දිනූෂා කෑම පෙට්ටියත් , පලතුරු කිහිපයක් කපල හදපු පෙට්ටියත් මේසය උඩින් තිබ්බේ උදිත වැඩට යන වෙලාව කිට්ටු නිසයි. හැමදාම උදේට උදිත ආස විදිහේ කෑම වර්ග කිහිපයක් හදලා අතුරුපසට පලතුරු කිහිපයකුත් ලෑස්ති කරන එක දිනූෂා ගේ පුරුද්දක් වෙලයි තිබුණේ. ඉස්සර අතුරුපසට විශේෂයෙන් යමක් සූදානම් කළත් උදිත ගේ සෞඛ්‍ය ගැන හිතලා හැමදාම පලතුරු කිහිපයක් සූදානම් කරලා යවන එක දිනූෂා මාස කීපයක ඉඳලා පුරුද්දක් කර ගත්තා.
උදිත තාමත් ලෑස්ති වෙන නිසා දිනූෂා කාමරයට ගියා. උදිත හිටියේ කණ්ණාඩි මේසය ඉදිරිපිටට වෙලා ටයි පටිය බඳින ගමන්. දිනූෂා කාමරය පුරාම ඇස් යැව්වා. ඇඳ උඩ තියලා තියෙන තෙත තුවායත් , සරමත් වගේම කූඹි වහමින් කණ්නාඩි මේසය උඩ තියෙන තේ කෝප්පයත් දිනූෂාට ගෙනාවේ කෝපයක්.
” අයියෝ ඇයි උදිත මේ හැමදේම හැම තැනම දාලා. ඔයා කොච්චර කිව්වත් අහන්නේ නෑ නේ. ටවල් එක මෙහෙම ඇද උඩ තිබ්බම මෙට්ටේ ගඳ ගහනවනේ ”
දිනූෂා නෝක්කාඩු කියමින් තෙත තුවායත් සරමත් අතට ගත්තා.
” මීට පස්සෙ තේ එක කුස්සියේ ඉඳලම බීලා එන්න. බලන්න මේ කණ්ණාඩි මේසේ උඩ කූඹි ”
ඊළඟට දිනූෂා අතට ගත්තෙ කූඹි වහමින් තිබුන තේ කෝප්පය. දිනූෂා කාමරයෙන් පිටවෙලා යනකනුත් උදිත වචනයක් වත් කිව්වේ නෑ.
” අදත් පලතුරුද ? ”
උදිත ඇහුවේ කෑම පෙට්ටි දෙකක් වෙනදා වගේම මේසේ උඩ තියෙනවා දැකලා.
” ඔව්.ඇයි ? ”
” මේ එක එක මෝස්තර වැඩ කරන්න එපා දිනූෂා. ලන්ච් ටයිම් එක වෙලාවට අනික් මිනිස්සුත් බලනවා ”
” මොනාද අනික් මිනිස්සු බලන්නේ? ”
” නෑ ඉතිං ඔයා පොඩි ළමයෙක් ගේ කෑම පෙට්ටියක් වගේ කෑම වලටත් එක එක කෝලම් කරලා, පලතුරුත් එක එක හැඩයට කපලා දාලා තියද්දි මිනිස්සු බලන්නේ නැද්ද ? ”
” මිනිසුන්ට බලන්න නෙමෙයි උදිත මම ඕවා දාන්නෙ. ඔයාට කන්න. පිස්සු නැතුව ඔන්න ඕක අරගෙන යන්න අනේ ”
උදිත කෑම පෙට්ටි දෙක වාහනයට දාගත්තේ අකමැත්තෙන්. උදිත ගෙදරින් පිට වෙලා ගිය ගමන්ම දිනූෂා පටන් ගත්තෙ ගෙදර අස් කරන්න. ගෙදර හැඩි වෙලා නොතිබුනත් හැමදාම මුල ඉඳන්ම ගෙදර අස් කරන එක දිනූෂා ගේ පුරුද්දක් වෙලා තිබුණා.
සති අන්තයේ උදිත ගේ අම්ම වගේම අක්කත් ගෙට ගොඩ වුණේ කාලෙකට පස්සේ.
” මේ ගෙදර හරිම පිළිවෙලයි දිනූෂා. අපිට බෑ නේ මෙච්චර ලස්සනට ගේ පිළිවලට තියා ගන්න ”
උදිත ගේ අක්කා ගේ පුරාම ඇස් යැව්වේ ආසාවෙන්. දිනූෂා කෑම උයන වෙලාවට කවුරුවත් කුස්සියට එනවට අකමැති වුණත් උදිත ගේ අම්මා වගේම අක්කත් දවල් කෑම හදන්න උදව් කරන එකට දිනූෂා වචනයක් වත් කිව්වේ නැහැ. හැබැයි දිනූෂා ගේ හැසිරීම උදිත ගේ අම්මා බොහොම හොඳට නිරීක්ෂණය කලා. උයන අතරේ උනත් කඩිමුඩියේ කුස්සියේ අස් කරන හැම තැනම පිහිදන , නිතරම අත හෝදන දිනූෂා ගේ හැසිරිම තරමක් අසාමාන්‍යයි කියලා උදිත ගේ අම්මට හිතුනා.
උදිත ගේ අක්කට දුරකථන ඇමතුමක් ආපු නිසා ඇය මිදුලට බැහැල ආපහු ගේ ඇතුලට එනකොට කාමරයේ හිටපු උදිත අක්ක ළඟට ආවා.
” මේ. දිනූෂාට උයන්න දීලා ඔයාල මෙහාට වෙලා ඉන්නකෝ ”
උදිත එහෙම කියනකොට අක්කා ඔහු දිහා බැලුවේ පුදුමයෙන්
” ඒ ළමයා මේ අපි ඔක්කොටම උයනකොට අපිට පුළුවන්ද වාඩි වෙලා ඉන්න. ඔයාට පිස්සුද මල්ලි ? ”
” මට පිස්සු නෙමෙයි. එයා කැමති නෑ කවුරුත් කුස්සියට එනවට. කුස්සිය හැඩි වෙනවා කියලා. අනික එයා කැමති නෑ එයා උයන වෙලාවට කවුරුත් ඒකට අත දානවට. ඒ නිසා අම්මට ෂේප් එකේ කියන්නකො මෙහෙට වෙලා ඉන්න කියලා ”
” දැන් ඉතින් බාගෙට බාගයක් උයලා ඉවරයි නේ. ඔන්න ඔහේ අම්මා හිටපු දෙන් ”
එහෙම කියපු උදිත ගේ අක්කා ආපහු කුස්සියට ගියා.
කෑම වෙලාවෙන් පස්සේ උදිතත් , ඔහුගේ අම්මා වගේම අක්කත් සාලයට වෙලා ආගිය තොරතුරු කතා කර කර හිටියත් දිනූෂා කළේ හැමදේම මුල ඉදල අස් කරපු එකයි.
” දිනූෂා හැම වෙලාවෙම ඔහොමද ? ”
උදිත ගේ අම්මා හෙමින් සීරුවේ උදිත ගෙන් එහෙම ඇහුවා
” ඔව් අම්මේ. එයාට හැමදේම පිළිවෙලට තියෙන්න ඕනේ. හැම වෙලාවෙම හැමදේම අස් කරලා තියෙන්න ඕනේ. තේ කෝප්පයක් වත් බීලා මේසේ උඩ තියෙන්න බැහැ. වෙලාවකට ඇත්තමයි මට එපා වෙනවා. එයාට මේ ශෝක් එකට අපිත් එක්ක වාඩි වෙලා කතා කර කර ඉන්න පුලුවන් වෙලාවෙ නේ අර කුස්සියට වෙලා අස් කර කර ඉන්නේ. ගොඩක් වෙලාවට ඔහොමයි. සමහර දවසට රෑට වත් එයාට මාත් එක්ක කතා කරන්නවත් වෙලාවක් නෑ. ”
උදිත කියා ගෙන ගියේ ශෝකයෙන් වගේ.
” ඕක මානසික ලෙඩක්. මගේ යාළුවෙක් ටත් ඕක තියෙනවා ”
උදිත ගේ අක්ක කිව්වා.
” ඕව කෙලවර වෙන්න හිතන්නෙ නැති තැන් වලින්.ඔහොම ගිහාම ගෑනුන්ව මිනිස්සුන්ට එපා වෙනවා. ඔයා ඉවසන නිසා හොඳයි ඉතින් “
” මං ඉවසන්නේ වෙන කරන්න දෙයක් නැති කමට අක්කේ.”
” පුතා. එහෙම කියන්න එපා. පිළිවෙල කියන්න ගෑනියෙක්ට තියෙන්න ඕන දෙයක්. ඒක ඕනෑවට වඩා තිබ්බහම ඉතින් සමහර වෙලාවට අනිත් කෙනාට කරදරයක් තමයි. එහෙම වෙන්නේ අපි පිළිවෙල මදි වුණාම. එයා ආස නැති විදිහ දේවල් ඔයා නොකර ඉන්න. එතකොට එයා මොකුත් කියන්නේ නෑනේ. ඔයා තේ බීපු ගමන් කෝප්පෙ හෝදන්නේ නැත්තං මීට පස්සේ ඔයා ඒක බීපු ගමන් හෝදන්න. එතකොට ඕක තැන් තැන් වල තිබ්බා කියලා එයා මුකුත් කියන්නේ නෑනේ.”
උදිත ගේ අම්මා එහෙම කිව්වේ කල්පනාකාරී ව.
” ඒ උනාට ඕක හැමදාම කරන්න පුළුවන්ද අම්මා ? ”
අක්ක එහෙම අහද්දී උදිත නිහඬවම හිටියා.
” පවුල් ජීවිතයකදී දෙන්නෙක් එක සමාන වෙන්නේ නැහැ පුතා.එක වහලක් යටට එන්නේ පවුල් දෙකක දෙවිදිහකට හැදිච්ච දෙන්නෙක්. ඒක තේරුම් අරගෙනයි අපි ජීවත් වෙන්න ඕනේ. එහෙම නැති වුනොත් කොහොමද එකට ජීවත් වෙන්නේ ? අනිත් කෙනා ගේ හොඳ වගේම නරක දේවලුත් අපි ඉවසන්න ඕනේ. දිනූෂා ඕනෑවට වඩා පිළිවෙලයි කියන්නේ ඒක නරක දෙයක් නෙමෙයි.හැබැයි ඒක පුතාට කරදරයක් නම් ඒකට දිනූෂා එක්ක තරහ නොවී ඔයත් ටිකක් ඒ විදිහට හැඩ ගැහෙන්න බලන්න. ”
උදිත ගේ අම්මා කියපු දේ ගැන උදිත හවස් වරුවම කල්පනා කළා.අම්මා කියපු විදියටම උදිත තේ එක බීපු ගමන් කෝප්පය හෝදන්නත් , කිලුටු ඇඳුම් නියමිත තැන් වලින් දාන්නත් වගේම අනිත් දේවලුත් පිළිවෙලට කරන්න ටිකෙන් ටික පුරුදු වුණා. එතනින් පස්සේ දිනූෂා ගේ නෝක්කාඩුත් ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා. ඒත් උදිත මේ හැමදේම කලේ දිනූෂා ගේ නෝක්කාඩුවෙන් බේරෙන්න මිසක් හදවතින්ම නෙමෙයි නිසා උදිත ඉන්නේ අසතුටින් කියලා දිනූෂා ට දැනෙන්න පටන් ගත්තා.
උදිත ගේ අම්මගෙන් දිනූෂාට දුරකථන ඇමතුමක් ආවෙ ඔය අතරේ.
” පුතේ මං කතා කළේ ඔයාට කාරණාවක් කියන්න ”
උදිත ගේ අම්මා කතාව පටන් ගත්තේ බොහොම කරුණාවෙන්.
” කියන්න අම්මේ. මොකද්ද ? ”
” ඔයාට අපේ පුතා ගේ වෙනසක් තේරෙනවද ? “
” එයා ඉන්න සතුටින් නෙමෙයි කියලා මට හිතෙනවා අම්මේ. ඇයි එයා අම්මට මොනවාහරි කිව්වද ? ”
උදිත ගේ අම්මා , උදිත ගේ නොසතුටට හේතුව හෙමින් සීරුවේ දිනූෂාට විස්තර කළා
” පුතේ අපි කසාද බැන්දම අනෙක් කෙනාව තේරුම් ගන්න ඕනේ. ඔයාගේ පිළිවෙල කියන්නේ නරක දෙයක් නෙමෙයි. මං ඒක පුතා එක්කත් කිව්වා. හැබැයි ඒක නිතරම අනිත් කෙනාට කරදරයක් වෙනවා නම් ඒ ගැන ටිකක් හිතල බලන්නන ඕනේ. එයා කසාද බඳින්න ඉස්සෙල්ලා හැමදේම මං කරලා දුන්න නිසා එයාට හැම වැඩේම පිළිවෙලට කර ගෙන ලොකු පුරුද්දක් නෑ. ඒ නිසා සමහර තැන් වලදි ඔයත් ටිකක් ඉවසන්න. එයාගෙන් අතපහු වෙන දේවල් වලට දිගටම නෝක්කාඩු කියන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මොකද පුතේ පිරිමි ගෑණු වගේ ඉවසන්නේ නැහැ. පුතාට තේරෙනවද මම කියන දේ ? ”
තමන්ගේ පුතාගේ පැත්ත විතරක් නොගෙන තමන් ගැනත් හිතපු නැන්දම්මාට පින් දෙමින් දුරකථන සංවාදය අවසන් කරපු දිනූෂා කල්පනාවට වැටුණේ තමන්ගේ පිළිවල උදිතට කරදරයක් නොවන විදිහට පවත්වාගෙන යන්නේ කොහොමද කියලා හිතන ගමන්.
ReplyForwardAdd reaction |