මල් තුහින -21

“ආදරේ ගැන ඔයා විශ්වාස කරන දේවල් ගැන මම කිසිම දෙයක් කියන්නෙ නෑ. මොකද ඒවා ඔයා ඔප්පු කරල ඉවරයි. ආදරය සහ යාළුකම් හැම දෙයක්ම ඔයා ජනප්‍රිය වෙන්න පාවිච්චි කරාට ඒ හැම දෙයක්ම තව කෙනෙක් වෙනුවෙන් පාවිච්චි කරන අය ඉන්නවා. මලිති කියන්නේ එහෙම කෙනෙක්. අපි යාළුවො වුණේ ගොඩක් පුංචි කාලෙදි. මේ යාළුකම සමහර තැන්වලදී අපට අමතක උනත් කාලෙත් එක්ක වැඩ රාජකාරිත් එක්ක අපිට කතා කරන්නවත් වෙලාවක් ආවේ නැතත් යාලුවෙක් කරදරේ වැටුනු වෙලාවෙදි මලිති ට අපේ යාළුකම මතක තිබුණ. මොනදේ උනත් මට හොඳ යාළුවො ඉන්නව. ඒ හින්දා මේ කිසිම විකාරයක් ගැන හිතන්නේ නැතුව ඉන්න ඒක හොඳටම ඇති.”

තුහින ඒ සටහනේ එවැනි කමෙන්ටුවක් අමුණනු ඇතැයි කිසිවෙකුටත් සිතුණේ නැත. සමාජ මාධ්‍යයේ සමහර දේවල් වෙනස් වන්නට එතරම් වෙලා ගත වන්නේ නැති අතර  තුහිනගේ කමෙන්ටුව වෙනුවෙන් හදවත් සලකුණු ගලා එන්නට පටන් ගෙන තිබිණ. ඉතා සුන්දර ආදරයක් පෙන්වා අවසානයේ අපහාස කරන බිරිඳට වඩා හොඳ යාළුවෙකු වටිනා බව බොහෝ අය පවසන්නට පටන් ගෙන තිබිණි.

“තුහින ඔය කමෙන්ට් එක දැම්මෙ උඹට ආදරේට නෙමෙයි. අර ගෑනි එක්ක තියන තරහට.”

රුවිනි වහවහා පැවසුවා ය. මේ මොහොතේ කළ නොයුතුම දේ තුහින සම්බන්ධයෙන් මලිතිට බලාපොරොත්තු ලබාදීම බව ඇය දන්නීය. එය ඉන්නවාට වඩා කබලෙන් ලිපට වැටීමකි.

“මං එයාට හොඳ යාළුවෙක් වුණේ නෑ කවදාවත්.”

මලිති එසේ කියද්දී රුවිනි හිනැහුනා ය.

“ඔව් ඉතින් ඔය කමෙන්ට් එකට හේතුව  තියෙන මනමාලකමනෙ. හැබැයි ඇත්තටම පොඩි කාලේ එකට ඉගෙන ගත්ත හින්දා තුහින ට කියන්න හොඳ හේතුවක් තිබුණ.ඒකෙන් උනේ උත්පලා චාටර් වුණු එක.”

නමුත් උත්පලා ගෙවා දැමුවේ ඉතා කටුක විවාහ දිවියක් නම් ඈ ඔහුට මෙසේ අපහාස කිරීමේ වරදක් නැති බව කාර්යාලයේ සමහර මිතුරියන් පවසන්නට විය.

“මේ ටොපික් එක කතා කරන්න මට තරම් වෙන කාටවත් බැරි නිසා මම මෙහෙම කියන්නම්. ආදරේ කරන කාලෙකට ජීවත් වෙන කාලේ තමන්ගේ පාට්නර් තරම් හොඳ මනුස්සයෙක් නෑ කියලා ඔප්පු කරන්න අපි සෑහෙන්න වද වෙනවා.දාලා ගිය දවසට එක අනිත් පැත්ත. ජීවිතේ ටික කාලයක් හරි බෙදාගත මනුස්සයෙක් ගැන රටට ලෝකෙට ඇහෙන්න කෑගහලා වැරදි කියන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ”

රුවිනි එසේ කියද්දී ලක්මිණිට තිබුණේ වෙනත් අදහසකි.

වැරදිකරුවන් නිදොස් කළ යුතු නොවේ. අනික් අතට කාන්තාවන් තමන්ගේ වේදනා හදවතේ සිරකර තබා ගත යුතු වන්නේ ද නැත.

“ඔව් අපි හැම වේදනාවක්ම හිතේ හිරකරගෙන ඉන්න ඕනි නෑ. ඒත් ඒ හැම දෙයක්ම වත්තවටේ කිය කිය යන්න ඕනෙත් නෑ. විශ්වාසවන්ත යාළුවෙක් නැත්තං දෙන්නෙක් ඉන්නවනේ අපිට.ඒවා එයාලත් එක්ක බෙදා ගත්තාම ඇති. ඒ නැතුව තමන් ආදරය කරපු මනුස්සය ගැන දන්නා අයයි නොදන්නා අයයි ගැන වැරදි කිය කිය යන එක මොන තරම් ජරා වැඩක්ද?”

රුවිනි එසේ කියද්දී මලිතිට ඇය සමග කියන්නට කතාවක් තිබිණි. සමාජජාලාවල උතුරා යන තරම් මිතුරියන් සිටියාට උත්පලාට සැබෑ ජීවිතයේ යහළුවන් නැත. මේ මවා පෙන්වන ලෝකයට  ආශාවෙන් ඇය සමග මිත්‍රත්වයන් පවත්වා ගන්නා අය බොහෝය. නමුත් ඒ කිසිවෙකුත් සමග උත්පලාට තමන්ගේ සැබෑ වේදනා හෝ සතුටක් බෙදා ගන්නට නොහැකි බව මලිතිට වැටහේ.

“ඒවයින් කමක් නෑ. දැන් උඹ තුහිනගෙ දුක ඇහිල්ල නවත්තන්න ඕනේ. ඒක ඇති. පොඩි කාලේ වෙච්ච වැරැද්දට හරි ඇත්තටම තිබ්බ යාළුකමට හරි ඒ මනුස්සයට උදව්වක් කරන්න හිතුව තමයි. දැන් හරි. ඒ හොඳටම ඇති.”

මලිති එය අසා කපටි සිනාවක් නැගුවා ය. මිතුරිය ඕනෑවටත් වඩා තේරුම් ගන්න රුවිනි කළේ තමන්ගේ ක්‍රමයට ඇයට තර්ජනය කිරීම ය.

“අඬාගෙනනම් එන්න එපා. උඹව ෆෑන් එකේ ගැට ගහලා කරකෝනව දැනගනිං.”

ඒ විකාරමය තර්ජන මලිති විඳින්නේ සිනාවකිනි. දවසේ කටයුතු කිරීම වෙනුවට ඇය තුහිනගෙන් පණිවිඩයක් එනතුරු බලා සිටියා ය. ඇතැම්විට අද සිදුවීම ගැන කියන්නට ඔහුට බොහෝ දේ තිබෙන්නට පුළුවන.

මග බැලීම අවසන් විය. ඔහුගේ කෙටි පණිවිඩයක් පැමිණ තිබිණ.

“මලී, මට උදවුවක් කරන්න පුලුවන්ද?”    

ඔහු ඉල්ලා සිටින්නේ හොඳ මනෝ වෛද්‍යවරයෙකු සොයා දෙන ලෙස ය. ජීවිතේ ඕනෑවටත් වඩා කඩා වැටී ඇත.ඉන් එතන වන්නට සිටින්නේ ශේන්‍යා හන්දාද වෙනත් හේතුවක් හන්දා දැයි ඔහුට පැහැදිලි නැත. නමුත් මෙසේ හිඳින්නට දැන් ඔහු අකමැති ය.

“මගේ ඩොක්ටර් හරිම හොඳ කෙනෙක්. මං එයාව ඉහළින්ම රෙකමන්ඩ් කරනව.”

තුහින ඒ අසා පුදුමයට පත් වූවේ ය. මලිති මනෝ ප්‍රතිකාර ගන්නා බවක් ඇසීම පවා පුදුම සහගතය. නමුත් ජීවිතය කියන්නේ පුදුම සහගත දේවල් බව ඔහු මෙහි ස්වල්ප කාලය තුළ වටහාගෙන සිටියි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles