ඉසිනිට දිනයේ රාජකාරීමය බව වෙනදා තරම් වෙහෙසක් වූයේ නැත. ඕ උන්නේ සැහැල්ලුවෙනි. නුරාන්මය මිනිසෙක් කෙලෙසින්ද දැනෙන්නට, ඔහු හැර දා යලි ඔහු වෙත එන්නටම විය
ධනුක සහ පැහැසරා කාර්‍යාලයට නොපැමිණෙන බව දන්නා නිසා ඉසිනි ගේ සැහැල්ලුවට බාධා වූයේම නැත. ඕ විටින් විට ජංගම දුරකතනයේ ගබඩා කරගෙන තිබූ තමාගේ හා නුරාන්ගේ සේයා රූ කිහිපය බැලුවාය. ඒවායේ වඩා ප්‍රීති උන්මාදයෙන් සිටින්නේ කවුරුන්දැයි සැසඳුවාය.
සෝමා නැන්දාට පණිවිඩයක් දෙන්නට මතක් වූයේ දහවල් ය. ඕ පෙරදා සවස එන්නට බැරි වීමට සමාව අයැද්දාය.
” කෙල්ල කිව්වා නෝනේට පණිවිඩේ දුන්න කියලා…”
ඇය එලෙසින් පවසද්දී එවැනි ඇමතුමක් ගැන සිහියක් නොවූවා වුවද, ඉසිනි එලෙසින් හැසිරුණාය. සෝමා නැන්දාට සවස එන්නට කීවාය. නුරාන්ගේ කමිසය සහ සරම කාමරය තුළ වේලෙන්නට දමා කාමරයේ යතුර රැගෙන ඒමේ කපටි නුවණ ගැන ඉසිනි තමාටම ඔලොක්කුවට සිනාසුණාය. ලෝකයෙන්ම සැඟවී වුවද ජීවිත සැනසීම උදා කරගන්නට ඇත්නම් ඒ ප්‍රමාණවත් යැයි ඕ සිතුවාය.
නුරාන් දිනය පුරාම කාර්‍යබහුල විය. පැහැසරා ගේ අනතුරු ඇඟවීමද විටින් විට මතුවී ඔහුව තවත් කලබල කලේය
” ආයේ ඇනෙක්ස් එකට යන්නේ නෑ.. තාරාව අපේ ගෙදර එක්ක යනකල් පාඩුවේ ඉන්නවා…”
ඔහු තමාටම අවධාරණය කර ගත්තේය. අක්කා පැවසූ සියල්ල සත්‍ය බව යළි යළි වැටහෙන විට නුරාන් ගේ හදවතය දැනුනේ උහුලා ගන්නට අපහසු බියකි.
එවැනි කතාවක් පැතිරෙන්නට ඉඩක් නැතිවා නොවේදැයි ඔහු සිතුවේය. එලෙසින් සිතා හිත හදාගන්නට උත්සාහ කරත්ම, යටි හිත අවලාද නැඟුවේය.
” ඇත්තටම ගමේ කතාවක් පැතිරුනොත් මුලු ගමම මාව සුද්ද කරයි.. තාරාව වැරදි කරයි… තාරා ඒක දරාගන්න එකක් නම් නැහැ… මං ඇයි ඒක කල්පනා නොකරේ.. අපිදෙන්නට නෙවෙයි මඩ එන්නේ තාරාට කියලා ඇයි මං නොහිතුවේ…. ශිට්….නෑ…. ආයේ අවුලක් වෙන්නේ නෑ… ආයේ තාරාව බලන්න ඇනෙක්ස් එකට යන්න තියා හිතන්නේවත් නැහැ…”
දින දෙක තුනක් ගෙවී ගියේය. ඉසිනි තත්පරයක් පාසා නුරාන් වෙත ඇලෙමින් උන්නාය. ඒ තරමටම තමා නිසා ඔහුගේ ජීවිතයේ වූ වේදනාවන් වෙනුවෙන් පසුතැවුනාය. ඉසිනි නොදැනම, නුරාන් දැන සිටින අරුණෝද ගේ උන්මත්තක ජීවිතයට ඉසිනි ගොදුරු වීම පිළිබඳව නුරාන් තැවෙමින් උන්නේය. එහෙත්, දෙදෙනා එක් වූ කළ අලුත් බලාපොරොත්තු වල සුවඳ පමනක්ම වෑහුණි.
වත්සලාගේ වැඩ කටයුතු කිසිලෙසකින්වත් නොවූ ලෙසින් අතපසුවී ඇති බව නුරාන් ට දැනගන්නට ලැබුනේ ඊමේල් ගිණුම් පරික්ෂා කිරීමේදී වූ වාරික ගෙවීම පිළිබඳව වන අතපසුවීමක් දුටු පසුය.
පසුගිය දිනෙක තමා ඇය ඇමතූ වෙලෙහිද ඕ යම් පටලැවීමක හිඳ කතා කල බවක් නුරාන්ට සිහි විය.
නුරාන් වත්සලා කැඳවා ගත්තේය. ඕ පැමිණියේද ප්‍රමාද වීය. නුරාන් ඇයට හිඳ ගන්නට පැවසුවේ ඕ ඉන්නා ස්වරූපය යහපත් නොවන බව ඉතා විශ්වාසයෙන් අවධාරණය කරගන්නා අතරේමය.
” වත්සලා…”
“සර්…”
“මොකක් හරි ප්‍රශ්නයක්ද වත්සලා..”
“නෑ නෑ සර්…ඇයි සර් එහෙම අහන්නේ ?”
“නෑ… ඔයා බෑන්ක් එකේ ඉන්ස්ටෝල්මන්ට් යවලා නෑ… රිමයින්ඩර් එකක් ඇවිල්ලා… ඒ නැතත් ඊයේ පෙරේදා ඔයා උන්නේ එච්චරට හොඳ මූඩ් එකක නෙවි වගෙයි මට මතක…”
වත්සලා අසීරුවෙන් සිනාසුණාය. එහෙත් ඇගේ හදවත තුල ඉසිනි දවා අළු කර දැමිය හැකි තරමේ ගින්නක් ඇවිලෙමින් තිබුණේය. ඒ ගින්නෙන් නුරාන් ට හානියක් විය යුතු නොවම නිසා, ඕ ගින්නේ පාලනය තම අතට ගෙන අසීරුවෙන් එම මොහොත පසු කරන්නට උත්සාහ කලාය.
” සොරි සර්.. අද මම ඒක සෙට්ල් කරන්නම්..”
“මං ඒක නෙවෙයි නේ ඇහුවේ.. මොකෝ අවුල ? මට කියන්න බැරි නෑනේ ඕයි … කියන්න කියන්න… අපි මේ මෙච්චරකල් එකට වැඩ ….. මේ දේවල් වෙනුවෙන් අපි එකට මහන්සී උනේ.. ඉතින්, ජීව්තේ මහන්සි වෙන වෙලාවලත් අපි අනිවාර්‍යෙන්ම එකිනෙකාට ඉන්නවා…”
නුරාන් පොදු අදහසින් එලෙස පවසද්දී, වත්සලා එය අතිශය පෞද්ගලික ලෙසින් සිතට ගත්තාය. හදවත ඒ වචන වලින් පුරවා ගත්තාය. එලෙසින් නුරාන් ගේ වචන තමා කෙරෙහි වනවායැයි සිතා හිත පිරෙද්දී වත්සලාගේ ඇස් තෙත නවතාගන්නට ඇයටම හැකි වූයේද නැත.
” වත්සලා… ඇයි ළමයෝ…? ගෙදර අවුලක්ද?”
“නැහැ සර්…”
” එහෙනම් මොකක් හරි කොල්ලෙක්ගේ ප්‍රශ්නයක්ද ?”
ඕ හිස සැලුවාය. නුරාන් හිස පසෙකට ඇල කර ඕ දෙස බලා උන්නේය. ඇය කිසිදිනෙක නොවන ලෙසින් බිඳී ගොස් ඇති බව පෙනෙන්නේය. ඇගේ වේදනාවේ ප්‍රාමාණික බව අදාල නැත. ප්‍රේමය වේදනා දෙන්නේ කිනම් ප්‍රමාණ වලින්දැයි නුරාන් දන්නේය.
” කවුද ඒ වත්සලා…?”
“අනේ අහන්නෙපා සර් ප්ලීස්..”
“හරි මොකක්ද ප්‍රශ්නේ කියන්නකෝ…”
“එයා.. එයා වෙන කෙනෙක්ට කැමති වෙලා සර්.. මෙච්චරකල් මං වෙනුවෙන් ඉඳලා, මං එයා වෙනුවෙන් ඉද්දී එයා වෙන කෙනෙක්ට කැමති වෙලා…”
වත්සලා දෝතින්ම මුහුණ වසාගෙම හැඬුවාය. නුරාන් අසුනෙන් නැගිය ඇය වෙත ගොස් ඇගේ හිස පිරිමැද්දේය.වත්සලාට දැනුණේ ලෝකයම තම හදවත තුළ පැල වන බවය. ඕ ඒ ස්පර්ශය අතිශය ලෝභීව දරාගත්තාය.
” අපිට අපේ හිතවත් පාලනය කරගන්න බැරි එකේ, අපි කොහොමද වත්සලා තව කෙනෙක්ගේ ජීවිතයක් හිතක් පාලනය කරන්නේ.? අපිට එහෙම කරගන්න බෑ…. ඔයා දන්නවාද දන්නේ නෑ වත්සලා, ආදරේ කියන්නේ සමහර වෙලාවට යන්න දීලා පැත්තකටම වෙන එක… සමහර විට යන්න දීලා ආයේ එනකල් බලන් ඉන්නෙක..
තවත් සමහරවෙලාවට ආදරේ කියන්නේ යන්න දීලා නන්නාඳුනන වෙන එක වත්සලා.. ඉතින්.., අපි ඒක පිලිගන්න ඕනි…”
නුරාන් ඇය අසලින් වතුර වීදුරුවක් තබා තම අසුනේ හිඳ ගත්තේය. වත්සලා හිස එසෙව්වෙ නැත.
” ඕක බීලා ඉන්න වත්සලා…. අපි කතා කරමූ..”
වත්සලාට ඒ වචන දැනුනේ තමා වෙනුවෙන්ම, නුරාන් වෙතින් නැඟෙන වචන ලෙසය. ඕ ඒ වචා තමා සතු කරගත්තේ අනවසරයෙන්මය. ඕ වතුර වීදුරුව එක හුස්මට හිස් කරනා අයුරු නුරාන් බලා උන්නේ ඇය ට යම් අස්වැසිල්ලක් වන්නට තමා කල යුත්තේ කුමක්දැයි සිතමිනි.
” වත්සලා.. දැන් ඒ ළමයා ඔයාට කතා කරනවාද ?”
ඕ හිස සැලුවාය.
” මොකද කියන්නේ ?”
“එක එක ඒවා සර්..”
“එහෙම නෙවිනේ වත්සලා, අපි උත්තරයක් හොයන්න කලින් ප්‍රශ්නේ හොයාගෙන ඉන්න ඕනි නේ….”
“මට තේරෙන්නේ නෑ සර්… බලමුකෝ..”
නුරාන් ගේ ජංගම දුරකතනය නාද වූයේය.නුරාන්ගේ මුහුණේ මැවුණු සැනසිලිදායක බව වත්සලා දුටුවේත්, ඕ ජංගම දුරකතනය දෙස බැලුවේත් එකම මොහොතකය.
” තාරා.. ඔෆිස් එකේ ළමයෙක් එක්ක පොඩි දෙයක් කතා කරන ගමන් කෙල්ල.. මම ටිකකින් ගන්නම් ඔයාට …”
වත්සලා අසුනෙන් නැගිට්ටාය. නැගිට්ටා නොව ඕ තුළ වූ ගින්න ඕ නැගිට්ටුවාලූවේය. නුරාන්ගෙන් අවසර ඉල්ලා පිට වූයේය.
” ශිට්.. මං තාරා කියලා, ආදරෙන් කතා කරාම වත්සලාට ඒකිගේ කොල්ලව මතක් වෙන්න ඇති… ගිණි අරගෙන වගේ දිව්වේ ඒකනේ….”
නුරාන් තමා වටා ඇවිලෙන්නට යන ගින්නක් නොදැන, වත්සලා අවුලවා ගත්තායැයි සිතන ගින්නක් වෙනුවෙන් පසු තැවීමක් හදා ගත්තේය.
ReplyForwardAdd reaction |