ඉඳුදුන්න – 49

“ඉඳුවරත් එක්ක ඩුවට් එකකට කතා කරා මට..”

අමන්දී සිහින් හඬින් පැවසී ය.අවිශ්ක නිහඬව හුන්නේ ය.අමන්දී දක්ෂ ගැහැනියකි.ඇයට බොහෝ අවස්ථා ලැබෙන බවත් ඒවා ප්‍රයෝජනයට ගැනීමට ඉඩ දීම තමන්ගේ යුතුකමක් බවත් අවිශ්ක සිතී ය.

“ඉතින් ඔයා ඒක කරන්න..”

අමන්දී සිනා වූයේ සැහැල්ලුවෙනි.ඇය දැනටමත් ඒ ගැන තීරණයක් ගෙන අවසාන ය.

“මං ඒකට කැමති වුණේ නෑ අවිශ්ක.මං බෑ කිව්ව..”

අමන්දී අවිශ්ක අසල හිඳ ගත්තේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කියන්නට ය.ඇය ඉඳුවරගේ මිත්‍රශීලි යෝජනාව ප්‍රතික්ෂේප කළේ ද මිත්‍රශීලිව ය.

“කැම්පස් එකේ හිටිය කෙල්ලට වඩා දැන් ඉන්නෙ දෙයක් තේරෙන අමන්දි කෙනෙක් ඉඳුවර.ඒත් තාමත් ඔය ජනප්‍රිය දේවල් කිරීම ගැන මගේ අදහස එකමයි.මම ආස නෑ ජනප්‍රිය වෙන්න.මට ඔයා එක්ක වැඩ කරන්න අකමැත්තක් නෑ.ඔයා පටන් ගන්න හදන්න මියුසික් ඇකඩමි එකට අදීෂයි සනූයි තරමටම උදව් කරන්න මට පුලුවන්.මේ පළාත්වල ළමයින්ට සංගීතෙ ඉගෙන ගන්න තියන අවස්ථාව හරිම අඩුයි.ඒ නිසා අපිට පුලුවන් මියුසික් ඉගැනිල්ල හොඳින් කරන්න.ඔයා සින්දුවට හොඳ ෆීමේල් සින්ගර් කෙනෙක් හොයා ගෙන ලස්සන වැඩක් කරන්න..”

අමන්දී එසේ පැවසුවා ය.ඇය ජනප්‍රිය වීම සදාකල් ප්‍රතික්ෂේප කරන්නියක බව ඉඳුවර වටහා ගත්තේ එය අසා හිඳීමෙනි.

“ඔයාගෙ කැමැත්තක්.ඔයා දුලනිට උගන්නන හැටි බලන් හිටියම මට හිතුණෙනම් ඔයා මේ පොඩි ඉස්කෝලෙක ළමයින්ට සර්පිනා ගහගහ ඉන්න ඕන කෙනෙක් නෙවෙයි කියල..”

අවිශ්කට තම බිරිඳ ගැන දුකක් දැනෙන්නට ගෙන තිබිණ.ඇය තමන්ගේ කුඩා ලෝකයේ සිර කර තැබීම වරදක් දැයි දැන් ඔහුට සිතේ.

“මේ පොඩි ඉස්කෝලවලත් සර්පිනා ගහන්න කෙනෙක් ඉන්න ඕන අවිශ්ක.දුලනිට වගේ ලෝකෙ දකින්න මේ අනිත් දරුවන්ටත් ඉඩ ලැබෙන්න ඕන.ආලෝකලා එක්ක මං මහන්සි වෙන්නෙ ඒකට.ඉගෙන ගන්න පුලුවන්, සින්දු කියන්න නටන්න චිත්‍ර අඳින්න පුලුවන්, ස්පෝට්ස් කරන්න පුලුවන් දරුවෝ මේ ඉස්කෝලවලිනුත් අපි හොයා ගන්න ඕන..”

අමන්දී පැවසුවේ මතු සිහින හදවතේ රඳවාගෙන ය.

“අපිට ලබන මාසෙ දිහාවට අලුත් ගෙදරට යන්න පුලුවං..”

අවිශ්ක වඩා සන්තෝසදායක ආරංචියක් රැගෙන ආවේ ය.අමන්දීට ඒ සුන්දර නිවහනට යන්නට තිබුණේ නොතිත් ආශාවකි.

“හොඳ වෙලාවක් එහෙම බලල යන්ඩ ළමයිනෙ..”

ශාන්ති ඔවුන්ට සිහි කළා ය.අවිශ්ක සමඟ ආදරයෙන් ජීවත් වන්නේ නම් ඕනෑම මොහොතක් හොඳම වෙලාව බව අමන්දී සිතුවා ය.

“කර්ටන්ස් ටික එහෙම හදා ගන්න ඕන නංගි.ඕනම කරන බඩුමුට්ටු ටිකත් ගන්න වෙනව..”

අමන්දී සඳුනිට පැවසී ය.

“මෙහෙ තියන ගොඩක් බඩුමුට්ටු අයියා ගත්තුව.ඒව අරන් යන්න අක්කෙ..”

අයියාටත් නෑනන්ඩියටත් නිවස හැර දමා යන්නට සිදු වූයේ අක්කාගේ අකටයුතුකම් නිසා බව තරයේ අදහන සඳුනි පැවසුවේ කේන්තියෙනි.එතැනින් නොනැවතුණු ඇය අක්කා සමඟ කතාබහක ද පැටලුණා ය.

“මේ ගෙදර දහපහලොස් දෙනෙක්ට වුණත් ඉන්න ඉඩ තියන ගෙයක්.අයියල ගෙවල් හදන් යන්න ඕන නෑ.මේවා ඔක්කොම වුණෙ ඔයා හින්දා..”

සඳුනි කඩා පනිද්දී නයනි නෑසුණු කන්ව හුන්නා ය.

“මම කොහෙ යන්නද මගෙ මහ ගෙදර දාලා..”

අනතුරුව ඇය පැවසුවා ය.එහි වරදක් නැත.නමුත් නරකම කාරණාව ඇය අමන්දී සමඟ නුවුමනා කාරණාවලට පවා පැටලෙන්නට යාම ය.

“ඔයා දුකින් හිටිය කියල සතුටින් ඉන්න මිනිස්සු පලි නෑ අක්කෙ.දික්කසාද උනා කියල ඔයා අනිත් මිනිස්සුන්ට බැන බැන ඉන්න ඕනයැ.අප්පච්චි කියලත්නෙ තියෙන්නෙ කඩේ කරගන්න කියල.ඒක කරගෙන කෙල්ලො දෙන්න බලාගෙන ඉන්න ඉඩ තියෙද්දි අයියලව ගෙදරින් පන්න ගත්තු එක හරිම කැතයි..”

නයනි නැගණිය දෙස බලා සිටියේ ක්‍රෝධය ඉතිරෙන දෑසකිනි.

“මගෙ උන්ට කන්න දෙන්න උන්ගෙ අප්පා ඉන්නවනෙ.ඒ මිනිහා කන්න අඳින්න දෙයි.මටත් උන්ගෙන් වැඩක් නෑ.”.

අක්කා දෙදරුවන්ට නොසලකන වග සඳුනි කොහොමත් දැන හුන්නා ය.නමුත් ඒ ප්‍රතික්ෂේප කිරීම දැරියන්ට නොදැනුණේ ශාන්තීගේ සහ සඳුනිගේ මෙන්ම අමන්දීගේ ද අත්‍යන්ත ආදරය ඔවුන්ට හිමි වූ හන්දා ය.බාල දියණිය තමන්ගේ පියා බව සිතා හිඳින්නේ ද සඳුනිලාගේ අප්පච්චිව ය.

“ඔයාල දෙන්නා දෙපැත්තට වෙලා හිටියට කමක් නෑ. ඒ උනාට දෙන්නම පොඩි උන්ව එපා කිව්වම උන්ට යන කල මොකක්ද අක්කෙ..”

ආවේගයට පත් නොවී කතා කරන්නට තැත් කරමින් සඳුනි ඇසුවා ය.

“උන්ට යන කලට කලින් මට යන කලක් හදා ගන්න බලා ගන්න ඕන.”

නයනි එසේ කී මුත් සඳුනි ඒ ගැන වැඩිදුර හිතන්නට නොගියා ය.එහෙත් ඒ ගැන නොසිතා සිටීම ගැන කම්පා වන්නටත් පසු තැවෙන්නටත් දවස උදා වූයේ නොසිතු අන්දමට ය.

එක්තරා උදෑසනක නයනිගේ කුඩා දියණිය තොරක් නැතිව හඬන ශබ්දයෙන් නිවසේ සාමකාමී බව බිඳී ගියේ ය.

“නංගි,අක්කා කෝ..අර චූටි දූ අඬනවනෙ..”

පාසලට යන්නට සැරසෙමින් හුන් අමන්දී සඳුනිව කීද්දුවා ය.පාන්දර වනතුරු පාඩම් කරන්නට පුරුදුව සිටින සඳුනි උදෑසන අවදි වන්නේ ප්‍රමාද වී ය.ඇය අමන්දීගේ කටහඬ ඇසී අවදි වූයේ නිදි ගැට හරිමිනි.

“අක්කා කාමරේ නෑ..”

ඇය කුඩා දැරිය රැගෙන කාමරයෙන් පිටතට ආවේ එසේ කියමිනි.

“ටොයිලට් එකේ ඇති..එතකන් ටිකක් බලන්නකො..”

අමන්දී එසේ කියා හැඳ පැළඳ ගන්නට සූදානම් වූවා ය.

“මිදුලෙ නම් පේන්න නෑ අක්කෙ..”

සඳුනි අවට හාත්පස විමසමින් කියන්නී ය.මොකක්දෝ බියකින් හදවත හිරිවැටෙනු අමන්දීට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles