Vintage Eyes -17

ප්‍රභාතය උදා වන්නටත් ප්‍රථම මම අවදි වී සිටියෙමි. අරුණෝදයේ ප්‍රථම කුරුලු කූජන ඇහෙත්දී ම මම යහනෙන් බැස්සෙමි. සැබවින් පෙර දා රාත්‍රිය පුරා නො කඩ නින්දක් ලැබුණේ නැති සේ දැනේ. මම පුළුවන් තරම් හොඳ නින්දක් නිදන්නට උත්සාහ කළෙමි. නිදි වැරීම නිසා ඇස් වට අඳුරු වේවියි බියක් මට විය. නමුත් උත්සාහයෙන් කරන්නට යත්දී ඇතැම් දේවල් අපෙන් ඈතට ඈතට යයි. නින්දත් ඒ වාගේ ය. 

මම ජනේල පියන් පතක් විවර කළෙමි. අලුත් සීතලක් මගේ ඇඟේ හැපීගෙන කාමරයට ගොඩ විය. මුව ද මඳක් විවර කොට මම නැවුම් හුස්මක් ගතිමි. නැවුම් හුස්මක්!

විහාර ගේ ආරාධනය  සන්සුන් – නො සන්සුන් අතරේ තවමත් මා දෝලනය කරයි. හදවතේ ගැස්මක් ඇත ද රසවත් කමක් ද එය රහසේ ම විඳියි. සමීප මිතුරු සමාගමය වෙනුවෙන් සිය නිවසේ දී හමුවක් සැලසුම් කරන්නට ඔහු ගත් හදිසි තීරණය, අමේලි ගෙන් නීත්‍යානුකූලව වෙන් වීමට සමාන්තරව ගත් තීරණයක් ද කියා මට නො සිතෙනවා නොවේ. නමුත් මම ඒවා නො සිතා ඉන්නට මගේ ම හිතට පිළිණ දී හිඳිමි. ජීවිතය කියන්නේ මේ මොහොතට නම් මේ මොහොතේ ජීවත් වෙන්නට දැන් මම සිතා ගෙන සිටිමි. විහාර කියනවා වාගේ ජීවිතය යනු ජීවත් වෙන්නට ආශා මොහොතවල් කෝටි ගණනක් නම්, මේ මොහොත එවන් මොහොතක් විය යුතු ය.

ඔහු ගේ මිතුරු හමුවට මටත් නූරිටත් ඇරයුම් ලැබිණි. 

“ඕකනං මෙයාව ගෙදරටම ගෙන්නගෙන ළඟින් තියාගෙන සලකන්න අටෝපු උගුලක්. අපිට ඉන්වයිට් කරන්නෙ මේ අපෙං ඇති ඕන කමකට නෙවේ”

පෙර දා සැඳෑවේ නූරි ආඩපාලි කීවා ය. මම දෙතොල් තද කර ගෙන සිනහව හිර කර ගෙන සිටියෙමි. 

“තමුංගෙ බර්ත් ඩේ එකත් තනියම කේක් කාල සෙලිබ්‍රේට් කරපු ලෙමන් අමරසිංහය…හේතුවක් නැතුව යාළුවන්ට පාටියක් දෙනවලු. අනේ ඉතිං ගහ දන්න අපිටනෙ මේ කොළ කඩා පාන්නෙ”

ලා රෝස පාට දිග මැක්සි ගවොම මා මිල දී ගත්තේ මේ ගමන වෙනුවෙන් ම ය. අම්මා අවදි නොවන සේ කිසිදු හඬක් නො නගමින් මම ගවොම මැද්දෙමි. ඊළඟට මිදුලට බැස මල් පීරිසියට පිච්ච මල් ටිකක් කැඩුවෙමි. ගාඩීනියා ගසේ පිපී තිබුණ මල් දෙකෙන් එකක් කඩා පිච්ච මල් වලට මැදින් රැඳවූයෙමි. එය පුදුමාකාර සුවඳකි. මල් වලට පැන් ඉස පහන් දල්වා පූජා කොට පපුව මත දෑත් තියා වැඳ ගෙන ම මම සමාධි බුදු රුව දෙස බලා ගෙන සිටියෙමි. ඒ තරම් ශාන්ත බවක් කළු ගලකට, කොංක්‍රීට් ගොඩකට හෝ සිමෙන්ති බදාමයකට දෙන්නට තරම් පුහුදුන් මිනිස් හිතක් ශාන්තිදායක වූයේ කොහොමද කියන විශ්මය බොහෝ අවස්ථා වල මගේ සිත්හි ඇති වේ. ඒවා කවදාවත් නිසි පිළිතුරු නො ලබන ප්‍රශ්න ය. මල් පහන් පුදා ජීවිතාශා වෙනුවෙන් ප්‍රාර්ථනා පුරන්නට එපායි ස්වාමීන් වහන්සේ කෙනෙකු බණට දෙසනවා මට ඇසී තිබේ. මලින්, පහනින්, සුවඳ කූරෙන් ද පසක් කර ගත යුත්තේ ජීවිතයේ අනියත බවයි. සසරෙහි බියකරු බවයි.

භාජන සෝදා මා තේ සාදන විට ය අම්මා අවදි වී ආවේ. 

“තේත් හදල”

ඇය මඳ විමතියක් පල කළා ය.

“ඇහැරුණා පාන්දර. ඊට පස්සෙ නින්ද ගියෙ නෑ”

“පාටි එක තියෙන්නෙ දවල්ටනෙ”

“නෑ ඒක නිසා නෙවේ ඉතිං”

හිතට අපහසුතාවයක් දැනිණ. අම්මාට තිබෙනා ගැහැනු ඉව මට අමුතු දෙයක් නොවේ. නමුත් ඒ ඉවට හසු කර ගන්නට මෙතෙක් මා අස රහස් නො තිබිණ. දැන් මට දැනුණ දෙගිඩියාව නිහඬව කියන්නේ දැන් අමුතු රහස් කැබලිති හිත අසලක වන බවක් ද?

හිස කේ වියළා ගත යුතු යයි කියමින් මම උදේ ම දිය නෑවෙමි. වෙනදාට අතට අහු වෙන ඇඳුම් කෑල්ලක් ඇඳ ගෙන විනාඩි දෙකෙන් ඕනෑ ම ගමනක් යන්නට සූදානම් වන මට එදා ඉතිරි වී ඇති කාලය සූදානම් වීමට ප්‍රමාණවත් නොවෙන සේ දැනුණේ ය. රෝස පාට ගවුම හැඳ, රෝස පාට කෝට් ශූස් පැළඳ, මම දෙතොල් මත තද රෝස පාටින් ආලේපන ගැල්වීමි. දෑස් පියන මත්තේ ලා රෝස පැහැති අයි ශැඩෝ තවරා නෙත් අඳුන් ගල්වන්නට හිතුවාටත් වඩා වැඩි කාලයක් ගත වූයේ ය.

“අප්…පත…බොල…බේබි පින්ක් කලර් සුරංගනා ගවුමක් ඇඳල…කාගෙ ඇස් වලට රසඳුනක් වෙන්නද බොලේ මෙච්චර මේ ලෑස්ති වෙන්නෙ…”

මා තිගැස්සී ගියේ නූරි ගේ හඬිනි. සුවඳ විලවුන් ඇබින්දක් ගෙල දෙපසට ඉසිමින් සිටියදී ඇය මෙහි එතැයි බලාපොරොත්තුවක් මට වූයේ ම නැත.

“ශ්…දොඩවන්නෙපා…අම්මට ඇහෙයි හරිද…”

මම හදිසි කලබලයක් පෑවෙමි. නූරි මගේ කේශාන්තයේ සිට පාදාන්තය තෙක් ම ඇස් දිවවූවා ය.

“මොකද අප්ප…කොල්ලෙක් බලනව වගේ මං දිහා බලන්නෙ…”

“නෑ මං මේ කල්පනා කළේ…මේ පොඩි පාටි එකකට මෙහෙම ලෑස්ති වෙනවනං…මගෙ වෙඩින් එකට තෝ කොහොම ලෑස්ති වෙයිද කියල”

 ක්ෂණික සිනහවක් නැගිණ. ඒ සිනහව අතරින් ම මම කතා කළෙමි.

“ඇයි මෙහෙ ආවෙ…මං මේ එන්නනෙ හැදුවෙ ඔයාවත් දාං එහෙමම යන්න..”

නූරි ඇස් ලොකු කළේ මහා ව්‍යසනයක් සිදු වෙන්නට යනවා මෙනි.

“ස්කූටි එකේ යන්න…මේ බිම අතුගාන ගවුමකුත් පටලෝගෙන…අනේ දෙයියනේ මොනා වුණත් කසාදත් බැඳල තමයි මට මැරෙන්න පුළුවං වෙන්නෙ. ඔය ගවුම රෝද අස්සෙ ගිහිං පතබෑවිල අඬු කඩාගන්නත් බෑ. ටැක්සි එකක් දාගමු”

“ඔව් ඒක හොඳයි”

අම්මා කාමරයේ දොරකඩ වූවා ය. මෙතෙක් නූරි කී කතා ඇයට ඇසුණා ද යන බියෙන් හදවත් පේශි කීරි ගැසී ගියේ ය.

“කැබ් එකක් කෝල් කරගන්න”

“එතකොට එනකොටත් එකක් දාගන්න වෙනවනෙ”

“ඉතිං දාගන්නවනෙ”

නූරි ජංගම දුරකතනයට එබී ළඟ පාත ටැක්සි රථ තිබේ දැයි පිරික්සුවා ය. මේ අවස්ථාව සිහිපත් වනු වස් තිලිණයක් ලෙස ඔහු ට පිරිනමන්නට තෝරා ගත් පාවුලෝ කොයියෝ ගේ පොත් කිහිපය එක් කොට මම දැවටුම් කඩදාසියකින් හැඩ කළෙමි.

“ඕව නෙවේ ජින් බෝතලයක් ගන්න තිබුණෙ ජිං පප්පට”

නූරි යටැසින් බලා කීවා ය. මම ඇගේ කනෙන් අල්ලා මිරිකුවෙමි. ඕ කෑ ගසා සිනහ වූවා ය.

මිනිසුන් පුදුම ය. කෑ ගසා හඬන්නට කාරණා සිදු වෙත්දීත් කෑ ගසා සිනහ වෙන්නට ඔවුන්ට වන හැකියාව මානව පරිණාමයේ සුවිශේෂ ලක්ෂණයක් විය යුතු ය. නමුත් කිසිදු විශේෂඥවරයෙකු ගේ අවධානයට ඒ කාරණය හසු වී නැති සැටියකි. සිය ප්‍රේමය අත් හැර වෙන දීගෙක යන්නට සිදු වී තිබියදීත් මෙහෙම සිනහ වී ඉන්නට නූරි ට හැකි වී තිබේ!

“හැමදාම ඔයාට ඔහොම හිනා වෙලා ඉන්න පුළුවන් වෙයිද නූරි…මට බයයි. ඇත්තටම ඒ අයියව බඳින්න ඔයා දීපු කැමැත්ත ගැන මං හෙන අවුල්”

ඇය දෙතොල් තද කොට සිනහවක් පෑවා ය. එය නම් හදවතින් උපන් සිනහවක් නොවන බව වහා මට දැනිණ. ඇය මගේ මිතුරියයි. පෙර පාසලේ පටන් ම මිතුරියයි. සුඛ දුක්ඛ දෝමනස්සයන් හිදී තදින් අත අල්ලා ගෙන ළඟින් ම උන් යෙහෙළියයි. අඩන්නට බැරි කමට ඇය සිනහ වෙනවා දකින්නට මට ඕනේ නැත. ලෝකයේ හැම ආදර අංශුවක් ම ඇයට ලැබෙනවා නම් මා කැමති ය. නමුත් ඇගේ ජීවිතය තීරණය කිරීමේ හැකියාවක් මට නැත.

“ගොඩ ඉඳං පීනන්න බෑනෙ ශික්ක. වතුරට පැනල බලමු. හරි ගියොත් එහෙමයි..වැරදුනොත් ඒත් එහෙමයි. වාහනේක වුණත් බ්‍රේක්, රිවර්ස්…ගියර්ස්…ඔය ඔක්කොම තියනවනෙ. ජීවිතේත් එහෙම තමයි. බලමු”

ඇය නැගී සිටියේ යමු යි නො කියා කියමිනි. කුළී රථය අපේ ගේට්ටුව ළඟ නැවතී තිබිණ. මම අම්මා ගේ කම්මුලක හාදුවක් තැබුවෙමි.

“දඟ වැඩ නොකර පරිස්සමට ඉන්න ඕන හොඳද..”

මගේ දඟකමට ඇය මඳහසක් පෑවා ය. නමුත් වචන වලට නො පෙරලූ ආඩම්බරයක් අම්මා ගේ ඇස් වල මම දුටිමි. 

අප කුළී රියෙන් බැස්සේ වින්ටේජ් මන්දිරයේ පිවිසුම් දොරටුව ඉදිරියේ ය. යකඩ ග්‍රිල් ද්වාරය මුළුමනින් හැර දමා තිබුණේ රථ වාහන වලට ඇතුළට ම එන්නට වී ද එතැනින් බැස පයින් ඇවිද යන එක පහසුයි සේ මට දැනිණ. එදා අප මුල් වරට කේක් එක දෙන්නට මෙහි පැමිණි දාට වඩා කලඑළියක් බැලූ බැල්මට පෙනිණ. තණකොළ කප්පාදු කොට එක මට්ටමට පිට්ටනියක් සේ දිස් විය. වියළී බිම වැටුණ එක තුරු පතක් හෝ පේන තෙක් මානයක වූයේ නැත. කළු ගල් පතුරු ඇල්ලූ මං පෙත දෙපස රේන් ලිලී පඳුරු නම් මල් වරා තිබුණේ වැසි සමය ඉක්ම යමින් තිබි නිසා විය යුතු ය. නමුත් ගස් වට කොට ඉදි කළ පාත්ති වල සිටවූ පැන්ඩනස්, කෝලියාස් හා ක්‍රිස්ටිනා වර්ග නිසා උද්‍යානයට කදිම වර්ණ සංයෝගයක් එක් වී තිබිණ. සූර්ය කිරණ චණ්ඩ වෙමින් තිබිණි ද තුරු වියන නිසා තණ පලස මත තැන තැන ආලෝක ලප නැටුවා පමණකි. නන්දන උයනට ප්‍රවේශ වූවා වන් සුවදායක බවක් මට දැනිණ.

පිරිමි සිනා කතා හඬවල් පිළිරැව් දෙමින් ඇසිණ. මගේ හිතේ ගැස්මකට ඉඩක් නොවූවා ම නොවේ. නමුත් බාහිර වශයෙන් සන්සුන් බව දරා හිඳීමේ පුහුණුවක් ජීවත් වීම තුළින් මා සතු කර ගෙන තිබිණි.

මැදුර දොරකඩ ගිම්හාන කුටියක් තුළ සව්දිය පුරන්නට පටන් ගෙන සිටි පිරිමි ඇස් සියල්ල එක වර අප එන මග වෙත යොමු වූවා වාගේ මට දැනිණි. ඒ මහ ඝෝෂාව උන් හිටි ගමන් ලැබුණ අණකින් සේ නතර විය. මඳ අපහසුවක් හිතට නො දැනුණා ම නොවේ. නමුත් නූරි ළඟින් උන් නිසා මඳහසකින් ඒ සියල්ල උහුලා ගන්නට මට හැකි විය. 

පිරිමින් කී දෙනෙකු අතරේ හිටියත් ඒ වින්ටේජ් දෑස් හඳුනා ගන්නට අසීරු වන්නේ නැත. මිතුරන් අතරේ සිට ම ඒ ඇස් මවෙත දැල්වී තිබිණි. ඔහු ගේ නළල මත රැලි කිහිපයක් නැගී තිබෙනු ඈතට පවා මට පෙනුණේ ය. එක වර පිරිමි ඇස් කීයක බැල්මට හසු වී ද මා දුටුවේ ඒ දෑස් පමණකි.

තත්පර කීයක් ඒ විදිහට පාෂාණිභූත වී බලා සිටීමෙන් පස්සේ ද මන්දා විහාර නැගී සිටියේ ය. රෝස හා මෙරූන් වර්ණ මුසු වූ කොටු කමිසයක් කළු ඩෙනිම් කලිසමකට යට කොට ඔහු කමිස අත් වැළමිට තෙක් නවා සිටිනු මගේ ඇස් වහ වහා නිරීක්ෂණ කොට ගති. 

“තමුසෙල දෙන්න කතා වෙලා මැච් වෙන්න ඇන්ද නේද…”

නූරි මගේ කනට කොට ඉතා හෙමිහිට මුත් තදින් ඇසුවා ය. මා නෑ කීවාට ඈ නො පිළිගන්නා බව දන්නා නිසා මම ඒ තනි අකුරේ සත්‍ය පිළිතුරවත් භාවිතා නො කළෙමි. විහාර අප අසලට ම එමින් සිටියේ ඒ අතර ය. මා ඉදිරියේ නතර වූ ඔහු  ඇස් කුඩා කොට මදෙස  බලා සිටින්නට විය. ක්ෂුද්‍ර ජීවියෙකු බවට මා ක්ෂය වී යන සෙයක් මට දැනිණ. නමුත් එක වචනයක් හෝ කියා ගන්නට ඔහු සමත් වූයේ නැත.

“ඔන්න ඉතිං අපි ආව. මේ…අද ඔයා මාර හැන්ඩ්සම් හරිද…”

ඒ විදිහට හෝ නූරි ඒ නිහඩ බවේ බර බිඳ දැමූ එක හොඳ ය. විහාර සැහැල්ලු ලෙස තරමක් හඬ නගා සිනහ වූයේ ය.

“මං නෙවෙයි…මේ ගෑනු ළමයිනෙ ඇස් වහ වදින විදිහට ඇවිත් ඉන්නෙ..”

“හ්ම් මාත් කිව්ව. ඇස් වහ ටිකක් පුච්චලම ඇතුළට ගන්න”

විහාර ඇතුළට යන්නට කතා කළත් නූරි පිටත අසුනක් වෙත ගියා ය. එතැන මටත් පහසුවක් දැනිණ. විහාර මඳ වෙලාවක් අපත් සමග කතා කරමින් හිඳ මිතුරන් අතරට ගියේ ය. ඔවුන් ඔහු වට කොට ගෙන සිනහ වෙමින් විහිළු තහළු කරන්නට වූයේ අප දෙස වරින් වර හැරී බලමිනි. 

“දැන්නෙ තේරෙන්නෙ…අපි අච්චර කියද්දිත් ඩිවෝස් එක ඉල්ලහං කියල..බෑ බෑ ඕන්නෑ කිය කිය හිටපු එකාට මේ හදිස්සියෙ ඒක කරන්න හිතක් පහල වුණේ ඒකයි ආ…”

විහාර පහළ ස්වරයකින් යමක් කීවේ ය.

“ඇයි ඇයි හෙමින් කතා කරන්නෙ…අපි කවදත් හයියෙං කතා කරපු උන්…නැද්ද මචංල…”

“අනිත් එක බං පාන්දර එලි වෙච්ච වෙලාවෙ ඉඳං ජිං වලින් නාපු එකා අද ශොට් එකක් ගහන්න බෑ කියද්දි මං ඒත් බැලුව මූ හිටපු ගමං චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ කවදද කියල”

එය එක ම සිනහ සරකි. ඝෝෂාවකි. මගේ කොපුල් රත් වී පුපුරු ගසන්නට විය.

“හරිනෙ…ඕකනෙ ඕන වුණේ”

මුමුණමින් ම නූරි සිනහව පුපුරවා හැරියා ය. ඇය වෙත හෙලූ මගේ බැල්මේ අසරණකමක් තැවරී තියෙන්නට ඇත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles