මුතුබෙලි හදවත -29

දුමාල් සිය මතක ඉතිහාසයේ ඈත ම කෙලවරක හිට ගෙන බලා සිටින්නට වූයේ ය. ඒ කාලේ ඔවුන් සිටියේ මවු පස ඥාති නිවසක ය. දුමාල් කොලුවා ව අනාථ නිවාසෙකට යැවීමට ඒ ගෙදර අයට දැවැන්ත අවශ්‍යතාවයක් විය. ඔවුහු නිරන්තර ඒ සඳහා ගීතා ව පෙළමවීමේ උත්සාහයක් ද දැරූහ. නමුත් එහැම විටෙක ම ඕ අසරණ සිනහවකින් ‘බලමු’ කියා මග හැරියා ය.

මේ කියන දවසේ රාත්‍රියේ මහ රණ්ඩුවක් සිදු වූයේ ය. ඊට හේතුව කුමක් ද කියා දැන් දුමාල් ට සිහිපත් කළ නො හැක. ඒ රණ්ඩුව ට නිමිත්ත වන්නට ඇත්තේ ඔහු බව නම් ඔහු ට දැනේ. අම්මා ඒ ගෙදර පිළිකන්නේ බිම ඇන තියා ගෙන දුමාල් ව තුරුලු කර ගෙන හොඳට ම හැඬුවා ය. දැන් මේ ආදිත්‍යා වාගේ ම ඉකි ගගහා හැඬුවා ය. අගක් මුලක් නො දන්නා පුංචි දුමාල් කළේ ඇගේ කඳුළු පිහ පිහ ළඟට වී ඉන්නා එක ය. පිහින්නට පිහින්නට කඳුළු ඉනුවේ ය. 

“පළයව් මකබෑවිලා”

රළු ගැහැනු හඬක් එසේ කියමින් ඔවුන් ගේ රෙදි කඩමාළු කිහිපය දැමූ ඉටි බෑග් එක මිදුලට විසි කළා මේ දැන් සේ දුමාල් ට සිහි කළ හැක. ඒ බෑග් එකෙන් ඇඳුම් කෑලි කිහිපයක් බිම විසි විණි. අම්මා හඬමින් ම ඒවා එකතු කොට බෑග් එකට ඔබා ගත්තා ඔහු ගේ සිතිවිලි තිරය මත සිනමා රූප සේ මැවී පෙනේ. 

“යං පුතේ”

එසේ කියා ඕ තොමෝ පැටි දුමාල් ගේ අතකින් අල්ලා ගෙන ඒ ගෙදරින් දොට්ට බැස්සේ ය. ඔවුන් එදා සිට රාත්‍රීන් ගණනාවක් ම ගත කළේ වෙන යන්නට තැනක් නැති කමට සොහොන් ගෙදර ය. 

මින්දුල ඊට වඩා වාසනාවන්ත ය. ඔහු ට යන්නට සීයා ගේ ගෙදර තිබේ. ඒ නැතත් මේ රැයේ ම වුව ඔවුන් පිළි ගන්නට බැරි කමක් දුමාල් ට නැත.

“මං මෙච්චර කල් බලං හිටියෙ කසාදෙ අත්ඇරල යන ගෑනියෙක්ට ඊට පස්සෙ මූණ දෙන්න වෙන ප්‍රශ්න ගැන හිතලයි දුමාල්. විකුම් මාව අත්ඇරල වෙනම ජීවත් වුණත් ඒ ගෙදර ඉන්න මං හිත හදං හිටියෙ. මේ අහිංසකය වෙනුවෙන්. ඒත් අර මිනිහ මට ඒකට ඉඩ දෙන්නෑ”

මිමිණුමක් සරි ව ආදිත්‍යා ඇත්ත ම කීවා ය. දුමාල් ඇස් වඩාත් පුංදි කොට බලා සිටියේ ය.

“කමක් නෑ. එන විදිහකට මූණ දෙනව”

ඇය සුසුමකින් පෙනහලු පිරෙන්නට හැරියා ය. ඇය ට ඒ ශක්තිය තියෙන බව දුමාල් ප්‍රත්‍යක්ෂ කර ගත්තේ ආදිත්‍යා ගේ කොළ පාට ඇස් වල වූ දීප්තිය නිසාවෙනි. එහෙම එළියක් හැම ඇස් දෙකක ම දැකිය නො හැකි ය. සිය අරමුණ කරා නිසැකව ම යන බවට ස්ථිරසාර වූ දෑසක පමණි එහෙව් එළියක් දකිත හැකි වන්නේ!

දුමාල් ආදිත්‍යා ව සිය මවු පියන්ගේ නිවස ළඟින් බැස්වූයේ ය. 

“මට පාළු දැනෙයි”

දෙතොල් තෙරපා සිනහ වෙමින් වුව ඔහු කීවේ හදවත යටින් ලොකු දුකක් තෙරපා ගෙන ය. 

“ඔයාවයි පුතාවයි උදේට දකින්න නැති වෙනකොට. ඒත්…මේක වෙන්නල ඕන දෙයක්. අපි බලමු”

ඔහු ඇගේ හිස් මුදුනේ අතක් තැබුවේ ය. 

“පරිස්සමෙං ඉන්න. හවසට මං නර්සරි එක ළඟට එන්නං. පුතාව පාක් ගෙනියන්න. තෙරපි වලට යද්දිත් මට කියන්න. ලීව් එකක් ගන්න පුළුවන් හැම වෙලේම මං එනව”

ආදිත්‍යා යන්තම් හිස සැළුවා ය. ඔහු ගෙන් ඈත් වීම මේ තරම් දුකක් වෙතැයි ඇය සිතා තිබුණේ නැත. ඒ දුක ඇගේ තනි හිතට මිහිරි රිදුමක් දැනවී ය.

ආදිත්‍යා දරුවා සමගින් මේ රෑ දුටු ගෙදර අය මවිත වූහ.

“අක්කෙ..මොකද වුණේ…විකුම් එක්ක රණ්ඩුවක්වත් වුණාද…”

ආමන්තා ඉක්මනට මින්දුල ව සියතට ගත්තා ය. ලලිතා ගේ ඇස් මත ඇඳී තිබුණේ ටික දවසක සිට ඇගේ හදවතට දැනෙමින් තිබුණා වූ භීතියයි.  ජයලත් වරුසවිතාන සිය නග්න පපුව පිරිමදිමින් ආලින්දයේ ඒ මේ අත සක්මන් කරන්න ට පටන් ගත්තේ ය.

“මට තවත් ඒ ගෙදර ඉන්න බෑ අම්මෙ”

ආදිත්‍යා බිම බලා  තොල් සපා ගනිමින් හැඬුම වලකා ගත්තා ය. හෘදය රෝගියෙකු වන තාත්තා ඉදිරියේ හඬන්නට නො යන්නෙමැයි ඈ සිතා ගෙන ආවේ මගදී ම ය. 

“අර සේනක…මහ ජරා මිනිහෙක්…ඒ මිනිහ කීප සැරයක්ම අපේ කාමරේට ආව. අදනං මං මිනිහට අනින්න පිහියත් අතට අර ගත්තා. මට අර අම්ම ගැන දුකයි.  එයා මේ ඔක්කොම දන්නව. ගෙදර එනව මිසක් වෙන මට කරන්න දෙයක් තිබුණෙ නෑ තාත්තෙ”

“ගෙදර මිසක් අක්ක වෙන කොහේ යන්නද…මං බලා ගන්නං උන් දෙන්නම ගැන”

මෙතෙක් වෙලා නිහඬ ආවේගයකින් බලා උන් අවන්ත අත මිට මොලවා බිත්කියට පහරක් ගැසුවේ ය. ලලිතා ට ඔහු ගැන බියක් දැනිණ.

“ඔය ඔය ඉතිං…අපිට පුළුවන්ද ඔය මිනිස්සු එක්ක හැප්පෙන්න සුදු මහත්තය.. මං ඕකනෙ ලොකූ ට කිව්වෙ හැම වෙලේම ඉවසන්න කියල”

“තවත් මොනා ඉවසන්නද අම්මෙ”

ආදිත්‍යා නොව නො ඉවසුම් වූයේ ආමන්තා ය.

“අක්ක ඔය ඉවසුව වැඩියි. මං වගේනං ඔච්චර කල් ඔච්චර දේවල් ඉවසන්නෙ නෑ. ඇයි යකෝ ඒ තාත්තා ටයි පුතාටයි සෙල්ලම් බඩුවක්ද මෙ අරං ගිහිං තියෙන්නෙ. ආයෙ ඔය ගේ තියෙන පැත්ත පලාතක් බලං බත් කන්නවත් එපා අක්කෙ”

“යසයි ගෑනු ළමිස්සියෙක්ගෙ කතාව. දැං කාලෙ එවුන්ට පවුල් කන්න බෑ. උං පවුල කාල දානව. පවුල් කනව කියන්නෙම ඉවසන එකට තමයි ළමයිනෙ. දරුවෙකුත් එක්ක දැං ලොකූ මොනවයි කියල කරන්නද…මොකද මිනිස්සු ඉන්නවද ළමයි එක්ක තනි වෙච්ච ගෑනුංව පාවඩ එලල කැන්දං යන්න බලං ඉන්න”

“අනේ අම්මෙ වැලකට පවතින්න ගහක එතෙන්නම ඕන වුණාට පිරිමියෙක් නැතුව දරුවෙක් හදා ගන්න බැරි කමක් ගෑනියෙක්ට නෑ”

“නොදන්න කෙහෙල්මල් කියවන්නෙ නැතුව ඉන්නව පොඩී. ඔයා තමයි එහෙට රිංගල රිංගල ලොකූගෙ ඔළුවටත් එක එක විසබීජ දාන්න ඇත්තෙ. නැත්තං ලොකූ මේ වගේ දෙයක් කරන්න තරං මෝඩ නෑ”

“ඇති ඇති නවත්තගන්නවල දැං”

අම්මාගේත් පොඩි දුවගේත් කතාව මැද්දෙන් පැන එය නවතා ලූයේ ජයලත් ය. ඔහු ගේ හිස මත්තේ මේ දැන් පැටවුණේ සුළු පටු බරක් නොවේ. විශේෂයෙන් ම විජයවික්‍රම ලා වන් මිනිසුන් ක්‍රියා කරන්නේ කොයි ආකාරයටදැයි අසා දැක ඇති ඔහු ට දැනෙන්නේ වෙනම ම ආකාරයේ තැතිගැන්මකි. ලොකු දුවගේ ජීවිතයට තර්ජනයක් නැතැයි සිතිය හැකි ද? ප්‍රශ්නය ට සේනක ද සම්බන්ධ නිසාවෙන් මෙය වඩා බරපතල අර්බුදයක් බවට පත් වන්නේ ය. නීතියේ පිළිසරණය යනු දේශපාලකයෙකු ඉදිරියේ විහිළු කතාවකි. 

“තමුසෙ ගෙදර ඉන්නව. මං අනිත් හරිය බලා ගන්නං”

අවන්ත අන්තිම තීන්දුව දුන්නේ ය. මේ තරම් කාලයක් මහ ගෙදරට එන්නේ නැතිව විකුම් පායේ ම නතර වී හිටි එක මොන තරම් දෙයක් දැයි ආදිත්‍යා ට දැනෙන්නට ගති. 

දුමාල් ආදිත්‍යා බස්වා කෙලින් ම ගියේ අම්මා බලන්නට ය. ඒ වෙලාවේ ඔහු ට එසේ කිරීමේ දැඩි අවශ්‍යතාවයක් දැනිණ. නො එසේ විණි නම් අවේලාවේ ඔහු කිසි සේත් ගීතා සිටින මුදලාලිගේ ගෙදරට යන්නේ නැත.

ගීතා ට වෙනසක් දැනිණ. පුතා ගේ සිත්හි යම් කැළඹීමක් වන බව දැනිණ.

“ඇයි පුතා…”

ඇය ඔහු ගේ අත් බාහුවක වැලමිටි සන්ධියෙන් අල්ලා ඇසුවා ය. 

“මොකක් හරි ප්‍රශ්නයක් ද…”

“ප්‍රශ්නයක් ම නෙවෙයි…ඒත්…මට ඉක්මනට බඳින්න වෙයි අම්මෙ”

ගීතා ගේ හදවත කීරි ගැසී ගියේ ය. පුතා පසු වන්නේ විවාහ විය යුතු වයසේ බව ඇය දනී. ඔහු දැන් පෙනෙන්නේ ධනවත් පවුලක සිටු කුල පුත්‍රයෙකු සේ ය. පාරවල් ගානේ ඇගේ අතේ එල්ලී හිඟා නොකා හිඟා කෑ පුලන්නෙකු ව උන් බවක් ඔහු ව දැන් දකිනා කිසිවෙකු නො සිතනු ඇත. නමුත් මේ කියනාකාරයේ ඉක්මන් විවාහයක් සිදු කළ යුත්තේ මන්දැයි ඇය ට සිතා ගත නො හැකි ය.

ගීතා ට ඉන්නේ එක දරුවෙකි. දැන් ඈ සිටින්නේ යමක් කර කියා ගත හැකි තත්වයක ය. පහුගිය ටික කාලය තුළ ඈ සිහින මවමින් සිටියේ ඔහු ගේ විවාහය නෑ සනුහරේ කාටත් පේන්නට අඬ බෙර ගසා ගන්නට ය. එහෙම හිතමින් සිටිනාතරවාරයේ අදහා ගත නො හැකි යෝජනාවක් ද ඇය වෙත ආවේ ය. ඒ ඔවුන් දෙදෙනා අවසාන වශයෙන් දොට්ට බැසි ඥාති නිවසෙනි. දුමාල් ට වැඩිය දෙවසරකින් බාල වූ, ඔහුත් එක්ක සෙල්ලම් කරන්නට පවා තහනම් පනවා තිබි දැරිය සඳනි සම්බන්ධයෙන් දුමාල් ට ඔවුන් විවාහ යෝජනාවක් ගෙනැවිත් තිබිණි. ගීතා ට දැනුණේ හිසේ මලක් පිපුණා මෙනි. එදා ඔවුන් හැපි හැපී කීවේ දුමාල් ව අනාථ නිවාසයකට දමනා ලෙස ය. ඒ දුමාල්ව ම අද ඔවුහු බෑනනුවන් ලෙස ඉල්ලා සිටිමින් යෝජනා ගෙන එති.

ගීතා බලා සිටියේ මේ පුවත උජාරුවෙන් දුමාල් සමගින් පවසන්නට ය. ඔහු ට පෙම්වතියක නො වන බව පෙනෙන්නට ඇති නිසා, මේ යෝජනාවට කැමති වෙමු යයි කියන්නට ඇය ආශාවෙන් මග බලා සිටියේ ඔහු එන තුරු ය. නමුත් දුමාල් ඇවිත් තිබෙන්නේ වෙනකක් පවසන්නට ය.

“පුතා කැමති කෙනෙක් ඉන්නවනං බඳින්න ඕන තමයි. දැං ඉතිං කල වයසත් හරිනෙ. ඒත් පුතේ…ගහෙං ගෙඩි එනව වගේ මෙහෙම හදිස්සියෙ පුළුවන් ද මංගල්ලයක් කරන්න”

ගීතා ගේ හිතේ පෙරළි කළ ප්‍රශ්නය එයයි. දුමාල් කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.

“ලොකු ලොකු වෙඩින් වලටනං මං කොහොමත් කැමති නෑ අම්මෙ. ඉක්මනට කිව්වට ඉතිං පොඩි වැඩ ටිකක් තියනව පිළිවෙලක් කර ගන්නත්…ගෙයක් හදනකල් රෙන්ට් එකට හරි හොඳ තැනක් බලල ගෙයක් ගන්නත් ඕන”

“කුළියට ඉන්න දෙයක් නෑ..මෙහෙ ඉඩ කඩ නැතුවයැ…ඒත් ඉතිං පුතා කැමති නෑනෙ”

ඒ පොඩි වැඩ අතරේ ආදිත්‍යා ට දික්කසාදය ලබා ගන්නටත් තිබෙන බව දුමාල් අම්මා ට නො කියා හිටියේ ය. 

“පුතා ඔහොම දෙයක් නොකීවනං මං කියන්න හිටියෙ වෙන දෙයක්”

දුමාල් වහා ගීතා ගේ මුහුණ බැලුවේ ය. ඒ සිනහව තේරුම් ගන්නට ඔහු සමත් වූයේ නැත.

“ලෙස්ලි මාමලගෙ සඳනි ළමය ගැන යෝජනාවක් කළා මට. ඒගොල්ලො පුතාට කැමතියි කියල”

“ඉතිං අම්ම හා කිව්වද…”

දුමාල් ගේ ස්වරයේ කිසියම් ආවේගයක් තැවරී තිබුණේ ය. මේ කතාව කියත්දී ගීතා ගේ මුහුණ ට ආ සිනහවට දුමාල් කැමති ම නැත. අම්මා ට අතීතය අමතක කළ හැකි වූවත් එසේ කරන්නට ඔහු ට ඕනෑ නැති බව දුමාල් තරයේ විශ්වාස කළේ ය.

“මං හා කිව්වෙ නෑ ඉතිං. පුතා එක්ක කතා කරල පණිවිඩේ කියන්නං කිව්ව. මං කියන්නංකො ඒක කෙරෙන්නෙ නෑ කියල”

මේ අතරේ සඳසීලී දුරකතන ඇමතුමක් දී ආදිත්‍යා ගෙදරින් ගිය බව විකුම් ට කියා සිටියේ ය. කිසියම් නිදහසක් හිතට දැනුණා වී ද ඇගෙන් එසේ නිදහස් විය කො හැකි බව ඔහු දැන සිටියේ ය. සිය අවාගත මැතිවරණ ව්‍යාපාරය කෙරේ වක්‍ර ව හෝ මේ සියල්ල බලපානා බව දැන සිටි විකුම් වහා ගෙදර පැමිණියේ ය.

“දරුව තනියම කාමරේ ඉන්නව දැකපු නිසයි මං එතනට ගියේ. මෙන්න මේකි නාන කාමරේ ඉඳල ඇවිත් පිහියක් ගත්තෙ නැද්ද….”

සේනක සුද්දවන්ත ලීලාවෙන් කතා කළේ ය. සඳසීලී ට සිනහ නැගෙන්නට ආවත් සිදු ව ඇත්තේ සිනහ වන්නට නොව හඬන්නට බව ඇය දැන සිටියා ය.

විකුම් ආදිත්‍යා ගේ මහ ගෙදරට ඇමතුමක් ගත්තේ, අල්ලපු ගෙදර බෝඩිං කාරයා ගැන කිහිප දිනක සිට ඔහු ගේ හිතේ සැකයක් මෝදු වෙමින් තිබි නිසාම ය. 

රිසීවරය ගත්තේ ආමන්තා ය.

“ආදිත්‍යා මං නැති අතරෙ ළමයත් අරං ගෙදරිං ගිහිං තියෙනව. අපි දන්නෑ එයා මොකෙක් එක්ක කොහේ ගියාද කියලනං”

ඔහු ට ඕනෑ වූයේ සමච්චලයෙන් ඒ ගෙදර ගිනි අවුලන්නට ය. නමුත් ආමන්තා ඒ සමච්චලය බාර ගත්තේ නැත.

“ආ නෑ නෑ. මොකෙක් එක්කවත් කොහෙවත් ගිහිං නෑ. මාමණ්ඩි අතවර කරන්න ආව නිසා තවත් ඔය ගෙදර ඉන්න බැරි තැන එයා ආපහු අම්ම තාත්ත ළඟට ආව. නීත්‍යානුකූල ස්වාමිපුරුෂය අසනීප දරුවව එපා කියන නිසා කොහොමත් එයාට එහෙ ඉන්න හේතුවක් නෑනෙ”

“කෝ දෙනව ඔය ෆෝන් එක”

කියා ගෙන අවන්ත එතැනට ආවේ ය. ඊට පෙර ආමන්තා රිසීවරය තැබුවේ මල්ලී ව අනවශ්‍ය පටලැවිල්ලකට හසු කළ යුතු නැතැයි ඇගේ ගැහැනු ඉව වහා තීරණය කළ නිසා ය. 

“කියන්න ඕන ටික මං කිව්ව. ලැජ්ජ නැති මිනිහ”

ආදිත්‍යා මින්දුල ව නිදි කරනා ගමන් දුමාල් ට ඇමතුමක් ගත්තා ය. ඔහු බෝඩිමට ගියා දැයි විමසා බැලීම යුතුකමකැයි ඇය ට සිතිණ.

“අම්මලගෙ ගෙදර ගියා එහෙමම. දැං තමයි යන්නෙ”

“එහෙනං පරිස්සමෙං යන්න. ගිහිං මට රිං කට් එකක් තියනවද…”

සිය හදවත මැද්දේ සීතල ද උණුහුම් ද ඝට්ටනයක් වෙනවා දුමාල් ට දැනිණ. මීට පෙර ගෙදර ගියා කියා කියන්නට කෙනෙක් ඔහු ට හිටියේ නැත. ඒ වගේ රිං කට් එකක් මින් පෙර කිසි දාක ඔහු ගැහැනු ළමයෙකු ගේ දුරකතනයක සටහන් තබා නැත්තේ ය. එය වූ කලී ජීවත් වෙන බව හදවතට දැනෙනාකාරයේ සුවිශේෂ වූ හැඟීමකි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles