හසරැලි වැස්සේ – 59

සමහර කාරණා සිදු වන්නේ අපට ඕනෑ හැටියට ද නැතහොත් ඉරණමට ඕනෑවටදැයි කියන්නට මම නොදනිමි.නමුත් අම්මා මට වඩාත් සමීප වෙමින් සිටියා ය.දිගින් දිගටම ඇඳ විවේකය ලැබීම අනිවාර්ය වූ ඇය ඇගේ හැම කටයුත්තකටම තාත්තාගේ පිහිට පැතීම අනෙක් ඇදහිය නොහැකි කාරනාව විණ.

“අම්මව මම නාවන්නම්”

මම ඇය වෙත යන්නේ ආදරයෙනි.වෙනදා මෙන් තරහින් කිසිත් නොකියා ඇය මදෙස බලන්නේ මහත් ආදර දෑසකිනි.

“සුකිරිට තවම එච්චර මහන්සි වෙන්න බෑ.මට තාත්තා උදව් කරයි පැටියෝ.”

ඇය කියන්නී ය.ඉන් කෝපයට නොව මහත් ප්‍රීතියට පත් වන මා අම්මාගේ කාමරයෙන් එන්නේ සන්තෝසය පිරුණු මුහුණකිනි.මේ සිදුවීම් දෙස සරදම සහ ආදරය මුසු ඇසකින් බලන මම්මා කළ හැකි උපකාරයකටවත් අම්මා වෙත නොඑන්නී ය.අයියා සහ මා ද වළකන්නට ක්‍රියා කරන්නී ය.

“ඔයාල ලැබුණ දවස්වලවත් තාත්තගේ උදව්වක් ගන්න අකමැති වුණු ගෑනි ඔය..හැම දේම කරේ මම. ජයන්ත මල්ලි උදව් කරන්න හදනකොට එලවා ගන්නවා..”

අයියා ලැබෙද්දී තාත්තා නිවසේ සිටිය ද මගේ උපත සිදු වෙද්දී ඔහු මව්බිමේ නොසිටිය බව අම්මා එදවස පැවසුවේ විශාල වරදක් හෙළි කරන අන්දමකිනි.නමුත් දැන් අම්මා ඒ ගැන කියන්නේ සම්පුර්ණ වෙනස් කතාවකි.

“සුකිරි හම්බ වෙනකොට තාත්තට නිවාඩු තිබ්බෙත් නැහැ. ඒ උනාට තාත්තගේ කෝල්ස් ආන්සර් කරලම වෙන වැඩක් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ කියල මම්මා කියන්නේ”

දැන් ඇය තාත්තාගේ වරදක් නොදකින තරම් ය.,අප කුමක් හෝ පැමිණිල්ලක් කළ ද අම්මා වහා තාත්තාගේ යහපත වෙනුවෙන් පෙනී සිටින්නී ය.

“ආදරේ කරන්න එයා තාම පරක්කු නැහැ. තමන්ට ඕනෑ කෙනා නොලැබුණත් ලැබිලා ඉන්නේ හොඳම කෙනා කියල තේරුම් ගන්න අපේ නංගිට දැන් හරි පුළුවන් වුණු එක ලොකු දෙයක්.”

අම්මා ගැන මම්මා සැනසුම් සිතින් පවසන්නී ය.සැබෑවටම අප අවුරුදු විසි ගණනකට පසු පවුලක් ලෙස එක්ව ජිවත් වීමට පටන් ගෙන ඇති බව හැඟීම මට රැගෙන ආවේ ද සැනසීමකි. අම්මා වඩවඩාත් සන්සුන් ව සිටිමින් අප දරා ගන්නට ද අපට ඇය දරා ගන්නට ඉඩ දෙන්නට ද පටන් ගැනීම ම මට අන් කිසිවකටත් වඩා සතුට රැගෙන ආ හේතුවකි.

“අම්මගේ ආදරේ කාලෙකින් ලැබුණට පස්සේ මට නම් වෙන කිසිම දෙයක් ඕනෑ නැහැ කියලා හිතෙනවා.”

මම අයියා සමඟ සැනසීමෙන් පැවසුවෙමි.තාත්තගේ මුහුණෙහි දැන් අඳුරු සහ වෙහෙසකාරී පෙනුමක් ඇත්තේම නැති තරම් ය.මම්මා ව මුළුතැන්ගෙයින් එලියට ඇද දමන ඔහු විටෙක විවිධාකාර ආහාර වට්ටෝරු පවා උත්සාහ කර බලන්නට සමතෙකි.හිනාව සහ කෙළවරක් නැති සරදම් නිවෙස පුරා ගලා යද්දී ප්‍රමාද වූ පාරාදීසයක ජිවත් වීමට ලැබීමට ගැන මහත් නිරාමිස සතුටක් මට දැනෙන්නට විය.අයියා ද ඒ සතුට එතරම් ම අත් විඳින බව මම නෙත් පුරා විඳ ගතිමි.

ආදරය හසරැලි වැස්සක් ව ඇද හැලෙන්නට යොවුන් ප්‍රේමයක් ම ලැබිය යුතු නොවේ. අම්මා සහ තාත්තාගේ ආදරය ප්‍රමාද වී ලැබීම පවා සතුටකි.මහත් පරිපුර්ණ බවකින් මා පිරි යමින් තිබිණ.

දියණියකට ලැබිය හැකි ඉමිහිරිම සතුට මට වසර විස්සකට පසු හෝ ලැබීමම මොනතරම් සැනසිලිදායක හැඟීමක් දැයි මම බෙදා ගත්තේ සචිර අයියා සමඟ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles