමාව ආදරයෙන් පිළිගැනීම පිළිබඳව සැනසීමෙනි. ඇයට දැනෙමින් තිබූ වරදකාරී  හැඟීම යම් තරමකින් ක්ශය වෙමින් තිබුණි.

නිම්නාවී නිවෙසට එන අතරවාරයේ රැක බලාගැනීමේ යුවතියකට ගැලපෙන ආකාරයේ ඇඳුම් කිහිපක්ද මිලදී ගත්තාය. ඕ ඒ ඇඳුම් යළි දිග හැර බැලුවාය. දිගු සායවල් සහ කෙටි බ්ලවුස කිහිපයක් මිලයට  ගෙන තිබූ නිසා ඕ ඒ ඇඳුම් යලි යල්ලි ගතට තියා බැලුවාය.

” මං සතුටින් … ජීවිතේ සතුටින් ඉන්න නම් තියෙන්න ඕනි සල්ලිම නෙවෙයිනේ ..”

ඕ දින පොතේ ලීවාය.

” ප්‍රේමයේ නිදහස සොයා යමි…”

වස්සාන සිහිනයේ අන්තිම පිටුව සිහි කරමින් ඕ දින පොතේ එහෙමද ලීවාය.

අපේක්ෂා ගුණරත්න  

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles