එකම එක හාදුවක් – 39

0
2557

“මට ආදරෙයි නේද?” 

“ම්ම්ම්ම්, ආදරෙයි” 

“මගේ විතරයි නේද?” 

“ම්ම්ම්ම්ම්” 

ඒ කියවීමකට වඩා කෙඳිරි ගෑමකි. රහස් හඬකින් කල පිළිතුරු දීමකි. කවුරුන් හෝ කාන්තාවක් මුදු සුමුදු ස්වරයකින් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ තමන් බව නෙවින්ට පැහැදිලිය. ඒ කවුද කියා තමන් නොදන්න බව ඇත්තක් වුනත් හීනයේ පේන විදියට ඒ හඬ හිමි කාන්තාව තුරුල් වී ඉන්නේ තමාටය. මේ හීනයක් පමණක් යැයි නොහිතෙන තරම් ඒ දසුන හිතටත් ගතටත් වෙනස්ම හැඟීමකින් දැනෙන බව පමනක් නෙවින්ට තේරේ. මේ සිහිනය අසනීප වී අවදි වූ දිනයේ සිට මනසට වද දෙන්නට පටන් ගෙන තිබෙන බව ඇත්තක් වුනත් ඒ කවුද කියා නෙවින් නොදනී. අනෙක් අතට පසුගිය කාලයේ වෙච්ච කිසි දෙයක් මතක නැති තමාට මේ කෙල්ල කවුද කියා හිතාගන්න බැරි එක ගැන පුදුමයක් නැත.

“මාව දාලා යන්න එපා නෙවින්” කියා අන්තිමටම ඒ ගැහැණු හඬ කියන්නේ වේදනාබරවය. 

සුපුරුදු විදියට එදාත් ඒ සිහිනයෙන් තමන් ගැස්සී ඇහැරුනේ ඒ මොහොතේමය. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වලට ඒ වෙද්දිත් උදේ ඉර පායා තිබුණි. හීන් සැරේ ඇඳෙන් බැස්ස නෙවින් තවමත් සීයට සීයක්ම සනීප වී නැති කකුල හීන් සැරේ බිම තමා ඇඳ විට්ටම අල්ලාගෙන නැගිට්ටේය. අත්වාරුවෙන් මිදී මෙහෙම හරි යන්න පුලුවන් වෙච්ච එක ලොකු දෙයක් බව දොස්තර කිව්වේ “ඒ ඇක්සිඩන්ට් එක වෙලා ඔයාව ගෙනාව වෙලේ මං ඇත්තටම හිතුවෙ ඔයා එතනම මිය ගිහින් කියලා” කිව්වයින් පස්සේය.  අක්කා උන්නෙ පොඩි පුතාව ඩේ කෙයා එකට දාගෙනම රැකියාවට යනු පිණිස උදේ කෑම හදන්න මහන්සි වෙමින් ය.

“ඔයා නැගිට්ටද මල්ලි?” කියා හිනාවෙන ගමන් අක්කා උණු කල කිරි එක ජොග්ගුවට දමා මේසෙ උඩින් තියද්දි නෙවින් ඒ සිනාවට හීන් හිනාවකින් උත්තර දුන්නේය. අක්කා පෙන්නූ තමන්ගේ අතීත පින්තුරවල උන්නාක් මෙන් හිනාවෙන්න ආයෙ දවසක් ඒවිද කියන ප්‍රශ්නෙ හිතේ තිබ්බ එක ඇත්තකි. ඒ වනාහී තමන්ට අමතක අතීතයකි. අමතක මතකයන් රැසකි. ඒ මතකයන් ආයෙ මතක් වේද කියාවත් විශ්වාස නැත.

“ඇයි මල්ලි ආයෙ අර හීනෙ දැක්කද?” කියා අයෙන්ද්‍රි ඇත්තටම නෙවින් ලඟට විත් උරට අත තිබ්බේ සිත් තැවුලෙන් ය. මාස ගාණකට පස්සේ හෝ මල්ලී ඒ අනතුරෙන් මේ විදියට ගොඩ ආ එක “මෙඩිකල් මිරැකල්” එකක් බවට හැමෝම කියන කතාව අයෙන්ද්‍රිත් විශ්වාස කලාය. අනතුරු වූ අයුරුත්, තැලී පොඩි වී ගිය මල්ලිගේ කාරෙකත් දැක්ක වෙලේ මල්ලි ආයෙ ජීවත්වේද කියන සිතුවිල්ල හිතිච්ච එක අසාධාරණ නැති බව අයෙන්ද්‍රි දනී. කුමක් හෝ හේතුවකට ජීවිතේ අල්ලගෙන ඉන්න මල්ලි තීරණය කර ඇති බව දොස්තර කිව් මොහොතේත් ටිකෙන් ටික මල්ලි සනීප වීගෙන එද්දී “හී ඊස් අ ෆයිටර්” කියා දොස්තර කියද්දිත් අයෙන්ද්‍රිත් භානුකත් පුංචි ජේඩ්නුත් සැනසුම් හුස්මක් අරගත් හ. අනතුරෙන් පස්සේ ඉපදුණේ තමන්ට හුරුපුරුදු කෙලිලොල් දඟකාර මල්ලි නොවුන එක ඇත්තකි. ඉස්සර මෙන් හයියෙන් හිනාවෙන, විහිලු කරන, භානුක අයිය එක්ක සෙට් වෙන, ජේඩ්න්ව සුරතල් කරන මල්ලි කෙනෙකු වෙනුවට වඩා නිහඬ, නිතරම කල්පනා කරන, කලාතුරකින් හිනාවෙන කතාවෙන මල්ලි කෙනෙක් උනත් ආදරෙන් බලාගන්න අයෙන්ද්‍රිගෙ මව්වත් අක්කා ආදරය කටයුතු කලාය.

“එකම හීනෙ හැමදාම එකම විදියට පේන එක ඔලුවට හරි කරදරයි අක්කෙ. අනික මට ඒ හිනෙ ඔලුවට හරි බරයි”

“ඒ පේන ගර්ල් ගැන ඔයාට පොඩ්ඩක්වත් මතක නැද්ද?”

“කොහෙ මතක තියෙන්නද අක්කෙ? කොටින්ම මගෙ නම පවා මට කිව්වෙ ඔයානෙ මම ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ නැගිටිද්දි. එහෙම එකේ”

“අනේ මන්දා මල්ලි, මං අයියා එක්කත් කිව්වෙ අපි දැනුවත්ව ඔයාට එහෙම අෆෙයාර් එකක් තිබ්බෙත් නෑ. ඔයා අපිට එහෙම දෙයක් තිබිල නොකිය ඉඳියද කියන්න මම දන්නෙ නෑ. එයාගෙ රූපෙ අඳුරන්නෙත් ඔයා විතරනෙ. අඩුම ගාණෙ නමක්වත් දන්නවනම් මොකක් හරි කරන්න තිබුනා. ඔයාගෙ ෆෝන් එකයි ලැප්ටොප් එකයිත් හොඳටම ඩැමේජ් වෙච්ච එකෙන් ඒකෙන්වත් මුකුත් හොයාගන්න පුලුවන්කමක් නෑනෙ. ඔයාගෙ සෝශල් ප්‍රොෆයිල්ස්වලවත් හොයල බලන්න ඒ ළමයගෙ නමවත් දන්න එකක් ය” කියා දුක්වෙනවා ඇරෙන්න ඇත්තටම අයෙන්ද්‍රිට වෙන කරන්න දෙයක් තිබුනේ නැත.

අක්කා හදා දුන් තේ කෝප්පය අතට අරගෙන එලියට ගොස් ගාඩ්න් එකේ දමා තිබුන පුටුවක වාඩිවෙච්ච නෙවින් කලේ අහසේ නැගෙනහිරින් පායා එමින් තිබෙන ඉර දිහා බලාගෙන කල්පනා කරන එකය. තමන් මීට අවුරුදු එකොලහකට පමන කලින් මිස්ට ශ්‍රී ලංකා වී තිබෙන බවත්, අනතුරුව මොඩ්ල් කෙනෙක් විදියට වැඩ කල බවත් අක්කා කියද්දී මිස ඒ ගැන මතකයක් නෙවින්‍ට තිබ්බේ නැත. හීන දකින්න පටන් ගත්තයින් පස්සේ එක එක විදියට තමන්ගේ ජීවිතේ උන්නු කාන්තාවන් ගැන හොයන්න තමන් අන්තර්ජාලය පීරුවත් ඒ කිසිදු පින්තූරයක තමන් සෙවූ රූපය තිබ්බේ නැත. 

“ඔයා අද මොකද කරන්නෙ මල්ලි?” නෙවින් ගැස්සුනේ අක්කා එන හඬවත් ඇහුනෙ නැති හන්දාය.

“මුකුත් නෑ අක්කෙ, ෆිල්ම් එකක් බලන්න ඕන වොශ් එකක් දාලා”

“ඔයාට තනියෙන් ඉන්න පුලුවන් නෙ?”

“ඔව් මෙච්චර දවසක් හිටියෙ. අවුලක් නෑ”

“මොනා හරි ඕනනම් මගෙයි අයියගෙයි නම්බර්ස් ෆ්‍රිජ් එකේ ලියල අලවල තියෙනවා, ඔයා කතාකරන්න මල්ලි” කියා අක්කා දරුවාත් අයියාත් එක්ක ගියයින් පස්සේ ආයෙ ඔවුන් එනතුරු නෙවින් කරන්නේ කාමරයේ සවිකර ඇති රූපවාහිනි යන්ත්‍රයෙන් නෙට්ෆ්ලික්ස් බලන එකය. රිදුම් දෙන කකුලක් එක්ක වෙන කරන්න දෙයක් ඇත්තටම නැත. ඊටත් වඩා අමතක වෙච්ච මතකයන් රැසක බරෙන් පිරිච්ච හිතකට ඇවිදින්න කරන්න හිතක් නැත.

අක්කා පිටව ගියයින් පස්සේ කාමරයට ආ නෙවින් නාගෙන එන්න කලින් කබඩ් එක ඇරියේ නෑවයින් පස්සෙ අඳින්න ඇඳුමක් හොයාගන්නය.තවමත්  සමහර දේවල් තිබ්බ තැන් අමතක වෙන බවක් තේරේ. කොහොමත් ඇක්සිඩන්ට් එකෙන් මාසෙකට පස්සේ සිහිය ආවෙලාවේත් වෛද්‍යවරු කිව්වේ “ඔයාට පසුගිය කාලෙ වෙච්ච ගොඩක් දේවල් අමතකයි වගේම ඉස්සරහටත් එදිනෙදා වෙන දේවල් වල අමතක වීමක් තියෙන්න පුලුවන්” කියාය. ඉතින් ජීවිතේ ඉස්සරහ කාලයම දැන් ගෙවෙන්නේ ඒ අමතක වීම එක්ක බව පිළිගන්නට වෙනවාය. 

නෙවින් කබඩය හැරගෙන හෙව්වේ නෑවයින් පස්සේ අඳින ඇඟට ලේසි ඇඳුමක් ය. ටිශර්ට් එකක් වගේ එකක් නම් ඇඟට සැහැල්ලු ය. ගෙදර දහසක් වැඩ කරන අතරෙම රස්සාවට යන අක්කාට ලෙඩ වෙච්ච, තවමත් හෝන්දු මාන්දු ගතියෙන් ඉන්න තමන්ගේ වැඩපල කරන එකත් කරදරයක් බව දන්නා නමුත් අක්කා කිව්ව විදියට දෙමව්පියන් නැති හන්දා තමන්ට වෙන යන්න තැනක් නැත. අනික් අතට අතීතයේ උන් සමහර මිනිසුන් අක්කාගේ දුරකතන අංකය ඔස්සේ කතා කරද්දී පවා ආයෙ ආයෙ මුල සිටම ඒ කවුද කියා හඳුනා දෙන්න වෙන හන්දාත් තවමත් තමා සුපුරුදු තනිකඩ ජීවිතයට යන්නට සූදානම් නැති බව පිළිගන්න ඕන ය.

මතකයේ කොහේ හෝ තැනක ලාවට ඇඳී නොඇඳී ගිය ඒ සුදු ටීශර්ට් එක කබඩ් එකෙන් එලියට ඇදී ආවේ වෙන ඇඳුමක් එළියට අදිද්දීය.

තනි සුදු පාට ඒ ටීශර්ට් එක ගෙදරට අඳින්න හොඳ එකක් බව ඇත්තකි. ඒ ටීශර්ට් එක තමන්ගෙද කියාවත් නෙවින්ට මතක නැත.

ඒත් ඒ ටී ශර්ට් එකේ එක පැත්තක කහට පැල්ලමක් ලෙස රැඳී තිබුණ කුඩා පැල්ලම ලේ පැල්ලමක් බව නෙවින්ට නොතේරුණා නොවේ. ලේ පැල්ලමක් රැඳිච්ච තනි සුදු ශර්ට් එකක් තමන් ඔස්ට්‍රේලියාවට අරගෙන ආවේ ඇයිද කියන එක නෙවින්ට ප්‍රහේලිකාවකි.

ඒත් හිත අස්සේත් ඔලුව අස්සේත් මොකක් හරි හිර වී තිබෙනවාක් මෙන් දැනෙන්නෙ තමන්ට අමතක මතක අතරේ මේ ටී ශර්ට් එකට වැදගත් තැනක් හිමිවෙන හන්දා විය යුතුය.

හීනියට හිස රිදුම් දෙද්දී නෙවින් ඇඳ උඩ වාඩි වුනේ ටීශර්ට් එක අතේ තබාගෙන ඒ දිහාම බලාගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here