fbpx

සඳක් කළ සක්මන්-11

මගේ හදවත ගැස්ම කෙතරම් වේගවත් වී තිබුණාද යත් මා හුස්ම ගත්තේ වේගවත් ව ය. ඒ හඬ ආකාශ් සඳයුරු ගුරුගේ ට අසේවියි ඒ අතරේ ම මම බිය වීමි. සමහර දේවල් නො කියා ම ඉන්නා එක හොඳ ය. සිදු නොවී ම පවත්නා එක හොඳ ය. එතකොට බලාපොරොත්තුවක මිහිරියාවක් එක්ක හුස්ම ගන්නට පුළුවන. ඒවා සිදු වෙන්නට ගත්දී ජීවිතය වඩාත් අපහසු තැනකට ඇද වැටෙන්නට පුළුවන. එතකොට තිබූ අර මිහිරියාව කියන අවිහිංසක මුලාව ද නැති වී යයි.

“අනේ එපා අයියෙ…මට මුකුත් කියන්න එපා”

කියා කෑ ගසා කියන්නට මට ඕන වුණේ ය. නමුත් කෙළ බිදක් ගිල ගන්නට හෝ මගේ උගුර පොහොසත් වූයේ නැත.

“පූජා මං ගැන වැරදියට හිතන්නෙ නෑ කියල මං හිතනව. එහෙම නේද…”

මා කුමක් කියන්න ද? මා කෙසේ ප්‍රතිචාර දක්වන්න ද? අයිස් කන්දක් ව මා ගල් ගැසී යමින් තිබිණ.

“ඔයාගෙ නංගි…චායා නේද එයා…නංගි මට ලෙටර් එකක් දුන්නා”

“ආ…”

ඉහළට ගත් හුස්ම පහළ හෙළා ගත නොහී මා ප්‍රතිමාවක් වූවා සේ ය. 

“ඔයා කලබල වෙන්න එපා ඉතිං”

ඔහු ඉතා මත් ම ගැඹුරු වූ සිය මුණිවර හඬින් මගේ හිතේ අන්තිම පත්ල ද පිරිමැද්දේ ය.

“මං මේක කියන්නෙ ඔයාට නොකියා ඉන්න එක වැරැද්දක් නිසා. විභාගෙ ඉවර වෙනකල් කියන්නෑ කියල හිතා ගත්තෙ ඔයාට තියන ප්‍රශ්න ඕනවටත් වැඩි තරං නිසා. දවසක් මං බැල්කනි එකේ ඉන්නකොට නංගි ඒ පැත්තෙ ඉඳං මට මොනා හරි කියන ගමං නවපු කොලයක් තාප්පෙට උඩිං අපේ වත්තට දැම්ම. මං ඉතිං පහළට ගිහිං ඒක අරං බැලුව. ඒක ලියුමක්”

මට දැනුණ ලැජ්ජාව පොළොව පළා ගෙන යන්නට හිතෙනා තරම් එකකි. නංගී මේ තරම් ලජ්ජා බය නැතිව හැසිරෙන්නට පටන් ගත්තේ කෙසේ ද? ඇය තවමත් නවයේ පන්තියේ ළමයෙකි. ඒ තරම් නිර්භීත ලෙස පිරිමි ළමයෙකුට ප්‍රේමාරාධනයක් කරන්නට තරම් ඇය හිත හදා ගත්තේ කෙසේ ද?

“ඒකෙ තිබුණෙ ඔයාට කැමතියි කියලද…”

මම කලබලයෙන් ඇසුවෙමි. ආකාශ් මඳහසකින් හිස සැළුවේ ය.

“හ්ම්”

“අනේ මට සමා වෙන්න අයියෙ. නංගි වෙනුවෙං මං ඔයාගෙං සමාව ඉල්ලනව”

“ඒයි…මොකද මේ…ඔයා මොකටද සමාව ඉල්ලන්නෙ…”

ඔහු නිවී සැනසිල්ලේ කීවේ ය. ඒ තරම් නරක දෙයක් සිදු වී තිබියදී ඔහු වගේ සන්සුන් වන්නට මා නම් දැන සිටියේ නැත.

“පිස්සුද මන්දා ඒ ළමයට…අනික ලැජ්ජ නැද්ද…”

“ඇයි ලැජ්ජ නැද්ද කියන්නෙ…”

ඔහු හැරී බලන්නට බැරි කමට ඉදිරි කැඩපත හරවා හොඳින් මදෙස බැලුවේ ය. මම ඉවත බලා ගතිමි.

“පොළවෙ ඉඳං අහස අල්ලන්න බෑ කියල  තේරුං ගන්න තරං නංගි තාම මනසින් වැඩිල නෑ. අනික…මේ…අයියට එහෙම යෝජනාවක් කරන්න…මේ ළමයනං…අනේ මන්දා. මටත් අයියගෙ මූණ බලන්න ලැජ්ජයි”

ආකාශ් සුසුමක් අත් හළේ ය. ඉන්ක්බිති ටික දරක් එන තෙක් ඔහු ර්ය පැදවූයේ නිහඬව ය. ඒ අතරේ සුසුම් කිහිපයක් ගිළිහෙන හඬ ඇසිණි.

“මං හිතුවෙ නෑ පූජා මං ගැන ඔහොම හිතනව කියල”

එක් සුසුමක කෙළවර ඔහු මිමිණුවේ ය. අහසින් පොළොවට වැටුණා බඳු ගැස්මකින් මම ඔහු දෙස බැලුවෙමි.

“නංගි…මං කවදාවත් හිතන්නෑ මං අහසක් කියල…ආකාශ් කියල අම්මල නම තියල තිබුණට…මං අහසෙ ජීවත් වෙච්ච මිනිහෙක් නෙවෙයි”

“ඒ කියන්නෙ අයිය අපේ නංගිට කැමතියි කියන එකද…”

ඒ තරම් ඉක්මනින් ඒ ප්‍රශ්නය කොහොම මගේ මුවින් පිට වූවා ද කියා මා දන්නේ නැත. ආකාශ් මදෙස රවා බැලුවේ ය.

“ඇත්තටම ඔළුව කොහෙ හරි හැප්පුණාද ආ…”

මට සිනා නැගුණේ ඇයි දැයි මම ම නො දනිමි. එය කිසියම් සැනසිලිදායක හැඟීමක් මත උපන් සිනහවක් ද?

“ඇයි…”

“නෑ මට එහෙම පේනව”

පාසලේ වෙහෙළියන් එක් ව කරන සිනහවකට සේ මම හිචිස් ගා හිනැහීමි. ආකාශ් කැඩපත තුළින් තියුණු බැල්මක් හෙළුවේ ය. මම මොහොතකට කැමැත්තෙන් ම ඒ නෙත් හි පැටලී සිටියෙමි. ඒ වගේ දඟකාර කමකට මසිත් හි කොතැනක ඉඩක් වෙන් වී තිබුණාද කියා මා දන්නේ නැත.

“දෙයක් කියන්නද…”

ඔහු ඇසුවේ සන්සුන් ව ය. තැන්පත් ව ය. නමුත් මේ මොහොතේ මම දඟකාරිය වී සිටියෙමි.

“කියන්න”

“ලස්සනයි”

මගේ සිනහව හෙමි හෙමිහිට තුනී වී යන්නට පටන් ගත්තේ ය. මම වීදුරු කවුළුවෙන් පිටත බලා ගතිමි. නමුත් මා කිසිත් නුදුටු බව විශ්වාස ය.

“ඔයා කොහොමත් ලස්සනයි. ඔහොම හිනා වෙලා ඉන්නකොට ගොඩක් ලස්සනයි”

මුවින් සිනහව තුනී වී ගියා ට සිත් හි වූයේ සරැළි නගනා ප්‍රීති ප්‍රමෝදයකි. යෞවනයෙකු ගේ මුවින් ලස්සනයි කියා අසා ගැනීම මගේ වයසේ වන ඕනෑ ම යුවතියක ප්‍රහර්ෂයට පත් කරනා සිදු වීමක් බව නො කිව මනා ය. කෙසේ වෙතත් වෙනත් තුරුණුවෙකු එසේ කීවා නම් දැනෙනු නැතැයි සිතිය හැකි විදිහේ අශ්වාදයක්, ආකාශ් නිසා මේ මොහොතේ මම විඳිමින් සිටියෙමි.

එදා විභාගය නිම වී ආ ප්‍රථම දිනයෙන් පසු ආකාශ් මා හා ගෙදරට ම ආවේ නැත. ඒ වෙනුවට ඔහු හයිලෙවල් පාරෙන් අපේ ගම් පෙදෙස වෙත පිවිසෙන බස් නැවතුමෙහි මා බස්වා හැරී ගියේ ය. මාත් එක්ක යන එන එක ඔහු සිය මව ගෙන් හංගන බව ඒ අනුව මට සිතා ගත හැකි විය. එදා මා ඒ ගැන ඇයට කියන්නට ගිය වෙලේ ආකාශ් මට සැර දමා ගෙන ආවෙන්, ඒ බවක් ඇයට කියන්නට මම පසු බෑවෙමි. නමුත් මේ අන්තිම දිනයේ ඔහු මාත් එක්ක ම ගෙදර ආවේ ය.

“දැන් නංගිට බනින්න එහෙම යන්නෙපා හොඳේ”

මා රියෙන් බැස ගත්දී ඔහු කීවේ ය. මම සිනහවක් පමණක් පිළිතුරු කොට දුනිමි.

“ආකාශ් එක්කද ආවෙ…”

මා ගෙට ගොඩ වෙත්දී ම නංගී ඇසුවාය. රියෙන් මා බසිනු ඇය දකින්නට ඇත.

“හ්ම්”

මම ගණනකට නැති ව කීවෙමි.

“අපිව දැක්කහම තමයි විදුලිය වගේ ඇදල යන්නෙ….ඔය ඒගොල්ලංව වඩම්මන්නෙ ලස්සනට කාර් එකෙං”

වචන වලින් ඇය මගේ මූණ ට දමා ගැසුවා ය. නංගී වෙතින් දැකිය හැකි වූයේ කේන්තියට රතු වූ මුහුණකි. අම්මා තරමටවත් ඇය තමන් ව පාලනය කර ගැනීමට නො දන්නා සෙයකි.

“කවුරු කියලද දන්නෑ හිතං ඉන්නෙ…මට තද වුණොත් ගහනව මෙතනිං යද්දි ගලකින්…කාර් එකේ වීදුරු කුඩු පට්ටං වෙලා යන්න”

මට සිනහ නැගුණේ ය. එසේ ම නංගී පිළිබඳව ඉසිහින් අනුකම්පාවක් ද දලු ලන්නට විය. ආකාශ් ඇය ගැන කී කතාව ඇසූ වෙලේ සිට නංගී පිපිළිබඳව සිත තුළ වැඩෙන්නට ගත් කෝපය තුනී වී ගොස් ඇති බවක් මට දැනිණ.

“මගෙ විභාගෙ ඉවරයිනෙ. අද ඉඳල ලෑස්ති වෙන්න ඔයාගෙ පාඩං ටික පිලිවෙලකට කියල දෙන්න”

මම සැබෑ කරුණාවකින් කීවෙමි. නනමුත් ඇය ඊට ප්‍රතිචාර දැක්වූයේ වැරදි ආකාරයකට ය.

“අනේ මේ…මට ඕන ඇති පාඩමක් නෑ”

මගේ කේන්තිය සීමාව පැන්නේ එවිටයි.

“ඔව් මට පේනව දැං….තමුසෙට ඕන ඇති පාඩමක් නෑ කියල. ඒ වගේම මට පේනව තමුසෙට මොනාද ඕන වෙලා තියෙන්නෙ කියල. නංගි මේ…වයසට ගැලපෙන විදිහට වැඩ කරනව හොඳේ. මෙතන නටන්න තියා ගත්ත”

“මොකද මොකද මේ ගෙට ගොඩ වෙච්ච වෙලාවෙ ඉඳල කරච්චලේ”

තාත්තා කුස්සිය පැත්තෙන් ගෙට ගොඩ වූයේ ය. මෙතෙක් වෙලා ඔහු ඉන්නට ඇත්තේ පරවි කූඩුව ළඟ යයි මම අනුමාන කළෙමි. කොහොමටත් නංගී ට පොඩ්ඩක් සැරෙන් කතා කළොත් තාත්තා ට රිදේ. ඇය මට ගැහුවත් ඔහු කියන්නේ ඇය තවම පොඩි නිසා නො තේරෙන බවයි. පොඩි කාලේ සිට ම එහෙම ය.

මම නිහඬ ව කාමරයට ගියෙමි. ඉන් පසුත් නංගී ආකාශ් ගැන කිහිප විටක් ම කේන්තියෙන් හෝ නො රිස්සුමෙන් කතා කරනු මට ඇසී තිබේ.

“අලි ඔළුවෙං ඉන්නෙ. එයා හිතං ඉන්නෙ එයා ශාරුක් ඛාන් කියල වෙන්න ඇති. අනින්න හිතෙනව හොම්බ කැඩෙන්න”

වැනි කතා, ආකාශ් සම්බන්ධයෙන් ඇය නිතර කීවා ය. එ්වා මිදි පොකුරට උඩ පැන්න නරියා කි කතා වලට සමාන බව මම දැන සිටියෙමි. නමුත් කෙළින් ම කිසිත් කියා බැණ වදින්නට මට ඉඩක් නො වූයේ ආකාශ් කළ ඉල්ලීම නිසා ය.

විභාගය අවසන් වූ නිසාවෙන් පාඩම් කරන්නට හෝ පාඩම් අසා ගන්නට මා තව දුරටත් ගුරුගේ මැදුර ට යා යුතු නො විණ. උදේ කාලයේ එහි ගොස්, නෙරංජලා ගුරුගේ මිලදී ගෙන ඇති නවකතා පොතක් දෙකක් ගෙනැවිත් මම කියවමි. දවස ගත කරන්නට වෙන විදිහක් තිබුණේ නැත. ඉන්නට වෙන ම කාමරයක් තිබුණ එක ලොකු දෙයකි. මම එය මගේ පුංචි ලෝකය ම කර ගෙන ජීවත් විමි. 

පාඩම් කියා දෙන්නට නංගී ව අල්ලා ගන්නට පහසු වූයේ නැත. ඇය කුමක් හෝ දෙයක් කියා මගහැරියා ය. ගෙදර තත්වය යළි සාමාන්‍ය අතට හැරී තිබිණ. අම්මා සේ ම තාත්තා ද හැසිරුණේ ඔවුන් අතර කිසිත් සිදු නොවූ පරිදි ය. මිනිසුන් ට එසේ හැසිරිය හැකි වන්නේ කෙසේ දැයි මම නම් නො දැන උන්නෙමි.

විභාගය නිම වූ දා සිට දෙසතියක් ඉක්ම යන තෙක් මා ආකාශ් ව දුටුවේ ම නැත. පෙර තරමට හෝ දැන් මා මිදුලට නො ගොස් කාමරය වාස භූමිය කර ගෙන සිටින නිසා ඔහු සඳැල්ලෙහි සිටිනවා වුව දකින්නට නො ලැබේ. ඒ තරමට ඔහු ගෙන් වහං වී ඉන්නට මට වූ ඕනෑ කම කුමක් ද කියා ත් මම මගෙන් ප්‍රශ්න කළෙමි. නමුදු නිශ්චිත පිළිතුරක් මා දැන සිටියේ නැත.

එක දවසක් දවාලේ පොද වැස්සක් ඉහිර යමින් තිබිණි. හිතේ වූයේ කම්මැළි කමකි. කියවන්නට පොතක් හෝ තිබුණේ නැත. නෙරංජලා ගුරුගේ ගෙන් ගෙනා නවකතා පොත් දෙක ම කියවා හමාර ව තිබිණි. අලස ලෙස යහනෙහි වැතිරෙමින් ද කාමරයේ සක්මන් කරමින් ද ටික වෙලාවක් ගෙවා දැමූ මම ක්ෂණික සිතිවිල්ලකට නතු ව පොත් දෙකත් ගෙන වැහි පොදය අතරින් ම ගුරුගේ මැදුරට දිව ගියෙමි.

“මං ඒත් බැලුව මේ දවස් දෙක තුනේ ආවෙ නැත්තෙ ඇයි කියල”

නෙරංජලා කීවා ය. 

“මේ දෙක කියෙව්ව. මේව තියල වෙන පොත් දෙකං තෝරං එන්නං ආන්ටි”

ඇය හිස සලත්දී මා පිය ගැට පෙළ දෙසට අඩියක් තබා ත් ඉවර ය. 

මේ ටික දිනට රාක්කයේ වූ නවකතා වලින් ඉතා විශාල ප්‍රමාණයක් මා කියවා තිබුණේ ය. පොතින් පොත ගෙන අග මුල බලමින් සිටියදී මගේ පිටුපස සිට කම්මුලක ගෑවී නො ගෑවී අතක් පොතක් වෙත දිගු විය. ඒ මා ගන්නට ගිය පොත ය. හැරී බලන්නට දෙයක් නොවේ. ඒ ආකාශ් බව සුවඳින් ම මට දැනේ. ඔහු ගෙදර සිටිතැයි මම දැන නො උන්නෙමි. අඩු තරමින් ඔහු ගේ රිය හෝ පෙනෙන්නට නො විණි. එය දොර වැසුණු රථ ගාලෙහි තිබෙන්නට ඇත.

ඇටමැස්සා පොත ඔහු ගේ අතෙහිත්, මගේ ඉදිරයෙහිත් විය. පපුවෙහි ගැස්ම නවතා ගන්නට මම උත්සාහ කරමින් සිටියෙමි.

“මේක කියවන්න එපා”

ඔහු කීවේ ය.

“මං මේකට කැමති නෑ”

“ඇයි…”

වෙනසක් නො හඟවන්නට මට ඕනෑ විය.

“ආදරෙයි කියල කියන්න හිටපු අන්තිම තත්පරේ ජෙම්මාට ආතර් ව නැති වුණා. ඒක මහ මූසල හැඟීමක්. මට පුළුවන් කමක් තිබුණනං මං මේ එන්ඩ් එක වෙනස් කරනව”

“හැම කතාවක් ම සුඛාන්තයක් වෙන්නෙ නෑ”

මම කොඳුරා ගතිමි. මේ වගේ හද ගැස්ම තීව්‍ර වී තිබෙන වෙලාවක ඒ වගේ පණ්ඩිත කතාවක් කෙසේ මා කියා ගත්තේ ද කියා මම නො දනිමි.

“ඒත් මට ඕනෙ හැපි එන්ඩ් එකක්”

“පොත් වල කොහොම වුණත් හැපි එන්ඩිංස් ජීවිතේ නං නැති තරං අයියෙ”

මම ඒ පොතට අත තැබීමි. ආකාශ් එය නැවතත් පොත් රාක්කයෙහි තැබුවේ ය. 

“පූජා. මට ඔයාට දෙයක් කියන්න ඕනෙ”

“නංගි ගැනද…”

මහත් කලබලයක් මට දැනුණේ ය. මම හැරී ඒ මුහුණ බැලීමි. ඒ  දෙතොලතර මනබඳනා මඳහසක් පිපිණි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x