නිබ්බුත ගීත -20

ප්‍රේමයේ වියෝගය පිළිබඳ කල්පනා මා ආතුර කොට තිබිණ. මධාරා අක්කා ගේ විවාහ මංගල්ලයෙන් පස්සේ දෙතුන් දිනක් ගෙවී ගියේ ඒ ඔත්පල වීම තුළ ය. මම මදුරාපුර මැදුර පැත්ත පලාතේ නො ගියෙමි. විටෙක එහි යෑමේ බරපතල උවමනාවක් මට දැනුණේ ය. එය අසහනයක් සේ මා වියවුල් කරන්නට ද විය. ඒත් මම හිත දමනය කර ගෙන මහ දවාලේත් ගිනි ගන්නා ගෙතුල ගුලි වී වැතිර සිටියෙමි. පණක් කියා දෙයක් ඇඟේ වූයේ නැත. අදහා ගත නො හැකි ලෙස මට කෑම අප්‍රිය විය. හේතුවක් ඇතිව ද නැතිව ද මන්දා මට හැඬුණේ ය. 

අම්මා කියනා ලෙසට මදුරාපුර මැතිණිය අප ගැන දැන ගත් දා ක මට අපමණ දුකක් විඳ ගන්නට වේ. නමුත් අම්මා කියන ලෙස ඒ මත ලෝචන ගෙන් වෙන් වීම මත මට දැන් ම තියා ම ඒ දුක් අගාධයෙහි ගිලී යන්නට සිදු වනු ඇත. 

තාරුකා මල් ගාල වෙනදා සේ ම මල් දරා සිටිය ද මගේ වරලෙහි මල් ගැවසුණේ නැත. අඩු තරමින් කොණ්ඩය පීරා පිළිවෙලට ගොතා ගන්නට තරම් හෝ සතුටක් මගේ හිතේ වූයේ නැත.

“ලෝචන අයිය බෝ ගහ ළඟ බස් හෝල්ට් එකට එන්න කිව්ව”

මල්ලී ඉස්කෝලේ ඇරී විත් පණිවිඩය කීවේ මා කඳුළින් ද දහදියෙන් ද පෙඟී සිටියදී ය. මම තරමක උමතුවක සිටියෙමි.

“දැන්…”

“ඔව් දැන් තමා”

“ඒත් අම්ම…”

“අම්මට කිය කිය ලව් කරන්න පුළුවන්ද ඕයි…දැන් කතා කරල ඔය ප්‍රශ්න ඔක්කොම විසඳ ගෙන එනව. අම්ම දන්නෑනෙ ලෝචන අයියව හම්බ වෙන්න ගියා කියල”

“අම්ම කලින් ආවොත් මොනාද කියන්නෙ…”

“හයියෝ…මොනා හරි කියනව. ලයිබ්‍රරි ගියා කියන්න බැරිද…යාළුවෙක් හම්බ වෙන්න ගියා කියන්න බැරිද…ඔක්කොම මට කියල දෙන්න වෙලානෙ”

මල්ලී ට බත් බෙදා තියා මස විගස ගොස් ළිඳෙන් වතුර ඇද දිය නා ගතිමි. අවන්ත ළිඳ පැත්තට බැලුම් හෙළනු මා දුටුවේ සබන් ගාමින් සිටියදී ය. මේ වෙලාවේ කුමට ඔහු වත්ත පහළට ආවාද? මම කඩිනමින් වතුර බාල්දි කිහිපයක් ඇද ඇඟේ සබන් පමණක් යවා ගෙන ගෙදර දිව්වෙමි.

“බාගෙට නාල හෙම්බිරිස්සාව හදා ගන්න එපා මැණිකෙ. ඕන්නං මං වතුර ටිකක් ඇදල දෙන්නං”

මා යන්නේ ඔහු ගේ ඇස් වලින් මුවහ වනු වස් බව දන්නා අවන්ත මට ලං වෙමින් කීවේ ය. මම ඔහු දෙස රවා බැලුවෙමි.

“මං මැරෙන්න ගියත් ඔයා වගේ කෙනෙක්ගෙං නං වතුර උගුරක් එපා”

“අනේ ඇයි සුදූ මේ කේන්ති අරං…ඔයා දවසක මගෙ තමයි”

අවන්ත මගේ අතින් අල්ලන්නට හැදුවේ ය. නමුත් මා වහා අත ඇදගත් නිසා ඔහු ට එය කළ නො හැකි විය. 

“මල්ලී”

මම ඇවිදින ගමන් ම ගේ දෙසට කෑ ගැසුවෙමි. අවන්ත ගිජු සිනහවක් හෙළුවේ ය.

“ඇයි මල්ලි චණ්ඩියෙක්ද…”

“අනේ නෑ. අපි චණ්ඩි නෙවෙයි. හැබැයි චණ්ඩි කියල හිතං ඉන්න අයට අපි බයත් නෑ අවන්ත අයියෙ. මොකද අපි කාටවත් වැරදි කරල නෑනෙ”

ඔහු අඩි පාරෙන් අපේ ගේ පැත්තට නො හැරී මහ ගේ පැත්තට ඇවිද ගියේ මල්ලී සිටින බව මා හැඟවූ නිසා ය. මධාරා අක්කා සිය දෙවන මනාලිය වශයෙන් සිටීම නිමිත්තෙන් තිලිණ කළ තෑගි පාර්සලයේ වූ ඇඳුම් කිහිපය අතරින් මම නිල් පාට දිග ගවුම තෝරා ගෙන ඇන්දෙමි. අපේ ගෙදර බිත්තියේ එල්ලා තිබෙන පැත්තක් බිඳී ගිය කුඩා කැඩපතින් මට මගේ මූණ පෙනුණේ අහම්බෙනි. ඇස් වල නිදන්ගත සන්තාපයක් වූවාට එහි ගැඹුරෙන් පැන නගිනා එළියක් ද මට පෙනිණ. හිතේ කලබලයක් නොවූවායි කිව නො හැකි ය. මේ මා පිරිමි ළමයෙකු රහසේ මුණ ගැසෙන්නට යන ප්‍රථම වතාවයි. ලෝචනව වුව මීට පෙර දුටුවේ ඔහු ගේ ගෙදර දී හෝ මල්ලී සමග ක්‍රිකට් ගසන මුවාවෙන් අපේ ගෙදර පැත්තට පැමිණි විට ය. මට ඔහුත් එක්ක තනි වෙන්නට ලැබී තිබුණේ මීට දෙතුන් දිනකට පෙර මධාරා අක්කලාව හෝයලයට ඇරලා පැමිණි ගමන පමණකි.

“මං එන්නං පාර ළඟට”

මා කම්බි වැටෙන් රිංගත්දී මල්ලී කමිසයක් දමා ගනිමින් කීවේ ය. මා නාත්දී අවන්ත වත්ත පහලට ආවායි කී නිසා ඔහු එහෙම තීරණයක් ගන්නට ඇත. අප දෙදෙනා එක්ව ඇවිද යන විට දැන් ඔහු අයියා හා මා නංගී සේ ය. මේ අවුරුද්දට දෙකට මල්ලී හොඳට ම උසින් වැඩුණේ ය. ඒ තරම් මහතක් නැත ද ඒ උස නිසා ඔහු ලස්සන ය. වයසට වඩා ජීවිතයේ අත්දැකීම් විසින් හෙම්බත් කරවීම  හේතුවෙන් ඔහු කොහොමටත් වයසට වැඩි පරිනත පෙනුමක් දරයි.

“දැං ගිහිං අර කොල්ලගෙ ඔළුව කන්නෙපා”

මල්ලී එහෙම කීවේ අප ගුරු පාර ද්ග ඇවිදිමින් සිටිනාතර ය. මා නිමග්න ව සිටි කල්පනා ලෝකයෙන් ගොඩ එන්නට යම් කාලයක් ගනිත්දී මට එක්වර ඔහු කීව තේරුණේ නැත.

“ආ..”

“අම්ම කියපු ඒව අල්ලගෙන ලෝචනගෙ ඔළුවටත් නිකං ප්‍රශ්නයක් දාන්නෙපා. මුහුද හත් ගව්වක් තියා ගෙන අමුඩ ගැන හිතන එක තේරුමකුත් නෑනෙ”

“මල්ලි රස්තියාදු ගහන්නැතුව ගණං පේපර් එකක් හදල තියන්න හොඳේ”

“හරි හරි”

බස් නැවතුමේ දී මගේ හද ගැස්ම වේගවත් වී ඇති බව මට හොඳට ම දැනිණ. මා යන විටත් ලෝචන එහි විත් තිබුණේ නැත. දන්නා කියන කෙනෙකු අප දෙදෙනාව දැක මදුරාපුර මැදුරට හෝ අපේ අම්මාට ඒ බවක් කියාවිද කියන බිය මා තුළ නොතිබුණා ම නොවේ. නමුත් ඒ සියල් භීතිකාවන් යටපත් කොට ගෙන  ඔහු ළඟට යාමේ යටපත් කළ නො හැකි උවමනාවක් දැවැන්ත ලෙස නැගී සිටියේ ය. එනමුත් මදුරාපුර ගෙදර මෝටර් රථයක් මා ඉදිරියේ නතර වෙත්දී නම් හදවත භූමි කම්පාවකට ලක් විය.

“නගින්න”

ලෝචන ඉදිරි දොර විවර කරමින් ඇරයුම් කළේ ය. මා ඉක්මනින් ඊට රිංගා ගත්තේ අවට ලෝකය ගැන අංශු මාත්‍රික අවධානයකින් තොරව ය.

“මොකද බය වෙලා…”

ඔහු රිය පෙරට ගනිමින් සිනහ වෙමින් ඇසුවේ ය. මම අත වූ පුංචි මල් ලේන්සුවෙන්, උඩු තොල මත නැගී විත් තිබි දහදිය පිස දා ගතිමි.

“රාහුල් මට කිව්ව විස්තරේ”

මඳ දුරක් මගේ නිහැඬියාව ඉවසා ගෙන රිය පැදවූ ලෝචන මුණිවත බින්දේ ය. 

“අම්ම කියන්නෙ ඇත්ත නේද අයියෙ…”

“ඒක මන්දන්නෑ… මට කියන්න ඔයාට මන් නැතුව හිත හදාගන්න පුළුවන්ද…”

ප්‍රේමය අහිමි කර ගත් මිනිසුන් ගැන මම ඕනෑ තරම් කියවා ඇත්තෙමි. ඒ චිත්ත වේදනාව, විඳ ගත් ඔවුන්ට ද වඩා කියවත්දී මට දැනී තිබේ. ප්‍රේමයෙන් මුණ ගැස්වූ මිනිසුන් ව වෙන් කරන්නට තරම් ඉරණම රුදුරු වන්නේ ඇයි දැයි  ඕනෑ තරම් මම සිතා ඇත්තෙමි. ඊට පස්සේ ඒ මිනිස්සු මගේ හදවතේ ජීවත් වූයේ මිය ගිය මිනිසුන් සේ ය. හුස්ම ගත්තාට ඔවුන් ගේ ආත්මය හිස් ව තිබිණ. සුව නොවන තුවාලයක් ඔවුන් ගේ හදවත් ගැඹුරේ තිබිණ. සමහර විට හිනා වී හිටියාට නො වියළෙන කඳුළක් ඔවුන් ගේ පපුව තුළ විය. නින්ද ඔවුන්ට සුවයක් දැනවූයේ නැත.  හීනෙන් බිය වී ඔවුහු ඇහැර ගත්හ. දෙනෝදාහක් අතර තුරේද තනි කමක් ඔවුන් පෙළනා ලදී. ඒ වූ කලී මරණීය වේදනාවකි.

ලෝචන මගේ සුරත ගෙන ඔහු ගේ අතැඟිලි අතරේ ඇඟිලි පටලවා ගත්තේ ය. 

“බෑ නිබ්බුතා…දැන් අපිට අපි නැතුව ජීවිතේ තේරුමක් නෑ. මේක ලේසි වෙන එකක් නෑ කියල මං පිළිගන්නව. ඒත් නිකංම පරාජෙ පිළි අරං පැත්තකට වෙන්නෙ නැතුව අපි වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් කරමු. මැරෙන්න හරි වෙන් වෙන්න හරි අපි වෙනුවෙන් ෆයිට් කරල ඉමු. ම්…”

රිය පැද යන්නේ කොහි දැයි මම නො දැන සිටියෙමි. නොහොමටත් මා වැඩි පුර මග තොට හඳුනන කෙනෙකු නොවේ. ඊට හේතුව අප ගමන් බිමන් නො යාම ය. ගේ ළඟ හන්දිය හැරුණු විට මා ටිකක් හෝ දන්නේ පාසල් බස් රිය ගමන් කළ මග හා නුගේගොඩ පන්ති ගිය පාරවල් ටික පමණකි. අපේ ගමනාන්තය වී තිබුණේ මුහුදු තීරයකි.  මට මුහුද හා බැඳුණු අත්දැකීම් ද නැත්තේ ය. අදට අහස අතැර යන්නට ආසන්න බව දැනෙන නිසාදෝ හිරු තරමක් සැර බාල කොට සිටියේ ය. මුහුදු හුළඟ හුරතල් වෙමින් ගත දැවටුණ අතර තඹ පාට තෙත වැල්ල නග්න පාද පෙමින් වැළඳ ගත්තේ ය. අත් අල්ලා ගෙන වෙරළ තීරය දිග ඇවිද යත්දී ලෝචන කියන්නේ අහිමි වෙන්නට නියමිත ආදරයක් යයි මට දැනුණේ ම නැත.

සිය ඡායාරූප ප්‍රදර්ශනයට සූදානම් වීම ගැන එදා ඔහු මාත් එක්ක ගොඩක් දේවල් කතා කළේ ය. නො දන්නා ලෝකයක් හෙමි හෙමිහිට මා ඉදිරියේ විවර වෙමින් තිබිණ. කාලය ඉගිල යන බවට හැඟීමක්වත් මට වූයේ නැත. අප යළි රිය වෙත පැමිණියේ හිරු සිය වර්ණය ද විශාලත්වය ද වෙනස් කරමින් මුහුද වෙතට පාත් වන්නට ගත්දී ය. 

ඒ වෙත්දී මම ඔහු අතැර දා යා නො හැකි කීරි ගැහීමක් තුළ සිටියෙමි. රෑ වෙන්නේ නැතිව තත්පර හුඟක් දිගු වෙමින් කාලය අපට ඉඩ දී සිටිනවා නම් යයි බොළඳ බලාපොරොත්තුවක් හිත යටින් නැගී විත් මා කුඩු කරන්නට විය.

“අනේ යන්න බෑ”

ගියරය මත තැබූ ඔහු ගේ වමත මගේ දෑතින් ම වැළඳ ගෙන මා ඒ උරයට බර වූයේ කොහෙත්ම පෙර සිතා උන් සිතිවිල්ලකට අනුව නොවේ. එය ක්ෂණික විදාරණයකි. මුළු ජීවිතය ම අපට අයිති නැත්නම් එක දවසක් හෝ අප වෙනුවෙන් වෙන් කරන්නට දෛවයට බැරි ඇයි?

ඔහු සිය නිදහස් අතින් මගේ කොපුලත වැතිර උන් කෙහෙ රැල් පිටුපසට කරනා ගමන් මූණට එබුණේ ය. සුසුමක සුවඳ මට දැනිණ. ඒ සුසුම උණුහුමක් ව කොපුලේ හැපුණේ ය. මම මගේ ඇස් දෙක පියවෙන්නට හැරියෙමි.

ඒ සිහිනයෙන් ඇහැරිය යුතු ව තිබිණ. අඳුර එන විට ගුරු පාර ඇරඹුමෙන් මා රියෙන් බැස ගත්තේ එක හදවතක් දෙකඩ කර ගෙන මෙනි. දකිමින් සිටින්නේ සිහිනයක් දැයි තව දුරටත් සිතුණේ, කම්බි වැටෙන් රිංගන්නට ද පෙර අපේ මිදුලේ රැස් ව සිටි පිරිස දුටු විට ය. 

“ආ ඔය එන්නෙ මනමාලි…දෙවෙනි මනමාලියෙක් වෙච්චි ගමන්ම පලවෙනි මනමාලියෙකුත් වෙන්න හදිස්සි වුණ එකනෙ බං වැඩේ”

ආච්චි මමී අත් දෙක ඉණේ ගසා ගෙන සිටියේ දිග බතික් ගවුම නිසා සමනල තටු විදා ගත් විට වැනි දර්ශනයක් මවාලමිනි. මට එකවර කිසිත් සිතා ගත හැකි වූයේ නැත. නැන්දා ද පුංචී ද අවන්ත ද ඒ අතරේ මම සිනමා පටයක දර්ශනයක් සේ දුටුවෙමි. මල්ලී පසෙක සක්මන් කරමින් සිටියේ ය. අම්මා ගේ මුහුණේ මා දුටුවේ කඩා වැටෙන්නට ඔන්න මෙන්න වූ වැහි වලාකුළක හැඬුම්බර බවකි. නෑ සනුහරේ මෙහි විත් ඇගේ හිස මත පැටවූ මහ කන්ද කුමක් ද?

“මොකද්ද සුදූ මේ කියන කතාව…”

ඇය වෙව්ලා ගිය ස්වරයකින් ඇසුවා ය.

“උඹ චූටි බබාගෙ කාර් එකට නැගල ගියා කියල කියන්නෙ”

මගේ ඇස් නිලංකාර වී ගියේ ය. ලෝකය මා වටා කැරකෙනවා සේ දැනිණ. නමුත් මම හිත හයිය කොට ගතිමි.

“ඉස්කෝලෙ යාළුවෙක් හම්බ වෙන්න ගියේ…කැම්පස් පටන් ගද්දි ගන්න ඕන දේවල් මොනාද කියල දැනගන්න”

ඒ බොරුව මගේ කටට ආවේ මා එහෙම ගමනක් යා යුතුව තිබූ බැවිනි.

“බස් හෝල්ට් එකේ ඉන්නකොට ලෝචන අයිය කොහෙද යන ගමන් නතර කරල කතා කළා මගින් බස්සන්න”

බොරු කියන්නට වීමේ අපහසුවට මගේ දෙතොල් වෙව්වලමින් තිබිණ.

“කොයි හෝටලේටද දන්නෑ අරං ගියේ”

ඒ වචන පිට වූයේ අවන්ත ගේ ජාගර මුවිනි. ඇද වැටේවියි බියට මම කම්බි වැට අල්ලා ගතිමි. කිසිවෙකු බලාපොරොත්තු නොවූ ක්ෂණයකින් අවන්ත වෙත පැන ගත් මල්ලී ඔහු ගේ කමිසයෙන් අල්ලා ගෙන පහර කිහිපයක් එල්ල කරන්නට වූයේ ය. ගෑනු ටික කෑ ගසමින්, පොරකන්නට වූ කොල්ලන් දෙදෙනා දෙපසට කරන්නට උත්සාහ කළහ. මගේ කකුල් ගල් ගැහී තිබුණෙන් මට නම් අඩියක් හෝ සොලවා ගත හැකි වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles