නිම් නැති නිම්නය 29

කවීශ්වර ගේ ඇස් කෙවෙනි මුල ලා රත් පැහැති පැල්ලමක් ඇති වූයේ ය. හුස්ම වැටෙනා වේගය ක්ෂණික ව වැඩි වී තිබිණ. උගුර කට වියළී ගිය බවක් ඔහු අත්වින්දේ ය. කවීශ්වර ගේ අත් දෙක ම බර වී තිබුණේ ස්ටියරින් වීල් එකට ය. වැලමිට සන්ධිය තෙක් නැවූ කොටු කමිස අතින් නිරාවරණය වූ අත් බාහුව රෝම වලින් ගැවසී ගෙන ය. ඒ රෝම අතරින් ඉතා කුඩා දහදිය පටලයක් නැගී ගෙන ආවේ ය. පිටි අත්ල මතත් ඒ දහදිය බින්දු පටලය ආරාධනා ට දැකිය හැකි විය. ඉතා සියුම් ලෙස පිටි අත්ල තව දුරටත් වෙව්ලනවා ඇගේ නෙත ගැටුණේ ය.

ආරාධනා ගේ සිතේ ද ගැස්මක් විය. ඇයි දෝ මන්දා කවීශ්වර කේන්ති ගන්නා අවස්ථා වල ඉසියුම් බියක් ඇගේ හද සන්තානය පුරා පැතිර යන බවක් දැන් දැන් ඇය අත්විඳී. මේ මොහොතේ ද එසේ ය. ඇය ගේ කියවීම ඔහු ගේ දැඩි වචන දෙක තුනක් නිසා හිඳී යන්නේ උන් හිටි ගමන් භූගත වී අතුරුදන් ව යන ගඟක් සේ ය.

“කේන්ති ගන්න දෙයක් නෙවේනෙ මං කිව්වෙ කවීශ්වර…”

ඇය අසීරුවෙන් වචන කිහිපයක් කියා ගත්තා ය. කවීශ්වර හිස හරවා දැඩි බැල්මක් හෙළුවේ ය. ආරාධනා බිම බලා ගත්තා ය. වතුර බෝතලය ගත් කවීශ්වර එය මුව තියා ගෙන බාගයක් ම බී ගෙන බී ගෙන ගියේ ය. එය වසා තබත්දී ඔහු ටත් නො දැනී සුසුමක් ගිලිහී තිබිණ.

“මං කාටවත් වරදක් කිව්වත් නෙවේනෙ…මං හොඳට දන්නව හැමදාම කාටවත් අනිත් අය වෙනුවෙන් කැප වෙන්න බෑ කියල”

“එතකොට ඔයාටත් එහෙමද…අපේ අම්මටයි තාත්තටයි නංගි ගියාට පස්සෙ දුවෙක් වෙලා ඔයා සැලකුවෙ..ගෙදර හැම දේම හොයල බලල ඔයාගෙම දේවල් වගේ කළේ…රෙදි හෝදල හැමෝගෙම ඒව වෙන වෙනම නවල තම තමන්ගෙ කාමර වලින් ගිහින් තිබ්බෙ…වැඩ දාහක් අතරෙ හිටියත් හැමෝම කෑවද තේ බිව්වද අරකද මේකද හැම දේම ඇඟිල්ලෙන් ඇන ඇන හෙව්වෙ…ඒ හැමදාටම නෙවේද…තාවකාලිකව ද..මේ තරමට ඔයා අපේ ම වුණේ…තාවකාලිකව ද…දික්කසාද නඩු දාල තියෙද්දිත් අම්මගෙ අත කැඩිල නිසා එයාව බලාගෙන ඒ ගෙදරටම වෙලා ඉන්නෙ…තාවකාලිකව යුතුකමක් විදිහට විතරද…ඒ කිසි තැනක තමන්ගෙ කමක් තිබුණෙ නැද්ද ආරාධනා…ම්..”

කවීශ්වර වාගේ කොල්ලෙකු වෙතින් එහෙම වචන ටිකක් ඇය බලාපොරොත්තුවෙන් සිටියේ නැතිවා විය යුතු ය. කවීශ්වර දිගට ම කතා කළේ කෙලින් ඇගේ ඇස් දෙක දෙස බලා ගෙන ය. ආරාධනා ගේ රවුම් ඇස් තවත් ලොකු වී තිබිණ. 

“අනේ ඇයි කවීශ්වර මං ගැන එහෙම හිතන්නෙ..මැරි කළාට පස්සෙ නෙවෙයි ඊට කලින් ඉඳලම ඒ ගෙදර මට මගෙම ගෙදර වගේ. අම්මයි තාත්තයි මට මගෙ අම්මයි තාත්තයි වගේ. එයාලත් මට එහෙමයි. මං කිව්වෙ එහෙම දෙයක් නෙවේ”

“මං තමයි පිට මිනිහ නේ…”

ඔහු අතුරු ප්‍රශ්නයක් නැගුවේ ය. ආරාධනා එක ම එක බැල්මකින්, ඉතා සියුම් ලෙස ඒ ප්‍රශ්නය මගහැර ගියා ය. කවීශ්වර ගේ දෙතොල් අතරේ තිබුණ සිනහව නුුහුරු නුපුරුදු වූවක් නොවේ. එය ආරාධනා ගේ මතක ඉතිහාසයේ එක කොනක් ක්ෂණික ව ඇහැරවා ලූයේ ය. “මාර ආඩම්බර කමක්නෙ තියෙන්නෙ” කියා කියූ එක අතීත දවසක, ඒ වෙලාවේ ඔහු ගේ දෙතොල් අතරේ තිබුණේ ත් ඔය සිනහව ම ය. එදා ආරාධනා ඒ සිනහව ළඟ තැති ගෙන ඉක්මනින් ම ඔහු ගෙන් ඉවත් ව ගියා ය. දැනුත් හදවතේ එක නාඳුනන තැනක එදා පුරුදු තැතිගැන්ම ම ඇති විය. නමුත් එය නො දුටුවා සේ මග හැර යන්නට අදත් ඇයට සිදු විය.

“මං කියන්නෙ…මට ආයෙ ඒ පිළුණු ගඳ ගහන කුණු වළටම පනින්න ඕන නෑ. මට පුළුවන් කවීශ්වර…මට පුළුවන් තනියම ජීවිතේට මූණ දෙන්න. ඒක ලේසි නෑ කියල මං දන්නව. ස්පෙශලි…පුතා තාම චූටියි. මාස හතර පහක නොදරුවෙක්. බිඟුව මේ තත්වෙට ලොකු කර ගන්න කොච්චර දුකක් විඳින්න වුණාද…පොඩි කාලෙ කොච්චර අසනීප වුණාද…වීසින් වැඩි වෙලා කී වතාවක් හොස්පිටලයිස් කළාද…දැන් මතක් වෙනකොට හීනයක් වගේ…කොහොම ඒ දේවලට ෆේස් කළාද කියල හිතෙනව. මතකද සැරයක් බිඟු මේසෙ උඩ තිබුණ උනු වතුර කෝප්පයක් පෙරළගෙන…බඩ පිච්චුණා…අනේ කෙල්ල මොන දුකක් වින්දද…දියපට්ට කැඩෙන්න නොදී පිඹ පිඹ…එයාව නළවල තියා ගන්න අපි විඳපු දුක…ඔයාට මතකද ඔයා එයාව වඩා ගෙනමයි හිටියෙ…එදා රෑ එළි වෙනකල් එයාව වඩා ගෙන බඩට පිඹ පිඹ හිටිය..සඳයුරු ලොකු කර ගන්නකල් වුණත් ඒ දුක විඳගන්න වෙයි. ඊටත් වඩා අමාරු වෙයි එයා ළඟ තාත්ත කෙනෙක් නැති නිසා. ඒ වුණාට කවීශ්වර…ඔයත් ඇයි හිතන්නෙ මං ආයෙ කාශ්‍යප එක්ක සෙට්ල් වෙන්න ඕන කියල…හුඟක් මිනිස්සු හිතනව ගෑනියෙකුට පිරිමියෙක්ගෙ හයිය නැතුව ජීවත් වෙන්න බෑ කියල. එහෙම නෑ කවීශ්වර. අමාරුයි තමයි. ඒත් බැරි නෑ. අනික් එක එයා එක සැරයක් විශ්වාසය කඩපු මනුස්සයෙක්. ආයෙ සැරයක් එයාව විශ්වාස කරන තැනට හිත හදා ගන්නනං මට කොහොමවත් බෑ”

“ඒ කියන්නෙ වැරදි කරපු මිනිහෙක්ට කවදාවත් වැරදි හදාගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න බැරිද…”

කවීශ්වර ගෙන් කඩඉම් ප්‍රශ්නයකි. ඔහු ඒ පැනය නැගුවේ සිය සහෝදරයා වෙනුවෙන් ම ද යන පැනය යටි හිතෙන් මතු වී ද කවීශ්වර ඒ නිධාන කතා අමතක කොට දැම්මේ ය.

“එහෙම නෙවේ කවීශ්වර..මං දන්නව..අංගුලිමාලටත් රහත් වෙන්න පුළුවන් වුණා. ඒත් මැරේජ් ලයිෆ් එකක් කියන්නෙ රහත් වෙන්න පුළුවන් තැනක් නෙවෙයි. අපි සාමාන්‍ය මිනිස්සු. අපි ජීවත් වෙන්නෙ හැඟීම් එක්ක. අතීතයත් එක්ක. මතකත් එක්ක. මට සමාව දෙන්න පුළුවන්. එයාට වැරදි හදා ගන්නත් පුළුවන් වෙයි. ඒත් එයා මට කරපු වරද අමතක කරන්න කවදාවත් මට බැරි වෙයි. ඉස්සර ඇස් දෙකෙන් එයා දිහා බලන්නවත්…ඉස්සර හිතෙන් එයා ගැන හිතන්නවත් ආයෙ මට බෑ. දැන් එයාට තියෙන්නෙ එයාගෙ ඉස්සර ගර්ල් ෆ්‍රෙන්ඩ්ව මැරි කරල ඒ ජීවිතේ අලුතෙන් පටන් ගන්න එක. මොනාද එයා මේ කරන්නෙ…කවුරු කියලද එයා එයා ගැන හිතං ඉන්නෙ…එතනත් ගෑනියෙක්ට බලාපොරොත්තු දීල…ටික දවසක් හරි එකට ජීවත් වෙලා…දැන් ආයෙ ඒ මනුස්සයව අත් ඇරල එන්න හදනව. එතකොට මං පාවාඩ දාල පිළිගන්න ඕනද කවීශ්වර…ඒකද මේ හැමෝම වට වෙලා මට කරන්න කියන්නෙ…එතකොට ඔයාගෙ අයියට ආයෙම හිතුණොත් අනේ මේ ගෑනිට වඩා අර ගෑනි හොඳයි කියල…එතකොට ආයෙ යන්න ඇරල මං නිකං බලං ඉන්න ඕනෙ…එහෙමද..”

එය අභියෝගයකි. ඇගේ ඇස් වල ඒ අභියෝගය විය. කවීශ්වර ට සිනහවක් නැඟිණ. නල දත් පෙන්වා ඔහු සිනහ වෙත්දීත් ඇය සිය ඇස් වල අභියෝගය රඳවා ගෙන බලා සිටියා ය.

“රංකිරි කට ගෑවෙනං කවුද දන්නෑ නේ…”

ඒ සිනහව අතරින් ඔහු කියා ගත්තේ ය. ආරාධනා ගේ මුව මත කෝපි මල් සිනහවක් විකසිත ව ආවේ ය. මීට විනාඩි කිහිපයකට පෙර තමන් වෙව්ලුවා ලූ කේන්තිය කොහේ අතුරුදන් වූයේ ද කියා සලකුණකුදු සොයා ගන්නට කවීශ්වර සමත් වූයේ නැත.

“ඒ හැම දේම ඇත්ත වෙන්න පුළුවන්”

එවර ඔහු තරමක බැරෑරුම් බවක් ආරූඩ කර ගත් හඬකින් කතාව පටන් ගත්තේ ය.

“ඇත්ත වෙන්න පුළුවන් නෙවෙයි ඇත්ත!”

ආරාධනා එක මොහොතකට ඉස්සර සිටි හුරතල් දැරිය වූවා සේ ය. ඇගේ වත මත ද දෑස් යුග තුළ ද බැල්මේ ද හඬ තානයෙහි ද ඒ හුරතලය තැවරී තිබිණ. ඒ සියල්ල අවධානමක් බව ඉඳුරා දන්නා කවීශ්වර නෙතගින් පමණක් ඇදෙස බලා ඉවත බලා යළිත් රිය පණ ගන්වා ගත්තේ ය.

“හරි. මං කතා කළේ ඒ ගැන නෙවෙයි. මට තරහ ගියෙත් ඒ ගැන නෙවෙයි. ඔයාගෙයි ළමයි දෙන්නගෙයි වගකීම අපේ කරපිට පැටවෙයි කියල අපි මගඅරින්න හදනව කියපු එකට. ඔයා හොඳටම දන්නව ආරාධනා මං බිඟුට කොච්චර ආදරේද කියල. අයිය ගෙදර ඉද්දි වුණත්…ඒකි මගෙ හුස්ම ටික වගේ. කෙල්ලව පිටේ තියං දණ ගගා ගේ පුරාම අස්ස ගුඩුං කළේ…අසනීප වෙලාවට එළි වෙනකල් වඩා ගෙන සාලෙ ඇවිද ඇවිද හිටියෙ…පාර දිගේ බයිසිකල් පැද්දුවෙ මං…චූටි කාලෙ ඒකිව වටයක් දෙකක් බයික් එක පද්දල මිසක් මට ගෙදරින් යන්න දෙන්නෑ. මතකද…මගෙ කොණ්ඩෙට හෙයාස්ටයිල්ස් දානව කියල මොන තරං වද දීල ඇද්ද ඔය කෙල්ල. සඳයුරු…ඒකානං ලෝකයක්…මාව දැක්කහම කට ඇරගෙන හක හක ගගා හිනා වෙන්නෙ. පපුවට තුරුල් කරං මාගෙ පුතුට මල් සින්දුව එක පාරක් කියනකොට කොල්ල නිදි. උන් දෙන්න මට බරක් කියලද ඔයා ඔය කියන්නෙ…”

“අන්…නේ..කවීශ්වර දෙයියම්ප ඔයා ගැන හිතල එහෙම කිව්ව නෙවේ. මං කිව්වෙ ඉතිං…කොච්චර වුණත් හස්බන් කෙනෙක් නැති ගෑනියෙකුයි තාත්ත නැති දරුවො දෙන්නෙකුයි කියන්නෙ ඕන කෙනෙක් වැඩි කාලයක් දරන්න කැමති බරක් නෙවේනෙ…එතකොට බලන්නෙ කොහොම හරි අදාල අයට පවරල ඒ වගකීමෙන් නිදහස් වෙන්න…”

“එහෙම නිදහස් වෙන්න ඕන නැති මිනිස්සුත් ඉන්න පුළුවන්”

ඔහු එසේ කීවේ රියෙහි පැති වීදුරුවෙන් ඉවත බලමින් ඇඟට පතට නො දැනී ය.  ආරාධනා එහි ගැඹුරු අරුත් පසිඳින්නට උත්සාහ නො කළා ය.

“ඔයා මගෙ දරුවො දෙන්නට හරි ආදරෙයි. තාත්ත කෙනෙක් වගේ බිඟුව ඉස්කෝලෙ අරං යනකොට මට දුකත් එක්ක. එදා සඳරුව ඩොක්ටර් ළඟට අරං ගිය වෙලාවෙත් ඩොක්ටර් තාත්ත කිව්ව නේද…මං හිතුව යකා නගීද දන්නෑ කියලත්”

ඒ හැම මොහොතකට ම ඔහු කොයි තරම් නම් ආදරේ ද කියා ඇය දන්නේ නැති එක ගැන කවීශ්වර ගේ පපුවේ පිරුණේ සුසුමකි. 

“ඒ වුණත් කවීශ්වර…ඒ දේවල් වුණත් හැමදාම කරන්න බෑ. ඔයා බැඳල ඔයාට දරුවො ලැබුණහම ඉබේම එයාලට තමයි ආදරේ වෙන්නෙ. එතකොට මේ දෙන්නව අත්ඇරිල අමතක වෙලා යන්නෙත් ඉබේටම…ඒව එහෙම තමයි…ලෝකෙ දේවල් සිද්ද වෙන්නෙ එහෙම..ඒ ගැන කාටවත් දොස් කියලවත් දුක හිතලවත් වැඩක් නෑ. මං ඒ ගැන තරහ වෙන්නෙත් නෑ කවුරු එක්කවත්. මායි පැටව් දෙන්නයි අන්තිමටම අසරණ වුණ වෙලාවෙ අපිට වැටෙන්න නොදී අපිව අල්ලං හිටියෙ ඕගොල්ලො. මගෙ ජීවිතේ නැති වෙලා යන්න තිබුණ මොහොතක මට ආයෙ ජීවිතේ දුන්නෙ ඔයා. ඒව කවදාවත් අමතක කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මගෙ දරුවො දෙන්නටත් මං හැම දාකම ඒ දේවල් මතක් කරයි. ඒක නිසා වචනයක් වැරදුණ එක ගැන කේන්ති ගන්නෙපා. හරි මං ඒක ඉල්ලා අස් කර ගන්නං. ඕගොල්ලො අපිව මග අරින්න හදනව නෙවේ. මං දන්නෑ ඒත් මග ඇරෙයිද කියල. අනාගතේ ගැන දැන් මං මොනාත්ම හිතන්නෑ. එන හැටියට වෙන දේකට මූණ දෙනව. ඒ කොහොම වුණත් මට ආයෙ කාශ්‍යප එක්ක එක ජීවිතයක් ඕන වෙන එකක් නෑ”

අහේතුක සතුටක් මේ මොහොත වන විට කවීශ්වර ගේ සිතේ එහෙ මෙහෙ වන්නට වූයේ ය. ඔහු ට ආඩම්බරයක් ද දැනිණ. ඒ වාගේ ස්ත්‍රී ආත්මයක් වූ කලී ඇය හිමි පිරිමියාට වාසනාවකි. සතුටකි. ආඩම්බරයකි. කාශ්‍යප ඒ සියල්ලට පයින් ගසා ගියේ ඇයි දැයි කවීශ්වර ට තවමත් සිතා ගත නො හැකි ය.

ආරාධනා රියෙන් බැස ගත්දී තාරා ඒ වෙත පැමිණියා ය. ඇය කවීශ්වර ට ගෙතුළට ආරාධනා කළා ය.

“ඕන්නෑ තාරා”

“තේ එකක් බීල යනව ඉතිං”

“බෑ බෑ. හොඳ දේශනයක් අහං ආවෙ. කන් දෙක නිකං හෝ හෝ ගානව වගේ”

තාරා සිනහවකින් ඉදිරි දොර හැර ගෙන කවීශ්වර ගේ රියට ගොඩ වූවා ය. ඔහු ගැන සාධාරණ සැකයක් පසු ගිය දින කිහිපයේ ඇගේ සිත තුළ ලියලමින් තිබේ. ඒ සැකය නිරවුල් කර ගන්නා තෙක් ඇය නො ඉවසිල්ලේ පසු වූවා ය.

” මේකි ආයෙ කාශ්‍යප එක්ක සෙට්ල් වෙන්න බෑම කියනවනෙ”

“හ්ම්. අපේ අම්ම මට කිව්ව කැමති කර ගන්න බලන්න කියල. වචනයක් දාල තමයි ලෙක්චර් එක පටන් ගත්තෙ. අපි බලන්නෙ කාශ්‍යප ගෙ කරේ එල්ලල එයාගෙයි ළමයි දෙන්නගෙයි වගකීමෙන් බේරෙන්නලු. කාට කියන්නද ඉතිං මේව”

“මං උඹෙන් දෙයක් අහන්නද කොල්ලො…මට නිකං එහෙං මෙහෙං දැනුණ නිසා අහන්නෙ. මොකද අපිත් ඉතිං මේ ගෙන්දගං පොළොවෙ හොඳට තෙම්පරාදු වෙච්ච අම්මණ්ඩිලනෙ. පහුගිය කාලෙ සිද්ද වෙච්ච හැම දේම දිහා බලං ඉඳල මං මේ අහන්නෙ…කවීගෙ හිතේ ආරාධනා ගැන මොකක් හරි හැඟීමක්…අදහසක් තියනවද…”

මේ වගේ වෙලාවක ඒ වගේ ප්‍රශ්නයක් කොහෙත් ම බලාපොරොත්තු ව නො සිටි කවීශ්වර ට දැනුණේ සිහින් දහදිය දමන්නා සේ ය. ඔහු ඉක්මන් ඇස් පිය කිහිපයක් ගසා තාරා දෙස බැලුවේ ය. ඒ වෙත්දීත් ඇය ඔහු දෙසට යොමා ගත් ඍජු බැල්මක් ඇතිව සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles