සන්දේශ් වෙත වූ පිරුණු බව ඇදී ගොස් ඔහු මඳක් කෙට්ටු වී තිබිණ. ඇස් වල ලා රත් පැහැයක් තැවරීගත් අතර ඒවායේ දුක්බර බවක් වූයේ ය. යතුරුපැදිය ගේට්ටුවට මඳක් ඔබ්බෙන් නතර වෙත්දී මුලින් ම අමාගී ඒ වෙත දිවගෙන ගියා ය. සන්දේශ් බයිසිකලයෙන් නො බැස, කකුලක් බිමට තබාගෙන එහි වාඩි වීගෙන ම සිටියේ ය. අඩු තරමින් ඔහු හෙල්මට් එක හෝ ගැලෙව්වේ නැත. සති අන්තයේ දවසක් නිසා ගේ ළඟට එන්නට හෙතෙම කොහොමත් පසුබෑවේ ය. ගෙවල් දෙකේම පිරිස සිටිනා බැවිනි. ඔවුන් ඔහු ගැන දරනා ආකල්පය ගැන නිවැරදි චිත්‍රයක් සන්දේශ් ට නො විණ. අක්කා ගේ ළඟට විත් සමෝසා ගෙන යන ලෙස පැවසූ විට ද හෙතෙම අදිමදි කරමින් “ඕනෙත් නෑ ලොකූ” යි කීවේ ය. මේ ආවේ අශ්විනී ගේ බලකිරීමටයි.
අනපේක්ශිත ලෙස අමාගී දිවැවිත් ඔහු ගේ බඳ වටා දෑත් යවා තදින් ඔහු වැලඳ ගත් විට සන්දේශ් ගේ ඇස් තෙත් විය. කතා කරගත නො හැකි ලෙස ඔහු ගේ හදවත අධි පීඩන කලාපයක තෙරපුමෙන් හිර විය.
“අයිය”
අමාගී ට වුව කියාගත හැකි වූයේ එපමණකි. අශ්විනී හා සාන්වී ද මහානාම ගෙදර පිරිමි ළමයින් තිදෙනා ද ඔවුන් වෙතට පැමිණෙමින් සිටියහ. සන්දේශ් ට දැනුණේ කිසිවෙකුට මුහුණ දිය නො හැකි අසීරුවකි. එය අවාසනාවක් බවට මේ මොහොත සාක්ෂි දරයි. යමෙකු ජීවත් විය යුත්තේ වෙනකෙකුට මුහුණ දිය නො හැකි තරම් වරදක් තමන් අතින් නො සිදු වන සේ ය. එහෙම මොහොතක හුස්ම ගැනීම පවා අසීරුවකි.
“කොහොමද මචං…”
ශාක්‍ය සන්දේශ් ගේ උරහිසකට තට්ටුවක් දැමුවේ ය. හෙල්මට් එක නො ගලවා සිටින එක පහසුවක් සේ සන්දේශ් ට දැනිණ. මේ, පොළොවේ වළක් හාරාගෙන හැංගෙන්නට හිතෙන නිමේශයකි.
“උඹට අවුල් කියල තේරෙනව. ඒත් ගණං ගන්නෙපා. අපි දැං දන්නවනෙ සිද්ද වුණ දේ”
“ඇත්තටම අපේ ගෙදරනං කිසිම අවුලක් නෑ සන්දේශ් උඹ එක්ක. දුරේ අංකල්ගෙ නීතියනෙ ඉතිං උඹලගෙ ගෙදර තියෙන්නෙ”
“හිතාමතා උඹලගෙ ගෙදරට වරදක් කරන්න මට ඕන වුණේ නෑ බං. හැබැයි ඉතිං නොහිතා කළත් ඒක වරදක් කියල දැං මං දන්නව. මේ දේවල් මෙච්චර දුර දිග ගියේ මං දුර දිග නොහිතා නිධීගෙ වචන විශ්වාස කරපු නිසයි එයාට අනුකම්පා කරන්න ගිය නිසයි”
“අපිත් කොල්ලොනෙ බං. අපිට තේරුං ගන්න පුළුවන්”
“අනේ ඔයා නැතුව ගෙදරම පාළුයි අයියෙ. අපිට ආයි ඉක්මනටම ඉස්සර වගේ සතුටෙන් ඉන්න ඕන අයියෙ”
“තාත්තිට කතා කරල සමාව ගන්නකො අයියෙ. දැන්නං ඔයාට යන්න දෙන්න හිතෙන්නෑ අප්ප”
සන්දේශ් ඉකිලමින් හඬන්නට තරම් හැඟුම්බර වී සිටියේ ය. කෙනෙකුට සිය ජීවිත කාලය තුළ ලැබිය හැකි ලොකු ම දඬුවම සිය පවුල අහිමි වීමයි. එය වඩාත් ආදරණීය පවුලක් වෙත්දී දඬුවමෙහි රිදුම වැඩි ය. නො ගිනිය හැකි තරම් කෙනෙකු නිසා එහෙව් වටිනාකම් ඇති මිනිසුන් අහිමි කරගන්නට සිදු වීම කෙතරම් නම් අවාසනාවක් ද?
ගේට්ටුව ඉදිරිපිට සිදුවන මේ දර්ශනය දෙස යොමාගත් ඇස් හතරක් තිබිණි. ඉන් එක් දෑසක හිමිකරුවා දුරේශ් මල්වත්තගේ ය. මඳ වෙලාවක් සිය දරුවන් දෙස බලා උන් හෙතෙම ඉක්මන් කොට නාන කාමරයට වැදුණේ ය. ඒ දසුන ඔහු නො දුටු සේ ඉන්නා එක වඩා හොඳ ය. දුරේශ් ට දිය නාගෙන පිටතට එන්නට සැලකිය යුතු කාලයක් වැය වේ!
අනිත් දෑස ආර්ය ගේ ය. හදිසි සුළඟක් සේ ඇවිත් අමාගී සමෝසා දෙකක් ද සෝස් බෝතලය ද දී ගිය ඉක්බිති, ඔහු බර වූ හදින් සමෝසා එකක් කන්නට පටන් ගත්තේ ය. ඕනේ නම් අමාගී ට එය ගෙන ඔහු වෙත නො එන්නට තිබිණ. තරහක් පෙන්වූව ද ඇගේ හැම හැසිරීමක ම දැන් දැන් ඔහු ට දැනෙනුයේ මින් පෙර නො විඳි යමකි. රැවුමක් තියාගෙන බැලුවා වී ද ඒ දෑස් පත්ලෙහි තිබෙනුයේ ආදරය ගැන කතාවක් නො වන්නේ ද? ළමා වියට පස්සේ ම ආර්ය ට අමාගී කෙලින් සම්මුඛ වී නැත. ඇය හැම විටෙක ම ඔහු මගහැරියා ය. නිරන්තර ඇගේ කෙළිලොල් සිනා කතා හඬ මහානාම ගෙතුළ පිළිරැව් දුන්න ද ඔවුන් දෙදෙනා අතරේ වචනයක තබා බැල්මකවත් හුවමාරුවක් සිදු වී නැත්තේ ය. නිධී ගේ නික්ම යාමත් සමග ආයු නිසාවෙන් අහම්බෙන් දුටු ඇගේ දෑස් වල පුරාතන ආදරයක සෙවණැලි සසැලෙන බව වටහා ගන්නට බැරි කමක් ආර්ය ට නැත. අමාගී ඔහු වෙතට එන, ඔහු සමගින් හේතුවක් ඇතිව හෝ නැතිව පැටළෙන්නට හදනා හැම වතාවක ම ඒ පුරාණ ආදරය ආර්ය ගේ පිරිමි හද සසලවයි. ඔහු බියෙන් ගල් කරයි. මේ විදිහට ඈ ඔහු ට යළි සමීප වීමට උත්සාහ කිරීම තුළ යහපත් වූ කිසිවක් සිදු විය නො හැකි බැව් ඔහු ගේ පිරිමි ඉවට දැනේ.
ආර්ය සන්දේශ් ඇතුළු පිරිස දුටුවේ කාමරයේ ජනේලයෙන් අමාගී ගේ ගෙදර දෙස බලත්දී ය. ආගන්තුක ගින්නක් ඔහු ගේ බඩ පපුව දවමින් පැතිර ගියේ ය. නමුත් ඔහු හැඟීම් වලට වහල් නොවී බුද්ධියට ඉඩ දෙන උත්සාහයක් දැරුවේ ය. නිධී යනු කවුරුන්දැයි ඔහු ට නිශ්චය කරගත හැකි වූයේ සන්දේශ් නිසාවෙනි. නිධී අවංක ගැහැනියක, බිරිඳක, අම්මා කෙනෙකු වී නම් සන්දේශ් ලා දහ දෙනෙකුටවත් ඇගේ හිත හෙළවිය හැකි නොවනු ඇත. ඒ අනුව සන්දේශ් වූ කලී වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයක් සේ සැලකිය යුතු නො වන්නේ ද? ඔහු සමෝසා එකක් ඉක්මනින් අවසන් කොට පහළ ට බැස්සේ ය.
ආර්ය සන්දේශ් වෙතට එත්දී එතැන සිටි හැම හදවතක ම ගැස්ම තීව්‍ර වන්නට ඇත. නමුත් කිසිවෙකුට කිසිත් වෙනස් කරන්නට තරම් වෙලාවක් තිබුණා නොවේ. ආර්ය පැමිණ සන්දේශ් ගේ උරහිස මතින් අතක් තබා කතා කළේ ය.
“සන්දේශ්”
සැබවින් එතැන පොළොව පලාගෙන හැංගෙන්නට පිළිවන් කමක් වී නම් සන්දේශ් එසේ කරනු ඇත. ආර්ය බැන්නා නම්, දොස් කීවා නම්, නොමනාප සරක්වත් වී නම් ඒ පසුතැවීම නො දැනෙන්නට තිබිණ.
“සන්දේශ් වැඩකට යන ගමන්ද…”
“න්…නෑ ආර්ය”
“එහෙනං අපි ඔහොම යමිං ගමං පොඩ්ඩක් කතා කරමුද…”
කියමින් ආර්ය යතුරුපැදියේ පසුපස අසුනට ගොඩ වූයේ ය. හැම ඇසක් ම විසල් ව දැල්වී ගති. කාටවත් හුස්ම ගන්නට පවා අමතක වෙන්නට ඇත. අශ්විනී සමෝසා පාර්සලය මල්ලි ගේ පිටේ එලලී තිබි බෑග් එකේ සිප් එක විවර කොට ඇතුළට දැමුවා ය. කාටත් ‘යනවා’ කියන පොදු බැල්මෙන් යුතුව සන්දේශ් යතුරුපැදිය පණ ගැන්වී ය.
“ආයුව චුට්ටක් බලනවද අමාගි…”
අන්තිම මොහොතේ දී ආර්ය ආචාරශීලී ලෙස ඉල්ලීමක් කළේ ය.
උගුර කට වියළී ගිහින් ඇත්තා සේ අමාගී ට දැනිණ. ආර්ය ගෙදර ඉන්නා වෙලාවක මේ විදිහට අයියාව ගෙන්වා ගත් එක වැරදියි කියා ඇයට සිතිණ. හඬන්නට ඕනේ වුණත් කඳුලු වියළී ගිහින් වාගේ ය.
“ලොකයිය… අපේ අයියට ගහයිද…”
අන්තිමට ඇය ඉතා අසීරුවෙන් බිඳුණු හඬින් අසාගත්තා ය. ශාක්‍ය ඇගේ උරහිස වටා අතක් දමා සැනසුවේ ය.
“මං හිතන්නෙ ආර්ය එහෙම කරන්නැති වෙයි. මං දන්න ආර්ය හරි ඕතන්ටික් මනුස්සයෙක්. හැබැයි එයා මල්ලිට ගැහුවත් අපිට තරහ වෙන්න බෑ සුදූ”
ආශ්විනි ගේ ස්වරය පහළ පරාසයක වූ මුත් ස්ථායී වූයේ ය.
ආර්ය සන්දේශ් සමගින් ගියේ දුරකට නොවේ. එළිමහන් අවන්හලක දී ඔවුහු බීර උගුරක් තොල ගාමින් මඳක් කතා බහ කළහ. ආර්ය ට ඕන වී තිබුණේ සන්දේශ් සමගින් අමනාපයක් නොවන බව ඔහු ට සේ ම තමන්ටමත් ඒත්තු ගැන්වීමට විය යුතු ය. අමාගී වෙනුවෙන් එහෙම කරන්නට හිත ඔහු ට බල කොට සිටියේ ය.
“උඹ ගෙදර වරෙං. මගෙ කිසි අවුලක් නෑ”
යනුවෙන්, ගෙදර පැමිණීමට ටැක්සි රියකට නැගෙන්නට පෙර ඔහු කීවේ ය. සන්දේශ් දෙතොල් තද කොට සපාගත්තේ ය.
ඕනවට වැඩියෙන් හොඳට දේවල් සිදු වෙන එකත් විටෙක අමුතු ය. සුනාමි පැමිණීමට පෙර මුහුද වඩාත් සන්සුන් වන බවක් කියවේ. ඊළඟට උදා වූ දවස් වල වූයේත් ඒ සාමකාමී බවයි.
සතියේ දින වල ගෙවල් දෙක ම පාළු ය. නිහඬ ය. මේනකා ආයු සමග සිටින නිසාවෙන් අමාගී වැඩිපුර එහි යන්නේ නැත.
“ඔය මේනකාට එන්නෙපා කියන්න. මට පුළුවං ආයු බලාගන්න”
කියා ඇය වරක් ආර්ය ට තදින් කීවා ය. ඒ ආයු වැටී හොඳට ම හඬා හෙම්බත් වූ දිනෙක ය. ආර්ය සන්සුන් කෘතඥ සිනහවකින් අමාගී දෙස බැලුවේ ය.
“සමහර වෙලාවල් එහෙම තමයි අමාගි. ඇහැ ගහගෙනම හිටියත් ළමයි වැටෙනව. අපි තව ටිකක් බලමුකො. ඔයා ආයුට ආදරේ වුණාට හැමදාම අනුංගෙ ළමයෙක් බලාගන්න වැඩේ කරන්න බෑ”
ආර්ය එසේ කීවේ ඉතාම පරිස්මෙන් වචන තෝරාගෙන වී ද, ‘අනුංගෙ ළමයෙක්’ යන වචන දෙක හිතට ගෙන අමාගී දින කිහිපයක් ම හිතෙන් පුපුරමින් සිටියා ය. මේ දිවා කාලයේ ඇය මිදුලට බැස්සේ බංකුව මතට වී පොතක් බලන්නටයි. මේනකා ආයු වඩාගෙන ගේට්ටුවෙන් පිටත පාරේ සිටියා ය. පාරේ වාහන පෙන්වමින් ඔහු ට කෑම කවාගත හැකි බවට අදහසක් ඈ මණී ගේ මනසට ඇතුළු කොට තිබිණි. ත්‍රීරෝද රියක් පාරේ පහළට යනු අඩක් විවර වී තිබි ගේට්ටුව අතරින් අමාගී දුටුවා ය. එහි පිටුපස අසුනේ හිඳ සිටි රුව නිධී ගේ වාගේයි ඇයට සිතුණේ හදිසියේ ම ය. කිසිදු සිතිවිල්ලක් හිතට එන්නටත් පෙර අමාගී වහ වහා ගේට්ටුවෙන් පිටතට විත් මහානාම ගෙදර දෙසට හැරුණා ය. ගේට්ටුව පසු කොට ත්‍රිරෝද රිය නැවතිණ. අමාගී වහාම මේනකා අතේ උන් ආයුව දෑතින් ගන්නට ගියා ය. නමුත් මේනකා ඊට ඉඩක් නොදී ආයුව අදින බවක් දැනිණ. අමාගී හැකි වෙර යොදා ආයු ව තද කොට ගනිමින් ම ගේ දෙසට හඬ ගෑවා ය.
“රුසිරූ…මණී ආන්ටි”
ඒ හඬගෑම යටිගිරියෙන් නගනා විලාපයකට සමාන විය. ඒ අතරේ ත්‍රීරෝද රිය හැරී මන්දගාමී ලෙස ඉදිරියට ආවේ ය. අමාගී ආයුව පපුවට තද කරගෙන සිටි අතර මේනකා ඔහුව තමන් වෙතට අදින්නට වූවා ය. ආයු ඒ කලබලය මැද හඬන්නට පටන් ගත්තේ ය. නිධී ත්‍රිරෝද රියෙන් බැසගනු අමාගී දුටුවේ සිහිනයෙන් මෙනි.