අධිමානය

ඩල්සි ත්‍රීවීල් එකෙන් බැහැලා තමන්ගේ කුඩා ඇඟලුම් ආයතනයට ඇතුළු වුණේ ආඩම්බරෙන්. තරුණ ගෑණු ළමයි හත් අට දෙනෙක් සේවය කරන ආයතනය ගොඩනඟන්න තමන් කොච්චර කැප කිරීමක් කළාද කියලා මේ දොරෙන් ඇතුළුවන හැම දවසකම ඩල්සි කල්පනා කලා. දොර අරිනකොටම එන හඳුන්කූරු සුවඳ ඩල්සිගේ නහයට ඇතුලු උනේ ඒ මතක තවත් අලුත් කරන ගමන්. ඉස්සර නම් උදේම ආයතනයට ඇවිල්ල බුදු පහන තිබ්බෙ ඩල්සි. දැන් ඒක කරන්නේ ආයතනය ලඟම නවාතැනක ඉන්න මාධවී.

ආයතනයට ඇතුළු වෙනකොට ඩල්සි දකින්න ආසම දේ තමයි තමන්ගේ සේවිකාවන් තමන්ව දැකලා පුටුවෙන් නැගිටින එක. තමන් ඒ හැමෝගෙම ප්‍රධානියා කියන හැඟීම ඩල්සිගේ හිතේ ආඩම්බරේ වැඩි කලා.

” කෝ තාම වැඩ පටන් ගත්තෙ නැද්ද ? ” 

හැමෝම වගේ ඩල්සිට good morning කිව්වත් ඩල්සිගේ ප්‍රශ්නේ උනේ ඒක.

” මැඩම් අර නර්සරි එකක කොන්සට් එකේ වැඩේ. ? ඒකේ ෆැබ්‍රික් ටික ආවා . ඒ ටික පෙන්නන්න මැඩම් එනකන් හිටියේ ” 

දිනූශා කිව්වේ බොහොම යටහත් පහත්ව.

” අයියෝ මම නැත්තං මේ ළමයින්ට මොකුත් කරගන්න බැහැ ” 

එහෙම කියන ගමන් ඩල්සි ලොකු බෑග් වල තියෙන රෙදි ටික එළියට ගන්න පටන් ගත්තා. එකින් එක ඒ ටික පරීක්ෂා කරපු ඩල්සි ඒවා එක එක්කෙනාට බෙදලා දුන්නේ ඉතුරු වැඩ ටික කරගෙන යන්න. 

වැඩ ඉවර වෙන වෙලාව හවස පහ උනත් මේ දවස් ටික ටිකක් කාර්යබහුල නිසා ඩල්සිගේ සේවිකාවෝ හවස හය පහුවෙනකං වැඩ කළා. හැබැයි එයාලට ඩල්සිගෙන් වැඩිපුර එක රුපියලක් වත් හම්බ වුණේ නැහැ.

” මැඩම්, මම අද වෙනද වෙලාවටම යන්නද ? ” 

මේධා ඩල්සිගේ මේසය ගාවට ඇවිල්ලා ඇහුවේ තමන්ට දීපු වැඩ ටිකෙන් කොටසක් ඉවර කරාට පස්සේ.

” ඒ මොකද ? මොකක් හරි හදිසියක්ද ? ” 

ඩල්සි උපැස් යුවල අස්සෙන් මේධා දිහා බැලුවේ ඇය විශාල වරදක් කරපු ගානට.

” න්.. නෑ මැඩම් මේ. හැමදාම හවස් වෙන නිසා අම්ම ටිකක් කලබල වෙනවා. දන්නේ නැද්ද ඉතින් අපේ පාරත් පාලුයි හවස හතෙන් පස්සේ ” 

මේධා උත්තර දුන්නේ බිම බලා ගෙන.

” පාර පාලුයි නම් අම්මට එන්න කියන්න පාරට. අනික ඔයා පොඩි ළමයෙක් නෙමෙයිනේ ” 

” නෑ මැඩම් අම්මා අහනවා ඉතින් හැමදාම රෑ වෙන්නේ මොකද කියලා ” 

” අනේ ළමයෝ මේ , මං මේ තැනට ආවේ උදේ රෑ බලල වැඩ කරලා නෙමෙයි. නොකා නොබී මහ පාන්දර වෙනකන් වැඩ කරලා. එතකොට මම මේ ඔයාලට දීලා තියෙනවා වගේ හොඳ හොඳ මැෂින් තිබුනෙත් නැහැ. ඔහොම වැඩ කරලා නම් ඕගොල්ලන්ට කවදාවත් හොඳ තැනකට යන්න හම්බවෙන්නෙත් නැහැ ” 

ඩල්සිගේ සුපුරුදු දේශනාව පටන් ගත්ත ඒ විදිහට. තමන් ආපු දුෂ්කර ගමන ගැන අභිමානවත් විදිහට හිතනවා වෙනුවට ඩල්සි කලේ ඒ ගැන අධි මානයකින් හිටපු එක. ඒ නිසා ඇගේ මේ දේශනාව හැමෝටම කටපාඩම් වෙලා තිබුණේ.

” බලන්න දැන් මේ කොන්සර්ට් එකේ වැඩේ. ඒ මිනිස්සු මාවම හොයාගෙන ඇවිල්ල මෙච්චර ලොකු වැඩක් මොකටද දුන්නේ ? ඒගොල්ලෝ දන්නවා මම හොඳ කොලිටි එකට වෙලාවටම වැඩේ බාර දෙන බව. ඕගොල්ලෝ මහන්සි වෙන්න ඕනෙ අන්න ඒ විදිහට නම හදාගන්න. නැත්තං ඕගොල්ලන්ට වෙන්නේ කාගේ හරි ළඟට වෙලා හැමදාම මහ මහා ඉන්න තමයි. ” 

හවසට වෙලාවට ගෙදර යන අදහස අත ඇරපු මේධා ආපහු තමන් වැඩ කරන මහන මැෂිම ළඟට ඇවිල්ල ඉඳගත්තේ නිහඬවම. අසනීපෙන් ඉන්න තමන්ගේ අම්මත් එක්ක තනියම ජීවත් උන මේධා ගෙදර යන්න පරක්කු වෙනකොට අම්මට පාරට එන්න විදිහක් නෑ කියන කාරණාව ඩල්සි මැඩම්ට තේරුම් කරනවාට වැඩිය හොඳම දේ නිහඬ වෙන එකයි කියලා මේධා ඒ විනාඩි කිහිපයට තේරුම් අරගෙන තිබුණා.

කොහොමින් හරි ගෑනු ළමයි හත් අට දෙනා දවල් රෑ නොබලා මහන්සි වෙලා හිතුවටත්  වඩා ඉක්මනින් වැඩේ ඉවර කරලා ඩල්සිට ලොකු ලාභයක් ගෙනල්ලා දුන්නා. හැබැයි ඉතින් මාසිකව ගන්න පඩියට ඇරෙන්න වැඩිපුර සත පහක් වත් කාටවත් හම්බ වුණේ නැහැ. 

” මාධවී, මොනවද ඔය අඳින ඇඳුම් ගාමන්ට් කෙල්ලෝ වගේ ? ” 

” උරේශා ? මොකද ඔය කකුල් දෙකට නේල් පොලිශ් ටිකක්වත් දාගෙන පිළිවෙලකට එන්න බැරිද ?” 

” මේධා ? ඇස් දෙක බාගෙට ඇරගෙන ඉන්නේ ඊයෙ රෑ නිදාගත්තේ නැද්ද ? “

හැමවෙලාවෙම ඩල්සි කලේ තමන් යටතේ වැඩ කරන සේවිකාවන්ගේ අඩුපාඩු හොයන එක. ඒ අතරේ තමන්වම වර්ණනා කරගන්නත් ඇය අමතක කළේ නැහැ. 

” ඕගොල්ලන්ට වඩා වයසින් වැඩි වෙලත් බලන්නකෝ මම ලස්සනට ඉන්න හැටි ” 

ඩල්සි නිතරම එහෙම කිව්වත් වයසට නොගැළපෙන විලාසිතා කරන ඇය ගැන ඇයගේම සේවා දායකයන් ඇය නැති වෙලාවට කියන දේවල් මතක් වෙලා ගෑනු ළමයි ටික හිනාව නතර කරගෙන හිටියේ අමාරුවෙන් 

” මොකද අනේ ඕගොල්ලන්ගේ මැඩම්ට වෙලා තියෙන්නේ ? මම ඊයේ සුපර් මාකට් එකේදි දැක්කා මූණට වැඩිය ලොකු කරාබු දෙකකුත් දාගෙන දණිස්සට උඩින් ගවුමකුත් ඇඳගෙන ඉන්නවා ” 

” තමන්ට කියලා ගාමන්ට් එකක් තිබ්බට මොකද වෙලාවකට ඩල්සිගේ ෆැශන් සෙන්ස් එක නම් අන්තිමයි ” 

ඔය වගේ කතා දවසකට එක පාරක් හරි ඇහෙන නිසා ඩල්සි තමන් ගැන කරගන්න වර්ණනාව ගෑනු ළමයි ටික ඒ තරම් ගණන් ගත්තේ නෑ.

” ඔන්න අපිට තව ලොකු ඕඩර් එකක් එන්නයි යන්නේ. හොඳ වැදගත් පවුලක වෙඩින් එකක් ” 

දවසක දවල් වරුවේ ඩල්සිව හම්බ වෙන්න කිහිප දෙනෙක් ඇවිත් ගියාට පස්සේ ඩල්සි ඇවිල්ලා කිව්වෙ ආඩම්බරෙන්.

” මගේ වැඩවල පිළිවෙළ කොහොමද , මම පාවිච්චි කරන රෙදි වල තත්වෙ කොහොමද , මං මොන වගේ කෙනෙක්ද කියලා දන්න නිසා තමයි ඒ මිනිස්සු මෙහාට මාව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වැඩේ අපි හරියටම කරන්න ඕනේ ” 

එදායින් පස්සේ එළඹුණේ තවත් කාර්ය බහුල සතියක්. වැඩේ බාර දුන්න අය විවාහයට තව දවස් තියෙන නිසා හෙමින් සීරුවේ වැඩේ කරන්න කියලා කිව්වත් ඩල්සිට උවමනා උනේ පොරොන්දු උන දිනයටත් කලින් වැඩේ බාර දෙන්න. 

ඩල්සිට උවමනා වුණා වගේම පොරොන්දු උන දවසට , දවස් දෙකක් කලින් වැඩේ ඉවර කර ගන්න ගෑණු ළමයින්ට පුළුවන් වුණා. මනමාලියි , අම්මයි, යෙහෙලියෝ ටිකයි ඇවිල්ලා ඇඳුම් ටික ඇඳලා බැලුවට පස්සේ හැමෝම ගොඩක් සතුටු උනේ ඒවායේ කිසිම අඩු පාඩුවක් නොතිබුන හින්දා. 

” මගේ වැඩ එහෙම තමයි මිස්. කිසිම අඩුපාඩුවක් , අවුලක් නෑ. මේවා ඉතින් මං පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයිනේ ” 

ඩල්සි සුපුරුදු වර්ණනාව පටන් ගත්තා .

” මගේ වැඩ එහෙම තමයි කිව්වේ ? මේවා ඩල්සිද මැහුවේ ? ” 

එහෙම ඇහුවෙ මනමාලියගෙ අම්මා 

” න් නෑ මේ.. මේ ළමයි තමයි. එයාලව ඉතින් train කලේ මමනේ ” 

ඩල්සි ඒ වචන ටික පිට කර ගත්තේ අමාරුවෙන් 

” ට්‍රේන් කලේ ඔයා උනාට මෙච්චර ලස්සනට වැඩේ කරලා තියෙන්නේ ඒ ළමයින්ගේ දක්ෂකම නිසා නෙමෙයිද ? ඩල්සි නම් මෙතන මහනවා පේන්නෙ නෑ. හැබැයි මේ ළමයි ටික නම් ගොඩක් මහන්සි වෙන බව පේනවා. ” 

” අනිත් එක , අපිව මෙතනට එව්වේ මේ දිනූශාගේ තාත්තා. එයා අවුරුදු ගානක් තිස්සේ වැඩ කරන්නේ මගේ හස්බන්ඩ් ළග ” 

මනමාලියගේ අම්මා එහෙම කියද්දි දිනුෂාගේ මුහුණේ තිබුණේ නොවෙනස් වෙන හිනාවක් 

” ඇත්තටම මේ වගේ තරුණ ළමයින්ගේ උත්සාහය වැඩිහිටියෝ හැටියට අපි අගය කරන්න ඕනේ ” 

එහෙම කියපු මනමාලියගේ අම්මා මුදල් පසුම්බිය ඇරලා පන්දාහේ නෝට්ටු කිහිපයක් අරගෙන හැමෝගෙම අතට දුන්නා. තමන්ගේ මහන්සියට හිතුවාටත් වඩා වටිනාකමක් ලැබුන එකට හැමෝගෙම මුණු වල හිනාවක් තිබුනට ඩල්සිගේ මූණේ හිනා පොදක් නෑ කියලා කාටත් දැක ගන්න පුළුවන් උනා.

More Stories

Don't Miss


Latest Articles