“මචං මම තාරුව අම්මලගෙ ගෙදරින් දාලා අද උඹ එක්ක නතරවෙන්න එනවා. මම සඳුදා නිවාඩුවක් දැම්මා. උඹ එක්ක නුවර යන්න එන්න මට පුලුවන්” කියා ලක්ශාන් කිව්වාට නෙවින් නම් කිව්වේම “උඹට පිස්සුද බං? අනික තාරු ප්‍රෙග්නන්ට් නේද? මේ වෙලාවෙ උඹ එයා ලඟම ඉන්න ඕන නේද?”
“තාරුම තමයි මට කිව්වෙ නෙවින් අයියට තනියෙන් යන්න දෙන්න එපා. ලංකාවට ආවයින් පස්සෙ මෙච්චර දුරක් තනියෙන් යනවමනෙ කියල”
“තනියක් නෑනෙ බං ඉතින්, වාහනයක් දාන් යන එකනෙ. කෘව් එකේ අය කිව්වා උන් එක්ක යන්න එන්න කියල. ඒත් මමමයි කිව්වෙ මම තනියෙන් එන්නම් කියල. උන් මාත් එක්ක ඉන්නෙ මට හැමදේම මතකයි කියලා හිතන්.ඒ උනාට මට මතක නෑනෙ බං මුකුත්. සමහර අහන කරන කතාකරන දේවල් මට නිකන් අප්‍රබංස වගේ. ඔලුව කරදර වෙනවා වැඩියි. ඊට වඩා හොඳයි තනියෙන් කැබ් එකක් දාගෙන යන එක”
“ඉතින් හරි තනියෙන් යන්න ඕන නෑනෙ. මාත් එන්නම් මචං. උඹේ වාහනේ තාම අපාට්මන්ට් කා පාක් එකේ. ඒක එලියට අරන් දාපන්, නැත්තම් එංජින් එකේ කේස් ඒවි නිකන්ම දූවිලි වැදි වැදි තිබිල. මම වතාවක් සර්විස් එකට දැම්ම, ඒත් රවුමක් දාන්න නම් මං එලියට අරගත්තෙ නෑ” කියා කිව්වයින් පස්සෙ කෝකටත් වෙච්ච දේවල් එක්ක ලක්ශාන් එක්ක නුවර ගමන දාගන්න එක හොඳයි කියල හිතපු හන්දාම නෙවින් ඒකට කැමැත්ත පලකලේය. ශූට් එක තියෙන්නෙ සති අන්තයේ දවසක් වුණත් සිකුරාදා දවල් වරුවේ නුවර යන්න ලක්ශාන් සහ නෙවින් යොදාගත්තෙ සෙනසුරාදා කොහොමත් රෑ වෙනකම් ශූට් ලොකේශන් එකේ ඉන්න වෙන හන්දා රෙස්ට් එකක් අරගෙන ෆ්‍රෙශ් පිටම ශූට් එකට යන්න හිතාගෙනය.
ලක්ශාන් ඉස්සර කොල්ලො සෙට් එක එක්කහු වී ගිය ගමන් ගැන, නුවරදි වෙච්ච එක එක පිස්සු වැඩ ගැනද, නෙවින්ගෙ පස්සෙන් නුවර කෙල්ලෙක් ආව එක ගැනද කියමින් ගියා උනත් ලක්ශාන් ඒ මතක් කරන අතීතය නෙවින් වදයක් විදියට භාරගත්තේ නැත. තමන් අතීතයේ ජීවත් වී තිබෙනෙ මෙන්න මේ වගේ ආතල් එකේ බව දැනගත්ත එක පවා වර්තමානයේ ජීවත්වෙන නිහඬ, නිස්කලංක, තනිවෙච්ච නෙවින්ගේ හිතට සහනයක් බව ඔහුම සිතුවේය.
“මං උඹෙන් දෙයක් අහන්න කියලා හිටියෙ?” කියා ලක්ශාන් වඩා බැරෑරුම් විදියට නෙවින් දිහා බැලුවේ කඩුගන්නාව හරියේ වාහනේ නතර කල රොටියක් කා ප්ලේන් ටී එකක් බොන අතරවාරයේ නෙවින් එක එල්ලේම පල්ලෙහයින් පේන කොළපාට කඳු දිහා බලාගෙන ඉද්දිය.
“අහපං”
“උඹ අර හීනෙන් දකින කෙල්ල ඉන්නෙ” කියා ලක්ශාන් අහද්දිත් නෙවින් කලබල උනේ ලක්ශාන්ට ඒ කෙල්ලව හමු වී ඇති බවක් හිතාය. තමන් හිතනවටත් වඩා තදින් නෙවින් හදවතින්ද මනසින්ද ඒ කෙල්ල හා සම්බන්ධ වී ඇති බව ලක්ශාන් පවා තේරුම්ගත්තේ ඒ කැළඹීම දුටු වෙලාවේය.
“ඔව් කියපං, උඹට හම්බුණාද එයාව?” කියා නෙවින් අහද්දී මෙච්චර කාලයක් පුරා හැංගී තිබිච්ච, අතීතයේ බොහෝ අවස්තාවල දැක පුරුදු නෙවින් සේනාරත්නගේ දෙනෙත් වල වූ ඒ දීප්තිමත් බව ආයෙ වතාවක් දකින්න ලැබිච්ච එක ගැන පවා ලක්ශාන් එවෙලේ පුදුම වුණේය.
“නෑ බං, මං හම්බුනා කියන්න නෙවෙයි ගියේ. මං උඹෙන් අහන්න ගියේ හදිසියෙ හරි ඒකි උඹේ ඉස්සරහට ආවොත් උඹ මොකද කරන්නෙ? මට අහන්න ඕන උනේ අන්න ඒක” කියා ලක්ශාන් අහද්දී නෙවින් කලේ නිහඬ වන එකය. අනතුරුව විනාඩියක් විතර කල්පනා කරන එකය. එක එල්ලේම නිහඬව ඉන්න නෙවින්ගේ පැත්තට පේන මූණ දිහා බලාගෙන උන් ලක්ශාන් ඒ නිහඬ කල්පනාවට බාධා කරන්න ගියේ නැත. බොහෝ ප්‍රශ්නවට උත්තර ඇත්තේ නිහඬතාවය අස්සේ බව තේරුම්ගන්නට තරම් ඒ පිරිමින් දෙදෙනාම උන්නේ පරිණත බව අත්පත් කරගෙනය.
“මම ඇත්තටම දන්නෙ නෑ බං. මම ඇත්තටම දන්නෙ නෑ මම මොකද්ද කරන්න ඕන කියලා. එයා මගෙ ජීවිතේ උන්නෙ කොයි වගේ තැනකද, එයාට මාව කොච්චර වටිනවද, එයාට මාව මතකද කියන එක පවා මම එයාගෙ කවුද කියන එකවත් නොදන්න කොට එයාව දැක්කා කියල මම රියැක්ට් කරන්න ඕන කොහොමද කියන එක ඇත්තටම මටත් ප්‍රශ්නයක්
මට එයාව අමතක උනාට එයාට මාව මතක තියෙන්න පුලුවන්ද? එහෙම නැත්තම් අර උඹයි අක්කයි කිව්ව වගේ එයා මං ගැන හොයාගෙනවත් ආවෙ නැත්තෙ එයා මාව අමතක කරලා හන්දද? මං ඒ කිසිම දෙයක් දන්නෙ නෑනෙ. එහෙම එකේ ඇත්තටම එයාව හම්බුනොත් මම රියැක්ට් කරන්න ඕන විදිය මම දන්නෙ නෑ. මම කොහොම රියැක්ට් කරාවිද කියන එකවත් මම දන්නෙ නෑ” නෙවින් එහෙම කිව්වයින් පස්සෙ ආයෙ ඒකට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියන එක තේරුම්ගන්න බැරිවුණ නිසාවෙන්ම ලක්ශාන් උන්නේද නිහඬවම තේක බොන ගමන් ය.
ශූට් එක වෙනුවෙන් කෘව් එකට නතර වෙන්න වෙනම තැනක අරගෙන තිබුන නිසාවෙන්ම නෙවින්ට ලක්ශාන් එක්ක නතරවෙන්න වෙනම කාමරයක් හමු වී තිබුණ එක හිතට සැනසුමකි. මොක උනත් තමන් ලඟ ඉන්නේ තමන්ව හොඳටම දැනගෙන උන්නු වගේම දැන් තමන් ඉන්න තත්ත්වය හොඳටම දන්න කෙනෙක් එක්ක වීම හිතට අරගෙන එන්නේ එසේ මෙසේ සැනසුමක් නොවේ.
දවස් දෙකක් ශූට් එකක් සම්පූර්ණයෙන්ම ඉවර කරන්නට යාවි කියා හිතුවාට දෙවන දවසේ භාගයක් යද්දී ශූට් එක ඉවර කරගන්න පුලුවන් වෙච්ච එකේ ලක්ශානුත් නෙවිනුත් ආපසු කොළඹ එන්නට සූදානම් වුණි.
“යන්න කලින් මාළීගාවට පොඩ්ඩක් ගිහින් එමුද? තාරු පඬුරක් දුන්නා පුලුවන් උනොත් දාගෙන එන්න” කියලා ලක්ශාන් කිව්ව හන්දාම නවාතැනෙන් පිටවෙච්ච වාහනය ගොස් නතර වුණේ දළදා මාළිගය අබියසය. ඉරිදා දවසක හවස් වරුව හන්දාද කොහෙද සුදු ඇඳගෙන, නෙලුම් ඕලු මල්, සමන්පිච්ච මල් වට්ටි අතේ තියාගෙන ඉන්න පිරිසෙන් පිරී ගොස් තිබුණි.
“පුදුම සෙනගක්නේ”
“මිනිස්සු බං කොහොමත් එහෙම තමයි. අපි දැන් මේ මිනිස්සු මෙහෙම ඇවිල්ල ඉන්නව දැක්කම හිතන්නෙ මිනිස්සු එන්නෙ ආගමට තියෙන ලැදියාවට කියලනෙ. ඇත්තටම නෑ නෙවියා. මේ ඇවිත් ඉන්න මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණම අනිත් හැමෝම වගේ එන්නෙ හිතේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියාගෙන ඒක විසඳල දෙන්න කියල තමන් අදහන ආගමේ නොපෙනෙන දෙයියන්ගෙන් ඉල්ලන්න.
දැන් මේ තාරු දුන්න පඬුර උනත් එහෙමනෙ බං. ඒකි මට මේක දෙන ගමන් කිව්ව දේ තමයි දරුවව කරදරයක් නැතුව මේ ලෝකෙට අරගෙන එන්න පඬුර දාලා පතන්න කියලා”
“උඹ හිතන්නෙ මිනිස්සු එහෙම ඇවිල්ල ඉල්ලන දේවල් ඒ විදියටම වෙනව කියලද?”
“උඹට ඉල්ලන්න දෙයක් තියෙනම් ඉල්ලල බලපං, ඒක ලැබුනොත් අපි හිතමු එහෙම දෙයක් තියෙනව. එහෙම දෙයක් වෙනවා කියලා” ලක්ශාන් එහෙම කියා පඩිපෙල නැග යන අතරවාරයෙ නෙවින් කල්පනාබරව පඩිපෙල නැග්ගේ තමන්ට ඇත්තටම පතන්න තියෙන්නේ එකම එක දෙයක් පමණක් බව මතක තියාගෙනය.
“මිනිස්සු මෙතනට ඇවිත් දෙයක් ඉල්ලුවොත් ඒක හැබෑ වෙනවනම් අනේ මට එයාව මුණගස්සවන්න” කියා වේදනාවේ අකුරෙන් හදවතේ ලියවිච්ච පැතුමක් දළදා හාමුදුරුවන් ළඟ දිග හැරුණේ ඒ විදියටය.
දෛවය උන්නේ ඒ ආයාචනයට ඇහුන්කම් දීය. දළදා හාමුදුරුවන්ට මල් පූජ කර නෙවින් සහ ලක්ශාන් ආපසු වාහනය වෙත ආවේත්, දළදා මාළිගාවට මල් පූජා කර සුපුරුදු පැතු ඇතූ ශාර්වරී ආච්චිගේ ගෙදරට යන්නට බස් එකට නගින්නට ආවේත්, ඒ දෙපියවර එක තැනකදි හමු වුණේත් ඒ ඉල්ලීම අනුවය.
නැතිනම් දෛවයේ ඇහුන්කම් දීම අනුවය.
අනෝරා වැස්ස ඇද හැලුණේ බාධා කරන්නටද, බාධාවන් මකාලන්නටද කියා නෙවින්වත් ශාර්වරීවත් දැන උන්නේ නැත.
එහෙත් මෙවන් අනෝරා වැස්සක් වෙලාවේදීම තමන් සදහටම නෙවින්ගේ වෙච්ච මතකය ශාර්වරීගේ හිත අස්සේ අකුණු ගසන්නට වුවාය.