අම්මලාද නිවසට පැමිණීමෙන් පසුව නුරාන්ට දැනුනේ ජීවත් වන්නට අවැසි සියල්ල තමා වට වන බවය. අම්මා සහ තාත්තා ගමනේ තොරතුරු පවසද්දී නුරාන් වෙහෙස නොසිතාම සවන් දුන්නේය. ඔවුන් මින් වසර හත අටකට පෙර ගෙවූ දුක්බර, කටුක ජීවිතය දැන් මතකයන් පමණය. අයියා, අක්කා, දියණිය සහ තමා සමඟින් ඔවුන් දෙදෙනා ජීවිතයේ සැදෑ සමයට එළඹෙමින් සිටින්නේ අතිශය සැහැල්ලුවෙන් බව නුරාන් දනී. ඒ වෙනුවෙන් වැඩිම බර ඇද්දේ අයියා සහ පැහැසරා අක්කා බවද නුරාන්ට අමතක නැත. එනිසාම දැන් සියලු බර තම කර මතින්ම ඇදීම නුරාන්ගේ බලාපොරොත්තුවය.
ඒ සඳහා සෑහෙන්න ආදායමක් ඔහු වටා උත්පාදනය වෙමින් තිබීම තුල නුරාන්ට මූල්‍යමය බාධාවන් නොතිබූ තරම් ය.
අඩි විස්සයි පහලොව දිග පළල දරන බිම්මල් වගා ගෘ හ හතලිහක් නුරාන් යටතේ විණි. ඉදිකිරීම් සිදු කිරීම සඳහා වන ඉඩම් මිලදී ගැනීමට උදව් කලේ පැහැසරාගේ සහෝදරයාය. මේ වෙද්දී ඒ මුදල්ද සෑහෙන තරමින් ගෙවා අවසන් ය. ඊට අමතරව එක් වර වගා බඳුන් විසි දහස බැඟින් බීජෞෂණය කල හැකි බීජෞෂණ කුටි පහක්ද නුරාන් ගේ ඉමන්දි බිම්මල් කර්මාන්තශාලාව සතුය. එක්වර වගා මලු පන්දහසක් ජීවාණුහරණය කල හැකි ජීවාණුහරණ කුටි දෙකක් සහ පැයට වගා මලු දෙසීයක් දක්වා සකස් කල හැකි යන්ත්‍ර පහක්ද ඔහු සතුය.
ඊට අමතරව අපනයනය සඳහා බිම්මල් වියලා බිම්මල් පවුඩර් සකසන වර්ග අඩි දහසක ප්‍රමානයේ කර්මාන්තශාලාව සහ බිම්මල් ආශ්‍රිත අගය එකතු කිරීමේ නිශ්පාදන සකසන ආහාර නිශ්පාදන අංගනනයද නුරාන්ගේ ඍ ජු පාලනය යටතේ සිදු වන්නේය.
මේ සියල්ල සඳහාම අවැසි නුපුහුණු මානව සම්පත, පුහුණු මිනිස් ශ්‍රමය බවට පත් කලේ නුරාන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ සහයෝගයෙනි. ඉන් වැඩි බරක් ධන්උක සහ පැහැසරා ඇද්දෝය. එහෙත් ඔවුන් කිසිඳු විටෙක රාජකාරිය සහ නුරාන්ගේ ව්‍යාපාරය පටලවා නොගන්නටද වග බලා ගත් හ.
” චුටි පුතාට අසනීප විත්තිය මේ ගේට්ටුවෙන් ඇතුලට එනකල් මේ දෙන්නාම කිව්වේ නෑ …”
අම්මා රත් කල තෙල් බින්දු කිහිපයක් හිස් මුදුනේ තවරමින් පවසද්දී නුරාන් දෑස් පියාගත්තේය.
” දැන් සනීපනේ අම්මේ .. ඊයේ තමා ඔලුව උස්සගන්න බැරුව උන්නේ…”
” ඒත් හෙටත් පැක්ටේරියට නොගිහින් ගෙදර ඉන්න … උදේට කිරිබත් හදලා දෙන්නම් මම …”
නුරාන් කිසිත් නොපවසා උන්නේය. එක්වරම හිතුවක්කාර සිතුවිල්ලක් නැඟුනේය.
” හා එහෙනම් ….”
ඉසිනි නිවසට යද්දී සෝමා පැමිණ පිරිසිදු කිරීම් අවසන් කරමින් උන්නාය. ඕ රාත්‍රී ආහාරයද සකසා තිබුණි. ආහාර නොගෙන සිටීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැති වග පවසමින් ඕ ඉසිනිට ඇණුම් පද කිහිපයක්ද එල්ල කලේ, ඉසිනි ඒ ඇණුම් පද ඉතා දයාබරිතව පිළිගනිද්දීය.
සෝමා පිටව ගියාට පසු ඉසිනි ප්‍රධාන දොර වසා දමා නා ගත්තාය. ඉන් පසුව අක්කා ඇමතුවාය.
” ඔයාට මොකක් හරි කියන්න තියෙනවාද චූටි ?…”
ඇමතුම අරඹා වැඩි වෙලාවක් යන්නට පෙර අක්කා විමසද්දී ඉසිනි ගොලු වූවාය. එහෙත් ඕ වහා ස්වරූප වෙනස් කරගෙන එවැන්නක් නොමැති වග පැවසුවාය. එහෙත් අක්කා එය විශ්වාස නොකෙරු බවද ඕ දැක්කාය. එහෙත් ඕ ඒ කිසිවක් නිවැරදි කරන්නට උත්සාහ කලේද නැත.
අම්මා සහ තාත්තා සමඟද කුඩා කොල්ලන් දෙදෙනා සමඟද කෙටි සංවාදයේ යෙදුණු ඉසිනි වීඩියෝ ඇමතුමට සමුදුන්නාය. යූ ටියුබය පීරා ගීත ලැයිස්තුවක් සොයාගත්තාය. එය වාදනය වෙන්නට හැර යහන්ඒ වැතිරුණාය.
සිත බලාපොරොත්තු වන්නේ නුරාන්ගේ ඇමතුමකි. එහෙත්, ඒ පිළිබඳව වන තිගැස්මක්ද නැතිවා නොවේ. ධනුක, පැහැසරා සේම නුරාන්ගේ දෙමාපියන්ද දැන් සිටින්නේ නුරාන් පිළිබඳව අවධානයෙනි. එනිසාම ඔහුගේ වෙනස්කම් පසුපස ඔවුන් හඹා එනු ඇත. ඒ වෙනසට හේතු සකසා ඇත්තේ තමා බව වටහා ගත් වහාම ඔවුන් ඒ හේතුකාරක තමා පසෙකට කරලීම වෙනුවෙන් අවි අමෝරා ගන්නවාට සැක නැත.
ඉසිනි යහනේ අනෙක් පසට පෙරලුනාය. සැබැවින්ම, නුරාන් මන්දිනු සමරකෝන්ගේ ජීවිතයට හා වීමට තමාට අයිතියක් නැති බව වටහා ගන්නට උත්සාහ කලේය. නුරාන් කෙතරමක ප්‍රහර්ෂයකින් පිරෙනවා වුවද, තමා ඔහුගේ ජීවිතය තුල පිලුණු වූ යමක් නොවේදැයි ඔ සිතුවාය.
‘ බිඳී යෑමෙන් පසු හදවතෙහි කෑලි එකතු කර තනිව අලවා ගන්නට උත්සාහ කරන ගැහැණියකට පෙම් කිරීම පහසු නැති බව නුරාන් වටහා ගනු ඇතැයි ඉසිනි සිතුවාය. බිඳුණු හදවත් දරන ගැහැණියක පහසුවෙන් තම සමීප කවයට ගන්නට හැම පිරිමියෙකුටම නොහැක. ඇතැම් විට ඒ බිඳුණු කොන් ඇනී ඔහුටද තුවාල විය හැක. එවිය ඒ උල් කොන් වෙළලන අටහ්‍රේ, තම තුවාල වෙනුවෙන්ද ඔසු ගල්වා ගන්නට සිදුවේ.
“: මට ලස්සන මතක මුකුත්ම නැති ගානයි නුරාන් .. එතකොට , මම කොහොමද ඔයාට ලස්සන ජීවිතයක් දෙන පාර්ට්නර් කෙනෙක් වෙන්නේ … මගේ ජීවිතේ තිබුනේම සැකය, හෙලා දකින එක, පීඩනය, වද හිංසා,පාවිච්චි වීම් විතරයි නුරාන් ..
එක අතකට මට බබාලා නොදී ඉන්න මේ විශ්වය තීරනය කරන්න ඇත්තේ ඒ අපායෙන් මට ගොඩ එන්න තිබුඅන් ලේසිම පාර ඒක නිසා වෙන්න ඇති නුරාන් ..
දරුවෙක් හදාගත්තා කියලා අරුණෝද එක අශුමාත්‍රයක්වත් වෙනස් වෙන මිනිහෙක් නම් නෙවෙයි .. එහෙම වුනා නම් ඒ දරුවත් දුක් විඳින එක විතරයි වෙන්නේ ..
වඳ ගෑණියෙක් කියලා අරුණෝද මට බනිනකොට මං අඬලා තියෙන්නේ හරි කලාතුරකින් දවසක විතරයි .. අනෙක් හැම දවසකම මම හිතුවේ, ඒක මගේ වාසනඅව කියලා …”
නුරාන්ට පවසන බව සිතමින් ඉසිනි විදුලි පංකාව දෙස බලාගෙන කියෙව්වාය. ඇයට දැනෙන්නේ අප්‍රමාන සැනසීමකි.