නිවි හැනහිල්ලේ බලන්න පුලුවන් චිත්‍රපටයක් ගැන නම් නෙවෙයි අද අපි ඔබට කියන්න යන්නේ. නිවිහැනහිල්ලේ බලන්න පටන් ගත්තත් හැම තත්පරයක් ගානෙම ඇඟ ලොමු ගැන්වෙන සිදුවීම් පිරුණු Identity ගැණයි අද අපේ ඉඟිය. ඉතින්, ත්‍රිලර් චිත්‍රපට ලෝලියෙක් මඟ ඇරගන්නේ නැතිවම බලන්න ඕනි මේ චිත්‍රපටය ගැන කියවලා බලලා, අනිවාර්යෙන්ම චිත්‍රපටය නරඹන්නත් කියලාම සටහන ආරම්භයේදීම අපි මතක් කරනවා.
චිත්‍රපටය ඇතුලේ චරිත විශාල ප්‍රමාණයක් එහෙ මෙහෙ වෙන නිසා අවධානයෙන් නොවුන්නොත් සමහර වැදගත් කාරණා ගිලිහෙන්න පුලුවන්. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ මනෝ වෛද්‍යවරයෙක්ගෙන්. මනෝ වෛද්‍යවරයෙක් තමන්ගේ සේවා දායකයෙකුගේ ප්‍රතිකාර වාරයන්වලදී ලබා ගත්තු හඬ පට කිහිපයකට සවන් දෙමින් ඉන්න දර්ශනයක් ඉස්සර වෙලාම දිග හැරෙනවා.ඔහුගේ මේසයේ එක් පසෙක තියෙන්නේ අමානුශික විදියට ඝාතනය කරපු මිනිසුන් කිහිප දෙනෙකුගේ ස්තානීය මරණ පරීක්ෂණ වලදී ගත්ත පින්තූර.ඒ වගේම අපිට පැහැදිලි වෙනවා, මනෝ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගන්නා සේවාදායකයා තමයි මේ මිනීමැරුම් වල විත්තිකාරයා බවට පත් වෙලා තියෙන්නේ කියලත්.
ඩොක්ටර් මලික් කියන මේ මනෝ වෛද්‍යවරයා ඉතාම උනන්දුවෙන් මේ හඬ පට අහන ගමන් විත්තිකරුගේ හඬ හොඳින් නිරීක්ෂණය කරමින් කරුණු සටහන් කරනවා.
ඊට පස්සේ මහ වැස්සක් එක්ක තමන්ගේ මෝටර් රිය පදවන රියැදුරෙක් සහ පිටුපස අසුනේ සිටින කැරොලින් කියන සුප්‍රසිද්ධ නිළිය චිත්‍රපටයට ඇතුල් වෙනවා. කැරොලින් තමන්ගේ පෞද්ගලික රියැදුරා එක්ක වෙනත් ප්‍රාන්තයක සැලසුම් කෙරිලා තියෙන රූගත කිරීමක් වෙනුවෙන් තමයි යන්නේ.
” එඩ් .. මට හිතෙන්නේ අපිට නියම වෙලාවට එහෙට යන්න බැරි වේවි වගේ…”
” ඔව් මැඩම් .. මේ වැස්ස නම් ඉවරයක් නැහැ ..”
” මට ඔය බෑග් එකේ තියෙන ෆෝන් එක අරගෙන දෙන්න ..”
තමන්ගේ ස්වාමි දුවගේ අණ කිරීමට එකඟ වෙලා එඩ් ඉදිරි මාර්ගය දිහාවේ තිබුන අවධානය මදකට බෑග් එක දිහාවට දෙනවා. ඒත් එක්කම යමක් මහ සද්දෙන් මෝටර් රියේ ගැටෙනවා. එඩ් වහාම මෝටර් රියෙන් බැහැලා සිදුවූයේ කුමක්ද කියලා බලනවා.ඔහු දකින්නේ මැදිවියේ කාන්තාවක් තමන්ගේ රියේ වැදිලා වැටිලා ඉන්න බව. ඒ වගේම ඒ කාන්තාවගේ ස්වාමිපුරුෂයා සහ දරුවාත් ඉන්නවා.
එඩ් වහාම කැරොලින්ගේ ජංගම දුරකතනයෙන් වෛද්‍ය උපකාර ඉල්ලන්න උත්සාහ කලත් එය සාර්තක වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ තුන්දෙනාවත් මෝටර් රියට නංවාගන්න එඩ් සහ කැරොලින් ඔවුන්වත් එක්කගෙනම මඟ තැනක තිබුන තානායමකට යනවා. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ වැස්ස අවසාන වෙනකල් රැඳී ඉන්න තැනක්.
තානායමේ බාරකරුවා වෙන්නේ ලැරී කියන පුද්ගලයා. ඔහු වහාම වටහාගන්නවා මේ තමන්ට හොඳින් මුදල් උපයාගන්න අවස්තාවක් බව වටහාගෙන කාමර කුලිය වගේ කිහිප ගුණයක් ඉල්ලනවා. කැරොලීන් ඒ අතරේදි තමන්ට වඩා සුවපහසු කාමරය ලබා දෙන ලෙස කියලා මුදල් ගෙවනවා. ඒ අනුව ඇයට ලැබෙන්නේ කාම්ර අංක නවය. අනතුරට පත් වුන කාන්තාව ඇතුළු පවුල වෙනම කාමරයක ලැඟුම් ගන්නවා. එඩ් සාමාන්‍ය කාමරයක් වෙන් කරගන්නවා.
” කලබල වෙන්න එපා මහත්තයා..මම හැකි ඉක්මනින් වෛද්‍ය ආධාර අරගෙන එන්නම් … “
එඩ් තුවාල වුන කාන්තාවගේ සැමියාට කියනවා. එඩ් මෙහෙම කියලා රෝහලක් සොයාගෙන යනවා. ඒ අතරමඟ කුනාටුව නිසා අතරමං වුන කාන්තාවක් එඩ් ට හමුවෙනවා. ඇගේ නම පැරිස්. ඇට වෘ ත්තීමය ගනිකාවක්. එඩ් තමාට වුන කරදරය ඇයට කියනවා.
” අහන්න ..ඔයා ඉස්සරහට ගියාට වැඩක් නෑ.. ඉස්සරහ තියෙන පාලම වතුරට ගහගෙන ගිහිල්ලා….”
ඒත් එඩ් ඒ කතාව විශ්වාස නොකර ඉස්සරහටම යනවා. ජල පහරේ වේගය වැඩි නිසා වාහනය මඟ නැවතෙනවා. එඩ් ආයෙම හැරිලා පැරිස් උන්න දිහාවට යනවා.
” අපි තානායමට යමු .. මෙතනින් එහාට යන්න විදියක් ණැහැ..”
එඩ් පැරිස්ට කියනවා. ඒ අතරෙදි කුණාටුවට අසු වුන තවත් යුවලක් මෙතනට එනවා.
” මෙතනින් ඉස්සරහට යන්න විදියක් නැහැ .. අපි තානායමට යමු ..”
එඩ් එනකල් බලාගෙන ඉන්න තානායෙමේ පිරිස එක හැල්මේ ප්‍රශ්න අහනවා. එඩ් ඔවුන්ට තත්වය පැහැදිලි කරලා, අනතුරට ලක් වුන කාන්තාව පරික්ෂා කරනවා.
” යෝක් මහත්මයා.. තවම ඇගේ ලේ නැවතිලා නැහැ …මම ඇයට මැහුමක් දානවා…”
එඩ්ගේ ඒ තීරනණයෙන් පස්සේ තුවාල ලබපු කාන්තාවගේ තත්වය මදකින් යහපත් වෙනවා. පිරිස නිදි වර්ජිතව උපකාර ලබාගන්නට හැකි මාර්ගයක් ගැන කතා බහ කරමින් ඉන්නවා. ඒ අතරෙදි සිරකරුවෙක් ප්‍රවාහනය කරන රියක උන්න පොලිස් නිළධාරියෙකුත් සිරකරුවා එක්ක මේ තානායමට එන්නේ හදිසි තත්වය නිසා ඉස්සරහට යන්න තිබුන මාර්ග අවහිර වෙලා නිසා. එඩ් වහාම පොලිස් නිළධාරියාට තමන් පත් වෙලා ඉන්න අනතුර ගැන කියනවා. පොලිස් නිළධාරියා තමන් සතු සන්නිවේදන උපකරන මඟින් උදව් ඉල්ලුවත් යහපත් ප්‍රතිචාරයක් ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. පොලිස් නිළධාරියා පිරිසට තමන්ව හඳුන්වලා දෙනවා.
” මම රෝඩ්ස්.. ඔයාලා කිසිම කෙනෙක් අපි ගැන කලබල වෙන්න ඕනි නැහැ.. සිරකරු ගැන සම්පූර්ණ වගකීම මම දරනවා..”
ඊට පස්සේ පිරිස තමන්ගේ කාමර වලට යනවා. රෝඩ්ස් තමන්ගේ කාමරේට යාබදව තිබුන නාන කාමරය තුල සිර කරුවාට විලංගු දානවා.
රාත්‍රිය මෙහෙම ගතවෙනකොට, එක පාරටම කැරොලින්ගේ ජංගම දුරකතනය නාද වෙනවා. ඇය වහාම පිළිතුරු දෙනවා. ඒත් ඇයට ඇමතුමට නිසි ලෙස සම්බන්ධ වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ඇය ජංගම දුරකතනයත් එක්ක එලියට ඇවිල්ලා උස් බිමකට නඟිනවා. එතකොටත් මහ වැස්ස.
මේ අතරේ නිදාගෙන ඉන්න එඩ් එකපාරටම අවදිවෙනවා. ඔහුට දැනෙන්නේ අද්භූත හැඟීමක්. ඔහු ඇවිදගෙන යන මාර්ගයේ වැටිලා තිබුන කැරොලින්ගේ වැසි ආවරණයේ කොටසක් දකිනවා. ඔහු කලබල වෙනවා. ඔහු තානායම් පොලේ ලොන්ඩ්‍රිය දෙසට ඇවිදගෙන යනවා. ඔහුට මහ හඬක් ඇසෙනවා. ඔහු ලොන්ඩ්‍රිය දෙසට ඇවිදගෙන යනවා. ඔහුට තේරුම් යනවා ඒ හඬ එන්නේ ලොන්ඩ්‍රියේ කොනක තියෙන රෙදි සෝදන යන්ත්‍රයෙන් තමයි හඬ එන්නේ කියලා.
ඔහු වහාම ඒ දෙසට ඇවිදගෙන ගිහින්, රෙදි සෝදන මැෂින් එක විවෘත කරනවා. එතනදී ඔහු දකින්නේ හීනෙකින්වත් විශ්වාස කරන්න අකමැති දෙයක්.
රෙදි සෝදන යන්ත්‍රය ඇතුලේ තියෙන්නේ කඳෙන් වෙන් කරපු ඔහුගේ ස්වාමි දියණිය වුන කැරොලින්ගේ හිස කොටස. එඩ් වහාම පොලිස් නිළධාරියා සහ ලැරි ව දැනුවත් කරනවා. පොලිස් නිලධාරියට වැටහෙනවා සිදුවෙලා තියෙන්නේ කුමක්ද කියලා.
ඔවුන් ආයුධ සන්නද්දව වහාම සිරකරුවා උන්න නාන කාමරේ දිහාවට යනවා. ඉන් පස්සේ ඔවුන් දකිනවා ඒ නාන කාමරේ සිරකාරයා නැති බව.
” දෙවියනේ ..”
මෙතනින් එහාට මේ සිරකාරයා පැටලෙන නූල් බෝලේ කොහොමද කියලා දැනගන්න නම්, පැරණි වුනත් ත්‍රිලර් බව අඩුවක් නැති මේ චිත්‍රපටය ඔබට නරඹන්නම වෙනවා.
ReplyForwardAdd reaction |