බිම්මල් -15

මගේ වාර්තා පරීක්ෂා කරමින් සිටි විශේෂඥ වෛද්‍ය අරුන් ලංකාදේව මහතා යටැසින් මාදෙස බැලුවේය. ඔහුගේ මුහුණෙහි වූයේ අප මෙහි පැමිණෙද්දී තිබූ ප්‍රීතිමත් ස්වභාවය නොවේ. වාර්තා සියල්ලම මේසය මත තැබූ ඔහු මා දෙසත්, අම්මා සහ හේෂාන් දෙසත් බැලුවේ අපේ යටි සිත් පරීක්ෂා කර බැලීමට මෙනි.

“ප්‍රශ්නයක් නෑ නේද ඩොක්ට?”

අම්මා ඇසුවාය. වෛද්‍යවරයා පිළිතුරක් නොදුන්නේය.

“වෙඩින් එකටත් දින නියම කරගෙන හිටියෙ. රිපෝට්ස් වල මොනවත් ප්‍රශ්නයක් නෑ නේද?”

අම්මා නැවත ඇසුවාය.

“කණගාටුයි. ප්‍රශ්නයක් නෑ කියලා කියන්න තිබුනානම් මම සතුටු වෙනවා ඔයගොල්ලන්ටත් වඩා. ඒත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා.”

වෛද්‍යවරයා සිය උපැස් යුවළ ගලවා මේසය මත තැබුවේය. මා දෙසත්, හේෂාන් දෙසත් බැලූ ඔහු සිනාවක් මුවගට නගා ගත්තේ ආයාසයෙනි. 

“ඒ මොකක්ද ඩොක්ට?”

මඳ වේලාවක් කල්පනාවට වැටී සිටි හේෂාන් ප්‍රශ්න කළේය. 

“බයොප්සි රිපෝට් එක අනුව පේන්නෙ ඩිනාලිට ටියුබ් කැන්සර් එකක් කියලා. නිසි ප්‍රතිකාර ගත්තම සුව කරගන්න පුළුවන්.”

වෛද්‍යවරයාගේ කටහඬ මට ඇසුණේ ඈත ලොවක සිට පවසන්නාක් පරිදිය. 

“කැන්සර්?”

මගේ අත දැඩිව අල්ලා ගත් හේෂාන්ට කියවිණ.

“රිපෝට්ස් වල වරදක් වෙන්න බැරිද ඩොක්ට?”

වෛද්‍යවරයා සිනාසුනේය. එය දුක් සිනාවක් යයි මට සිතිණ.

“ටියුබ් කැන්සර් එකක් හරිම කලාතුරකින් ඇති වෙන දෙයක්. ඒක තරමක් දුරට පැතිරිලා තියෙන බවක් තමයි පේන්නෙ. බය වෙන්න එපා. පිළිකා රෝහලෙන් නිසි ප්‍රතිකාර ගත්තම ඉක්මනින් සුවය ලැබේවි.”

වෛද්‍යවරයාගේ ප්‍රකාශය මගේ සිත දැඩි කම්පනයකට හසු කළ ද, මට හඬන්නට නොසිතිණ. සැබවින්ම මා හැඟීම් දැනීම් නොමැති තත්වයකට පත් වෙමින් සිටියෙමි. පිළිකාවක්… පිළිකා රෝගය සෑදී මිය ගිය අය පිළිබඳව නොව සුවය ලබා ප්‍රීතිමත් ජීවිත ගත කරන අය පිළිබඳව අසා ඇති දෑ මට සිහිපත් වන්නට විය. කෙසේ හෝ පිළිකාව ජය ගැනීමේ සිතිවිල්ල මගේ සිතට ප්‍රවිෂ්ඨ වූයේ කෙසේදැයි මට සිතා ගත නොහැකි විය.

“මම කැන්සර් හොස්පිටල් එකට ලෙටර් එකක් දෙන්නම්. පමා නොවී ගිහින් ඇඩ්මිට් වෙලා නිසි ප්‍රතිකාර ගන්න. ඉක්මනින් සුව වේවායි කියලා මං ප්‍රාර්ථනා කරනවා.”

“තෑන්ක් යූ ඩොක්ට.”

අම්මා හැඬුම් තද කර ගැනීමට මෙන් යටිතොල සපාගෙන මා නැගිටුවා ගන්නට උත්සාහ කළාය. හේෂාන් මා පිටතට කැඳවාගෙන ගිය ද අම්මා වෛද්‍යවරයා අසළ නතර වූයේ මගේ රෝගී තත්වය පිළිබඳව තවදුරටත් තොරතුරු විමසීමට විය යුතුය. අප පිටතට පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් යුතුව හිඳගෙන සිටි සුදු නංගී අප දුටු සැනින් නැගී සිටියාය. 

“මොකද වුනේ?” යි ඇය විමසනු ඇතැයි මා සිතුවද, හේෂාන්ගේ මුහුණ දුටු සැනින් ඇය කිසිවක් වටහා ගන්නට ඇතැයි මට සිතිණ.

“බය වෙන්න එපා.”

අම්මා පැමිණෙන තුරු මා හිඳවූ හේෂාන් ද මට සමීපව හිඳ ගත්තේය.

“ට්‍රීට්මන්ට්ස් ගත්තම ඔයාට හොඳ වෙනවා ඩිනාලි. බය වෙන්න එපා.”

මම හේෂාන්ගේ මුහුණ දෙස බැලුවෙමි. ඔහුගේ මුහුණ අඳුරු පැහැයට හැරී තිබිණ.

“ඇයි හේෂාන් අපිටම මේ වගේ දේවල් වෙන්නෙ?”

මට ඉබේටම ඇසිණ.

“අපි දෙන්නා ජීවිතේ ගැන මොන තරම් නම් හීන දැක්කද? සැලසුම් හැදුවද? ඒත්… ඒත්… ” යි මට වදන් ගලපා ගත නොහැකි විය. මෙතෙක් තද කරගෙන සිටි සිත් වේදනාව කඳුලු බවට පත්ව දෙනෙත් ඉවුරු ඔස්සේ ගලා බසින්නට වූයේ මා ද නොදැනුවත්වය.

“කමක් නෑ. අඬන්න ඩිනාලි. හිතේ දුක නැති වෙනතුරු අඬන්න. ඒත් අද ඉස්සර වගේ නෙමෙයි. අද හැමදේම දියුණුයි. කැන්සර් හැදිලා සනීප වුන අය අද ඕනතරම් ඉන්නවා. බය වෙන්න එපා.”

අම්මා වෛද්‍යවරයාගේ කාමරයෙන් පිටතට පැමිණියාය. සුදු නංගී ඇය අසළට දිව යන අයුරුත්, හැඬුම් මුහුණින් යුතුව අම්මා ඇයට කිසියම් විස්තරයක් කරන අයුරුත් මම කඳුලු අතරින් දුටුවෙමි.

“අපි යමු පුතා.”

ඉන්පසු අප අසළට පැමිණි අම්මා පැවසුවාය.

“කොහෙද යන්නෙ ආන්ටි? කැන්සර් හොස්පිටල් එකට?”

හේෂාන් මා අතින් අල්ලාගෙන නැගිටුවන්නට උත්සාහ කළේය. 

“නෑ. අපි දැන් ගෙදර යමු. මට ගෙදර යන්න ඕන. හෙට පුලුවන් හොස්පිටල් එකට යන්න.”

මම පැවසුවෙමි.

“ඩිනාලිගෙ කැමැත්ත ඒකනම් අපි එහෙම කරමු ආන්ටි.”

හේෂාන් සහ අම්මා මා මැදි කරගෙන මෝටර් රථය අසළට කැඳවාගෙන ගිය අතර, සුදු නංගී අප පසුපසින් පැමිණියාය.

“හිත රිද්දගන්න එපා ඩිනාලි. ඔයාට සනීප වුනාට පස්සෙ අපි වෙඩින් එක ගනිමු.”

මෝටර් රථය රෝහල් භූමියෙන් පිටතට පැමිණි පසු හේෂාන් පැවසුවේ මගේ සිත සැනසීමට බව මම දැන සිටියෙමි. විවාහයෙන් පසුව හේෂාන් විසින් ඉදි කරන ලද නව නිවසේ පදිංචියට යාමට අප දෙදෙනා සිහින මැව්වෙමු. මිදුල පුරා මල් වවන්නට මෙන්ම මගේ කැමැත්ත පරිදි  හාවුන් ඇති කරන්නට ද හේෂාන් මට පොරොන්දු වී සිටියේය. එම සිහින සියල්ලම මෙතරම් ඉක්මනින් බොඳ වී ගියේ මන්දැයි වේදනාවෙන් පිරුනු හදවතින් යුතුව මම කල්පනා කළෙමි.

“කතා නොකර ඉන්න එපා. මොනවා හරි කියන්න ඩිනාලි.”

මදෙස බැලූ හේෂාන් ඉල්ලා සිටියේය.

“ඔය හැටි කල්පනා කරන්න එපා.”

“මං කල්පනා කරේ අපි දෙන්නා එකතු වෙලා මල් වවන්න, හාවො ඇති කරන්න හීන දැකපු හැටි හේෂාන්..”

“ඒ කිසිම හීනයක් බොඳ වෙන්නෙ නෑ ඩිනාලි.”

හේෂාන් පැවසුවේ හැඬුම් ස්වරයෙනි.

“ඒකනෙමෙයි. ඔයාලට බඩගින්නක් වගේ දෙයක් දැනෙන්නෙ නැද්ද?”

හේෂාන් සහ මා අතර හුවමාරු වන කඳුලු තැවරුණ කතා බහට විරාමයක් ලබා දීමට මෙන් සුදු නංගී පැවසුවාය.

“ලොකු… බඩගිනියි නේද? ඔව් කියලා කියන්නකො.”

මම කඳුලු අතරින් සිනාසුනෙමි. හේෂාන් ද දුක් සිනාවක් නැගුවේය.

“ඔව්. අපි මොනවා හරි බීලා යමු.”

හේෂාන් පැවසුවේය. අප දෙදෙනා නිතර යන අවන් හලක් දෙසට හේෂාන් රථය හැරවූවද, වෙනදා මෙන් මට සතුටක් නොදැනිණ. අදින් පසු නැවතත් මට මෙහි පැමිණීමට නොහැකි වනවා නොවේද යන අසුභවාදී සිතිවිල්ල මගේ සිත තුළ ඇති වී නැති වී ගියේය. උණ පඳුරු වලින් සෙවන වූ අවන්හල ස්වභාවික සුන්දරත්වයෙන් අනූන වූ තැනක් විය. ඇතැම් දින වල උණ පඳුරු සෙවනක වූ මේසයක් අසළ හිඳගෙන හේෂාන් සහ මා කාලය ගත කළ අවස්ථා සිතුවම් පටයක රූප රාමු මෙන් මගේ මනසෙහි දිග හැරිණ. අප සුපුරුදු ලෙසින් අසුන් ගන්නා මේසය අසළට හේෂාන් අප කැඳවාගෙන ගියේය.

“හරි ලස්සන තැනක්.”

හිඳ ගත් අම්මා පැවසුවාය.

“ඉස්සරම දවසක තාත්තා අපිව මෙහාට එක්ක ආවා මතකයි. එතකොට ඔය දෙන්නා පුංචියි.”

“සකුන්තලාගෙයි, මේජර් වංශනාථගෙයි සුන්දර ආදර කතාවේ එක් පරිච්ඡේදයක්.”

සුදු නංගී සරදම් කළාය.

“අපි දෙන්නත් නිතරම මෙහාට එනවා නේද ඩිනාලි? මොනවද කන්නෙ? එග් කට්ලට්ස්?”

හේෂාන් පැවසුවේ දුක් සිනාවක් මුවගට නගා ගනිමිනි. මා බිත්තර කට්ලට් කෑමට ප්‍රිය කරන බව ඔහුට සිහියට නැගෙන්නට ඇත.

“ඔයාගෙ කැමැත්තක්.”

වේටර්වරයකු කැඳවා ආහාර පාන ඇණවුම් කළ ද, හේෂාන්ගේ මුහුණෙහි වූයේ දුක්බර ස්වභාවයකි. වසන් කරගෙන සිටින්නට උත්සාහ කළ ද, ඔහුගේ සිත තුළ මොන තරම් නම් වේදනාවක් ඇත්දැයි මම කල්පනා කළෙමි.

“මම ඩිනාලිට කාරණයක් කියන්නයි හිතා හිටියෙ.”

හේෂාන් පැවසුවේය. මගේ සිත ගැස්සිණ. අප අතර වූ කෙටි නිහඬතාවය මැද උණ පඳුරු වලින් නැගි සිරි සිරි හඬ දුක් ගීතයක් මෙන් මට ඇසිණ. අම්මාත්, සුදු නංගීත් හේෂාන්ගේ මුහුණ දෙස බලා සිටියේ ඔහු කුමක් පවසන්නට සැරසෙන්නේදැයි යන කුතුහලයෙන් විය යුතුය.

“හැම අවුරුද්දෙම ජර්මන් වල තියෙන ප්‍රින්ටින් එක්සිබිෂන් එක බලන්න මං යනවනෙ..”

හේෂාන් කටහඬ අවදි කළේය.

“ලබන මාසෙ එක්සිබිෂන් එක තියෙනවා. මං හිතාගෙන ඉන්නෙ යන්න.”

“තනියම?”

මට ඇසිණ.

“ගිය අවුරුද්දෙ හිතාගෙන හිටියෙ අපි දෙන්නම යනවා කියලා. ලබන අවුරුද්දෙ අපි දෙන්නටම යන්න පුලුවන්. මේ පාරට මං ගිහින් එන්නම්.”

“ඒක හොඳයි.”

අම්මා පැවසුවාය.

“කවදද පුතා යන්නෙ?”

“තව තීරණයක් නෑ ආන්ටි. මං යන්නෙ ඩිනාලිගෙ හැමදෙයක්ම පිළිවෙලක් කරලා.”

“ඒ කිව්වෙ?”

“ඉස්සර වෙලාම ඩිනාලිව හොස්පිටල් ඇඩ්මිට් කරන්න ඕනනේ. අපි ඒක අද හෙටම කරමු ආන්ටි.”

“මට තව දවසක් දෙකක් ගෙදර ඉන්න ඕන.”

මම පැවසුවෙමි.

“ගියාට පස්සෙ මට ආයෙම ගෙදර එන්න වේවිද කියන්න බෑනේ.”

“අසුබවාදී කතා කියන්න එපා ඩිනාලි.”

හේෂාන් දුක් මුහුණින් යුතුව පැවසුවේය.

“මගේ මතකයේ තියෙනවා කවුරුහරි කිව්වා වගේ කොහේද තැනක ප්‍රයිවෙට් කැන්සර් හොස්පිටල් එකක් තියෙනවා කියලා. ඒකට ගන්නෙත් සීමිත පේෂන්ට්ලා ප්‍රමාණයක්ලු. මං මේ කල්පනා කළේ…”

“ඔහොම තැන් ගැන මම අනන්තවත් අහලා තියෙනවා පුතා. මිනිස්සුන්ගෙ අසරණ කමින් ප්‍රයෝජන අරගෙන සල්ලි කඩා වඩා ගන්න තැනුත් ඔය තියෙන්නෙ. මොනවා වුනත් ආණ්ඩුවෙ හොස්පිටල් එකක් ගැන විශ්වාසෙ තියන්න පුලුවන්නෙ.”

අම්මා පැවසුවාය.

“මට ඕන ඩිනාලි සතුටින් පහසුවෙන් තියන්න තැනක්. කවුරු කිව්වද කියලා මතකයක් නම් නෑ. මං ඒ ගැන ටිකක් හොයලා බලන්නම්.”

දුම් දමන බිත්තර කට්ලට් පිඟානක් සහ තවත් කෙටි කැවිලි රැසක් වේටර්වරයා මේසය මතට ගෙන ආවේය. සුදු නංගී අප කාටත් පෙර දුම් දමන බිත්තර කට්ලටයක් අතට ගැනීමට තැත් කළ ද ඇගේ අතැඟිලි පිළිස්සෙන්නට ඇත.

“අම්මෝ…”

ඇඟිල්ල මුව තුළට දමා ගත් ඇය කෑගැසූ ආකාරයට මට පමණක් නොව හේෂාන්ට ද සිනා පහළ විය.

“දැන් ඉතින් ඩිනාලිගෙ අසනීපෙ මොකක්ද කියලා චාන්දනීටත් කියන්න පුතා. එයා නිකරුණේ  අපට දොස් කීවනෙ.”

හේෂාන් විසින් තම පිඟානට බෙදන ලද බිත්තර කට්ලටය අතට නොගත් අම්මා පැවසුවාය. 

“ඕන නෑ. කිසිම කෙනෙකුට කියන්න ඕන නෑ. ඇයි කාටවත් කියන්නෙ? ප්‍රතිකාර කරන්න ඩොක්ටර්ස්ලා ඉන්නවනම් අනිත් අය දැනගත්තා කියලා වැඩක් තියෙනවද? පුලුවන් තරම් මානසිකව වට්ටාවි.”

“සුදු නංගි කියන්නෙ ඇත්ත ආන්ටි. කවුරුවත්ම, අපේ අම්මවත් මේ ගැන දැනගන්න ඕන නෑ. ඩිනාලිව එක්ක යන දවස කියලා ආන්ටි මට කෝල් එකක් දෙන්න. ඒ ඇති. මං එන්නම්.”

හේෂාන් පවසන්නේ සත්‍යයක් නොවේදැයි මට සිතිණ. සුවය ලැබීම හෝ මරණය යන අන්ත දෙකෙන් එකක් මගේ වාසනාව හෝ අවාසනාව මත මට උරුම විය හැකිය. වචන වලින් නොමරා මරන මිනිසුන් සිටින සමාජයකට තලු මරමින් රස කරන්නට අපගේ සංවේදනාවන් ඔවුන්ට පැවසීමෙන් ඇති කවරනම් ඵලයක්ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles