එයා මැරිල හුඟක් කල් 15

“මම සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්.වැඩ කළේ එනිමෝ එකේ..මං හරි ආසයි මහන්සිවෙලා වැඩ කරන්න.ආශිකත් මාත් එක්කම එකට වැඩ කරපු කෙනෙක්.එයා එතන ක්ලැරිකල් වැඩක් කලේ.ආශිකා හරි  අහිංසක කෙල්ලෙක්..ගොඩක් දවස් වලට මම රෑ වෙනකන් වැඩ කළා.ඒ හින්ද කම්පැනි එක  මට බොහොම හොඳට සැලකුවා.
මම ආශිකාව කසාද බැන්දේ හරිම සන්තෝසෙන් … බලාපොරොත්තු පිරිච්ච හිතකින්.. මට හොඳ සැලරි එකක් හම්බ වෙච්ච හින්දා මම ආශිකාට රස්සාවෙන් අයින් වෙන්න කියලා කිව්වා.ඇත්තටම ජොබ් එකක හිරවෙලා ඉන්න ආශිකා උනත් වැඩි කැමැත්තක් තිබුණෙ නෑ. හැබැයි මම එයාට බල කලේ නම් නැහැ.එක එයා කැමැත්තෙන් ගත්ත තීරණයක්…


මම බඳින්න මාස දෙකකට විතර කලින් තමයි රාජ්‍ය ආරක්ෂක නිල වෙබ් අඩවිය හැක් කරලා මාව අහු උනේ.ඒ වෙලාවේ මට රුපියල් ලක්ෂ දෙකක දඩ ගහලා අවුරුද්දක අත්හිට වූ හිර දඬුවම් හම්බවුණා. ඒ උනාට ඇත්තටම එනිමෝ කියලා කියන්නේ පිටරට සමාගමක් හින්දා අපේ රටේ තියෙන ප්‍රධාන වෙබ් අඩවියක් හැක් කරන්න පුළුවන් වීම මගේ උපරිම දක්ෂතාවය පෙන්වීමක් හැටියට ඒගොල්ලෝ දැක්කා. ඒකත් විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ..ඒගොල්ලෝ මගේ සම්පූර්ණ දඩ මුදල ආයතනය මාර්ගයෙන් ගෙව්වා. මට උසස් වීමකුත් හම්බවුණා. ඒගොල්ලන්ගේ සමාගමේ ප්‍රධාන  කොටසක් තිබුණා ජපානේ. ආයතනය මාර්ගයෙන් මට අවස්ථාවක් හම්බ වුණා ජපානයේ පුහුණු වීම් නිලධාරියෙක් හැටියට වැඩ කරන්න ඔපචුනිටි එකක් …
එතකොට අපේ වෙඩින් එකට බොහොම ටික කාලයක් තිබිච්ච හින්දා මම ආයතනයට දැනුම් දුන්නා මට තව අවුරුද්දකින් ඒ අවස්ථාව අරන් දෙන්න කියලා.
ඒ අතරේ අපේ වෙඩින් එක තිබුණා.හොඳකට හෝ නොහඳකට ආශිකයි මමයි හිතන්නෙවත් නැති විදිහට අපිට හනිමූන් බේබි කෙනෙක් හරි ගියා.


ඒ හැමදේම අපි සතුටින් භාර ගත්තා.ඒ වෙනකොට ආශිකා වැඩට යෑම නවත්තලා හිටපු හින්දා එයා බොහොම බලාපොරොත්තු පිරිච්ච හිතෙන් ඒ වගේම හරිම සන්තෝසයෙන් අම්ම කෙනෙක් වෙන එකට සූදානම් වුණා.අපේ ගෙදරින් වගේම ආශිකාගේ ගෙදරිනුත් ඒ වෙනුවෙන් අපිට ගොඩක් උදව් කළා.ආශිකා කන්න කැමති කෑම අහල පහලින් යහළුවන්ගෙන් නෑදෑයින් ගෙන් හැම තිස්සේම හම්බවුණා.හැම සති දෙකකටම සැරයක් අපි දෙන්නා හිත නිවෙන කොහේ හරි තැනකට ගිහිල්ලා ඉඳලා එන්න පුරුදු වුණා.
එතකොට ආශිකාගේ ප්‍රෙග්නන්සි එකට හරියටම සති 36 යි… ඔව්.. මගේ මතකය හරි.. සති 36 ..
අපිට හම්බවෙන්න හිටිය පුතෙක්..අපි දෙන්නම මවපු නැති හීනයක් නෑ..කොල්ලා බඩ ඇතුලේ පයින් ගහන පිනුම් ගහන හැම වෙලාවකම ආශිකා හිනා වුණා තාත්තා වගේම පුතත් බඩ ඇතුලේ කොම්පියුටර් ගහනවා කියලා.සමහර දවස් වලට මම වැඩ ඇරිලා ගිහිල්ලා පැයක් දෙකක් ආශිකාගේ බඩට කණ තියාගෙන අහගෙන ඉන්නවා අපේ පැටියා දඟලන සද්දේ.. ඒ සද්දෙ තමයි මම මේ ලෝකේ අහපු මිහිරිම සද්දේ.. ආශිකාගෙ බඩ උඩින් හෙමිහිට මගේ මූණ තිබ්බහම බොහොම හෙමින් මගේ මූණ ඉස්සි ඉස්සි පාත්වෙන හැටි බලන්න , විදින්න මම පිස්සෙක් වගේ ආස වෙලා හිටියා.ඒ වෙලාවට ආශිකා මහ හයියෙන් හිනා වෙනවා.  මට තාමත් ඇහෙනවා ඒ හිනා සද්දේ…”

එහෙම කියපු ප්‍රහාන් එයාගෙ ඇස් ඇගිලි තුඩු වලින් වහ ගත්තා..

“සර්.. සුප් එක… “

කියපු වේටර් කොල්ලා අපි හැමෝටම සුප් බෙදුවා. එයා යනකං අපි නිහඬව හිටියා. වචනයක්වත් කතා කළේ නැහැ.ඒ අතරේ ප්‍රහාන් එයාගේ හිත ආපහු සැරයක් ශක්තිමත් කරගෙන හිටියා.

අපි හැමෝම සුප් උගුරු දෙකක් විතර බොනකන් නිහඬව හිටියා.

“ඔන්න ඔය කාලෙදි තමයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියේ අභියෝගාත්මක වැඩසටහන නැත්තං චැලෙන්ජ් ප්‍රෝග්‍රෑම් කියලා එකක් පටන් අරගෙන තිබුනේ.ඒකෙදි එයාලා හැමෝටම විවෘත ආරාධනයක් කළා ඒ ගොල්ලන්ගේ වෙබ් අඩවිය පුළුවන්නම් හැක් කරලා පෙන්නන්න කියලා. මං හිතන්නේ ඒගොල්ලෝ බොහොම දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග අරගෙන තිබුණා තමන්ගේ වෙබ් අඩවිය වෙනුවෙන්.මොකද රටක ප්‍රබලම වෙබ් අඩවිය හැටියට සැලකෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියයි.ඒකත් හැක් කරනවා කියලා කියන්නේ රටේ දේශපාලනික අස්ථාවරකම වගේම  ආරක්ෂක පද්ධතියේ තියෙන දුර්වලකම තමයි ප්‍රදර්ශනය වෙන්නේ.ඉස්සෙල්ලා ඒගොල්ලන්ට වෙච්චි ලැජ්ජාවෙන් ගැලවෙන්න තමයි ඒ වගේ අභියෝගයක් විවෘත ආරාධනයක් හැටියට මිනිස්සුන්ට ඉදිරිපත් කරලා තිබුණේ…

මම ඒ අභියෝගය බාර ගන්න දෙපාරක් හිතුවේ නෑ.කම්පැනිය පැත්තෙන් මට පූර්ණ නිදහස දුන්නා ඒ වැඩසටහනට ඇතුල් වෙන්න. මේ වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම හැඩ්ල් කරලා තිබුණේ රුසියන් සමාගමක්. ඒ වෙනුවෙන් ලොකු මුදලක් රජය වැය කරලා තිබුණා. ඇත්තටම මටත් ටිකක් ඒ වැඩේ අමාරු වුනා.අපේ උනාට හිතපු තරම් අමාරු උනේ නෑ.මම ඒක හැක් කරලා පෙන්නුවා. මම මුළු වෙබ්සයිට් එක පුරාම ආශිකාගේ නම ටයිප් වෙලා යන විදිහට හැදුවා. ඒ ලැජ්ජාව ආණ්ඩුවට දරාගන්න බැරුව ගියා.තරගයක් හැටියට ඒගොල්ලෝ ඒක ඉදිරිපත් කරලා තිබුණට කිසි කෙනෙක් ඒක ජයග්‍රහණය කරයි කියලා ඒගොල්ලො හිතුවේ නැහැ.ඒගොල්ලෝ මට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරව ගන්න බැරුව ලොකු තරහකින් හිටියා.මාව අංක එකේ ත්‍රස්තවාදියෙක් හැටියට හම්වඩු ගහන තැනට ඒගොල්ලෝ කටයුතු කළා. රැයක් එළිවෙන කොට මගේ බැංකු ගිණුමට රුපියල් කෝටි තුනක මුදලක් වැටිලා තිබුනා.මාව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමෙන් වගේම ත්‍රස්ත විරෝධී ආයතනය මගින් අත්අඩංගුවට අරගත්තා. මම හිතපු නැති ලොකු කරදර ගොඩකට මාව වැටුනා.මුලින් මට හිතා ගන්න බැරුව ගියා මොකක්ද මේ උනේ කියලා.මම දිගින් දිගටම කිව්වා මගේ එකවුන්ට් එකට සල්ලි වැටුනේ කොහොමද කියන්න මම දන්නේ නැහැ කියලා.මමයි ආශිකයි අපේ අනාගතය වෙනුවෙන් බොහොම අමාරුවෙන් ඉතුරු කරගත්ත රුපියල් ලක්ෂ පහළොවක් විතර මේ එකවුන්ට් එකේ තිබුණා.දවස් දෙකක් ඇතුලත අල්ලස් සහ දූෂණ විමර්ශන ආයතනයෙන් අර රුපියල් කෝටි තුනයි මම ඉතුරු කරලා තිබිච්ච ලක්ෂ 15යි සේරම අරගත්තා.

මේ විස්තර වගේම මගේ විස්තර මගේ පවුලේ විස්තර පත්තරේ ගියා.මේක දැකපු රත්නාලෝක සර්..ඒ කියන්නේ අපේ දැන් ජනාධිපති වහාම මට විරුද්ධව මේ ක්‍රියාත්මක වෙන බලවේගය නවත්තන්න කියලා උපදෙස් දීල තිබුණා. ඒ වගේම කෝටි තුන විතරක් ආපහු දූෂණ විමර්ශන කොමිසමට අරගෙන කලින් මගේ එකවුන්ට් එකේ තිබිච්ච සල්ලි ආපහු එකවුන්ට් එකටම දාන්න කියලා කියල තිබුනෙත් රත්නා ලෝක සර්ම තමයි.රත්නාලෝක සර් පෞද්ගලිකව මට කතා කරලා ජනාධිපති මන්දිරයේදී එයාව රෑ කෑමකදි හම්බවෙන්න එන්න කියලා ආරාධනා කළා. ඒක ඇත්තටම මටත් ආශිකාටත් ජීවිතේ මාර අවස්ථාවක් උනා. අපේ ගෙදර අම්මලා නම් ටිකක් බය උනා අපි මේ ගමන යනවට.

එයාල කිව්වෙම ඕක මොකක් හරි දේශපාලන ගැටයක් වෙන්න ඇති ඒ හින්ද යන්න එපා කියලා.ඒ උනාට මට එහෙම හිතුනේ නෑ.ජනාධිපති මන්දිරියට මමයි ආශිකයි දෙන්නම එදා ආරාධනා කරපු දවසේ ගියා.මම කවදාවත් දැකලා නැහැ ඒ වගේ ලස්සන මන්දිරයක්.ඇත්තටම ඉතින් අපි බොහොම සාමාන්‍ය මිනිස්සු.රාජකීය පෙළපතේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ වගේම තමයි දුගී දුප්පත් පැලේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඒගොල්ලෝ දන්නෙත් නැහැ.
ඇත්තටම ආශිකා එදා රෑ හරි ලස්සනට ඇදලා හිටියා. කළුපාට දිග ගවුමේ බොහොම පුංචි රත්තරන් පාට පාට ගල් දිලිසුනා.රෑ කෑමට හිටියේ අපිත් එක්ක රත්නාලෝක සර් විතරයි. එයා කෑම මේසෙදි වයින් බොනවද කියලා අපෙන් ඇහුවා.ආශිකා නං  කොහොමත් ප්‍රෙග්නන්සි පීරියඩ් එක ඉවර වෙනකන් ඇල්කොහොල් පාවිච්චියෙන් අයින් වෙලායි හිටියේ.ඒ හින්දා එයාට වෙනම බොන්න සොෆ්ට් ඩ්‍රින්ක් එකක් ගෙනවා.

රත්නාලෝක සර් එයාගේ ග්ලාස් එකට භාගයක් දාගෙන ඉතුරු බාගේ මගෙ ග්ලාස් එකට දැම්මා..එයා හරියට සුභ පැතුවා මගේ දක්ෂකම ගැන.ඒගොල්ලන්ගේ රාජ්‍ය  වෙබ් අඩවියේ ආරක්ෂාවට වැඩ කළේ රුසියන් සමාගමක් කියලා කිව්වා.ඒ සමාගමේ මහ ලොකු වැඩකාරයින්ට වැඩිය ප්‍රහාන් රියල් වැඩ්ඩෙක් කියලා හිනා උනා.  එයා ඇත්තටම මං ගැන බොහොම සන්තෝස වෙනවා කියලා කිව්වා .මීට පස්සේ රාජ්‍ය වෙබ් අඩවියට සම්බන්ධ වෙලා වැඩ කරන්න කැමතිද කියලා මගෙන් ඇහුවා.අපේ ජපන් සමාගමින් ගෙවනවට වඩා හොඳ ගාණක් එයා ගෙවන්නම් කියලත් කිව්වා.”

මෙතනට එනකම් කතා කරගෙන ආපු ප්‍රහාන් ඊට පස්සේ එයාගෙ නළල අත ගගා කල්පනා කරන්න පටන් ගත්තා.මම එයාගේ අතකින් අල්ල ගත්තා .

“ඇත්තටම ඊට පස්සේ මට මොකද්ද උනේ කියලා මතක නැහැ…ඩොක්ටර්.මට සිහිය එනකොට මම හිටියේ ජනාධිපති මන්දිරයේම තියෙන කාමරයක් ඇතුලේ.හැබැයි තනියම.මට යන්තම් ඔළුව උස්ස ගන්න පුළුවන් වෙච්ච ගමන්ම මට මතකයි මම ආශිකාට කෑ ගැහුවා. එතකොට මේ ආරක්ෂක නිලධාරීන් දෙතුන් දෙනෙක් දුවගෙන ආවා.
එයාලා මට කිව්වා ..

…කලබල වෙලා බොරුවට කෑගහන්න එපා. ඔයාටවත් ඔයාගේ නෝනටවත් කිසිම කරදරයක් වෙලා නැහැ.ඊයේ  රෑ පාටි එකේදී ඔයාට ටිකක් වැඩි වුණා. ඔයාගේ නෝනා එහා පැත්තේ කාමරයේ නිදි.
අපේ සර් කිව්වා ඔයා නැගිට්ටහම මේ ලියුම  ඔයාගේ අතට දෙන්න කියලා…

එහෙම කියලා ඒගොල්ලෝ හතරට නමපු සුදු කොළයක් මගේ අතට දුන්නා…”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles