හරියටම රසම රස කිරිබතක් හදමු

කිරිබත් කියන්නෙ ශ්‍රී ලාංකීය අපේ ආහාර සංස්කෘතිය ඇත්තෙ නිතරම කතාවෙන සහ අනිත් ආහාරපාන වලට වඩා වැඩි වටිනාකමක් දීල සළකන කෑමක්නෙ. 

අපි සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක් ලබද්දී, සුබ කටයුත්තක් පටන් ගද්දි එහෙමත් නැත්නම් විශේෂ කෙනෙක් කෑමට එකතුවෙන වෙලාවෙදී හදන කිරිබත් දැන් දැන් නම් විශේෂ නොවෙන අවස්ථා වලදීත් අපේ නිවෙස් වල පිළියෙල වෙන ආහාරයක් වෙලා තියෙනවනෙ.

අන්න ඒ නිසාම හරියටම ලස්සනට කිරිබතක් හදාගන්න විදිහ ඔබට කියල දෙන්නයි අද අපි සූදානම් වෙන්නෙ. 

කිරිබත් කන්න සැරට රසට කට්ට සම්බෝලයකුත් හදාගන්න විදිහ කියල දෙන්න අපි බලාපොරොත්තු වෙන නිසා මේ ලිපිය අවසානය දක්වාම රැඳී ඉන්න කියලත් ඔබට මතක් කරනව.

කිරිබත්

අවශ්‍ය ද්‍රව්‍ය 

සුදු කැකුළු සහල් 400g ක් 

උකු පොල් කිරි කෝප්ප 2 ½ ක් 3 ක් පමණ

ලුණු කුඩු තේ හැඳි 02 ක්

වතුර කෝප්ප 03 ක් 04 

රම්පා කොළ කැබැල්ලක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම සුදු කැකුළු සහල් හොඳින් සෝදා වතුර බේරාගෙන උයන භාජනයකට දමා ගන්න.

සහල් වලට උඩින් ඔබේ මැද ඇඟිල්ල තබා පළමු පුරුක තෙක් වතුර තබා ගන්න.

දැන් භාජනය ලිපතබා පියනකින් වසා සාමාන්‍ය ඌෂ්ණත්වයේ බත උයාගන්න.

බත ඉඳී අවසන් වුන පසු සියළුම බත් ඇට හොඳින් තැම්බී ඇත්දැයි බලන්න. අමු බත් ඇට තිබුනොත් උණු වතුර ටිකක් දමා පියනකින් වසා නැවත ඉදෙන්නට තබාගන්න පුළුවන්. 

කෙසෙල් කොළයක් තවා හෝ තරමක් ඉඩ ඇති තැටියක් සූදානම් කරගන්න. 

දැන් උකු පොල්කිරි වලට ලුණු එකතු කර හොඳින් කලවම් කර හොඳින් තැම්බී ඇති බත් වලට එකතු කරගන්න. 

බත් වැසෙන ප්‍රමාණයට ටිකක් වැඩියෙන් පොල්කිරි තැබිය යුතුයි. 

රම්පෙ කැබැල්ලත් එකතු කරන්න. 

දැන් ගින්දර සාමාන්‍ය මට්ටමේ තබා පොල්කිරි හොඳින් බත් වලට උරාගන්නා තුරු හොඳින් හැඳිගාන්න.

පොල්කිරි හිඳී බත් ඇට එකිනෙක ඇලෙන සේත් භාජනයේ නොඇලෙන සේත් තැම්බී අවසන් වූ පසු කිරිබත් සෑදී අවසන්.

දැන් ලිපනිවා කලින් සූදානම් කරගත් කෙසෙල් කොළය මතට හෝ තැටිය මත ඔබ කැමති උසක් සිටින සේ අතුරා ගන්න.

ඔබ කැමති හැඩයකින් සහ විශාලත්වයකින් යුතු කැබලි කපා මඳ රස්නෙන්ම පිළිගන්වන්න.

කට්ට සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය

කෑලි මිරිස් 25g ක් (ඔබේ රස අනුව)

ලුණු කුඩු මේස හැඳි  ¾ ක් හෝ 01 ක් 

උම්බලකඩ 20g ( ඔබේ රස අනුව)

දෙහි යුෂ

සාදාගන්නා ආකාරය 

කෑලි මිරිස්, ලුණු කුඩු සහ උම්බලකඩ එකතු කරේ ගලේ අඹරා ගන්න. වංගෙඩියක් භාවිතා කරල තලා ගන්නත් පුළුවන්.

උම්බලකඩ සාමාන්‍යයෙන් ටිකක් ලොකු කැබලි වලට කැඩෙන තෙක් තලා හෝ අඹරාගෙන මිරිස් මිශ්‍රණය වෙනම භාජනයකට ඉවත් කර ගන්න.

දැන් එයට රස අනුව දෙහි සහ අවශ්‍ය නම් ලුණු කුඩුත් එක්කර ගන්න.

බ්ලෙන්ඩරය භාවිතා කරනවා නම් කෑලි මිරිස්, ලුණු, උම්බලකඩ සහ දෙහි යන සියල්ලම එකට දමා එක්වර කලවම් කරගන්නත් පුළුවන්. 

කෑලි මිරිස්, ලුණු, උම්බලකඩ දමා තලාගන්නා විටම එයට රතුළුනු එකතු කර තලාගෙන දෙහි මිශ්‍ර කිරීමෙන් ලුණු මිරිස් හදාගන්නත් ඔබට පුළුවන්. 

එහෙමනම් මේ විදිහට කට්ට සම්බෝලෙක් එක්ක කිරිබත් කාල බලමුද?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles