“නෙලී…වීක් එන්ඩ් එකේ ගමනක් යමුද?”
මාලිකා බ්‍රහස්පතින්දා දවසක රාත්‍රියේ විමසුවාය. ඉරිදා දිනය පමණක් විවේකය කොටගන්නා යෙහෙළිය කොහේ හෝ ගමනාන්තයකට රැගෙන යන්නට ඇය බොහෝවිට සිතුවාය. බ්‍රයන් සමගින් කල්තියා සූදානම් කරගත් සෙවන් සිස්ටර්ස් කඳුනැග්මට නෙලී එක්කරගන්නට ඇය සිතුවේ එහෙයිනි.
“ඉරිදා ගිහින් එදාම එන්න නේද මෙලා..?”
නිලංගා සැකමුසු ස්වරයෙන් විමසුවාය.අනෙක් දිනවල මේරිගේ රැකබලා ගැන්ම නිසා ඇය කිසිම ගමනක් සඳහා සිල්වියා වෙතින් අවසර ඉල්ලා නොතිබුණි.
“නෑ අනේ..සැටර්ඩේ ගිහින් සන්ඩේ එන්න…සෙවන් සිස්ටර්ස් යමු…මායි බ්‍රයනුයි යන්න උන්නෙ කාලෙක ඉඳන්..ඔයත් යං අනේ…”
මාලිකා ඇවිටිලි කළාය.නිලංගාගේ සිත හැකිළී ගියේ දින දෙකක ගමනක් බව ඇසූ වහාමය.රැකියාවේ ස්වභාවය අනුව සතියේ දින හයක් ඇය මේරි රැකබලා ගනී. නමුත් ඇයට අවශ්‍ය ප්‍රමාණයේ අමතර නිවාඩු ගැනීමට හැකියාවක් ඇත..එහෙත් කල් තියා ඒ බව සිල්වියා හට දැනුම් දෙන්නට අවශ්‍යය.ඔවුන් එවන් විටක තාවකාලික සේවිකාවක යොදා හෝ වැඩ කටයුතු ආවරණය කරගන්නට වගබලා ගනී.එහෙත් දිනයකට පෙර මෙසේ නිවාඩු ඉල්ලන්නේ කෙසේදැයි නිලංගා සිතුවාය.
“අද බ්‍රහස්පතින්දා රෑ දැන්…මම සැටර්ඩේ යන්න අද කියලා මදිනෙ මෙලා.සිල්වියා මැඩම්ට ඇරේන්ජ්මන්ට් එකක් දාගන්න වෙලාව මදිනෙ. මට අහන්න මොකක්ද වගේ අනේ…එක්කො මේ අහන්නකො…ඔයාල ඔය ගමන යන්න..මම ඊලඟ ට්‍රිප් එකට ජොයින් වෙන්නම්.”
නිලංගා එවන් ගමනක් යන්නට කෙතරම් ආසා කලද මඳක් පසුබෑවාය.
“නෑ නෑ ඒවා හරි අනේ.මම සිල්වියා ආන්ටිට කියන්නම්.ඇයි අනේ එයාලගෙම අයගෙනෙ ඔය කෙයා ඒජන්සි එක.එයාලට ඕක දවසෙන් නෙවේ පැයෙන් ඇරේන්ජ් කරගන්න පුළුවන්..ඒක මම බලාගන්නම්කො..ඔයා එන්න කැමති නම් එච්චරයි..ඔන්න හරිනෙ එහෙනම්…සැටර්ඩේ උදේ අටහමාර වෙනකොට සූදානම් වෙලා ඉන්න..අපි එහේ රෑට ඉන්න තැනක් රිසර්ව් කලා ඔන්න…”
මාලිකා ඇමතුම අවසන් කළේ තීරණය ලබා දෙමිනි.ඇතැම් අහම්බකාරක හමුවීම් ජීවිතයට ගෙන එන්නේ ආශීර්වාදයන්ය. නිලංගා ගේ ජීවිතය වින්දනය කරන්නට පටන් ගත්තේ රැකියාවට යන්නට ගත් කාළයේ පටන් ය.කුඩාකළ පටන් පවුලේ විනෝද ගමනක් තබා පාසලෙන් සංවිධානය කළ අධ්‍යාපන චාරිකාවකට යන්නට වත් ඇය ඉඩක් නොලද්දාය. විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන කාලයේදී වුව නිලංගා ගතකළේ නිවසත් විශ්ව විද්‍යාලයත් අමතර රැකියාවත් අතර කාර්‍යබහුල ජීවිතයකි.ලැබෙන්නාවූ මුදල් අරපරෙස්සමින් වියපැහැදම් කළ හෙයින් ඇය අමතර වියදමකට එවකටද සූදානම් ව නොඋන්නාය.
මුල්ම රැකියාවට ගිය දා පටන් ඇය ලද වැටුපෙන් කොටසක් නිවසට වෙන් කළද තමා වෙනුවෙන් යමක් ඉතිරි කරගන්නට සමත් වූවාය. ඉඳහිටක සාප්පු සවාරියක්, අවන්හලක විශේෂ කෑම වේළක්, ආසා හිතෙන්නට යන ගමනක් ඇයගේ ජීවිතය ට එක්වූයේ එවක් පටන් ය.එහෙත් එවන් එක් දිනක අවන්හලක ඇය දුටු නංගී එය සාවද්‍ය කරුණු ගොන්නක් තුළට දමා නිවසට ගෙන ආවාය. පිරිමියෙකු සමග නිලංගා නවාතැන් පළක සිට එනු දුටුවා යැයි නංගී නිවසට ගෙන ආ කාරණාවේ ඒ කොටසේ උන්නේ ඇයම බවද නිලංගා උන්නේ එම නවාතැන්පළට ඉදිරිපස සිය ප්‍රියතම කුඩා අවන්හලේ හුදෙකලා හෝරාවක් ගෙවමින් බවද නිලංගා අම්මාට පැවසුවද එය ඔවුන් පිළිගත්තේම නැත.ඒ වන විට චරිත සමගින් වූ පෙම් සබඳතාවය අවසන් වූ හෙයින් අම්මා නංගී සමගින් ඇය ඉතා පහළට හෙලා දමමින් පුවතක් මවා ලූවාය. සිත නොරිදුණා නොවේ.එහෙත් ඇය නෑසුණා නොපෙණුනා සේ ඔවුන් මගහැරියාය. තමාහට එසේ වීද නංගී එවන් ගමනක් ගොස් ලොකු අම්මාගේ අතටම අසුවී අම්මාට දැන්වූ පසු අම්මා අමනාප වූයේ ලොකු අම්මා සමගය.ඇය නංගීව වචනයකින්වත් සැක නොකළාය.එකම පවුලක දරුවන් දෙදෙනෙකුහට දෙආකාරයකට ප්‍රතිචාර දැක්වූ අම්මා සම්බන්ධව නිලංගා කලකිරුණු වාර අනන්තය.
වර්තමානයේ තමා සිටින්නේ ඔවුන්ගේ කුරිරු කම් වලින් මිදී ඔවුනට අතපෙවිය නොහැකි තරම් දුරකය.ජීවිතය නිදහස් ය. එනයන කරන කියන දෑ ඇත්තේ තමාගේම පාලනය තුළය.එහෙත් විටින් විට දිය යට සිට උඩට මතුව එන පෙණ බුබුලු සේ අතීතයේ මතකයන් මතුව එයි. පෙර තරම් ඒවා තමා නොරිදවූවද සිහින් හෝ රිදුමක් නැතුවා ද නොවේ.
“නෙලී, ඔයා නිවාඩුවක් ගන්න සැටර්ඩේ.මට පුලුවන් බ්‍රෙන්ඩා එක්ක මේරි මැඩම් බලාගන්න.”
නිලංගා පෝලා සමගින් කාරණය පැවසුවේ සිකුරාදා උදයේය. මාලිකා කෙසේ කීවද නිලංගා උන්නේ චකිතයෙනි. ඕනෑම දෙයක නිසි පිළිවෙල සිඳී යන්නට මොහොතක් වුව ප්‍රමාණවත් ය. නිලංගා පෝලා දෙස ස්තුතිය මුසු බැල්මෙන් බලා උන්නාය.
“ඒත් සිල්වියා මැඩම්ට තරහ යාවිද මන්දා පෝලා….මම ඒකයි මෙලා එක්කත් කීවෙ..”
නිලංගා චකිතයෙන් පැවසුවාය.
“ඇයි මට තරහ යන්නෙ නෙලී…”
සිල්වියා ක්ලිෆර්ඩ් මුලුතැන්ගෙයට ආවේ එසේ අසාගෙනමය.නිලංගා බිමට හැරවුණ නෙතින් යුතුව හිනැහුණාය.
“ඔයා කොච්චර ඩෙඩිකේටඩ් ළමයෙක්ද කියලා මේ පොඩි කාලයට අපි දැක්කනෙ නේද පෝලා…ඉතින් ඔයා ඉඳහිටක බ්‍රේක් එකක් ගන්න ඕනෙ තමයි…මෙලා ඕගනයිස් කළ ගමනට ඔයා යන්න…පෝලා බ්‍රෙන්ඩාගෙ උදව් ඇතුව අම්මව බලාගනීවි.”
සිල්වියා පැවසුවාය.
“ඒක තමා මාත් කීවේ….දැන් මේරි මැඩම් අර වෙනදා තරම් කලබල කරන්නෙත් නෑනෙ…අපිට පුළුවන් බලාගන්න.ඔයාගේ මීල් ප්ලෑන් එකට කෑම දෙන්න තමා තියෙන්නේ “
පෝලා පැවසුවාය.
සෙනසුරාදාව උදාවූයේ ඉක්මනින්මය.නිලංගා ගමනට සූදානම් වූයේ ඉතා ආසාවෙනි.අන්තර්ජාලයෙන් කියවූ විස්තරවලට අනුව eastbourne ප්‍රදේශය ආසන්නයට යායුතුව තිබේ.උදෑසනින් ගමන් අරඹන්නට හේතුවූයේ ඇවිදින්නට අව්වෙන් බාධාවක් නොවන්නටය.නිලංගා ජංගම දුරකතනයෙන් කාලගුණය පරික්ෂා කර බැලුවාය.එය දවස පුරා අංශක 9ත් 17ත් අතර පවතී.මෙවන් සුවදායක උණුසුමක් ශීත සමයකට පසු ලැබීමද සිතට ගෙන එන්නේ සැනසුමකි.
පෙරදා රාත්‍රියේ ඇඳුම් බෑගය සූදානම් කරන අවස්ථාවේදී පවා මාලිකා දුරකතන ඇමතුමක් දී සිනාසුනේ “ලංකාවේදී ගමන් ගියා වගේ තඩි ඇඳුම් බෑග් එහෙම ලෑස්ති කර ගන්න එපා ඔන්න”කියමිනි.
“නෙලී …අපි මග එනවා…තව විනාඩි දහයෙන් ඔයාව ගන්නවා..ඔක්කොම රෙඩිනෙ නේද?”
මාලිකාගේ හඬද බ්‍රයන් කුමක් හෝ කියා සිනාසෙන හඬ ද නිලංගාට ඇසුණි. මාලිකාගේ දෙමවුපියන් ගේ ඇසුර හේතුවෙන් බ්‍රයන්ද ලංකාවේ කියවෙන ඇතැම් උපමාවන් නිසිතැනට යොදා කියන්නට හුරු වී ඇත.
“මේ දෙන්නා හරියට නීඩ්ල් එකයි ත්‍රෙඩ් එකයි වගේ…හව් ටු ටෙල් ඉට් මෙලා….ඉඩිකට්ටයි නූලුයි වගේ ….ඇම් අයි රයිට්?”
මාලිකා ද කැඩුණු සිංහලෙන් හෝ බ්‍රයන් කියන දෑට සිනානගයි.
“ඔයාට ඉරිසියයිනේ බ්‍රයන්..මට මගේ රටෙන්ම හොඳ යාලුවෙක් හම්බවුණ එක ගැන…”
මාලිකාද එකට එකම කියන්නීය.ඔවුන් දෙදෙනාගේ නෝක්කාඩු, විහිළු තහලු අතරට නිලංගා එක්වන්නේ සතුටින් වුව තමා ඔවුන්හට බාධාවක් යැයි ඇයට සිතෙනා හෙයින් හැකි තාක් ඔවුන්ගේ කතාබහට එක්නොවී ඉන්නට ඇය උත්සාහ දරයි.
“බ්‍රයන් කියන්නේ නැරෝ මයින්ඩඩ් කෙනෙක් නෙවේ නෙලී..එයාට හොඳට මිනිස්සුන් තේරුම් ගන්න පුලුවන්.”
එවන් විටක මාලිකා තරවටුවට මෙන් පවසන්නීය. අද ගමන වුව ඔවුන්ගේ සතුටු ලෝකයට තමාවත් ඈඳාගැනීමෙන් සිත්සේ ගමන විඳින්නට ඔවුන් හට බාධාවේදැයි ඇය සිතුවාය.
“මේ අපි ඔයාව උස්සගෙන යන්නෙ නෑ හරිද?ඔයා යන්න ඕනෙ ඔයාගේ කකුල් දෙකෙන්…අපිට ඩිස්ටර්බ් වෙන්නේ ඔයාව උස්සන් යන්න උනොත්..”
මාලිකා සැරකළාය.
“නෙලී, අන්න මෙලාලා ආවා..ඉක්මනින් එන්න ලු…”පෝලා කාමරය අසළට පැමිණ පැවසුවාය. පීච් වර්ණ අත්දිග ටීෂර්ට් එකත් ලානිල් ඩෙනිම් කලිසමත් ඇඳ ඩෙනිම් සහ ලෙදර් මිශ්‍ර උඩු කය වැස්මක්ද දමා ගත් නිලංගා ඇත්තෙන්ම වයසටද වඩා ලාබාල පෙනුමකින් දිස් වූවාය.
“යූ ආ ඇමේසින්…බියුටිෆුල් නෙලී… ටීනේජ් ගර්ල් කෙනෙක් වගේ අද නම් ..”
පෝලා පැවසුවාය.ඇය කිසිවිටෙකත් අනෙකකුගේ ඇදයක් අඩුපාඩුවක් නොසොයන්නියකි.එනමුත් පැසසිය යුතු තැනදී නොපැකිල පසසන්නියකි. එවන් ගතිගුණ ඇයගේ ජීවිතයෙන් තමාහටද අභිප්‍රේරණය වනු ඇතැයි නිලංගා සිතුවාය.
“අනේ තැන්ක් යූ පෝලා…එහෙනම් මම යන්නම්…මේ දවස් දෙක මේරිමැඩම් ශේප් එකේ ම ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා…”
පෝලා වැළඳගෙන සමුගත් නිලංගා පැවසුවාය.
“අම්මෝ ඔව් මම ඊයෙ රෑත් දෙවියන් වහන්සේට කීවා…මේ දවස් දෙක මේරි මැඩම් පූස්පැටියෙක් ගානට අපිට ශේප් කරලා දෙන්න කියල…”
පෝලා සිනාසී පිළිවදන් දුන්නාය.
“වාව් ,බ්‍රයන් බලන්නකො අපේ නෙලීගෙ ලස්සන..”
මාලිකා රියෙන් බැස නිලංගා වැළඳගත්තාය.බ්‍රයන් නිලංගා හට සුබ උදෑසනක් පතා පිළිගත්තේය.
“යං යං දැන්ම ගියොත් අපිට අව්ව වැඩිවෙන්න සෙනග වැඩිවෙන්න කලින් ඇවිදින්න පුලුවන් …”
බ්‍රයන් යළි රිය පණ ගන්වා ගත්තේය.මාලිකා ඉදිරි අසුනටද නිලංගා පසු අසුනටද වී ආසන පටි සකසාගත් කළ රිය ඉදිරියට ගමන් ඇරඹුවේය.කාලයකට පසු මෙවන් ගමනකට එක්වීමේ සතුට නිලංගාගේ දෑස් පුරාම පිරී තිබුණි….