අන්තරා හෙමිහිට ගේ අස්පස් කළා ය. ඇයත් එක්ක මහ ගෙදරට ගෙන යා යුතු දේවල් ඇසිරුවා ය. නූපුර විවිධ වයස් වල දී ගත් රාමු කරන ලද පින්තූර හා සුවඳ නිස්සාරණයටත් විලවුන් නිෂ්පාදනයටත් යොදා ගත් පරීක්ෂණාගාර උපකරණ ටික හැරුණ විට ගෙනයන්නටය කියා තිබුණේ ඇඳුම් ටිකත් නූපුර ගේ ළදරු හා ළමා වියෙහි සිහිවටන වශයෙන් ඈ එකතු කරනා ලද අඩුම කුඩුම ටිකත් පමණකි. අල්මාරියෙහි එක කොටසක් ම නූපුර ගේ ළමා වියෙහි ස්මාරක විය. ඔහු ගේ පෙකණිවැල් කොටස ගිලිහී යාමෙන් පසු කුඩා මංජුසාවක තැන්පත් කොට, සුවඳ ගල්වා තවමත් සුරක්ෂිතව තිබිණ. ඔහු ගේ කපන ලද පළමු හිසකේ රොද, නියපොතු කැපූ ළදරු නිය කපනය, හිස කේ පීරූ සිනිඳු බුරුසුව, ඇය අතින් මල් මැහුණු ළදරු ඇඳුමක් හා කොට්ට උරයක්… අන්තරා නිධානයක් සේ ඒවා දිගැර බැලුවා ය. ඔහු ගේ ළදරු සායන පොත පිටු පෙරළමින් බැලුවා ය. නූපුර ගේ බර හා උස මසක් පාසා වැඩි වුණ හැටි, බර අඩු වේ යයි බියෙන් ඈ කෙසේ හෝ ඔහු ට කිරි පොවාගත් හැටි, ඝණ ආහාර දෙන්නට ගත් පසු වදයෙන් පොරයෙන් ඔහුට කවාගත් හැටි, සිනමා පටයක රූප රාමු සේ ඇයට සිහිපත් කරවී ය.
නූපුර ගේ පින්තූර ඇල්බම බලත්දී අන්තරා ගේ ඇස් වලින් කඳුළු ගැලුවේ ය. වසරක් පාසා ඔහු ගේ උපන්දින සැමරුම්, ඒවායෙහි ඇය හා දක්ෂිණ ගේ සතුටු මුහුණු, නූපුර ගේ පෙර පාසල් හා ප්‍රාථමික පාසල් යුගය, විවිධ ප්‍රසංග, ත්‍යාග ප්‍රධානෝත්සව හා ක්‍රීඩා උත්සව ආදියේ දී ඔහු පෙන්වූ දක්ෂතා හා පවුලක් වශයෙන් ඔවුන් තිදෙන සතුටෙන් සිටි යුගය ඒ ඡායාරූප ඇල්බම මැනවින් කියාපෑවේ ය. ඒ සතුට දිගට ම පවත්වාගත නො හැකි වීම පවුලක් වශයෙන් ඔවුන් ගේ අවාසනාවකි.
සම්පතී දක්ෂිණ ගේ ලෝකය අතික්‍රමණය කරනා ලද්දේ, ඔහු ගේ බිරිඳ වශයෙන් තමන් අතින් සිදු වූ අඩුපාඩු නිසා යයි නො පිළිගෙන බැරි බව අන්තරා දනී. විශේෂයෙන් ම සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු ලෙස ඉහළට ම යන්නට ද ආර්ථික වශයෙන් ප්‍රබල ස්ථාවරයක් ගොඩනගා ගන්නට ද දක්ෂිණ ට වූ නො සංසිඳෙන ආශාවට තමන්ගෙන් අබමල් රේණුවක තරම් උදව්වක් නො ලැබුණ බව පිළිගන්නට ඇය සූදානම් ය. ඒ හිස්තැන බලා සම්පතී ඔහු ගේ ලෝකයට රිංගාගත්තා ය. විවාහ ජීවිතයක් තුළ දී අඹු සැමියන් අතරේ හිස් තැන් නො පැවතිය යුතු ය. යක්ෂයන් පෙරේතයන් පවුල් ජීවිත තුළට රිංගා ගන්නේ ඒ හිස්තැන් තුළිනි. ගෙවී ගිය අතීතය දෙස ආපසු හැරී බලත්දී ජීවිතයට ඒ පාඩම උගත හැකි වී ද දැන් කිසිත් වෙනස් කළ නො හැකි ලෙස සිදු වී අවසාන ය.
මේ නිවස යනු ඇගේ ඇස් පනාපිට ඉදිවූවකි. මේ ගෙදර සැලසුම් කරන ලද්දේ දක්ෂිණ හා ඇය විසින් ඔවුන් දෙදෙනා ගේ ම අදහස් හා රුචිකත්වයන් මුහු කොට ය. මිනිසුන් ගණනාවක් විසින් ගොඩනගන ලද ගොඩනැගිල්ල නිවසක් බවට පත් කරනා ලද්දේ තනිකර ම ඇගේ දෑතිනි. ඇගේ දෑත් පහස නො ලබන ලද අහු මුල්ලක්වත් මේ ගෙදර නැත්තේ ය. අන්තරා වෙනදාටත් වැඩිය හොඳට ගේ අස් පස් කළා ය. කුණු බිඳක් නැති වන සේ දුහුවිලි පිස දමා, මකුළුදැල් කඩා අතුගෑවා ය. ඇය ආදරයෙන් කෑම පිසූ මුළුතැන්ගෙය සෝදා පවිත්‍ර කළා ය. ශීතකරණයේ තිබූ සියලු ආහාර ඉවත් කළා ය. ඒ බොහෝ අවස්ථා වල මතක පුරාණයන් අවදි වී ඈ හැඬවූයේ ය. අන්තරා කඳුළු සලමින් වුව ඇගේ ජීවිතයේ තරුණ කාලයේ මතක රැඳි, ඇගේ ම කියා සිතූ ගෙදර පන්සලක් සේ පවිත්‍ර කළා ය. සුවඳ නිස්සාරණය කිරීම වෙනුවෙන් ම ඇය විසින් සිටුවාගන්නා ලද රෝස යාය ද, පිච්ච ගාල ද, ගාඩීනියා පඳුර ද සමුගැනීමේ වේදනාවෙන් යුතුව ඇදෙස බලාසිටියේ ය. දැන් ඈ එ් සියල්ල අතැර දමා යාමට සූදානම් ය. නමුත් හදවත තවමත් හඬා වැටේ. වස්තුව දේපළ කියන්නේ ඇයට නො ගිනිය හැකි දෑ ය. අතැර දා යන්නට බැරි මේ ගෙදර සමගින් බැඳී ඇති මහා මතක කන්දයි. බැඳීම් අත්හැරීමට සූදානම් යයි අප කොතෙකුත් සිතී ද එසේ කිරීම පහසු නැති බැව් යළි යළිත් ඇයට පසක් වේ.
අන්තරා ඉකිබිඳ තනිව හැඬුවා ය. ඇයව සනසන්නට සිටියේ ද ඇය ම පමණකි.
“මටත් ඔය ගේ ඕන නෑ අම්ම. අම්ම සීයලගෙ ගෙදර යනවනං කී එක තාත්තට දීලම යන්න. එක අතකට අපිට තාත්ත නැති වුණාට පස්සෙ එයාගෙ ගෙවල් තිබිල මොකටද…”
ගේ අත්හරිනා තීන්දුව දුන්නේ නූපුර ය. එක අතකට පුතු පවසන්නේ ඇත්තකි. ඇය සිය සැමියාව දන් දුන්නී ය. යොවුන් වියෙහි ප්‍රේමය දන් දුන්නී ය. ඔවුන් වෙනුවෙන් දක්ෂිණ තැනවූ නිවසත් දන් දෙන එක ඉතින් මහ දෙයක් ද?
ඇති වනතුරු හඬා වැටීමෙන් පසු අන්තරා දක්ෂිණ ට දුරකතන ඇමතුමක් දුන්නා ය.
“පුළුවන්නං ඇවිත් යන්න. මං තව ටිකකින් මේ ගෙදරින් යනව. ඔයා ආවෙ නැත්තං මං කී එක පාපිස්ස යටින් තියල යන්නං. හෙට හරි ඇවිත් ගන්න”
දක්ෂිණ වචනයක් හෝ කතා කළේ නැත. නමුත් අන්තරා දිය නා අවසන් වන විට ඔහු පැමිණියේ ය. ගෙදර බඩුමුට්ටු සියල්ල තිබූ ලෙසට ම තිබිණ. ඇය ගෙනයන්නට සූදානම් කොට තිබුණේ බැගේජ දෙකක් පමණකි. ඔහු ගේ පපුව රිදිණි. මතු මහළට දිව ගිය දක්ෂිණ සිය කාමරයට වැදී හොඳට ම හැඬුවේ ය. අන්තරා සිය ජීවිතයට ඈඳා ගැනීම තුළ ඔහු ගේ යටි අරමුණක් තිබූ බැව් සැබවි. ඒ අරමුණ ඉටු වෙමින්, යන යන තැන ඔහු ට ගෞරව ලැබෙන්නට භාණුක ජිතේන්ද්‍ර ගේ බෑණා වීම හේතුවක් වූයේ ය. නමුත් ඔහු අන්තරා ට පෙම් නොකළේ ද? දක්ෂිණ තමන්ව ම ප්‍රශ්න කරගත්තේ ය. මුල් යුගයේ දී ඔහු සියලු කැපකිරීම් කළේ ඈ හා සිය පුතු ගේ නාමයෙනි. ඔවුන් ට වඩාත් සැපවත් ජීවිතයක් උරුම කොට දීම ඔහු ගේ ජීවන අරමුණ විය. ඔහු වැඩි වැඩියෙන් වෙහෙසුණේ ඒ වෙනුවෙනි. නමුත් අන්තරා විසින් නොදෙනා ලද සහයෝගය සම්පතී වෙතින් ලැබෙත්දී ඔහු ඇය වෙතට නැඹුරු වූ එක සාමාන්‍ය පිරිමි ගතියක් නො වන්නේ ද? ඔහු වැරදි බැව් දක්ෂිණ දනී. හරිනම් ඔහු එහෙම නොකර සිටිය යුතු විය. ඒ ඒ දේවල් ඒ ඒ අවස්ථාව මත සිදු විය. අන්තරා ගේ සේ ම සම්පතී ගේ හැසිරීම් ද පොදු පිරිමි ආශාවන් ද මේ තරම් ජීවිතය වැරදි පාරක ගමන් කරන්නට ඉවහල් වූ බව දක්ෂිණ ගේ හදවත පිළිගනී. නමුත් මේ වියෝව ඔහු ගේ හදවතට දැරිය නො හැකි ය.
ඔහු මේ නිවහන ඉදි කරවූයේ අන්තරා හා නූපුර සමග සතුටෙන් දිවි ගෙවන්නට වී ද, සම්පතී අතරමගකදී ඊට එරෙහිව නැගී සිටියා ය. ඔහු ගෙදර නො එවා ඇගේ සෙවණෙහි රඳවාගැනීමට ඕ නොයෙකුත් උපක්‍රම යෙදුවා ය. සම්පතී ගේ පසින් ඊට ඇයට හේතු තිබේ. මූලික වරද සිදු වූයේ ඔහු ගේ පැත්තෙන් ය. පිරිමි සිය පුරුෂ හැඟීම් වලට වහල් වීම මත ලස්සන පවුල් ජීවිත විනාශ කරගනිති. ඒ මොහොතේ සතුට ගැන පමණක් සිතා මුළු අනාගතය ම දුකට පත්කොට ගනිති. වරද වැටහෙන විට ඔවුන් පැමිණ තිබෙණුයේ යළි හැරිය නො හැකි තරම් දුරකි.
අන්තරා දක්ෂිණ වෙනුවෙන් තේ එකක් පිළියෙළ කළා ය. බොහෝ දුරට මේ ඇය ඔහු වෙනුවෙන් තනනා අවසාන තේ කෝප්පය විය හැක. එහෙම හිතත්දී ඇගේ පපුව පැළෙන්නට තරම් දුක ය. නමුත් ජීවිතය එබඳු වේ. කාලයකදී ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ල තවත් කාලයකදී මහත් වේදනාවක් ඉතිරි කළ හැක. විශේෂයෙන් ම සම්බන්ධතා කියන්නේ සදාකාලික දේවල් වලට නොවන බව දැන් අන්තරා විශ්වාස කරයි. තමන් අත වැරදි තිබී ද නො තිබී ද සම්බන්ධතා බිඳී විනාශ වී යා හැක. ඕනෑවට වඩා යමෙකු වෙනුවෙන් කැපකිරීම් සිදු කළ ද සම්බන්ධතා විනාශ වී යා හැක. එබැවින් එසේ වීමට හේතුව හෝ වරද ඇති තැන සොයා පලක් නැත!
දක්ෂිණ පහළ මහළට පැමිණියේ ලිපි ගොනුවක් ද රැගෙන ය. අන්තරා අතින් සිය තේ මග් එක ගන්නා ගමන් ඔහු එය ඇය වෙත පෑවේ ය.
“මොකද්ද දක්ෂිණ…”
ඇගේ ස්වරය අතිශය නිවුණේ විය. සිදුහත් ට අභිනිෂ්ක්‍රමණය කරන්නට අවසර දී හිත හදාගත් යශෝදරාව සේ ඇය දැවෙමින් ද නිවෙමින් ද සිටියා ය.
“මේ ගෙදර ඔප්පුව”
දක්ෂිණ තේ උගුරක් බීවේ ය. ඔහු අපමණ වැරදි කළ ද ගෙදර පැමිණි වෙලාවට තේ එක හෝ කෑම වේල නො වැරදූ, ඔහු කළ වැරදි වලට ඒ යුතුකම් ඉටු නොකරමින් පළි නො ගත් මේ දේවතාවක් වන් ගැහැනිය ගැන මහත් ලෝභී හැඟීමකින් හෙතෙම බිඳෙමින් සිටියේ ය.
“මේක මොකටද දක්ෂිණ මට… මට එපා. ඔයා කැමති දෙයක් කරන්න. පුතා ලංකාවෙ ඉන්න කාලෙක… කැමතිනං එයාට මේක දෙන්න පුළුවන්නෙ”
ඇය කතා කළේ වේදනාව යටපත් කරමින් ඉවසිලිවන්ත ව වචන තෝරා බේරා ගනිමිනි.
“මං කැමති දේ තමයි කරල තියෙන්නෙ. මං මේ ගෙදරයි ඉඩමෙයි ඔප්පුව ඔයාගෙ නමට හරෝල දැන් ටික කලක්. ඔයා මේ ගේ අතෑරල යනව කියපු නිසයි මං මේක දැන් ඔයාට දෙන්නෙ. පුතාට නෙවෙයි අන්තරා. මට මේක ඔයාටයි දෙන්න ඕනෙ. මේ ගේ හැදුනෙ තනිකරම ඔයාගෙ ආසාව නිසා. ඔයාගෙ ආශීර්වාදය නිසා. මේ ගේ මෙච්චර හිත නිවන තැනක් විදිහට හැඩ වුණේ ඔයාගෙ අත් දෙකෙන්. මේක ඔයාගෙ හීන ලෝකෙ. මෙතන තියෙන්නෙ ඔයාගෙ හිත. ඔයාගෙ හුස්ම. ඔයාගෙ බලාපොරොත්තු. මට ඒ හැම හුස්මකම හැම බලාපොරොත්තුවකම ඔයත් එක්ක ඉන්න බැරි වුණා. ඒක මගෙ අවාසනාව. අන්තිමට මං උත්සාහ කළා බලෙංහරි ඔයාව තියාගන්න. ඒත් ඒක ඔයා වගේ හිත හයිය ගෑනියෙක් එක්ක කරන්න පුළුවං දෙයක් නෙවෙයි කියල මං දන්නව. මං නැති වුණාට කමක්නෑ අන්තරා. ඔයා සතුටෙන් ඉන්න ඕනෙ. ඒකයි මං කියන්නෙ… මං නැතත් පුතා හරි ඔයා ළඟින් ඉන්න ඕනෙ කියල. එයා ඔයාව ආදරෙන් බලාගන්න ඕනෙ. මං ඒක කරන්න හිටියා. ඒත් මට ඒක කරගන්න බැරිවුණා. මං සමාව ඉල්ලන්නෑ අන්තරා. මං ඔයාට කළේ සමාව දෙන්න පුළුවන් වරදක් නෙවෙයි. ඒත් ඔයා කොහෙවත් යන්නෙපා. ඔයා ආස විදිහට ඔයා හදාගත්ත මේ ගේ අත්ඇරල කොහෙවත් යන්නෙපා. මට දැන් සැනසීමෙන් ජීවත් වෙන්න බෑ. ඔයා ගියොත් මට කොහොමවත් ජීවත් වෙන්න ඕනවෙන එකක් නෑ අන්තරා. ප්ලීස්… ඔයා මෙහෙ ඉන්න. ඔයාට ඕනකරපු ඩිවෝස් එක ලැබෙනවනෙ. මේ ගෙදරින් ගියොත් ඔයාට සැනසීමෙන් ජීවත් වෙන්නවත් හේතුවක් නැති වෙයි. ඔයාගෙ ජීවිතේ හැම මතකයක්ම තියෙන්නෙ මෙතන. ප්ලීස්… අපි ගැන මතකවත් මෙතන ඉතුරුවෙන්න දෙන්න. මං ආයෙ කවදාවත් මෙහෙ එන්නෙ නැතුව ඉන්නං. ඒත් ඔයා නතරවෙන්න. මේ ගේ කවදාවත් වෙන ගෑනියෙක්ට අයිති වෙන්නෑ අන්තරා. මේක අපි තුන්දෙනාගෙ හදවත. ඔයාගෙ හුස්ම වගේ අපේ හදවත පරිස්සං කරගන්න අන්තරා”
කතා කරගෙන යන විට දක්ෂිණ ට හැඬෙමින් තිබිණ. අවසානය වන විට ඔහු ඉකිගසා හඬමින් සිටියේ ය. සිය ප්‍රතාපවත් සැමියා ගේ ඇස් වල කඳුළක්, මීට පෙර කිසි දාක අන්තරා දැක නැත. මේ ඇයට දරාගත නො හැකි මොහොතක් විණි. අන්තරා දක්ෂිණ බදා වැළඳගෙන ඔහු ගේ පපුතුරෙහි වැළහින්නක සේ හඬන්නට වූවා ය.
“අපිට මෙහෙම වුණේ… ඇයි දක්ෂිණ…”
ඇය ට කියාගත හැකි වූයේ, අසා ගත හැකි වූයේ එපමණකි. ඔවුන් ගේ කඳුළු වලින් ඔවුහු තෙමී යමින් සිටියහ.