වදෙන් පොරෙන් කාමරයට් ගෙන ආ මන්දාරම් සයනයට ඇද දැමූ චානක ඔහුගේ පාවහන් ගලවා දැමුවේය. කමිසය සහ බැනියමද බලෙන්ම ගලවා දුවේය. කලිසමද ගලවා දැමුවේය.
” එපා .. හු &* .. එපා .. නිම්නාවී ඒවි … චික් .. ඒකි ලැජ්ජයි යකෝ …”
මන්දාරම් එහෙම කියමින්ද කෑ ගැසුවේය. ඒ අතරවාරයේ එහෙම බළලෙකුද මල්ලෙන් එළියට පැන්නේය. අතට අහු වන මානයේ ජංගම දුරකතනයක් නොවූ නිසා චානකට සාක්ෂි ගබඩා කර ගැනීමේ අවස්තාව මඟ හැරුනේය. එහෙත්, ඔහු යමක් පැහැදිළිවම සපත කරගත්තේය. සිතූ පරිදිම මන්දාරම් වර්ණකුල, ගැහැණු ඇමක පැටලීගෙන ඇත. ඒ ගැහැණු ඇම නිම්නාවීම වීමේ සම්භාවිතාවය සියයට සීයකි.
මේ බේබදු රැයෙකි කොනක අනිවාර්යෙන්ම ඒ ඇමෙහි අයිතිකාරිය වන නිම්නාවී සිටිනවාට සැක නැත. එසේ නොවන්නට මන්දාරම්ට මෙහෙම රැයක් හිටිහැටියේ උදාවන්නේ නැත. චානක මන්දාරම්ව නාන බේසම තුල හිඳුවා වතුර පිරෙන්නට හැරියේය. හිස තෙමෙන සේ ශවරයද ඇරියේය්.
” ඇයි බං මට මෙහෙම කලේ ?.. මොකක්ද මං කරපු අඩුව ?…”
මන්දාරම් අඩ සිහියෙන් චානක වෙත හැරෙමින් විමසුවේය. චානක සියල්ල වටහා ගත්තාක් මෙන් මන්දාරම් දෙස බලා උන්නේ මුවින් ඔහුට නොබනිමිනි. චානක සිතුවේම මන්දාරම්ගේ බීමත්කමට හේතුව නිම්නාවී බවය.
” ඉස්සෙල්ලා නාගෙන වරෙංකෝ .. ගඳේ බෑ උණහපුලුවා ..මට නිදාගන්නත් නෑ මෙතන …. ඇයි මිනිහෝ . බොනවා නම් යකො ඒ පිළිවෙලට බීපංකෝ … චික්…..”
” ඔව් .. දැන් තොපි ඔක්කොමලාට මාව චික් ඇති බං …. හරි කමක් නෑ .. අවුලක් නෑ .. අන්තිමේදී මේ මන්දාරම් චික්….”
මන්දාරම් යළි කීවේය. චානක මන්දාරම්ගේ විකාරරූපී හැසිරීම් වෙත බැණ වදිමින් ඔහු ට ගත දොවාගෙන හිසද සෝදාගන්නට උපකාර කලේය. ඉන් පසුව තුවාය ඔහු වෙත විසි කලේය. මන්දාරම් ගත පිසලාගෙන විත් තුවාය පිටින්ම සයනයට වැටුණේය. චානක ඔහුට බැණ වදිමින් කුස්සියට ගියේය. ඒ යන අතරමඟ ස්වර්ණාගේ කාමරයට එබුණේය. ඕ උන්නෙ යහනේ අඩක් කෙලින්වී හිඳගෙනය,
” අම්මත් එකයි, පුතත් එකයි.. මගේ ඔලුවමයි කන්නේ … නිදාගන්නකෝ අනේ නැන්දේ …”
චානක යළි නොවූ සැහැල්ලුවක් මවාගෙන කීවේය. එහෙත් ස්වර්ණාගේ දැනීම ඉක්මවා යන්නට ඔහුට ඉඩක් ලැබුනේ නැත. මන්දාරම් ඇයගේ පුතුය. ඇයට ඔහු නොදැනෙනවා නොවේය.
” සුදු පුතා බීලා නේද ආවේ /?…”
” ඔව් ඔව්ව් …”
චානකද එය එතරම් ගනනකට ගත යුතු නොවන බව පෙන්වමින් කීවේය. ස්වර්නාගේ හදවත තුල ක්ෂණික ගින්නක් නැඟුණි.
” ඇයි ඒ ?…”
ඕ අහේතුකවම විමසුවාය. චානක දන්නවා වුවද, හේතුවක් නොපවසන බව ඕ දනී. එහෙත් එහෙම නොවිමසා ඉන්නට හිතෙන්නේ නැත.
” කොල්ලන්ට ශොට් එකක් දාන්න හේතු ඕනි නෑනේ නැන්දා.. දුකද, උන් බොනවා… සතුටද ..උන් බොනවා… එහා පැත්තේ එකාට දුකද.. ඒත් බොනවා.. එහා පැත්තේ එකාට සතුටුද ඒත් බොනවා… එහා පැත්තේ එකාගේ යාලුවාට දුකද..ඔන්න බොනවා…එහා පැත්තේ එකාගේ යාලුවාට සතුටුද …ඔයාට කියන්න නැන්දේ කොල්ලෝ ඒත් බොනවා…
එව්වා මේ ඔයාලාගේ කාන්තා මොළේට වැටහෙන්නේ නෑ… ඒ නිසා ප්ලීස් , හොඳ නැන්දා වගේ නිදාගන්නකෝ දැන් .. ඔයා මෙහෙම ඇහැරිලා හිටියා වගේ නෙවෙයි, හෙට උදේට ඔයාගේ සුදු පුතා ඔයා නිදිමරලා කියලා දැනගෙන වරම අතට ගත්තහම එතනත් තැලෙන්නේ මේ අහිංසක චානක.පවුනේ නැන්දේ මම ..”
ස්වර්ණා සයනයේ වැතිරුණාය. එහෙත් නින්දක් නම් අහලකවත් වූයේ නැත. මන්දාරම් මෙතරම්ම රෑ බෝ වී නිවෙසට ආ දවසක් ඇයට මතක නැත. එලෙසින් පැමිණියා වුවද ඔහු නිරතුරු තමා අමතමින් විස්තර අසන්නට අමතක නොකල බව ඇයට මතකය. එහෙත් අද සම්පූර්ණයෙන්ම වෙනස් ය. මන්දාරම් නිවෙසට ආවේම මැදියම් රැයද පසුවීගෙනය. ඒ ආවේද බීමත්වය. ඒ ආවාට පසු තමා දකින්නටවත් නාවේය.
ඒ මදිවාට මන්දාරම් තම අනතුර පසුපස එලවමින් යන එන ඇති බවද ස්වර්ණා දන්නේය. කුමක් සිදුවී ඇතිදැයි දන්නේ නැත. ඔහු කීවේ නම් කිසිවක්ම නොවූ වගය. සියල්ල සාමකාමී වගය. එහෙත්, යමක් සිදුවී ඇත. මහා ගින්නක් ඇවිලෙන බව දැනෙන්නේය.
ස්වර්ණා යමෙකු ඇමතුවාය.
” ස්වර්ණා …”
නිදිබර පිරිමි හඬට ඇයට හැඬුම් නැඟුණි. ඒ පිරිමි හඬ ඒ සුසුම පවා හැඳින්නාය.
” ස්වර්ණා..ඔයා අසනීපෙන්ද ?…. මම එන්නද ?… කෝ මන්දාරම් නැද්ද ?..”
” නෑ ප්රියා .. අසනීපයක් නෙවෙයි … අසනීපයක් නෙවෙයි ..”
” එහෙනම් ?..මේ පාන්දර …”
” සුදු පුතා ගෙදර ආවේ දැන් ටිකකට කලින් ප්රියා … ඒ මදිවට එයා හොඳටම බීලාද කොහෙද ?…මහ සද්දෙන් කෑ ගැහුවත් එක්ක ….”
ස්වර්ණා ට ඉකි ගැසුණි. අනෙක් පසින් උන් පිරිමි හඬ සුසුමක් හෙලුවේය.
” පුතා මොකක් හරි එකකට හිත කලබල කරගෙන ඇත්තේ … කොල්ලා මෝඩයෙක් නෙවෙයිනේ .. ඒක හෙමින් විසඳගනීවි….”
” ඇක්සිඩන්ට් එකෙන් පස්සේ සුදු පුතා මාත් එක්ක ඈතයි කියලා දැනෙනවා ප්රියා …”
” ඒකට හේතුව ඔයා දන්නවනේ ?.. කොල්ලා ඔයා ගැන හිතේ කලබලෙන් ඉන්නවා ඇත්තේ … තනියම ටව්මටවත් නොයන ඔයා මෙච්චර දුරක් තනියෙන් ආවේ ඇයි කියලා හිතන එක සාධාරණයි නේ කොල්ලා …”
” මං ආවේ ඔයාව බලන්නනේ …”
ස්වර්ණා එවර පියෙකුට හේතු කියන දැරියක සෙයින් කීවාය.
” ඉතින් … ඒක පිළිවෙලට ඒ කොල්ලාට කියලා, මගේ කොල්ලාටත් කියලා මේක සහසුද්දෙන් පැහැදිලී කරගමූ කියලා එකනේ මම කියන්නේ …”
” දැන්ම නෙවෙයි ප්රියා …. සුදු පුතාට ගෑණු ළමයෙක් මුණගැහිලා ඒ කටයුතු පිළිවෙලක් වෙනකල් මේ කිසිම දෙයක් දැනගන්න ඕනි නෑ ..”
” හ්ම්ම් … හරි .. ඔයා කියන දෙයක් ස්වර්ණා…”
ඇමතුම විසන්ධි වූයේ තවත් වෙලාවකට පසුවය.පසුව ස්වර්ණා නින්දේ උන්නාය. සැනසීමෙන් නින්දේ උන්නාය.
චානක මන්දාරම්ට දෙහි වීදුරුවක් පෙව්වේය. බලෙන්ම මන්දාරම් සමඟ ඔට්ටු වෙමින් දෙහි වීදුරුව පොවාගන්නට ඔහුට අඩ හෝරාවක් පමණම ගත විය.
” බේබද්දෙක් වෙලා ප්රශ්න විසඳන්න ලෑස්ති වෙන ගොං වස්සා ..”
චානකගේ බැණුම් අවසනක් වූයේ නැත. එහෙත් චානකගේ සිතටද යම් වදයක් නොවූවා නොවේය.
චානක මන්දාරම්ව දන්නේ උසස්පෙල පන්ති වල සිට ය. මන්දාරම් මෙලෙස බීමතින් පිස්සු නැටූ දින ගැන මතක ඇත්තේ එකක් හෝ දෙකකි. ඉන් එක අවස්තාවක් ඔහු පරෙස්සමින් ළඟ තමා උන් ලිපියක් මිතුරන් එක්ව ඉරා දැමූ දිය සවසය. එදින ඔහු පාලනය කර ගැනීම සෑහෙන අපහසු වු බවද චානකට මතකය. අනෙක් දවස පියාගේ මරණයෙන් වසර කිහිපයකට පසු ඔහු විදෙස්ගත වීමට පෙර දිනයක බවද චානකට මතකය. චානක අනෙක් දින පිලිබඳව කල්පනාවේ සිටියදී මන්දාරම්ගේ කාමරයේම පසෙක වු අසුනේ ඔහුට නින්ද ගියේය.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |