මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 13

0
78

සති ගණනාවකට පස්සේ මම ආයෙමත් ඔෆිස් එකේ දොර ඉස්සරහා හිටගෙන හිටියා.

 ඇඟ ඇතුළේ තිබුණේ මහා අමුතු ගැහෙන ගතියක්. 

ඩිප්‍රෙෂන් එක්ක ලෝකෙට මූණ දෙනවා කියන්නේ හරිම අමාරු වැඩක්. 

හැමෝම මං දිහා බලලා “දැන් සනීපද?” කියලා අහද්දී, මට ඕන වුණේ කෑගහලා කියන්න “නෑ මම තාම මැරි මැරි ඉපදෙනවා” කියලා. ඒත් මම හිනාවුණා. මට හිත අස්සෙන් අඬන ගමන් හිනාවෙන්න සිද්ද වුණා.

හැමෝවම පාස් කරගෙන, මට හොඳටම පුරුදු පාර දිගේ ඇවිදගෙන ඇවිත් මම මගේ ඩෙස්ක් එකේ වාඩි වුණා. ලැප්ටොප් එක ඔන් වෙද්දී පරණ ඊමේල්, නොටිෆිකේෂන් සිය ගණනක් පෝලිමට ආවා. මම ඒ ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටියේ නිකන් මම වෙන ලෝකෙක ඉන්නවා වගේ.

“මම මොකද මෙතන කරන්නේ?” මම මගෙන්ම අහගත්තෙ ඇත්තටම ඒ වෙද්දිත් මම මෙන්ටලි හන්ඩ්‍රඩ් පසන්ට් මේ වැඩේට රෙඩි වෙලා උන්නෙ නැති හන්දා. ඒත් මට කොහෙන් හරි පටන් ගන්න ඕන වෙලා තිබුණා. ඒකට ලේසිම වැඩේ වෙලා තිබුණේ ඔෆිස් එන එක. අනික රස්සාව කියන්නෙ මම මතින්ද්‍රට පස්සෙ මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරපු දේ. මතින්ද්‍ර නැති උනාට පස්සෙ රස්සාවත් නැති කරගෙන මං ආදරේ කරපු දේවල් දෙකම මගෙ ජීවිතෙන් නැති කරගන්න මට උවමනාවක් තිබ්බෙ නෑ. ඒත් මම හිතුව තරං ආපහු වැඩට එන එක මට ලේසි උනේ නෑ. මොකෝ මම දැනගෙන උන්නා හැමෝම මට අනුකම්පා කරන බව. හැමෝම මං දිහාව බලන්නෙ “මතින්ද්‍ර රවට්ටපු මේඝා” විදියට මිසක් ඉස්සර උන්න “ක්‍රියේටිව් මේඝා” විදියට නෙවෙයි කියන එක.

මම මෙච්චර කාලයක් වැඩ කළේ, සල්ලි හෙව්වේ, ලස්සනට හිටියේ මතින්ද්‍ර වෙනුවෙන්ද? එයාට පෙන්නන්නද? එයා එක්ක ලස්සන ලෝකයක් හදන්නද? මගේ හැම හීනයකම කෙළවරේ හිටියේ මතින්ද්‍ර නම්, දැන් එයා නැති ලෝකෙක මේ කරන දේවල්වල තේරුම මොකක්ද?

මතින්ද්‍ර මාව රවට්ටලා, තවත් ගෑනියෙක් වෙනුවෙන් මාව අතෑරලා දාපු දවසේ ඉඳන් මගේ වටිනාකම මගේ ඇස් ඉස්සරහම දියවෙලා ගියා. පිරිමියෙක් තමන්ව රවට්ටලා වෙන ගෑනියෙක් ලඟට ගියාම, ගෑනියෙක්ට දැනෙන්නේ තමන්ගේ මුළු පැවැත්මම රිජෙක්ට් වුණා වගේ ෆීලින් එකක්. මම මන්දස්මිතාට වඩා ලස්සන නැති නිසාද? නැත්නම් මම එයාට වඩා උගත් නැති නිසාද? කියන ප්‍රශ්නෙ මට මගේ ඔලුවෙන් අයින් කරන්න අමාරු උනේ අන්න ඒ හන්දා.

මන්දස්මිතා දිනලා, මම පරාද වෙලා කියලා හිතද්දී දැනෙන ඒ දැවිල්ල තියෙන්නේ පපුව මැද්දේ. 

මම මගේ රස්සාවට ආදරේ කළාට, අද ඒ රස්සාව ඇතුළෙත් මට මාව පෙනෙන්නේ මතින්ද්‍ර අතෑරපු ගෑනි විදියට මිසක් දක්ෂ මනුස්සයෙක් විදියට නෙවෙයි.

පිරිමියෙක් තවත් ගෑනියෙක් වෙනුවෙන් තමන්ව අතාරිද්දී, ඒක ඒ පිරිමියා කරපු වරදක් විදියට දකින්න අපේ හිත හරිම අකමැතියි. අපි ඒක දකින්නේ අපේ අඩුවක් විදියට. ඒ පරාජිත හැඟීම ඇතුළේ ජීවත් වෙන එක තරම් නරක ඩිප්‍රෙෂන් එකක් තවත් නෑ. මම ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක දිහා බලන් හිටියේ මගේ පපුව ඇතුළේ අඬන ඒ අසරණ ගෑනිට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව.

“මේඝා… මේ ෆයිල් එක පොඩ්ඩක් බලන්න.”

බොස්ගේ කටහඬ මාව ආයෙ වතාවක් මේ ලෝකෙට අරගෙන ආවා. 

අන්න ඒ ලෝකෙ අස්සෙ මම බොහොම අමාරුවෙන් අවුරුදු දෙකක් මාව කන්ට්‍රෝල් කරගෙන හිටියා කිව්වොතින් හරියටම හරි.

ඒ අවුරුදු දෙක මට දැනුණේ මහා දිග හීනයක් වගේ. 

මිනිස්සු හිතනවා කාලය හැම තුවාලයක්ම සනීප කරනවා කියලා. ඒත් ඇත්තටම වෙන්නේ අපි ඒ තුවාලයත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන එක. මම මතින්ද්‍රව අමතක කළේ නෑ. මගේ හදවතේ කොනක තාමත් එයාගෙ ඒ සුවඳයි, එයාගේ හිනාවයි අළු යට ගින්දර වගේ තිබුණා. ඒත් එක දෙයක් වෙනස් වුණා. ඉස්සර මතින්ද්‍රව මතක් වෙද්දී පපුව පැලෙන්න වගේ ආපු ඒ දැවිල්ල, දැන් හීන් හිරිවැටීමක් විතරක් වෙලා ටික ටික තුනී වෙන්න ගත්තා.

රුවිනි දවසක් මගෙන් ඇහුවා, “දැන්වත් වෙන කෙනෙක් ගැන හිතපන්කෝ මේඝා. තව කොච්චර කාලයක්ද ඔය මැරිච්ච ආදරයක් කරේ තියාගෙන යන්නේ?” කියලා.

“මැරිච්ච ආදරයක්  වුණත් ඒක මගේනේ රුවිනි. මට බෑ තව කෙනෙක්ව ඒ තැනට ගේන්න. ඒක හරියට පරණ වෙච්ච, කැඩිච්ච වළඳකට අලුත් පියනක් දාන්න හදනවා වගේ වැඩක්. කොහෙන් හරි කාන්දු වෙනවා,” මම කිව්වේ මගේ ලැප්ටොප් එකේ කී-බෝඩ් එක උඩ වේගයෙන් ඇඟිලි එහෙ මෙහෙ යවන ගමන්.

මම තීරණය කළා මගේ පපුවේ තියෙන ඒ හිස්තැන වෙන පිරිමියෙක්ගෙන් රිප්ලේස් කරන්න හදන්නේ නැතුව, ඒක රස්සාවෙන් පුරවන්න. මම පිස්සුවෙන් වගේ වැඩ කළා. රෑ දොළහ එක වෙනකම් මම ක්‍රියේටිව්ස් එක්ක සෙල්ලම් කළා. මතින්ද්‍ර මගේ වටිනාකම බිංදුවට දැම්මට, මම මගේ අයිඩියාස් වලින් ඒ වටිනාකම ලක්ෂ ගණනින් වැඩි කරගත්තා.

ඒ අවුරුදු දෙක ඇතුළත මගේ පස්සෙන් එන පිරිමින්ගේ අඩුවක් තිබුණේ නෑ. ඔෆිස් එකට  එනන ක්ලයන්ට්ස්ලා, අලුතින් ආපු මැනේජර්ලා විතරක් නෙවෙයි, මග තොටේදී මුණගැහෙන හුඟක් පිරිමි මගේ ඇස් දෙක දිහා බැලුවේ මහා ලොකු බලාපොරොත්තු තියාගෙන.

මම මගේ අහිංසකකම පරිවර්තනය කරගත්තේ මහා හයියකට. පිරිමි මං දිහා බලද්දී මට දැන් පේන්නෙ ආදරේ නෙවෙයි, උන්ගේ තියෙන අවශ්‍යතාවය විතරයි. හැම පිරිමියෙක්ම එන්නේ මොකක් හරි වාසියක් බලාගෙන කියලා මගේ යටිහිත මට මතුරන්න ගත්තා. මම පවර්ෆුල් වුණා. මම මගේ වටිනාකම තීරණය කරන තැනට ආවා.

ඒත් රෑට තනි වුණාම, මගේ කාමරේ සිවිලිම දිහා බලන් ඉද්දී මට හිතෙනවා මේ පවර් එක ඇතුළේ ඉන්නේ තාමත් අර මතින්ද්‍රගේ පපුවට තුරුල් වෙලා අඬන්න ආස කරපු ඒ පොඩි කෙල්ලම නෙවෙයිද කියලා. ඒත් මම ඒ කෙල්ලට ආයෙත් එළියට එන්න ඉඩ දුන්නේ නෑ. මොකද එළියට ආපු ගමන් පිරිමි ඒ කෙල්ලව ආයෙත් මරලා දානවා කියලා මම අත්දැකීමෙන් දැනගෙන හිටියා.

“ගෑනියෙක්ට හැමදාම තනියෙන් ඉන්න බෑ මේඝා, විශේෂයෙන්ම උඹ වගේ ලස්සන, පිරිමි ගොඩක් ඉන්න ඉන්ඩස්ට්‍රි එකක ඉන්න ගෑනියෙක්ට” කියලා රුවිනි කිව්වෙ එහෙම කාලෙක.

“ඉතින් මම මොකටද තව එකෙක්ව මේ අස්සට දාගන්නේ රුවිනි? මට දැන් තනියම ඉන්න එක සැපයි බං.”

“සැප නෙවෙයි ඕකට කියන්නේ බය කියලා. උඹ බයයි ආයෙත් පාරක් හිත පෑරෙයි කියලා.”

“ඔව්, මම බයයි. මම පිරිමින්ට බයයි. ඒකෙ වැරැද්දක් තියෙනවද?”

“වැරැද්දක් නෑ, ඒත් හැම පිරිමියෙක්ම මතින්ද්‍ර නෙවෙයිනේ බං. උඹ දිහා ඇත්තටම රෙස්පෙක්ට් එකකින් බලන මිනිස්සුත් ඉන්නවා.”

“මුලින් හැමෝම බලන්නේ රෙස්පෙක්ට් එකකින් තමයි රුවිනි. පස්සේ තමයි උන්ගේ ඇත්ත රූපේ එළියට එන්නේ. උඹට මතක නැතුව නෙවෙයිනෙ මතින්ද්‍ර මුලින්ම මට ට්‍රීට් කරපු විදිය?”

“ඒක හරි, ඒත් උඹ දැන් පරණ මේඝා නෙවෙයිනේ. උඹ දැන් දන්නවා මිනිස්සුන්ව මනින්න.”

“මනින්න ගිහින් තමයි මට මේ ඔක්කොම එපා වුණේ. මට දැන් කාවවත් විස්වාස කරන්න ඕනේ නෑ. මම මගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නම්.”

“පාඩුවේ හිටියට කමක් නෑ, ඒත් හිතේ දොරවල් ඔක්කොම වහගන්න එපා. උඹ ඔය හදාගෙන ඉන්න අලුත් ලුක් එකෙන් මිනිස්සුන්ව පන්නා ගත්තට, උඹේ ඇතුළේ තාම ඉන්නේ ආදරේ හොයන කෙල්ලෙක් කියලා කවුරු නැතත් උඹ දන්නවා ඇතිනෙ නේද?”

“ඒ කෙල්ලව මම මරලා දැම්මා රුවිනි. මට දැන් මෙහෙම ඉන්න එක ලේසියි.”

“පවර්ෆුල් වෙන එක හොඳයි, ඒත් තනිකම පවර් එකක් කරගන්න එපා. මම කියන්නෙ නෑ අදම එකෙක්ව හොයාගනින් කියලා. ඒත් පිරිමි ළං වෙනකොටම උන්ට උඹේ කටු ටික පෙන්නන්න යන්න එපා. සමහරවිට ඒ එන්නේ උඹේ තුවාල සනීප කරන්න පුළුවන් කෙනෙක් වෙන්නත් පුළුවන්.”

“තුවාල සනීප කරන්න කාටවත් බෑ බං. මම මගේ තුවාලත් එක්ක ජීවත් වෙන්න ඉගෙනගෙන ඉවරයි.”

“ඉගෙන ගත්තට මදි බං, ජීවත් වෙන්නත් ඕනේ. ඔය ඔෆිස් එකේ ඉන්න පිරිමි දිහා බලපන්. උඹට බයේ ගැහි ගැහි හිටපු මේඝා නෙවෙයි දැන් ඉන්නේ කියලා උන්ට පේන්න ඇරපන්.” 

රුවිනිගෙ ඒ වචන මගේ හිතේ කොනක නොසන්සුන්කමක් ඉතුරු කරලා තිබුණා. මම මගේ ආරක්ෂක වැටවල් තවත් උසට බඳින්න උත්සාහ කරද්දී, සමහර මිනිස්සු ඒ වැටවල් වලට උඩින් මගේ හිත කියවන්න පටන් අරන් තිබුණා.

අන්න ඒ වගේ කාලෙක තමයි හෙක්ස් මාකටින් එකේ අලුත් මාකටින් මැනේජර් වෙච්ච හේසර මාව එයාගෙ ඇස් අස්සෙ හංග ගන්න මාන බැලුවෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here