ගස්ලබු උයන්න පුලුවන් රසම රස විදි තුනක්..

ගස්ලබු කියන්නෙ ශ්‍රී ලාංකිය අපි අතර බොහොම ජනප්‍රිය පළතුරක්. 

ඊට අමතර සිංහල අච්චාරු හදද්දිත් ගස්ලබු අනිවාර්යයෙන්ම භාවිතා කරන්න අපි පුරුදු වෙලා ඉන්නව. අන්න ඒ නිසයි වත්තෙ පිටියෙ ගස්ලබු ගහක අමු ගස්ලබු ගෙඩියක් දැක්කොත් අච්චාරුවක් දාන්න අපිට හිතෙන්නෙ.

ඉතිං මේ ක්‍රම දෙකට අමතරව ගස්ලබු ආහාරයට ගන්න පුළුවන් වෙනත් ක්‍රමත් තියෙනව කියල ඔබට හිතිල තියෙනවද? 

ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික ඉවුම් පිහුම් රටාවක් තියෙන ශ්‍රී ලාංකීය අපේ කෑම සංස්කෘතිය ඇතුළේ ඒම නොවී තියෙන්න හේතුවක් නෑනෙ.

ඔබේ ප්‍රදේශයෙත් ගස්ලබු පිළියෙළ කරගන්න විවිධ ක්‍රම තියෙන්න පුළුවන්.

ඉතිං, ඔන්න අද අපිත් ඔබත් එක්ක එකතු වුනේ ඒ වගේම වෙනස් විදිහට ගස්ලබු පිළියෙල කරගන්න විදි තුනක් ඔබත් එක්ක බෙදාගන්නයි. 

ගස්ලබු බැඳුම

  • අවශ්‍ය ද්‍රව්‍ය
  • අමු ගස්ලබු ගෙඩි එකක්
  • සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩි දෙකක්
  • තරමක් දිගට කපාගත් වේලිච්ච මිරිස් කරල් 10 ක්
  • කරපිංචා ඉති 05 ක් 06 ක්
  • අඟල් භාගයක ප්‍රමාණයට කපාගත් රම්පා කැබලි 05 ක් 06 ක්
  • රටකජු (අත්‍යාවශ්‍යම නැත)
  • වියළි හාල්මැස්සන්, ඉස්සන් හෝ කූනිස්සන් (අත්‍යාවශ්‍යම නැත)
  • මිරිස් කුඩු
  • ලුණු කුඩු 
  • ගම්මිරිස් කුඩු
  • උණු වතුරෙන් තම්බා වතුර වේලාගත් හොඳින් වැසෙන වීදුරු බෝතලයක්

සාදාගන්නා ආකාරය

මුලින්ම ගස්ලබු ගෙඩියේ පොතු ඉවත්කර සිහින්ව ලියාගන්න.

ඊලඟට අතින් සිහින්ව ලියාගත් ගස්ලබු මිරිකා වතුර මිරිකාගෙන වියළි රෙදි කැබැල්ලක අතුරා වතුර බේරිමට තබාගන්න. 

තෙල් තාච්චිය ලිප තබා තෙල් රත්වී ගෙන එන විට වතුර බේරාගත් ගස්ලබු, ලියාගත් ලූණු, වේලිච්ච මිරිස් කැබැලි, හාල්මැස්සන්, කරපිංචා සහ රටකජු වෙන වෙනම බැඳගන්න.  

ගස්ලබු සහ ලූණු රන්වන් පාට වනතුරු බැඳගත යුතු අතර අනෙක් කළමණා සියල්ලම බැඳගත් පසු ලිප නිවා රත්වී ඇති තෙලට කරපිංචා සහ රම්පා දමා බැඳ ගැනීමෙන් රම්පා කරපිංචා වල කොළ පැහැය ආරක්ෂා කරගත හැක. 

දැන් නැවත භාජනයක් ලිපතබා එයට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු රස අනුව එකතු කර ටික වේලාවක් බැඳගත යුතුයි. 

මිරිස් කුඩු කලු පැහැ ගැන්වීමට පෙර ලිපනිවා බැඳගත් කළමනා සියල්ල එම භාජනයටම එක්කර හොඳින් කළවම් කරගන්න. 

වීදුරු බෝතලයට ගස්ලබු බැඳුම දමා තබා ගන්න. 

බැඳුම ඉවතට ගැනීමට වෙනම හැන්ඳක් වෙන්කර තබා ගන්න.

ගස්ලබු මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

  • සාමාන්‍ය ප්‍රමාණයේ අමු ගස්ලබු ගෙඩියක්
  • ගාගත් පොල් අඬු කෝප්ප එකක් පමණ
  • වතුර අඬු කෝප්ප එකක්
  • රතුළූණු ගෙඩි 05 ක් 06 ක්
  • නයි මිරිස් හෝ අමු මිරිස්
  • සුදුළූණු බික් 02 ක් 03 ක්
  • කරාබුනැටි
  • කුරුඳුපොතු කැබැල්ලක්
  • කරපිංචා
  • ගම්මිරිස් කුඩු
  • කහකුඩු
  • ලුණු කුඩු

සාදාගන්නා අකාරය

මුලින්ම ගස්ලබු ගෙඩියේ පොතු සහ ඇට ඉවත්කර සිහින්ව ලියා ගන්න.

ඊලඟට භාජනයක් ලිපතබා එයට රස අනුව ලුණු, කහකුඩු සහ වතුර අඬු කෝප්පයක ප්‍රමාණය එක්කර හොඳින් කලවම් කර වසා මඳ ගින්නෙ තම්බා ගන්න. 

ඒ අතරම රතුළූණු, සුදුළූණු, නයිකොච්චි, අමුමිරිස් හෝ නයිමිරිස්, කරපිංචා, කුරුඳුපොතු සහ කරාබුනැටි එකතු හොඳින් අඹරා ගන්න.  

ගාගත් පොල් වලට ගම්මිරිස් එකතුකර කලවම් කර එම මිශ්‍රණයටම දමා නැවත අඹරා ගන්න. 

මේ සඳහා මිරිස් ගල හෝ බ්ලෙන්ඩරය (Blender) භාවිතා කරන්න පුළුවන්. 

දැන් කහපාටට තැම්බී වතුර සිඳී ඇති ගස්ලබු වලට අඹරාගත් පොල් මිශ්‍රණය එකතුකර හොඳින් කලවම් කරගන්න. 

මඳ වේලාවක් ලිපේ තබා ලිපෙන් ඉවත්කර නිමුණු පසු ආහාරයට ගන්න ඔබට පුළුවන්. 

ගස්ලබු දෝසි

අවශ්‍ය ද්‍රව්‍ය

  • බාගෙට ඉදුණු සාමාන්‍ය ප්‍රමාණයේ ගස්ලබු ගෙඩියක් (1kg ක් පමණ)
  • සීනි 250g ක් පමණ
  • ලුණු ස්වල්පයක්
  • කුඩු කරගත් කරදමුංගු, කරාබුනැටි සහ කුරුඳුපොතු ස්වල්පයක්

සාදාගන්නා අකාරය

කෙසෙල් කොළයක් තවාගෙන සූදානම් කර තබාගන්න. 

පොතු සහ ඇට ඉවත්කරගත් ගස්ලබු ගෙඩිය සිහින්ව ලියාගන්න.

භාජනයක් ලිපතබා එයට ගස්ලබු කැබලි, සීනි සහ ලුණු එකතු කර හැඳිගාන්න.

සීනි දියවීගෙන එන විට කරදමුංගු, කරාබුනැටි සහ කුරුඳු කුඩු එකතු කර හොඳින් හැඳිගාන්න.

ටික වේලාවක් යන විට ගස්ලබු කැබලි දියවී සීනි සමඟ එක්වී භාජනයේ නොඇලෙන තලපයක් සෑදෙන බව ඔබට දකින්න ලැබෙනවා.

දැන් මේ මිශ්‍රණය සූදානම් කරගත් කෙසෙල් කොළයට දමා අඟල් භාගයක පමණ උසට අතුරා ගන්න. 

රස්නය තිබියදීම කිරිබත් හෝ කොටු හැඩයට කපා නිමුණු පසු ආහාරයට ගන්න.

මේ විදිහටත් ගස්ලබු හදල බලමුද ?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles