තාදී – 23

0
2958

වසන්ත ගජනායක සහ කොස්තා පොලිස් අත්අඩංගුවට පත් වී තිබුණේ දහවල් කාලයේය. හෝටලයට අදාල මල් සැරසිලි කිහිපයක් සමග කල් ඉකුත් වූ බෙහෙත් තොගයක් ප්‍රවාහනය කිරීම නිසා කොස්තා අත්අඩංගුවට පත්වී තිබූ අතර එම ව්‍යාපාරය පවත්වාගෙන යාමේ වරදට වසන්ත ගජනායකව අත්අඩංගුවට පත්වී තිබුණි.

ධීර ට මේ ආරංචිය ලැබුණේ මිෂෙල්ව මඟ හැර තාදී ව මුණගැසීමට යාමට සූදානම් වෙමින් සිටියදී ය. අදාල දුරකථන ඇමතුම නිවසේ දුරකථනයට පැමිණි අතර දුරකථනයට පිළිතුරු දෙන ලද්දේ ජයමිණි විසිනි.

” පුතා ” 

ජයමිණි විලාප දීගෙන සිහිසුන් වූ අතර පුෂ්පා සහ මිෂෙල් එක්ව ඇයව සෝෆාවේ හාන්සි කර තිබුණේ ධීර තරප්පු පේළිය බැස එන අතරතුරදී ය.

” අන්කල්වයි තව මනුස්සයෙක්වයි ඇරෙස්ට් කරලා ” 

මිෂෙල් කීවේ ධීර අතින් අල්ලා ගනිමිනි. ධීර උන්නේ පුදුමයෙනි. සිදු වූයේ කුමක්දැයි සිතාගත නොහැකිය.තාත්තා ඉක්මන් කේන්ති කාරයෙකු නිසා කුමක් හෝ ගැටලුවකට මැදි වී ඇතැයි ධීර මුලදී සිතුවේය. නමුත් වසන්ත ගේ නීතිඥයා ධීර ට දුරකථන ඇමතුමක් දුන් පසුව සිදුවී ඇති දේ මුල සිට අගට දැන ගන්නට ධීර ට හැකි විය.

” මං එක දවසකුත් අම්මගෙන් ඇහුවා ඔය කොස්තා කියන මිනිහ ගැන. ඔය මිනිහා හැසිරෙන විදිහෙන්ම මට මුල ඉඳලම සැක හිතුණා. මිනිහගේ වැඩ මට ඇල්ලුවෙම නැහැ.මිනිහයි තාත්තයි අතන මෙතන කුටු කුටු ගාන කොටම මං දැනගත්ත මොකක් හරි තියෙනවා කියලා ” 

ධීර සිටියේ කෝපයෙනි. කෙසේ හෝ මුලදී මෙය දැනගත්තා නම් වළක්වන්නට තිබුණා යැයි ඔහු පසුතැවුණේය. ජයමිණි සිටියේ අධික ලෙස කම්පනයට පත්වී ය. වසන්තගෙන් කිසි දිනක මෙවැන්නක් බලාපොරොත්තු වී තිබුණේම නැත. මෙතෙක් කල් සිතා සිටියේ ඔහු ඉතා ගුණගරුක ව්‍යාපාරිකයකු යැයි කියාය. නමුත් ඔහු නීති විරෝධී ව්‍යාපාරයක් ද පවත්වා ගෙන ගියා යැයි සිතා ගන්නට නොහැකිව ජයමිණි  හඬමින් උන්නා ය.

” හොඳ වෙලාවට ඔයා අද හොටෙල් එකට ගියේ නැත්තේ පුතා. දෙයියනේ ගියා නං එහෙම ඔයාවත් පොලිසියෙන් අල්ලනවා ” 

ජයමිණි නැවත නැවත හැඬුවාය.

” දැන් ඉතින් අඬල වැඩක් නෑනෙ අම්මා. තේනුවර අංකල් කිව්වා තාත්තව එළියට ගන්න කොහොම හරි බලනවා කියලා. හැබැයි ඉතින් ලේසි වෙන එකක් නැහැ ” 

” තාත්තා දන්නා කියන මිනිස්සුන්ට කතා කරලා බලන්න බැරිද පුතා ? ” 

ජයමිණි ඇසුවේ අසරණකමිණි. මොන දේ සිදු වූවත් මේ තමාගේ ස්වාමිපුරුෂයා ය. තම එකම පුත්‍රයා ගේ පියාය. 

” මං අපේ තාත්තට කතා කරලා බලන්නද ධීර ? ” 

මිෂෙල් ඇසුවේ ධීර ගේ අතේ එල්ලෙමිනී. ධීර කිසිවක් කීවේ නැත. මිෂෙල් දුරකථනය රැගෙන මිදුලට බැස්සේ රූපසිංහ ගේ අංකය අමතන අතරේ ය.

” තාත්තා පොලිසියට යන්නම් කිව්වා ” 

මිෂෙල් නැවත ගේ ඇතුළට ආවේ විනාඩි කිහිපයකට පසුව ය.

” මමත් පොලිසියට යනවා ” 

ධීර වාහනයේ යතුර අතට ගත්තේ ජයමිණි ගෙ හිස අත ගාමිනි. ජයමිණි ලඟ වාඩිවී සිටි මිෂෙල් එසැණින් නැගිට්ටාය.

” යමු ධීර .මාත් එන්නම් ” 

” එපා. ඔයා පුළුවන් නම් අම්මත් එක්ක ඉන්න. මං යන්නම් ” 

මිෂෙල් හට පිළිතුරක් දීමට වත් ඉඩ නොතබා ධීර පිට වූයෙ ය.ඔහුට අවැසි වූයේ මේ මොහොතේ තාදී ළඟ සිටීමට ය. එහෙයින් ධීර උවමනාවෙන්ම මිෂෙල් ව මග ඇර ආවේය.

වාහනය පාරට ගත් ධීර පාර අයිනේ වාහනය නවතා දුරකථනය අතට ගෙන තාදීගේ අංකය ඇමතුවේය. තප්පර කිහිපයක් ඇතුළත තාදී දුරකථන ඇමතුමට සම්බන්ධ වූවා ය.

” තාදී ” 

” ධීර. මං ඔයා කෝල් කරනකන් හිටියේ. මිෂෙල් ඉන්නවා කියලා මැසේජ් එකක් දාපු නිසා මං කෝල් කරේ නැත්තේ ” 

තාදී කීවේ අහිංසක ලෙසය. ධීර ට උහුලන්නට නොහැක්කේ ඒ අසීමිත ආදරයය.

” අපේ තාත්තාව පොලිසියෙන් ඇරෙස්ට් කරලා තාදී ” 

” මොකක් ? ඒ මොකටද ? ” 

” එක්ස්පයර් වෙච්ච බෙහෙත් බිස්නස් එකක් කරලා ” 

” දෙයියනේ.. එතකොට ? ” 

” හොටෙල් එකට බඩු ගේන ලොරියක් මගදි පොලිසියෙන් චෙක් කරලා. තාත්තා ගාව වැඩ කරපු මනුස්සයෙක්ව ඇරෙස්ට් කරලා. ඌ සේරම කිව්වට පස්සේ පොලිසියෙන් හොටෙල් එකට ඇවිල්ලා තාත්තා වත් ඇරෙස්ට් කරලා “

” දැන් අපි මොකද කරන්නේ ධීර ? ” 

ධීර මොහොතක් නිහඬව උන්නේ ය. එකවරම විශාල බරක් හිස මතට කඩා වැටුණා සේ ධීර ට දැනෙන්නට විය. 

” ඔයා මාත් එක පොලිසියට යන්න ලෑස්ති වෙන්න ” 

ධීර අවසන කීවේ ය. මේ මොහොතෙහි තමා අසල තමාගේ හයියට සිටිය යුත්තේ තාදී මිස වෙන කිසිවෙකු නොවේ. 

” මං ? ” 

” ඔව්. මට මේ වෙලාවේ ළඟ ඉන්න ඕනේ ඔයා. නැත්නම් මට කිසි දෙයක් කර ගන්න බැරි වෙයි තාදී ”  

” මං එන්නම් “

සෙනසුරාදා දිනයක් බැවින් Clothez වසා තිබූ නිසා නිවසේ සිටි තාදී සූදානම් වූයේ විනාඩි කිහිපයක් ඇතුළතය.ධීර නාරාහෙන්පිට පිහිටි තාදී ගේ නිවස දක්වා වාහනය ධාවනය කළේ සිතිවිල්ලේ ය. 

තාදී නිවසේ දොර වසා තරප්පුව බැස විත් පාර අසලට ආවේ නිවස පිහිටි ගොඩනැගිල්ලට මදක් නුදුරින් නවතා තිබූ ධීර ගේ වාහනය දෙස බලමිනි. තාදී වාහනයට ගොඩ වූ සැණින් ධීර ඇගේ අතකින් අල්ලා ගත්තේ ය. ඔහුගේ දෑස් වල වූයේ මින් පෙර කිසිම දිනයක නොදුටු අසරණකමකි.

” බය වෙන්න එපා ධීර. හැමදේම හොඳින් වෙයි ” 

තාදී කීවේ බලාපොරොත්තු සහගතවය. එහෙත් වසන්ත ගජනායක විසින් සිදුකර ඇත්තේ සුළුපටු වරදක් නොවන බව තාදී දනී. නමුත් කිසිදු වරදක් සිදු නොකළ ධීර ට සහ ජයමිණි ගජනායක ට මෙයින් බොහෝ වේදනා විඳින්නට සිදුවනු ඇති බව තාදී නිහඬවම සිතුවාය.

ධීර තාදී සමගින් පොලිසියට පැමිණියේ දහවල් දෙක පමණ වන විට ය. ගජනායක ගේ නීතිඥයා වන තේනුවර ඒ වනවිට පැමිණ සිටි අතර ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ඔහු සූදානම් කරමින් උන්නේ ය.

” මං ඇප ගන්න ට්‍රයි කරනවා.හැබැයි ලේසි වෙන්නෙ නෑ පුතා. තාත්තාට තියෙන කන්ටැක්ට්ස් එක්ක සල්ලි කීයක් හරි විසි කරාම මේ වැඩේ කර ගන්න පුළුවන් කියලා මම හිතනවා. මං දැනටමත් කීප දෙනෙකුට කතා කළා. තාත්තා එළියට ගන්න පුළුවන් උනත් අනිත් මනුස්සයව නම් ෂුවර් නැහැ ” 

නීතිඥයා කටයුතු සිදුවන ආකාරය විස්තර කළේය. තාදී පසෙකට වී බලා සිටියේ කුමක් කරන්නට දැයි සිතා ගත නොහැකිවය. ධීර වෙතින් ඔහුගේ සිනහව පලා ගොස් තිබූ අතර එහි වූයේ අසරණකමක් පමණි.

” මට රූපසිංහ කියලා කෙනෙක් කෝල් කරා. එයා දැන් එනවා කියලා කිව්වා ” 

තේනුවර කී අතර ධීර තාදී ගේ මුහුණ දෙස බැලුවේය.තාදී ගේ මුහුණේ වූයේ ද ප්‍රශ්නාර්ථයකි.

” මං යන්නද ධීර ? ” 

තාදී හෙමින් සීරුවේ ඇසුවේ ධීර ගේ කනට කරය.

” එපා. ඔයා ඉන්න. කවුරු ආවත් මට වැඩක් නෑ මෙතන ඔයා මාත් එක්ක නැතුව ” 

ධීර ස්ථීර ලෙස කීවේය. ඔහු කියන දේකට ඇහුම්කන් දෙනවා මිසක කරන්නට වෙන කිසිවක් තාදී හට නොවී ය.

ධීර සිර මැදිරිය වෙත ආවේ තාදී ද සමඟය. වසන්ත ගජනායක එහි කොනක වාඩිවී උන්නේ පරාජිත හැඟීමකිනි. ඔහු අසල කොස්තාද බිම වාඩිවී උන්නේ ය

” පුතා ” 

ධීර දුටු සැණින් ලැජ්ජාවක් දැනුනද වසන්තට දැනුනේ මද සැනසීමකි.

” මොනාද තාත්තා ඔයා මේ කරන වැඩ ” 

” තේනුවර එක්ක කතා කරලා ඇප ගන්න බලන්න. එයා මං හිතන්නේ තව දන්න කියන කීප දෙනෙක්ටම කතා කළා ” 

වසන්ත කීවේ ඉවත බලාගෙනය. රූපසිංහ පැමිණියේද ඒ මොහොතේමය. 

” බයවෙන්න එපා වසන්ත. මං අනිවාර්යෙන්ම ඔයාව එලියට ගන්නවා. අද දවස ඇතුළත ඒක කරන්න පුළුවන් ” 

රූපසිංහ පොරොන්දු දුන් අතර ඔහුගේ ඊළඟ අවධානය යොමු වූයේ ධීර අසල හුන් තාදී වෙතය 

” මේ කවුද ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here