ශක්තිමත් මනසකින් පිළිකාව සමඟ සටන් කරන්නෙ කොහොමද?

ජීවිත අවදානමක් ඇති රෝගයකින් පෙළීම රෝගියෙක්ට කායිකව වගේම මානසිකවත් දැඩි බලපෑම් එල්ල කරනවා. 

අවිනිශ්චිතභාවය, ශාරීරික වේදනාව වගේම මානසික අස්ථාවරත්වය ඒ සඳහා හේතුවෙන්න පුළුවන්.

මේ තත්වය පිළිකා රෝගීන් සඳහා විශේෂයෙන්ම සහ ඍජුව බලපාන නිසා පිළිකා රෝගී තත්ව සඳහා ප්‍රතිකාර කරද්දි රෝගියාගේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යය ගැනත් එකලෙසම අවධානය යොමුකරන්නෙ ඒ නිසයි. 

ඔබට හෝ ඔබේ සමීපතමයෙක්ට පිළිකා රෝගී තත්වයක් ඇති බව හඳුනාගත්තොත් බාහිර ප්‍රතිකාර සමඟම ශක්තිමක් මානසික සෞඛ්‍යයක් ඇති කරගෙන ඒ සමඟ සටන් කරන්නෙ කොහොමද කියන කාරණාව ඔබත් එක්ක කතා කරන්නයි මේ ලිපියෙන් අපි අද සූදානම් වෙන්නෙ. 

පිළිකා සඳහා ප්‍රතිකාර ලබන රෝගීන් තුන් දෙනෙක්ගෙන් එක් අයෙක් මෙසේ මානසික ආතතිය (distress), සාංකාව (anxiety) සහ මානසික අවපීඩනය (depression) වගේ මානසික අස්ථාවර වීම් වලට ලක්වෙන බව සොයාගෙන තිබෙනවා. 

ඒ නිසා මුලින්ම ඒ රෝග ලක්ෂණ ගැන සැළකිලිමත් වීම ඉතාම වැදගත්.

මානසික ආතතියෙන් (distress) පෙළෙන පුද්ගලයන් අතර,

දුක, බය සහ තරහව වැනි සිතුවිලි,

අසරණභාවය, බලාපොරොත්තු සුන්වීම සහ සෑම දෙයක්ම පාලනයෙන් තොරවීම පිළිබඳ හැඟීම්,

සමීපතමයන්ගෙන් ඈත්වීම සහ 

ජීවිතයේ අරමුණු සහ අර්ථය පිළිබඳ අවිනිශ්චිතා ඇතිවීමත්, 

මානසික අවපීඩනයෙන් (depression) පෙළෙන පුද්ගලයන් අතර, 

ඔබ මෙතෙක් කල් ආසාවෙන් සිටි දේවල් පිළිබඳ තවදුරටත් ආසාවක් නොමැති වීම, 

චකිතයක් හෝ වරදකාරී හැඟීම් ඇතිවීම,

නින්ද නොයාම හෝ අධික ලෙස නින්දයාම හෝ නින්දේදී බියකරු සිහින දැකීම,

යම් දෙයකට අවධානය යොමු කිරීම අපහසු වීම,

ඔබටම රිදවා ගැනීමට හෝ සියදිවි නසා ගැනීමේ හැඟීම් ඇතිවීම,

හද ගැස්ම වේගවත් වීම, හිසේ කැක්කුම, කට වියළීම, අධික ලෙස දහඩිය දැමීම හෝ උදරාබාධ වැනි තත්වයන් ඇතිවීමත්,

සාංකාවෙන් (anxiety) පෙළෙන පුද්ගලයන් අතර, 

පාලනය කළ නොහැකි කනස්සල්ල,

සිතුවිලි පාලනය කරගත නොහැකි වීම,

වෙව්ලීම,

මාංශපේෂී වලට ආතතියක් දැනීම,

නොසන්සුන් බව,

වියළි මුඛය සහ

පාලනය කරගත නොහැකි කෝපය ඇතිවීමත් හඳුනාගන්න පුළුවන්. 

මේ මානසික අස්ථාවර වීම් පිළිකා රෝගී තත්වය සමඟ ඇතිවෙන කම්පනය නිසා වගේම පිළිකා රෝගයට ලබාදෙන ඖෂධවල අතුරු ආබාධ ලෙසත් ඇතිවෙන්න පුළුවන්. 

ඔබට හෝ පිළිකා තත්වයක් ඇතිබව හඳුනාගත් ඔබේ සමීපතමයෙක්ට මෙම රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම ප්‍රතිකාර ලබන වෛද්‍යවරයා හමුවී මූලික උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත්. 

ඔබට පිළිකා තත්වයක් ඇතිබව හඳුනාගත්තොත්, 

සුදුසුකම් ඇති මනෝ වෛද්‍යවරයෙක් සහ උපදේශකයෙක් හමුවී නිවැරදි වෘත්තීය උපදේශනයක් සහ සහයෝගයක් ලබා ගැනීම ආරම්භ කරන්න,

ශාරීරික අපහසුතා ඇතිවෙන අවස්ථා වලදී සහ ඔබට උදව් අවශ්‍ය යැයි හැඟෙන අවස්ථා වලදී ඔබේ සමීපතමයන්ගෙන් සහ උදව් කරන්නට ඉදිරිපත් වන්නන්ගෙන් උදව් ලබා ගැනීම,

එදිනෙදා සිදුවෙන සිදුවීම්, විශේෂ අවස්ථා, විශේෂ පුද්ගලයන් සහ ඔබේ හැඟීම් දැනීම් පිළිබඳ සටහන් කරගෙන යන දිනපොතක් පවත්වා ගෙන යාම, 

ඔබ කැමති විනෝදාංශයක නිරත වීම,

ලස්සනට සහ පිරිසිදුවට සිටීම (ප්‍රතිකාර සමඟ හිසකෙස් අහිමි වෙනවා නම් ඔබට කෘතිම කෙස් කළඹක් පළඳින්න පුළුවන්) සහ

ශරීරයට අපහසු නොවන ඇවිදීම, දිවීම, පිහිනීම වගේ සරල හෝ ව්‍යායාම් වල නිරත වීම වගේම නිර්දේශ කරන ලද වෛද්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීමත් සායන සහ පරීක්ෂණ වලට නියමිත දින වලදී සහභාගී වීමත් ඉතාම වැදගත්.

අතීතයේ කළ කී දේවල් පිළිබඳ පසුතැවීම හෝ අනාගතයේ විය හැකි දේවල් පිළිබඳ අසීමිත ලෙස බලාපොරොත්තු ගොඩනඟා ගැනීම ඕනෑම පුද්ගලයෙක්ට සුදුසු නොවෙන්නෙ අතීතය වෙනස් කිරීමට හෝ අනාගතය මෙසේ වේවි යැයි උපකල්පනය කිරීමට අපි කිසිවෙකුට හැකියාවක් නැති නිසයි. 

ඒ නිසා වර්තමානයේ ජීවත් වීම සහ මේ ගත කරන මොහොත සතුටින් සැහැල්ලුවෙන් ගත කිරීමට ඔබ වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්. 

ඔබේ සමීපතමයෙක්ට පිළිකා තත්වයක් ඇතිබව හඳුනගන්න ලැබුනොත් ඔවුන් වටා සිටින පිරිස කලබලයට පත්වීම අතිශය ස්වභාවිකයි.

නමුත් ඔබ නොසිතා වුනත් මේ මොහොතේ කරන සමහර දේවල් නිසා පිළිකා රෝගය ඇති පුද්ගලයා තවත් පීඩාවට පත්වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. 

ඒ පිළිබඳව වඩා වැදගත් වෙන්නෙ ඒ නිසයි.

ඔබේ සමීපතමයෙක්ට පිළිකා තත්වයක් ඇතිබව හඳුනා ගත්තොත්, 

ඔවුන් සමඟ ගණුදෙනු කළ යුතු ආකාරය පිළිබඳ වෘත්තීය උපදෙස් ලබාගන්න. පිළිකා තත්වය ඇති තැනැත්තා ඔබත් සමඟ නිරතුරුව ගණුදෙනු කරන සමීප පුද්ගලයෙක් නම් මෙය ඉතාම වැදගත්. මනෝවෛද්‍ය උපදෙස් සහ උපදේශන හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගන්න,

ඔවුන්ගේ හැඟීම් වලට සහ ඔවුන් පිළිබඳ සංවේදීව කටයුතු කරන්න, 

ඔවුන්ට සවන් දෙන්න, 

හැකි සෑම විටම ඔවුන් පෙර සඳහන් කර මානසික රෝග ලක්ෂණ වලින් පෙලෙනවාද යන්න සම්බන්ධව විමසිල්ලෙන් කටයුතු කරන්න, 

ඔවුන් අකමැති විවිධ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ පවසන්න හෝ අකමැති පුද්ගලයන් සමඟ කතාබහ කිරීමට ඔවුන්ට බල නොකිරීම,

ඔවුන් සමඟ ඇවිදීම, දිවීම වගේ සරල ශාරීරික අභ්‍යාස වල සහ විනෝදාංශ වල නිරත වීම,

පිරිසිදුව ලස්සනට සිටීමට වක්‍ර ලෙස ඔවුන්ව යොමු කිරීම සහ උනන්දු කිරීම ඉතාම වැදගත්.

නමුත් ඔබ හොඳින් මතක තබාගත යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි, කුමන තත්වයක සිටියත් අපි ඕනෑම කෙනෙක්ගෙ පෞද්ගලික ජීවිතයට ඕනෑවට වඩා බලපෑම් නොකළ යුතුයි වගේම එකිනෙකාගේ පුද්ගලිකත්වයට ඉහළින්ම ගරු කළ යුතුයි කියන කාරණාව.

ඔවුන් ඔබ හමුවේ විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට අකමැති නම් බලෙන් ඔවුන් සමඟ ඔවුන්ගේ රෝගී තත්වය පිළිබඳව කතා නොකිරීමත් ඔවුන්ට වෙනදා මෙන් සාමාන්‍ය පරිදි සැළකීමත් විශේෂ සැළකිලි නොකිරීමටත් ඔබ වඟබලා ගත යුතුයි.

නමුත් ඔවුන්ට නොදැනෙන පරිදි පෝෂ්‍යදායී ආහාර වර්ග පිළියෙල කර දීම, ඔවුන්ට ආරක්ෂාව සහ රැකවරණය ලබාදීම, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන් නිසිපරිදි ප්‍රතිකාර ලබාගන්නවාද පිළිබඳව සැළකිලිමත් වෙන්න ඔබට පුළුවන්. 

ඒ වගේම, ඖෂධ සමඟ ඔවුන්ගේ රූපයේ විවිධ වෙනස්කම් සිදුවෙන්න පුළුවන්. ඒව විශේෂ කොට සළකන්න එපා.  

මානසික සෞඛ්‍ය යහපත් සහ ශක්තිමත් වෙන තරමට පිළිකා තත්වය සමඟ සටන් කිරීමට වඩා වැඩි ශක්තියක් යොදවන්න ඔබට පුළුවන්. ශාරීරිකව ලැබෙන ප්‍රතිකාර තරම්ම මානසික සෞඛ්‍ය යහපත් වෙන්නෙ ඒ නිසයි. 

ඒ නිසා, මේ ලිපිය ඔබට වැදගත් වෙන්නට ඇතැයි අපි විශ්වාස කරනවා.

මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සුවෙන්, සතුටින් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා  

Related Articles

Don't Miss


Latest Articles