ධීර වෙනදාටත් වඩා උදෑසන සූදානම් වී Clothez වෙත ආවේ පෙර දින සිදුවූ සිදුවීම් නිසා බර වූ සිතිණි. තාදීව දුටු විට සියලු දුක් දෝමනස්සයන් පලා යන බව අත්දැකීමෙන්ම දන්නා නිසා වසන්ත අවදි වීමටත් පෙර ධීර නිවසින් පිට වූයේ ය. දුරකථනය ක්‍රියා විරහිත කර තිබූ කාලයේ මිෂෙල් ගෙන් මගහැරුණු දුරකථන ඇමතුම් ඇති බවට කෙටි පණිවිඩ ලැබී තිබුණත් ධීර ඇයව අමතන්නට ගියේ නැත. මීළඟට කළ යුත්තේ කුමක් දැයි සිතන්නට වත් ධීර ගේ හිත එකලාසයක් වී තිබුණේ නැත.
පෙර දිනයේදී සිදුවී ඇති දේවල් පිළිබඳව තාදී උන්නේද දෙගිඩියාවෙනි. තමා නිසා ධීර ගේ පවුල තුළ ගැටුම් ඇති වීමක් සිදුවේ යැයි බලාපොරොත්තු වුවද එය මෙතරම් ඉක්මනින් බරපතල ලෙස සිදුවේ යැයි තාදී සිතා තිබුණේ නැත.
” ඔයා මං ගැන කියන්න ඉක්මන් උනා වැඩි නැද්ද ධීර ? ”
තාදී ඇසුවේ කල්පනාකාරීවය. මුලින්ම තිබුණේ මිෂෙල් ගේ ප්රශ්නය විසඳා ගන්නටය. අනතුරුව ඕනෑ එකක් වන්නට හැර වසන්ත සමග කතා කරන්නට තිබුණු බව තාදීට ඒ මොහොතේ සිතුණත් ධීර උන්නේ බොහෝ සේ පීඩනයට පත්වී ය.
” මං වෙන මොනවද තාදී කරන්නේ ? මිෂෙල් එහෙම කතාවක් අපේ තාත්තා එක්ක කියලා තිබුණ නිසා මාත් ඉතිං ඔව් කියලා කිව්වා. මේක කවද උනත් එයාට කියන්න වෙනවනේ . මං දන්නෙ නෑ තාත්තා ඉස්සරහට මොනවා කරයිද කියලා. මං දන්නෙ එයාට කොහොමහරි මේ වෙඩින් එක ගන්න ඕනේ කියලා විතරයි ”
ධීර උන්නේ පියා ගැන උපන් අප්‍රමාණ වූ කලකිරීමකිනි. ඔහු ගේ සිතැඟි ඉටු කර ගන්නට ඔහු තමාව භාවිතා කරන්නට සූදානම් වීම පිළිබඳව ධීර ට මුල සිටම තිබුණේ නොපහන් හැඟීමකි. දැන් එය දෙගුණ තෙගුණ වී තිබෙන්නේ මිෂෙල් ගේ සැබෑ ස්වරූපය දැන දැනත් ඔහු මේ විවාහයට සූදානම් වන නිසාය.
” මිෂෙල් එයාගේ පවුලේ අයත් එක්ක අපිට හංගපුවා ගැන ඇත්ත දැන දැනත් තාත්තා මේකට හිත හදාගන්නෙ කොහොමද කියලා මට හිතා ගන්න බෑ තාදී. එයා හිතාගෙන ඉන්නේ එයා කරන දේ විතරක් හරි කියලා.අපි කියන දේ අහන්න එයා ටිකක් වත් ලෑස්ති නෑ ”
තාදී නිහඬව කල්පනා කළාය. මේ මොහොතේ යමක් කළ යුතුව ඇතත් එය කළ යුත්තේ හොඳින් සිතා බලාය. පෙනී යන ආකාරයට මේ විවාහය වෙනුවෙන් වසන්ත , රූපසිංහ සහ මිෂෙල් විසින් ඕනෑම දෙයක් කිරීමට සූදානම්ව සිටි. එවැනි තත්ත්වයක් යටතේ ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇත.
” මට හිතෙන්නේ ඔයා ආපහු මිෂෙල් එක්ක කතා කළොත් හොඳයි. එයාගේ හිත රිදෙන්නැති වෙන්න ඇත්ත තත්වෙ එයාට කියලා දෙන්න ධීර “
” මිෂෙල් කියන්නේ එහෙම ලේසියෙන් පරාද වෙන කෙල්ලෙක් නෙමෙයි තාදී. එයත් බලාගෙන ඉන්නේ කොහොමහරි මගේ ඇඟේ එල්ලෙන්න. එහෙම නැත්තං මම ගෙදර නැති වෙලාවම බලලා එයා අපේ ගෙදර ගිහින් තාත්තට අර වගේ කතා කියයිද ? ”
තාදී ශෝකයෙන් බලා උන්නේ වෙනදා මෙන් ආලෝකයක් නැති ධීර ගේ මුහුණ දෙසය.
” අම්මා මොකද කියන්නේ? ”
” අම්මා ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතුව තාදී . මං දන්නවා මේ වෙලාවෙ එයා අසරණයි කියලා. හැබැයි වෙලාවක් ලැබුන ගමන් එයා අපි දෙන්නම වෙනුවෙන් කතා කරයි ”
ඇත්තටම ජයමිණි උන්නේ එවැනි මොහොතක් උදා වනතුරුය. වසන්ත යනු තමා ගත් තීරණයක් පහසුවෙන් වෙනස් නොකරන අයෙකු වුවත් කෙසේ හෝ තමාට හැකි අයුරින් තම පුතු වෙනුවෙන් පෙනී සිටීමට ජයමිණි පෙර දින රාත්‍රියේ සිටම සිතා ගෙන උන්නාය.
වසන්ත ගජනායක උදෑසන ආහාරය සඳහා කෑම මේසයට වාඩි වූයේ වෙනදාට වඩා ප්‍රමාද වීය.ජයමිණි ඔහුට ඉඳිආප්ප කිහිපයක් සමග ව්‍යාංජන ද බෙදා අනතුරුව කෑම මේසයට වාඩි වූවා ය.
” කෝ ? ධීර ගියාද ? ”
වසන්ත කතාව පටන් ගත්තේම කෝපයෙනි.එහෙත් ජයමිණි පසුබසින්නට සූදානම් වූයේ නැත.
” ඔව් වසන්ත. ගියා ”
” මිනිහා ඔය පැටලිලා ඉන්නේ කා එක්කද කියලා ඔයා දන්නවද ? ”
ජයමිණි බලාපොරොත්තු නොවූ පරිදි වසන්තම කතාවට අවතීර්ණ වූයේය.
” හ්ම්ම් ”
ජයමිණි උත්තර දුන්නේ හිස ඔසවන්නේ නැතිවමය. වසන්ත කෑම ගැනීම නවතා ඇය දෙස බැලුවේ කෝපය පරදා නැගුණු පුදුමයෙනි.
” ඒ කියන්නේ තමුසේ හැමදේම දන්නවා ? ”
ජයමිණි හිස එසුවේ එවරය.
” මම දන්නෙ නෑ. ඒත් ඊයේ ඔයා ගියාට පස්සේ මම පුතා ගෙන් අහගත්තා ”
” මොනාද ? ”
” එයා යාළු වෙලා ඉන්නවා කියපු ළමයා ගැන ”
වසන්ත එක එල්ලේම ජයමිණි දෙස බලා සිටියත් ජයමිණි කෑම ගැනීම නතර කළේ නැත. ඕනෑම ගැටලුවකදී ඇය මේ ආකාරයෙන් සංසුන් ලෙස හැසිරෙන්නේ කෙසේදැයි වසන්ත ඒ මොහොතේදීත් සිතුවේය. ධීර ට පවා පිහිටා ඇත්තේ ඔය ගතිගුණය. ඒ කෙසේ වුවත් මේ නිවසේ ගෘහ මූලිකයා තමාය. සිදුවිය යුත්තේ තමාට අවැසි දේය.
” ඒ කෙල්ල කොහෙද ? ”
” නාරහෙන්පිට පැත්තේ ”
” මොනා කරනන කෙනෙක්ද ? ”
” ඒ ළමයට ඔය නුගේගොඩ පැත්තේ shop එකක් තියෙනවා ”
” shop එකක් ? ”
” ඔව්. මං ඒකෙන් සාරි ජැකට්ස් කරගෙන තියෙනවා ”
ජයමිණි කියා දැම්මා ය. තාදී පිළිබඳව දන්නා විස්තර සියල්ල කියා ධීර ගේ මව වශයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට ජයමිණි පොටක් පාදා ගනිමින් උන්නාය.
” ආ.. ඒ කියන්නේ මේ අම්මයි පුතයි එකතු වෙලා කරපු දෙයක්ද මේක ? ”
වසන්ත අසල තිබූ වතුර භාජනයට අත දමා අත සෝදා ගත්තේ ය. ඔහු සිටින්නේ කෝපය පුපුරා යන සීමාවක බව ජයමිණි ඒ හැසිරීමෙන් අවබෝධ කර ගත්තාය.
” පුතා ඔය විස්තර කියද්දි තමයි මං දන්නෙ මං එතනට ගිහින් තියෙනවා කියලා. ඒ ළමයාගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ.හරි අහිංසක, උත්සාහයෙන් දියුණු වෙච්ච ළමයෙක් ”
ජයමිණි කීවේ තාදී පිළිබඳව හදවතින්ම උපන් සෙනෙහසිනි. මිෂෙල් ගේ ගතිගුණ වලට සම කරන්නට හෝ බැරි තාදී වැන්නියක් වෙනුවෙන් පෙනී සිටීමම මහත් වූ දෙයකැයි ජයමිණි සිතුවාය.
” අම්මයි තාත්තයි දෙන්නම නෑ කිව්වේ ? ”
” ඒ ළමයා පොඩි කාලෙ ඉඳලා හැදිලා තියෙන්නේ අනාත නිවාසෙක ”
තාදී පිළිබඳව කියා දැමිය යුතුම සත්‍යය ජයමිණි කියා දැම්මා ය. වසන්තට ගැටලුවක් වනවා නම් වන්නේ මෙය ය.තාදී පවා පසු බැසීමට හේතු වූ කරුණ මෙයය. එය කාටත් කලින් වසන්ත ඉදිරියේ දිග හැරීම ගැන ජයමිණි ගේ සිත තුළ කුඩා වූ හෝ පසුතැවීමක් වූයේ නැත.
” හහ්. හරී ශෝක්.. එතකොට මේ අපේ එකා හොයා ගෙන තියෙන්නේ ආතක් පාතක් නැති කෙල්ලෙක්වද ? ”
” එහෙම කියන්න එපා වසන්ත. ඒ ළමයා හොඳ හැදිච්ච ළමයෙක්.මං කතාබහ කරලා තියෙන නිසා කියන්නේ. අම්ම තාත්තා නැති වුනාට එයා හොඳට ඉගෙන ගෙන හොඳට හම්බ කරන ළමයෙක්. පුදුම උත්සාහවන්තයි. ධීර උනත් එයාට කැමති වෙන්න ඇත්තේ ඒ ගතිගුණ වලට ”
” ජයමිණි මේ. අනාථ නිවාසෙක හැදිච්ච කෙල්ලෙක්ව මගේ ලේලි කරගෙන මේ පවුලට ලැජ්ජ කරන්න මට පිස්සු කියලා හිතුවද ? අච්චර හොඳ සල්ලි තියෙන පවුලකින් කසාදයක් කරලා දෙන්න හදද්දි මූ මොකක්ද මේ කරන්න හදන්නේ? ”
වසන්ත කෝපයෙන් දත්මිටි කද්දී ජයමිණි අත සෝදා ගත්තාය. මෙතනින් එහා වසන්ත කුමක් කළත් කීවත් කම් නැත. දැන් තාදී පිළිබඳව සියලු සත්‍ය ඔහු දන්නේය. කරන්නට ඇත්තේ ඉදිරියට සිදුවෙන ඕනෑම දෙයකට මුහුණ දීමය. ජයමිණි අත පිසදා ගනිමින් බලා සිටියේ වසන්ත තවත් යමක් කියනා තුරුය. ඔහු මොහොතක් කල්පනා කර බිත්ති ඔරලෝසුව දෙස හැරී වෙලාව බැලුවේ ය.
” ඇඳුමක් දාගෙන ලෑස්ති වෙන්න ”
වසන්ත කෑම මේසයෙන් නැගිට්ටේ එසේ කියන අතරය.
” කොහෙ යන්නද වසන්ත ? ”
ReplyForwardAdd reaction |