රුපියල් 500කට අඩුවෙන් සකසා ගතහැකි උදේ ආහාර වට්ටෝරු තුනක්

මේ දවස් හැමෝටම ආර්ථික වශයෙන් අපහසුයි. දීර්ඝකාලීන ප්‍රතිඵල සඳහා අරගල කරන ගමන් එදිනෙදා ආහාර වේලෙන් පවා අපිට පිරිමහන්න සිදුවෙලා තියෙනවා. පෝෂණයත් රසත් එක්ක අඩු වියදමින් හදාගන්න පුලුවන් උදේ ආහාර වට්ටෝරු කිහිපයක් ඔබ වෙනුවෙන් ගෙන එන්න හිතුවේ ඒ නිසයි. මෙහි දැක්වෙන හැම වට්ටෝරුවක් ම සාමාන්‍යයෙන් හතර දෙනෙක් ඉන්න පවුලකට වේලකට පමණ අවශ්‍ය ප්‍රමාණයටයි ගෙන ඇත්තේ. සාමාන්‍යයෙන් රුපියල් 500කින් පමණ මේ වට්ටෝරුවක් සම්පූර්ණ කරගන්න පුලුවන්.

කොස් කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය

පැසුණු කොස් මදුලු 1kgක්

බිත්තර දෙකක් පමණ

කුඩා කැරට් අලයක්

පලා ටිකක්

කරපිංචා

සුදුලූණු ටිකක්

තෙල්

කෑලි මිරිස් සහ ලුණු

හදන්නේ මෙහෙමයි

කොස් ටික කුඩාවට කපා තම්බා ගන්න. තෙල් ලිප තබා රත්වන විට සුදුලූණු සහ කරපිංචා දමා රන්වන් පැහැවන තුරු බැදගන්න. බිත්තර දෙක දමා ස්ක්‍රැම්බල් කරගන්න. කැරට් අලය ග්‍රේට් කර එක් කරන්න. රස අනුව කෑලි මිරිස් සහ ලුණු එක් කර කොස් ද එක්කර හොඳින් මිශ්‍ර කරන්න. විනාඩි දෙකක් පමණ වෙලාවක් මිශ්‍ර කරමින් පිසගන්න. 

බිත්තර රොටී

අවශ්‍ය ද්‍රව්‍ය 

බිත්තර 4ක්

පාන් පිටි මේස හැඳි දෙකක්

අවශ්‍ය තරම් එළවලු

ලුණු සහ ගම්මිරිස්

තෙල්

හදන්නේ මෙහෙමයි

බිත්තර හතර විනාඩි පහක් පමණ හොඳින් ගසා ගන්න. හොඳින් පෙණ එන සේ ගසාගන්නට ඕනෙ. පාන්පිටි ටික එකතු කරන්න. කැට නොසිටින සේ දිය කරගන්න. එළවලු, ලුණු සහ ගම්මිරිස් ද එකතු කර ගන්න. ආප්ප තාච්ච්යක් ලිප තබා තෙල් ගා ගන්න. මිශ්‍රණයෙන් අඬු කෝප්ප බාගය බැගින් ගෙන තාච්චියට දමා එක් පැත්තක් හොඳින් බැදුණ පසු අනිත් පැත්ත බැද ගන්න. 

රුලං පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය

රුලං 250gක්

පොල් බෑයක පොල්

කුඩාවට කැපූ එළවලු

ලුණු සහ මිරිස්

වතුර ටිකක්

හදන්නේ මෙහෙමයි

රුලං ටික රන්වන් පැහැ වන තෙක් කබලේ බැදගන්න. පොල් ටිකත් දමා ඉතා අඩු ගින්දරේ පිස ගන්න. පොල්වල තෙත යන්තමින් හිඳෙන විට වතුර කෝප්ප බාගයක් දමා හැඳිගාමින් පිස ගන්න. එළවලු සහ ලුණු, මිරිස් ද එකතු කරගන්න. 

Related Articles

Don't Miss


Latest Articles