ජයමිණි රැගත් රථය Clothez ඉදිරිපිට නවත්වන විට වෙලාව උදෑසන එකොළහ පමණ විය. ජයමිණි ඉතා සන්සුන් ලෙස රථයෙන් බැස විත් Clothez වෙත ඇතුළු වූයේ දෑස් සිසාරා අවට බලමිනි. තාදී පෙනෙන්නට සිටියේ නැති අතර සුපුරුදු පරිදි ගයාත්‍රී කරමින් හුන් වැඩය නවත්වා ඉදිරියට පැමිණියාය.
” Good morning මිසිස් ගජනායක “
” Good morning. තාදී නැද්ද ? “
” මිස් office room එකේ පොඩි වැඩක්.මං කතා කරන්නද? “
” වැඩක් නම් ඩිස්ටර්බ් කරන්න හොඳ නෑ නේ. මට පොඩි වෙලාවක් ඉන්න පුළුවන්. එයාට කියනවද මං ඇවිල්ලා ඉන්නවා කියලා ?”
ජයමිණි කීවේ පුරුදු සන්සුන් බවිණි.ඉදිරිපස සෝෆාවෙන් වාඩි වූ ඇය කුඩා මේසය මත වූ ඇල්බමයක් අතට ගත්තාය. එහි වූයේ තාදී විසින් කරන ලද ඇඳුම් නිර්මාණ රැසකි.
ගයාත්‍රි නොසන්සුන් වූ සිතින් කාර්යාල කාමරය වෙත ආවේ ජයමිණි පැමිණි බව දැනුම් දීමටය. පුරුදු පරිදි තාදී උදෑසන කාලය ගත කරමින් උන්නේ ඇඳුම් නිර්මාණ වලට අදාළ කටු සටහන් ඇඳීම සඳහා ය.
” මිස් ”
” එන්න ගයාත්‍රී ”
තාදී හිස එසවූයේ නැත.
” මිස්. මේ.. මිසිස් ගජනායක.. ”
ගයාත්‍රී කියන්නට ගිය දේ නවතා ගත් අතර තාදී හිස ඔසවා බැලුවේ ඉන් අනතුරුවය.
” එවන්න ළමයෝ ”
තාදී බිය වූයේ නැත. කොයි මොහොතේ හෝ මෙය සිදුවන බව දැන හුන් නිසා තාදී උන්නේ සිදුවන ඕනෑම දෙයකට මුහුණ දෙන්නට හිත හදා ගෙනය. ගයාත්‍රී තවමත් දොරකඩ නතරව උන් නිසා තාදීට යන්තමින් සිනහවක් පහළ විය
“මට වැඩිය ඔයානේ බය වෙලා ඉන්නේ ළමයෝ. ඔන්න ඔය මනුස්සයව එවන්න අනේ ”
තාදී කටු සටහන් කොළ ටික එකතු කොට පසෙකින් තබා මේසය මත විසිර තිබූ පාට පැන්සල් කිහිපයද කුඩා පාට පැන්සල් පෙට්ටියේ ඇහිරුවාය.
ගයාත්‍රී ඉදිරියට එන විටත් ජයමිණි උන්නේ ඇල්බමය ඒ මේ අත පෙරලමිණි.
” මිසිස් ගජනායක. ඔෆිස් රූම් එකට යන්න ”
ගයාත්‍රී ආයාසයෙන් මවාගත් සිනහවකින් යුතුව කීවාය. ජයමිණි අත් බෑගය කරට දමා ගනිමින් නැගිට්ටාය
” මිසිස් ගජනායක ”
කාර්යාල කාමරය දෙසට හැරුණු ජයමිණි නැවත හැරී බැලුවේ ගයාත්‍රිගේ හඬටය.
” ටී ද කොෆී ද බොන්නෙ ? ”
ජයමිණි සිනාසුනාය.
” කොෆි එකක් හොඳයි ”
ජයමිණි කාර්යාල කාමරයට ඇතුළු වන විට තාදීට අසුනින් නැගිට්ට වුණේ නිරායාසයෙනි.
” එන්න මිසිස් ගජනායක. වාඩි වෙන්න ”
ජයමිණි සිනා මුසු මුහුණින් අසුන්ගත් පසුව තාදී ද අසුන් ගත්තාය.
” තාදී දැන ගෙන හිටියා නේද මං කොයි වෙලාවේ හරි මේ ගමන එයි කියලා ”
ජයමිණි කෙලින්ම කතාවට මුලපිරුවාය.
” ඔව් මිසිස් ගජනායක ”
තාදී පිළිතුරු දුන්නේ කිසිදු බියකින් තොර සෘජු බවකිනි.
” මට ඊයේ පුතා ඔයා ගැන කිව්වා. මේ වගේ දේකදි කලබල වෙලා වැඩ කරන අම්මා කෙනෙක් නෙමෙයි තාදී මම. මං ඒකයි මේ විදියට ඔයාව හම්බ වෙන්න ආවේ ”
ජයමිණි මදක් නතර වූවාය. තාදීගේ මුහුණේ කිසිම හැඟීමක් වූයේ නැත. ජයමිණි එය හොඳාකාරවම දුටු අතර ඇගේ ධෛර්‍ය සම්පන්න බව ගැන ජයමිණි හිත යටින් සතුටු වූවාය.
” තාදී ගේ අම්මයි තාත්තායි මොනවද කරන්නේ ? ”
ජයමිණි ඒ පැනය ඇසූ විට තාදී එකවරම හදවතින් කඩා වැටුණාය.කවුරුන් මෙසේ අසන විට දෙන්නට හොඳ පිළිතුරක් තිබුනා නම් යැයි තාදී නැවත නැවතත් සිතුවාය. එහෙත් දැන් කෙසේ හෝ මෙයට මුහුණ දිය යුතුව ඇත.
” මං හැදුනේ Orphanage එකක මිසිස් ගජනායක ”
තාදී කියා දැම්මාය. මෙතනින් එහා කුමක් සිදු වුවත් කමක් නැතැයි ඇය සිතුවාය.
” Im sorry දරුවෝ ”
ජයමිණි සමාව අයදියේ තාදී පිළිබඳව උපන් අනුකම්පාවෙනි.
” ඒකට කමක් නෑ මිසිස් ගජනායක ”
ජයමිණි මොහොතක් නිහඬව තාදී දෙස බලා උන්නාය. තාදී උන්නේ දෑස් බිමට හරවා ගෙනය. ගයාත්‍රී කෝපි එක රැගෙන පැමිණි අතර ඇය එය ජයමිණිට පිළිගන්වා ඉක්මනින් පිටව ගියාය.
” එතකොට තාදී මේ බිස්නස් එක පටන් ගත්තේ කොයි කාලෙද ? ”
තාදී දෑස් එස වූයේ එවිටය. එහි යන්තමින් කඳුළු පිරී තිබෙන අයුරු ජයමිණි දුටුවාය.
” අවුරුදු කීපයක් වෙනවා මිසිස් ගජනායක. මං ළමා නිවාසෙ ඉන්න කාලෙ Fashion designing ගැන ඉගෙන ගත්තා. තාමත් ඉගෙන ගන්නවා. මට ඕනේ මේ බිස්නස් එක තව දියුණු කර ගන්න. තව බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න “
ධීරගේ හිත තාදී කෙරෙහි බැඳීම ගැන සැකයක් නැත. ඇය මේ වන විට බොහෝ දුර පැමිණ ඇත. ඒ තමාගේම ධෛර්යයෙනි.
” ධීර ට එයාගේ තාත්තා ප්‍රොපෝසල් එකක් ගෙනල්ලා තියෙනවා ”
” ධීර මට කිව්වා ”
” ඒත් මට ඕනෙ නැහැ මගේ පුතා එයා අකමැති තැනක නවතිනවා දකින්න. මං ඒකයි ඔයත් එක්ක කතා කරන්න ආවේ. ඒත් තාදී මං දන්නෙ නැහැ ධීර ගේ තාත්තා ගේ තීරණය මොන වගේ වෙයිද කියලා. මොකද අපේ ගෙදර එයාගේ තීරණය තමයි අන්තිම තීරණය. ඒකට අපි කැමැති වුණත් අකමැති වුණත් ”
තාදී අසා උන්නාය. ඒ මොකද්දෝ කියා ගත නොහැකි අපහසුවකිනි. මේ කතාව කොහෙන් කෙලවර වේවිදැයි සිතා ගන්නට නොහැකිව තාදී තැවුණාය.
” ධීර ට සම්පූර්ණ අයිතිය තියෙනවා එයා ජීවිතය ගත කරන්නේ කාත් එක්කද කියල තීරණය කරන්න. මං හිතන්නේ දැනටමත් එයා ඒ තීරණය අරගෙන ඉවරයි. මෙතන ප්‍රශ්නෙකට තියෙන්නේ එයාගේ තාත්තා මේකට මොනවා කියයිද කියන එක ”
මේ සියල්ල මෙසේ වන බව දැන හුන් නිසා තාදී කිසිවක් කීවේ නැත.
” මං කැමතියි ඔයා වගේ උත්සාහවන්ත හොඳ දරුවෙක් මගේ පුතාගේ නෝනා වෙනවා දකින්න ”
ජයමිණි එවදන් කීවේ ආදරයෙනි. තාදීගේ දෑස් වල සිරවී තිබූ කඳුළු කැට කඩා වැටුණේ තත්පර කිහිපයක් ඇතුළත දීය.
” ඒත් පුතේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ධීර ගේ තාත්තා. ඔයාට තේරෙනවද මං කියන දේ ? ”
තාදීට ඉකි ගැසුනේ ජයමිණි ” පුතේ ” කියා ආමන්ත්‍රණය කළ නිසාය. ධීර සමඟ ජීවිතයේ ලොකු දුරක් පැමිණ නොතිබූ නමුත් ඔහුව අත ඇර ගන්නට බැරි කුමක්දෝ හැඟීමක් තාදීට ඒ මොහොතේ දැනෙමින් තිබුණි. එපමණක් නොව ජයමිණි ගේ ආදරය කෙරෙහි ලෝභ කමක් ද තාදීට දැනෙන්නට විය.
” මං ධීර ගේ තාත්තා එක්ක ඔයා ගැන කතා කරන්නම්. ඒත් මොනවා වෙයිද කියන්න මං දන්නෙ නෑ. මගේ පුතා වෙනුවෙනුයි ඔයා වෙනුවෙනුයි මං මට පුළුවන් දේ කරන්නම් ”
ජයමිණි යන්නට නැගිට්ටාය. තාදී ද එසැනින් නැගිට්ටාය.
” මිසිස් ගජනායක ”
ජයමිණි ආපසු හැරුනාය.
” ධීර ගේ තාත්තාගේ අකමැත්තෙන් කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. මං දන්නවා මං වගේ අනාත නිවාසෙක හැදිච්ච කෙනෙක්ට එයා කවදාවත් කැමති වෙන්නේ නැහැ කියලා. මිසිස් ගජනායක කියනවා නම් මං මේක මෙතනින්ම අමතක කරලා දාන්නම් ”
තාදී කීවේ හැඬුම් තද කරගෙනය. ජයමිණි එහෙමම ආපසු හැරී තාදීගේ අසුන ළඟට විත් ඇගේ දෑතින්ම අල්ලා ගත්තාය
” අනාථ නිවාසයක හැදුන එක ඔයාගේ වරදක් නෙමෙයි තාදී. ඒක ඔයාගේ අඩුවකුත් නෙමෙයි. වැදගත් වෙන්නේ කොච්චර හොඳට ඔයා ජීවත් වෙනවද කියන එකයි මගේ පුතාව ආදරෙන් බලා ගන්නවද කියන එකයි. ඒත් ඒක ධීරගේ තාත්තට තේරුම් කරලා දෙන්න ටිකක් අමාරු වෙයි. මං ඒකට පුළුවන් තරම් උත්සහ කරනවා. මං මගේ දරුවාගේ සතුට වළක්වන නරක අම්මා කෙනෙක් නෙමෙයි . තේරුනාද ? ”
ජයමිණි තාදීගේ කම්මුල් දිගේ බේරෙන කඳුළු දෑතින්ම පිස දමා කාර්යාල කාමරයෙන් එළියට පැමිණියේ මව් සෙනෙහසින් හදවත බර කරගෙනය. සැබවින්ම ඇයට දැනෙමින් තිබුණේ තාදී ගැන සුවිසල් අනුකම්පාවකි.
ජයමිණි පිටව යනවාත් සමග තාදීගේ දුරකථනය නාද විය. ඇමතුම ධීර ගෙනි.
” ධීර ”
තාදී හැඬුම් වලක්වා ගෙන පිළිතුරු දුන්නාය.
” ඔයාට සනීප නැද්ද තාදී ? ”
” ඇ.. ඇයි ? ”
” ඔයාගේ කටහඬ වෙනස් වෙලා ? ”
” එහෙම එකක් නෑ. ඔයා ගත්තෙ හදිස්සියකටද ? ”
” ඔයාට කෝල් කරන්න මට හදිස්සියක්ම වෙන්න ඕනේ නැහැ. මට කියන්න ඔයා ඉන්න මොකක් හරි අවුලකින් නේද ? ”
තාදී මොහොතක් නිහඬව උන්නාය. මේ නිහඬ බවෙහි බොහෝ දේ ගැබ් වී ඇතැයි ධීර ට සිතුනි.
” මාව බය නොකර උත්තර දෙන්න තාදී ”
” ඔයාගේ අම්මා ආවා මාව හම්බ වෙන්න ”
ReplyForwardAdd reaction |