පතොක් මලක ප්‍රේමය -29

ආදරය හිටිහැටියේ ම අවසන් විය යුතු සිතුවිල්ලක් නොවේ.එය සදාකල් හදවත මිහිරකින් පුරවාලන සොඳුරුතම හැඟීමක් විය යුතු දෙයකි.නික්මෙන්නේ ඇයිදැයි නොකියාම නික්ම ගිය පසන් දුරකථනය එහා ඉම විණි.ඔහු එදා මට ඇමතුවේ බැන වදින්නට ය.අද ඇමතුම බැනුමක් වෙනුවෙන් නොවිණ.

“සාරා..මං හරි අවුලකින් ඉන්නෙ.මට හිතෙන්නෙ මේ සරනි හින්දා මං මෝඩම තීරණයක් ගත්තේ. “

සරනි කටු අත්තක් බවක් පැටලෙන්නට ඉතා සුළු හේතු ප්‍රමාණවත් බවත් මට තිස්සේම කියන්නේ පසන්ගේ සරසවියේ උගන්නා මගේ මිතුරියන් ය.නමුත් ඔහු එවැන්නක් මට පවසාවියැයි මම සිහිනෙකින්වත් නොසිතීමි.

වැස්ස ඉතා තදින් ඇද හැලෙමින් තිබිණ.මම පසන්ගේ වේදනාව අසමින් බොහෝ වෙලාවක් ගෙවා දැමීමි. ඔහු මට පවසන්නට උත්සාහ කරන්නේ කුමක්දැයි දැන ගන්නට මට ඕනෑ විය. ඔහු මේ සියල්ල පවසන්නේ මා නැවත ඔහු සමඟ ජීවිතය බෙදා ගත යුතු බව කියන්නට දැයි දැන ගන්නට මට සැබෑ උවමනාවක් හට ගත්තේ ය.

“මගෙ ඔලුව විකාර වෙලා තියෙන්නෙ. කවුරුත්ම මේවා අහන්න ලෑස්තිත් නෑනෙ.මං ඔයාට කරපු දේට රිටන් එක කියල හැමෝම කියනකොට මං මේවා කාට කියන්නද සාරා…”

සොබාදහමේ නීතිය ගැන ඉතා දිගු කතාවක් පැවසිය යුතුව තිබුණ ද මම පසන්ව අසා හිඳින්නට තීරණය කළෙමි.මට ඔහුට හිනැහෙන්නට හෝ සමච්චල් කරන්නට නිකමටවත් සිතුණේ නැත.ඒ වෙනුවට මම ඔහුව අසා හුන්නෙමි. ඕනෑනම් ආපසු හැරී එන්නට ඔහුට ඉඩ තිබේ. මා තවමත් නතර වූ තැන බවත් බොහෝ දුර ගොස් ඇත්තේ ඔහු බවත් ඔහු දන්නා බැවින් හැරී එන්නට හේතු සහ මාවත සොයා ගත යුත්තේ ඔහු ය.

“සාරා..මං ධීරට කතා කරා..ඒ මනුස්සයා ඔයා එක්ක තරහක් නෑ..”

චමත්කා මවෙත පැමිණියේ මා පසන්ගේ ඇමතුම නිමා කර දමා ළතැවිල්ලෙන් හිඳිද්දී ය.ඇයට මා විස්සෝපයෙන් හිඳීමට කාරණා දැන ගත යුතු විය.මා ඒවා පැවසුවේ ද ඇය රතිඤ්ඤා කරලක් මෙන් පුපුරන බව දැනගෙන ය.නමුත් ඇය එසේ වූයේ නැත.බෝම්බයකට සරි විණි.

“ඇයි ඔයා අම්බලමක් ද..ඌට යන්නයි එන්නයි..අනේ හොඳ දෙකක් කියන්න එපැයි..”

ඇය පුපුරා හැලෙන්නට ගත්තා ය.මම ඇයව නවතන්නට උත්සාහ ගතිමි.නමුත් ඈ දිගින් දිගටම මට බැන වැදුණා ය.

“ඔයා හරකෙක් ද සාරා..ඇත්තටම පිස්සුද..ඌම කියනවනම් දුක කියන්න කෙනෙක් නැතුවට ඔයාට කතා කරේ කියලා..”

චමත්කා කෝපයෙන් මුසපත් ව ඇත.මා පසන් නිසා විඳි බොහෝ වේදනා දන්නා ඈ එසේ ගුගුරා හැලීම ද වැරැද්දක් නැත.

“ඒ උනාට චමා..පසන් කියන්නෙ මට ඇත්තටම හරියන කෙනා.අපේ අයිඩියාස්, කැමති අකමැති දේවල් හැම එකම පුදුම තරම් සමානයි.මට එයා තරම් කවුරුත්ම හරියන් නෑ චමා..කවුරුත්ම හරියන් නෑ..එයා ආයේ එනවනම් මට සරනි ගැන අමතක කරන්න පුලුවං..මං ධීර, නිර්වාන් කවුරු තෝරාගත්තත් මට එයාලා මට ඕන විදියට හදා ගන්න වෙනව.මට එයාලට ඕන විදියට හැදෙන්න වෙනවා.ඒක මහ වෙහෙසක් චමා..ඊට වඩා හොඳයි මැරෙන එක..”

චමත්කා නැගී සිට පසුම්බිය අතට ගත්තා ය.ඉන් අනතුරුව මුදල් නෝට්ටුවක් ගෙන මට දිගු කළා ය.

“ආ..මේකෙන් වහ කුප්පියක් අරගන්නව.බීලා මැරෙනව.යන්නයි එන්නයි තියා ගත්ත මිනිහෙකුට රැවටෙනවට වඩා ඒක හොඳයි..”

ඇය තවත් බොහෝ දෑ කියන්නට ගත්තා ය.මම කිසිත් නාසා ඇඳට පැන ගුලි ගැසුණෙමි.නිර්වාන් මා ඇමතුවේ එසේ ගුලි වී තනිව හඬමින් හිඳිද්දී ය.

“කේන්ති අරන් නටන්න බෑ හොඳේ..ඇත්ත කීවම ඇති..”

ඔහු අසන්නේ තදිනි.මම හ්ම් කියන්නටවත් නොවෙහෙසුණෙමි.මේ කේතකී ඔහු හා කළ සාකච්ඡාවේ අතුරුඵලයක් විය හැකි ය.

“ඔයාට පසන් කතා කළාද?”

චමත්කා මෙතරම් ඉක්මනින් කේලම හතර අත බෙදා හැරීම ගැන මට උපන්නේ කෝපයකි.නමුත් ඇය සමඟ රණ්ඩු අල්ලන්නට මේ ඇමතුමෙන් පසු හැකියාව ඇත.

“චමාද කීවෙ..නැත්නම් එයා කේතාට කියලද?

නිර්වාන් කිසිත් නොපවසා තවත් මොහොතක් ගෙවා දැමී ය.අනතුරුව වඩා කාරුණික හඬක් මවා ගත්තේ ය.

“සාරා..ඒ දෙන්නගෙන් එකෙක් මට කතා කරානං මං ඔයාට හෙට දිහාට හෙමිහිටනෙ කතා කරන්නෙ..මේ හදිසියේ කතා කරේ ඒක නෙවෙයි…”

මට ඇති වූයේ කුහුලකි.ඔහුට එවගක් පවසන්නේ කවුරුන් ද?

“මට පසන්ම කතා කරා..මෑන් කියනව ඔයා ආපහු එයා ගාවට එන්න ලෑස්ති කියල මට පැත්තකට වෙන්න කියල..”

එසේනම් පසන් සැබෑවටම මා නැවත ඔහු වෙතට ගන්නට තැත් දරන බව මට වැටහිණ.නිර්වාන්ට අමතන්නට ඇත්තේ එනිසා ය.

“එච්චරක් විතරක් නෙවේ, එයාටම ෂුවර් නෑ ඔයා මගෙද ධීරගෙද කියල.මිනිහා ධීරටත් කතා කරල.මේවා විහිලුනෙ සාරා..ධීරත් අවුලක් නැති හොඳ කොල්ලෙක් නිසා හොඳයි.නැත්තං ඔයාට මාරම කරදරයක් ලැජ්ජාවක් වෙන්නේ..ෆේස්බුක් මැසේජ් එකක් එවලා ඊටපස්සෙ කතා කරා..ධීරත් මේක හැන්ඩ්ල් කරගන්න ඇති.ඒත් මටනම් හොම්බ තලන මට්ටමේ තරහක් තියෙන්නෙ..”

නිර්වාන් කියවාගෙන යන්නේ පැහැදිලි කෝපයකින් යැයි මට සිතිණ.එහි වරදක් ද නැත.

“පසන්ට ආයෙ ඔයා ඕන නැතුව ඇති සාරා..පහුගිය දවස් දෙකක මායි ධීරයි එක්ක ඔයා දැකපු තරහ වෙන්න ඇති ඔය පිරිමහන්නේ..”

නිර්වාන් දුරකථනය විසන්ධි කරන්නට පෙර එසේ පැවසී ය.පසන් මෙවැනි උමතු හැසිරීමක හිඳින්නේ මොන හේතුවකටදැයි සිතමින් මම ඔහේ කල්පනාවට වැටුණෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles