අඟ හිඟ කම් මැද්දේ පසන් එක්ක ගෙවන ජීවිතේ තිළිණිට එපා වෙලා තිබුණේ.
” කවදාවත් සැනසීමෙන් නම් ඉන්න වෙන්නේ නෑ මට …”
තිලිණි හැමදාම කිව්වේ එහෙම. පසන් තිළිණිගේ ආඩපාලි බොහොම ඉවසීමෙන් දරාගෙන උන්නේ ඇත්තටම තිළිණි ගැන මහා ආදරයක් පසන්ගේ හිතේ තිබුන නිසා.
” අනේ මන්දා අයියේ .. අම්මත් හිතේ අමාරුවෙන් ඉන්නේ උඹ ගැන … උඹ තිළිණි අක්කාව කැන්දන් ආවේ උඹේ කැමැත්තට වුනත්, දැන් එයාගේ හැසිරීම් එක්ක අම්මා ඉන්නේත් කලකිරීමෙන් …”
පසන්ගේ මල්ලී හේනට යන ගමන් එහෙම කිව්වේ, එදා උදේ තිළිණි පසන්ට කීව ඇණුම්පද ඇහුණාට පස්සේ මේ ගැන පසන් එක්ක කතා කරනවාමයි කියලා තීරණයට ආව නිසා.
” මං අම්මා එක්ක කතා කරන්නම් මල්ලී .. තමුසේ ඕවා හිතන්නේ නැතුව එග්සෑම් එක ගොඩ දා ගන්නවාකෝ …ඉරිඟු ටික ගෙදරට යවාගන්න ඕනි හින්දා මිසක් මං තමුසේට එන්න දෙන්නේත් නෑ ..”
පසන් එහෙම කිව්වා.
” එහෙම නෙවෙයි ඕයි … තිළිණි අක්කා හිතන්න ඕනි .. උඹ ඒකිව කැන්දන් ආවේ නැත්නම්, අර බේබදු බාප්ප මෙලහකට ඒකිව මඩමකට විකුනලා..”
මල්ලි එහෙම කිව්වට පස්සේ පසන් ඒ බවට එකඟ බව ඇඟෙව්වා.
ඇත්තටම තමන් තිළිණිව හදිසියේම විවාහ කරගෙන එක්කගෙන ආවේ තිළිණිගේ බාප්පාගේ රකුසු ඇස් වලින් තිළිණිව ගලවගෙන පරෙස්සම් කරගන්න ඕනි නිසා බව පසන් කල්පනා කලේ මල්ලි හේනෙන් පිටත් වෙලා ගියාම. සැලසුම් කරගෙන හිටියේ වෙනම ගේ පොඩ්ඩක් හදාගෙන, කුඹුරු කෑල්ලකුත් අඳේට හොයාගෙනම තිළිණිව කැන්දගෙන එන්න වුනත් හදිසියේම තිළිණිගේ අම්මා මිය යෑමෙන් පස්සේ වුණ බාප්පාගේ වෙස් පෙරලිල්ල නිසා පසන් තිළිණිව හදිසියේම විවාහ කරගත්තා. යමක් කමක් තියෙන පවුලක එකම දියණිය වුනත්, තිළිණිගේ අම්මා ඒ හැම දේපලක්ම බාප්පාගේ නමට ලියලා තිබුණ නිසා තිළිණිට ඇඳුම් ටික විතරයි තමන් සන්තකේ දෙයක් කියලා අරගෙන එන්න ඉතුරු වුනේ.
මුලදි මුලදි තිළිණි පසන් එක්ක ජීවිතෙන් මල් හොයගන්න උත්සාහ කලත්, පස්සේ පස්සේ ඒ ජීවිතේ වල් විතරක්ම දකින්න පුරුදු වුනා.
” අර හන්දියේ කඩේ පහන්දී ටවුමෙන් ඇඳුම් ගෙනල්ලා ඒවා ඇඳගෙන උජාරුවෙන් පන්සල් ඇවිල්ලා හිටියේ . මට ලැජ්ජම හිතුණා .. මම කඩමාලු පිටින් … පහන්දිගේ මහත්තයා සතියකට පාරක් ටවුමට එක්කන් යනවලු එයැයිව ..”
තිළිණි අරියාදුව පටන් ගත්තේ එහෙම. පසන්ගේ හිත එදා එමට රිදුණා. ඒත් ඒ රිදුම ඔහුම හංගගෙන තිළිනිට නොපෙනෙන්න පිරිමැදගත්තා.
එදයින් පස්සේ තිළිණි දැක්කේ පහන්දිගේ ජීවිතේ තිබුන සුව සැප සහ තමන්ගේ ජීවිතේ තියෙන දුක්ඛ දෝමනස්ස.
” ඕගොල්ලන්ගේ අම්මා එක එළවලුවයි නේ උයන්නේ පසන් .. මට එහෙම කාලා පුරුදු නෑ..”
“අනේ මට රස්නෙයි පසන් .. ෆෑන් එක කාමරේට ගන්නකෝ …”
” අනේ ඕගොල්ලන්ගේ මල්ලී රෑට සද්දෙන් පාඩම් කරනකොට මට නින්ද යන්නේ නෑ පසන් … “
” ඔයා ඔය හේනේ යන එකෙන් කට්ට කලු වෙලා පසන් … කොහොමද මගේ යාලුවෝ එක්ක පාර්ටි එකකටවත් යන්නේ ??…”
” අර එහා පාරේ ගෙයක් තියෙනවාලූ කුලියට දෙන්න .. අපි ඒකට යමුද බලලා .. මට බෑ අනේ මෙහෙ ඉන්න ..
පසන් ඔය බොහෝ තැන් වල පැහැදිලි කිරීම් නැතිවම නිහඬ වුනා. සමහර තැණ් වල කෙටි පැහැදිලි කිරීම් කරා. ඒත් කාලෙත් එක්ක පසන්ගේ හිතත් තුවාල වෙන්න ගත්තා. එහෙම දවසක පසන්ගේ කෝපය තිළිණි මත්තට කඩාගෙන වැටුණා.
” මොන කරුමයක්ද ඕයි … ඉන්න බෑනේ ?.. ඉන්න බෑනේ ?.. හරි .. හරි .. අන්න දොර ඇරලා තියෙනවා යන්න පුලුවන් … ඉන්න බැරි නම් යනවා.. දික්කසාද වෙන්නනේ ඕනි කිව්වේ.. මං බැඳපු එකෙන් නේ ඔක්කොම විනාශ වෙනවා කිව්වේ .. හරි .. හරි .. එහෙනම් ඔක්කොම හරි ගස්සගන්න .. යන්න .. දෙයියන්ගේ නාමෙන් මට සැනසීමෙන් ඉන්න දීලා යනවා තිළිණි …”
පසන්ගේ අම්මායි මල්ලියි පසන්ව සන්සුන් කරගන්න දරපු උත්සාහයවත් සාර්තක වුනේ නැහැ.
” මට ඇති අම්මේ .. මට ඇති .. තවත් ඉවසන්න කියන්න එපා …මේ ඇති .. පවුලක් රැකෙන්න නම් එකෙක් විතරක් ආදරේ කරලා මදි අම්මේ .. එකෙක් විතරක් ආදරේ කරලා මදි … එකෙක් විතරක් කැපකිරීම් කරලා මදි .. මං හැමදේම බලාගන්න උත්සාහ කලා අම්මේ .. ඒත් මටත් ලේසි නෑ ඔක්කොම එකපාර කරන එක .. මෙයාට ඕනි කුමාරිහාමි කෙනෙක් වගේ ඉන්න නම්, ඒක මේ ගෙදරදී වෙන්නේ නෑ .. ඒක එයත් දන්නවා.. මාත් දන්නවා..ආයේ තවදුරටත් හිත් රවට්ටගන්න එක තේරුමක් නෑ .. මම සෑහෙන්න උත්සාහ කලා .. තව ඕනි නෑ ..”
පසන් නිවසින් නික්මුණේ කිසිම අරමුනක් නැතුව. තිළිණිත් කිසිම දෙයක් හිතාගන්න බැරුව කාමරේ දොර වහ ගත්තා. පහුවෙනිදාත් පසන් තිළිණිට මූණ දුන්නේ නැහැ. තිළිණි කාටවත් නොකියාම පහන්දි මුණ ගැහෙන්න ගියා.
” තිළිණි .. අනේ ඇයි කෙල්ලේ මේ .. අසනීපයක්ද ?..”
” පසන් කිව්වා අපි දික්කසාද වෙමු කියලා..”
තිළිණි එකපාරටම එහෙම කියලා, පසන් ඒ වගේ කතාවක් කියන්න තමන් අතින් වුන හැසිරීම් රටාව ගැනත් කිව්වා. තමන් බලාපොරොත්තු වුන ජීවිතේ පසන්ගෙන් නොලැබෙන එක දරාගන්න නොහැකි වීම එක්ක තමන් උන්මත්තක වෙලා උන්නේ කියලාත් තිළිණි පහන්දි ඉදිරියේ පාපොච්චාරණය කලා.
” අනේ මන්දන්නේ නෑ තිළිණි .. මම හිතුවේ නෑ පසන් ඔයා වෙනුවෙන් කරපු කැපකිරීම ඔයා ඔය තරමටම බාල්දු කරාවි කියලා …”
පහන්දිට ඉස්සෙල්ලාම කියවුනේ එහෙම. ඒත් සැනින් පහන්දි කතාවේ හැඩය වෙනස් කලා.
” ඔයා දන්නවානේ තිළිණි, අපේ මහත්තයා සල්ලි භාගේ තියෙන පවුලක පොඩි පුතා තමයි .. ඒත් නැන්දම්මලා මෙයාට කියලා දීලා තියෙන්නේ අපි ඉන්න ගෙදර විතරයි.. කොටින්ම මේ කරන කඩෙනුත් මාසෙට ගාන දෙන්න ඕනි … එහෙමයි කියලා මම කවදාවත් එයාගේ හිත රිද්දන්නේ නෑ .. මම නිතරම කියන්නේ අම්මලා අපිව උස් මහත් කරපු එකම අපිට ඇති, ආයේ වෙන මුකුත්ම ඕනි නෑ කියලා.. අපිම හෙමි හෙමින් දියුණු වෙලා මේ කඩෙත් අක්කාටම දෙමු කියලා … අපි පොඩිවට බේකරිය පටන් ගත්තේ ඒ නිසා .. බේකරියේ ඔක්කොම වැඩ කරන්නේ මම .. උඹට වගේ තමයි මටත් එව්වා හුරු නෑ .. ඒත් අපි ජීවිතේ නේ බෙදාගන්න එකඟ වෙලා ඉන්නේ තිළිණි …අපි ඒක කරන්න ඕනි අපේ තාලේට “
පහන්දි තිළිණිව ගෙදරට ඇරලෙව්වා. තිළිණි කුසගින්නේම නින්දට ගියා.
” අරයා කාලා නැද්ද ?..”
පසන් අම්මාගෙන් අහනවා ඇහෙද්දී තිළිණි ඇඳේ තව ගුලි වුණා.
” ඔහේ නෑ … තුන් වේලකින් බත් ඇටයක් උගුරෙන් පහලට යවලා නෑ මයේ හිතේ .. මල්ලි උදේ තැඹිලි ගෙඩියක් කපලා දුන්නම, ඒකත් එපා කියලා.. වෙනදා එක වරුවට තැඹිලි ගෙඩි දෙක තුන බොන්නේ …”
ඊට පස්සේ හැමදේම නිහඬ වුණා. ඊට පස්සේ තිළිණිට එකපාරටම ඇහුනේ පසන්ගේ හඬ.
” කෝ නැගිටින්න … කාලා ඉන්න …”
” බඩගිනි නෑ ..”
තිළිණි නොසෙල්වීම උත්තර දුන්නා.
” ඒකට කමක් නෑ… නැගිටින්න ..”
පිඟාන මේසේ උඩ තියලා පසන් බලෙන්ම තිළිණිව නැගිට්ටව ගත්තා. බත් පිඬක් අනලා මුවට ලං කලා.
” මට සමාවෙන්න එදා කෑ ගැහුවට .. මට තේරෙනවා, මං කලබල වෙලා ඔයාව එක්ක ආවට, ඔයාට මේක ලේසි නෑ කියලා … මං ඔයාලෑ බාප්පා එක්ක කතා කරන්නම් … ඔයාට නිදහසේ ඉන්න පුලුවන් වෙන්න ගෙයක් හොයාගන්න පුලුවන් වේවි … බාප්පාට ලං වෙන්න නොදී ඉන්න පුලුවන් දැන් ඔයාට …”
තිළිණි එක පාරටම පැනලා පසන්ව බඳාගත්තා. බත් පිඟාන ලෙස්සලා ගිහින් කුඩු වෙලා ගියා. ඒ සද්දේට අම්මයි, මල්ලියි දෙන්නාම කාමරේට එබුනා.
” සමාවෙන්න .. එක වතාවක් සමාවෙන්න මට …. මං සම්බන්ධතාවයක් ගැන අත්දැකීමක් තිබ්බ කෙල්ලෙක් නෙවෙයි පසන් . අම්මා, තාත්තා, බාප්පා ඔය හැමෝම කලේ තම තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් එකිනෙකා පාවිච්චි කල එක… අනෙකා වෙනුවෙන් කැප වෙන එක , වග වෙන එක ඒගොල්ලෝ දැනගෙන උන්නේ නෑ .. ඉතින්, මමත් එහෙම දෙයක් දන්නේ නෑ … ඒත්, මට දැනෙනවා, මට එහෙම කැප වෙන්නෝනි අපි දෙන්නා වෙනුවෙන් .. එහෙම වග වෙන්න ඕනි … අපි … අපි ආයේම අලුත් පටන් ගැන්මක් වෙනුවෙන් අඩියක් තියමුද පසන් …මල්ලිට උගන්නගෙන, අම්මාව බලාගෙන, අපි දෙන්නා එකට ජීවත් වෙන සතුටු හවස් වෙනුවෙන් ඔයා මට ඉඩ දෙනවාද ?..”
අම්මා මල්ලිවත් එක්කගෙන කුස්සිය දිහාවට ගියේ කඳුලු පිහිදගන්න ගමන්. පසන් නුහුරට තිළිණිව ගුලි කරගත්තේ ඇයට අවශ්‍ය පිළිතුර හාදු වල තවරන ගමන්.
ජීවිතේ එහෙමයි. සමහර වෙලාවට දෙවෙනි අවස්තාව තමයි, නැවුම්ම ඇරඹුම
ReplyForwardAdd reaction |