තාදී – 16

0
2724

හඬා හෙම්බත් වූ දවසක් අවසානයේ වුවද තාදී උන්නේ සැනසිල්ලේ ය. ඒ සැනසිල්ල රැගෙන ඇය කෙලින්ම ගියේ ” සෙවණ ” ට ය. ඇයට වුවමනා වූයේ හිතේ වූ සියල්ල නැනෝ අම්මා සමග බෙදා හදා ගැනීමට ය.

” අසනීපෙන්ද නෝනේ ? ” 

නැනෝ අම්මා තාදීව දුටු දිගසින්ම ඇසුවේ තාදී ගේ මුහුණ හඬා ඉදිමි තිබුණු නිසාය.

” නැ නැනෝ අම්මේ. ඒත් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. මං මේ ගෙදර යන්න කලින් මෙහාට දුවගෙන ආවෙ ඒ හින්දා ” 

තාදී රැගෙන ආ බඩු මළු දෙක රැගෙන කෙලින්ම මුළුතැන් ගේ දෙසට ආ අතර නැනෝ අම්මාද ඇය පසුපස ආවාය.

” මොකක්ද අප්පේ ඒ ? ” 

තාදී බඩු මලු දෙක මේසය මතින් තබා නැනෝ අම්මා දෙසට හැරුණේ කතාව කොහෙන් පටන් ගන්න දැයි සිතන අතරේ ය.

” අගය නොකර කියන්නකො දරුවෝ ” 

නැනෝ අම්මා වතුර කේතලය ලිප තබන අතරේ කීවා ය.

” මං ධීර ට කැමතියි නැනෝ අම්මේ ” 

තාදී එක වරම කියා දැම්මේ එය කියන්නේ කෙසේදැයි ඒ මොහොතේ සිතා ගන්නට නොහැකි වූ නිසාය.ඒ වචන ඇසුණු පසුව නැනෝ අම්මා තාදී වෙත හැරුනේ පුදුමය රැගත් දෑස් වලිනි

” මක් කිව්වා ? ” 

” අද ධීර ගේ අම්මා ආව මාව හම්බ වෙන්න.  ඒ මනුස්සයා නම් මට කැමතියි. ප්‍රශ්නයක් එනවා නම් එන්නේ එයාගේ තාත්ත ගෙන් තමයි ” 

” නෝනට විශ්වාසයි ද ඔය ගත්ත තීරණය හරි කියලා ? ” 

නැනෝ අම්මා ඇසුවේ අඩමානයට ය. කුඩා අත දරුවෙකු අවධියේදී සෙවණ ට පැමිණි තාදී දැන් යෞවනියක වී ස්වාධීන තීරණ ගැනීමට හැකි වයසක පසු වීම සැනසීමක් වුවත් විවාහය යනු ආවාට ගියාට තීරණය කළ නොහැක්කක් නිසා නැනෝ අම්මාගේ හිතට තරමක බියක් නොදැනුනා නොවේ.

” එයාගේ තාත්ත ගෙ ගතිගුණ ඇරුණම එයාගේ අම්ම නම් පුදුම කරුණාවන්ත මනුස්සයෙක් නැනෝ අම්මේ. අනිත් එක ධීර ඉස්සරහට එන ඕනම ප්‍රශ්නයකට මාත් එක්ක මූණ දෙන්න කැමතියි. තාත්ත ගෙන් එන ප්‍රශ්න වලටත් සමහර විට එයාගේ අම්මා අපිට උදව් කරාවි. මට මෙච්චර කාලෙකට කිසිම මනුස්සයෙක් ගැන දැනුනේ නැති දෙයක් එයා ගැන දැනෙනවා නැනෝ අම්මේ. ඇත්තටම කිව්වොත් මට ධීර ව අත ඇර ගන්න ලෝබයි “

තාදී නැනෝ අම්මා ඉදිරියේ දිග හැරියේ හදවතේ වූ ඇත්තම හැඟීම් සමුදාය ය. ජයමිණි ගජනායක තමාට බෙහෙවින් කරුණාවන්ත වූ බැවින් ඉදිරියේදී එන ඕනෑම ගැටලුවක් හමුවේ ඇගේ මව් සෙනෙහස තමාව සහ ධීර ව රකිනු ඇතැයි තාදී විශ්වාස කරමින් උන්නාය.

” ඒ දරුවා ගේ එහෙම නරක පාටක් පේන්න නෑ තමයි. ඒත් අනේ මන්දා. නෝනා ඉක්මන් උනා වැඩිද කියලා හිතෙනවා ” 

” ධීර ගේ තාත්තා එයාට ප්‍රපෝසල් එකක් ගෙනල්ලා තියෙනවා. ඒකට කැමති වෙන්න කියලා මං එයාට කියද්දිත් එයා තමයි බෑම කිව්වේ. කවුරුත් කිව්ව පලියට එහෙම කසාදයක් කර ගන්න බැහැනේ නැනෝ අම්මේ. මට එයාව බලෙන් මං ළඟ නතර කර ගන්න ඕන වුණේ නැහැ. එයාම තමයි කිව්වේ ඒ ප්‍රොපෝසල් එකට එයා කැමති නෑ කියලා. මං වැරදිද නැනෝ අම්මේ ? ” 

” තමන්ගේ හිතට හරි කියලා හිතන දේ කරන එකේ වැරැද්දක් නෑ නෝනේ. ඒත් ඉස්සරහට එන හැමදේටම මූණ දෙන්න තරම් නෝනට හයියක් තියෙනවද ? ” 

” ධීර ඒ හැමදේටම මාත් එක්ක ඉන්නව නම් මට ඒවට මුහුණ දෙන්න බැරි කමක් නෑ නැනෝ අම්මේ. ධීර ගේ තාත්තා වුනත් කවදා හරි තේරුම් ගනියි නේ කසාදයක් කියන්නේ බලෙන් කරලා දෙන්න පුලුවන් දෙයක් නෙමෙයි කියල ” 

නැනෝ අම්මා තේ කෝප්පය සාදා තාදී අතට දුන්නේ කිසිවක් නොකියාම ය. තාදී මේ තබන්නට සූදානම් වන පියවර ඉතා විශාල එකක් වුවත් කවදා හෝ ඇය මේ පියවර තැබිය යුතු නිසා සහ ඇය දැන් නිදහසේ පියඹා යා යුතු වයස එළඹෙමින් තිබෙන නිසා එයට හරස් කපන්නට නැනෝ අම්මාට වුවමනා වූයේ නැත. කුඩා කල සිට ඇයව රැක බලා ගත්තා වුවත් ඇගේ ජීවිතයේ තීරණ වලට එරෙහි වන්නට වැඩිහිටියෙක් වූ තමාට කිසිසේත්ම අයිතියක් නැති බව නැනෝ අම්මා සිතුවාය.

” ධීර ගේ අම්මාව දවසක මම මෙහාට එක්ක ගෙන එන්නම්. නැනෝ අම්මට හිතෙයි ඒ මනුස්සයා කොච්චර කරුණාවන්ත කෙනෙක්ද කියලා.” 

” නෝනා ඒ අම්මට හැමදේම කිව්වද ? ” 

” නොකියා බෑනේ නැනෝ අම්මේ. ඕන දෙයක් වෙන්න කියලා මං හැමදේම කිව්වා” 

” ඊට පස්සෙ ? ” 

” ඊට පස්සේ මුකුත් නෑ ඉතින්.එයා මගේ විස්තර ඇහුවා.  එයා කිව්වේ එයාට මං වෙනුවෙනුයි ධීර වෙනුවෙනුයි කරන්න පුළුවන් හැමදේම කරනවා කියලා. එයා කතා කරලා ගිය විදිහට මට දැනෙන්නේ මටත් දැන් අම්මා කෙනෙක් ඉන්නවා වගේ  ” 

නැනෝ අම්මා සුසුමක් හෙළුවා පමණි. තාදී ඉතා සුළුවෙන් මේ සියල්ල කියා දැම්මත් ඉදිරියට එළඹෙන කාලය එසේ සුළුවෙන් තැකිය හැකි පහසු කාලයක් නොවන වග පමණක් නැනෝ අම්මාට ඉවෙන් මෙන් දැනෙමින් තිබුණි. එහෙත් ඒ ගැන කියා තාදී ව බියට පත් කරන්නට නැනෝ අම්මාට උවමනා වූයේ නැත. 

” නෝනා ගේ කැමැත්තට ඕන දෙයක් කරන්න. ඒත් පරිස්සමෙන්. ඔය සල්ලි කාර මිනිස්සු මොන මොන විදිහට වැඩ කරයිද කියලා අපිට කියන්න බැහැනේ. ඒ දරුවා හොඳ වෙන්න පුළුවන්. ඒ දරුවාගේ අම්මා හොඳ වෙන්නත් පුළුවන්. ඒත් ඔය කියන හැටියට ඒ තාත්තා මොන තීරණයක් ගනීද දන්නේ නෑනේ මේක දැන ගත්තට පස්සේ. අනිත් එක ඒ වගේ සල්ලිකාර මිනිස්සු තමන්ගේ එකම දරුවාව කසාද බන්දලා දෙනකොට රටට ලෝකෙට පෙන්නන්න පුළුවන් තවත් බලපුළුවන්කාර පවුලක්ම තමයි හොයන්නේ. ඉතින් ඕනම දෙයකට මුහුණ දෙන්න බලාගෙන ඉමු නෝනේ ” 

” මං කාටවත් වැරැද්දක් කරලා නෑ නැනෝ අම්මේ. ඉතින් මට වරදින්න විදිහක් නෑ නේද ? ” 

” මං කියන්නේ ඔයාට වරදිනවා කියලා නෙමෙයි දරුවෝ. ඒ ළමයා ඔයාට කොච්චර ආදරේ වුනත් කොතැනකදි හරි එයාට එයාගේ තාත්තව තෝර ගන්න වුනොත් මොකද කරන්නේ ? ” 

” එහෙම වෙයිද නැනෝ අම්මේ ? ” 

තාදී ඇසුවේ ඇත්තටම බියෙනි. එහෙත් ධීර කෙරෙහි තැබූ විශ්වාසය ඔහු කඩ කර දමා වී යැයි සිතිය නොහැක.ඊටත් වඩා ජයමිණි ගජනායක තමා සමග කතා කර ගිය ආකාරයට ඇය මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සොයා දෙනු ඇතැයි තාදී සිතුවාය. 

” අපි බලමුකෝ නෝනෙ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොනව උනත් හිතේ හයියෙන් ඒ හැමදේටම මූණ දෙන්න. ජීවිතේ මෙච්චර කල් හැමදේටම තනියම මූණ දුන්න වගේ ඉස්සරහට වෙන්න තියෙන දේකටත් ඒ වගේම මූණ දෙන්න. ” 

ධීර සමග ගෙවී යන පැහැබර අනාගතයක් ගැන තාදී ඒ මොහොතේත් බලාපොරොත්තු එකතු කළාය. ඔහු පිළිබඳව හිතේ තිබූ හැඟීම මේ තරම් ඉක්මනට ඔහුට කියන්නට සිතා නොතිබුණත් ජයමිණි ගජනායක ගේ පැමිණීම ඒ සියල්ල වෙනස් කර හමාරය. දැන් තිබෙන්නේ ඉදිරියට මුහුණ දීමේ අමාරුම කොටස බව තාදී පසක් කර ගෙන උන් අතර ඊළඟ මොහොතේ කුමක් සිදු වේවි දැයි තරමක බියක් තාදී ගේ සිත තුළ විය. කුමක් සිදු වූවත් ධීර ට වෙත ලබාදුන් ආදරයේ පොරොන්දුව ජීවිත කාලය පුරාවටම රකින්නට තාදී තමා වෙතම පොරොන්දු වෙමින් සිටියා ය. ජීවිතය පිළිබඳව තමාට තිබූ බලාපොරොත්තු දහස් ගුණයකින් වැඩි වී ඇති බව තාදී ට දැනෙමින් තිබුණු අතර තමාගේ කියා කිසිවෙක් නොමැති වූ ලෝකයේ දැන් තමාගේම කිව හැකි ආදරවන්තයෙකු තමාට සිටින බව තාදී සිතුවේ සැනසිල්ලේ ය. ඒ සැනසිල්ල කිසිදු ආකාරයකින් පළුදු නොවේවා යැයි තාදී එක සිතින්ම ප්‍රාර්ථනා කළා ය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here