ඔබ මානසික වශයෙන් වෙහෙසට පත් වී ඇති බව හැඟවෙන ලක්ෂණ සහ ඒවාට පිළියම් 

ඔබට ඔබේ එදිනෙදා ජීවිතයේ කටයුතුවල නියැලීම සඳහා අවශ්‍ය ශාරීරික ශක්තිය නොමැති වූ විට එය ඉතා පහසුවෙන් හඳුනා ගන්න ඔබට පුළුවන්. නමුත් ඔබේ මනස වෙහෙසකාරී බවට පත් වී තිබෙනවා නම් , ඔබේ මනසට විවේකයක් අවශ්‍ය නම් සහ ඔබේ මානසික පීඩාකාරී තත්ත්වය ඉහළ ගොස් තිබෙනවා නම් එය ශාරීරික රෝග ලක්ෂණ වලින් රෝගයක් හඳුනා ගන්නවා තරම් පහසුවෙන් හඳුනා ගන්නට හැකියාවක් නැහැ. ඔබ මානසික වශයෙන් වෙහෙසට පත් වී සිටිනවා යැයි හඳුනා ගන්නේ කොහොමද ? එවැනි තත්ත්වයක් ඔබට තිබෙනවා නම් ඒවාට පිළියම් මොනවද ? ඒ ගැන අද කතා කරමු.

ඉවසීම නැතිවීම 

කලාතුරකින් ඔබ තුළ ඉවසීම නැතිවීම සාමාන්‍ය මානුෂීය ගුණාංගයක්.නමුත් ඔබ තුළ මෙය නිතර නිතර ඇති වෙනවා නම් , ඔබ සමග ගැවසෙන අයව ,ඔබේ පවුලේ අයව සහ රැකියා ස්ථානයේදී ඔබව මුණගැසෙන අය කෙරෙහි ඔබට නුරුස්සනා ස්වභාවයක් දැනෙනවා නම් , ඔවුන් ඔබට පවසන සෑම දෙයක් කෙරෙහිම ඔබ කෝපයට පත්වෙනවා නම්, ඔවුන්ට බැණ වැදීමට සිතනවා නම් එය ඔබේ ඉවසීම නැතිවී ඇති බවට හැඟවෙන ලක්ෂණයක්. එයින් පෙන්වා දෙන්නේ ඔබ මානසික වශයෙන් වෙහෙසට පත් වී ඇති බවයි.

නින්ද නොයාම

Woman struggles with a depression and anxiety

අධික ලෙස මානසික පීඩාවට පත්වී සිටින බව ඔබට පහසුවෙන්ම හඳුනාගන්නට හැකි ලක්‍ෂණයක් තමයි නින්ද නොයාම කියන්නේ. ඔබ රාත්‍රියේදී නිදා ගැනීමට දැඩි වෑයමක් ගන්නවා නම් , ඔබ නිදා ගැනීම සඳහා ඇඳට ගොස් නින්ද යාමට පැය ගණනාවක් ගත වනවා නම් එයින් අදහස් වන්නේ ඔබේ මනස වෙහෙසට පත් වී ඇති බවයි. මෙය ශාරීරිකව වෙහෙසට පත් වනවාට වඩා තරමක් සංකීර්ණ තත්ත්වයක්.

කෝපයට පත් වීම 

ඔබ මානසිකව වෙහෙසට පත් වී සිටිනවා නම් ඔබ තුළ ඇති ඉවසීම ඉතාම පහළ මට්ටමකට පත්වනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබ ඉක්මනින් කෝපයට පත් වීම සිදුවනවා. එදිනෙදා ජීවිතයේදී සිදුවන ඕනෑම කුඩා සංසිද්ධියක් කෙරෙහි ඔබ කෝපයට පත් වීම මෙහිදී සිදු විය හැකියි. විශේෂයෙන්ම රාත්‍රියේදී ඔබ සුව නින්දක් ලබා නොගැනීමත් මේ ආකාරයෙන් ඉතා ඉක්මනින් කෝපයට පත් වීමට හේතුවක් වන්නට පුළුවන්. 

කාංසාව සහ Panic attack වැනි තත්වයන් ඇති වීම

මෙය ඔබේ මානසික සෞඛ්‍ය කෙරෙහි ඔබ ඉතා ඉක්මනින් සහ දැඩි අවධානයක් යොමු කළ යුතු බවට හැඟවෙන අනතුරු ඇඟවීමේ ලක්ෂණයක්. ඔබට දැඩි තනිකමක් දැනෙනවා නම් , ඔබේ ජීවිතය පළක් නැති බව හැඟෙනවා නම් , ශාරීරිකව හුස්ම ගැනීමේ අපහසුතා සහ පපුවේ වේදනාවක් දැනෙනවා නම් එයින් කියැවෙන්නේ ඔබ ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙකු ගේ උපදෙස් ලබා ගත යුතු බව සහ ඉතා හොඳ විවේකයක් ලබා ගත යුතු බවයි.

අභිප්‍රේරණයකින් තොර වීම 

ඔබේ එදිනෙදා ජීවිතයේ කටයුතු කර ගැනීම සඳහා ඔබට වෙනදා තිබූ අභිප්‍රේරණය , උනන්දුව සහ කැපවීම නැති නම් , හෝ එය අඩු නම් එය ඔබ මානසික වශයෙන් වෙහෙසට පත් වී සිටින බව කියවෙන ලක්ෂණයක්. ඔබට ඔබේ ඉලක්ක පිළිබඳව ඇති ආසාව නැති වී තිබෙනවා නම් , ඔබේ එදිනෙදා කාර්යයන් වල නියැලීමට බැරිකමක් දැනෙනවා නම් මේ ඔබ මදක් නැවතී විවේක ගත යුතු කාලයයි.

හැඬීම

ඔබට කුඩා දේවල් වලටත් හැඬෙනවා නම් , වෙනදා ඔබ ශක්තිමත්ව මුහුණ දුන් දේවල් කෙරෙහි අධිකව සංවේදී වනවා නම් , දවස අවසානයේදී ඔබට තනිවී හඬන්නට සිතෙනවා නම් එයින් අදහස් වන්නේ ඔබ මානසික පීඩාවකට ලක්වී සිටින බවයි. 

මේ තත්ත්වයෙන් මිදෙන්නේ කොහොමද ? 

සම්පූර්ණ රාත්‍රියක් හොඳ නින්දක් ලබා ගන්න 

සෞඛ්‍ය සම්පන්න සහ ගුණාත්මක නින්දකට ඔබේ මනසට බොහෝ බලපෑම් ඇති කළ හැකි වනවා. සම්පූර්ණ රාත්‍රී නින්දකට ඔබගේ මොළය, බුද්ධිය , සහ හැඟීම් නැවත ආරෝපණය කළ හැකියි. දිනපතා නින්දට යන වේලාව සහ අවදිවන වේලාව පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතු අතර අවම වශයෙන් පැය හතක් හෝ අටක් හොඳ නින්දක් ලබා ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. මෙමගින් ඔබේ මනසට ඉතා හොඳ විවේකයක් ලැබෙනවා වගේම ඔබේ මනසේ ඇති පීඩාකාරී ගතිය කෙමෙන් පහව යනවා.

විවේක ගන්න 

ඔබේ මනසට වෙහෙසකාරී බවක් දැනීමට ප්‍රධානතම හේතුවක් තමයි නිසි විවේකයක් නොලැබීම. ඒකාකාරී ජීවන රටාවක් සහ අධික කාර්ය බහුලකම නිසා ශාරීරිකව මෙන්ම මානසිකව වෙහෙසට පත් වී සිටින ඔබ හොඳ විවේකයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු වන්නේ ඒ නිසයි. මේ විවේකය ඔබට සති අන්තයේදී හෝ වෙනත් නිවාඩු දිනයකදී විශේෂයෙන්ම ලබා ගත හැකියි. ඔබේ නිවාඩු දිනයකදී වෙනත් වැඩ වල නිරත වීමකින් තොරව ඔබේ මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකම්වල යෙදෙමින් හොඳ නින්දක් ලබා ගනිමින් හොඳ විවේකයක් ලබා ගන්න. 

වැඩ අතර විවේකය 

විවේක ලබා ගැනීමෙහි වැදගත්ම කොටසක් ලෙස වැඩ අතර විවේකය හඳුන්වන්නට පුළුවන්. ඔබ මොනතරම් කාර්ය බහුල කෙනෙක් වුවත් ඔබේ මනසට දරා ගත හැකි සීමාවක් තිබෙනවා. ඉන් එහා ඔබේ මනස වෙහෙසට පත් කිරීම මගින් ඔබ කායිකව සහ මානසිකව වෙහෙසට පත් වීම සිදුවනවා. ඒ නිසා ඔබ එදිනෙදා ඔබේ වැඩ කටයුතු වල නියැලෙන අතරතුරදී පවා ඉතා කෙටි විවේකයක් ,අවම වශයෙන් විනාඩි පහක් හෝ දහයක කාලයක්වත් විවේක ගත යුතුයි.

දින චර්යාවක් ගොඩනගා ගන්න 

හොඳ දින චර්යාවකට අනුගත වීම තුළිනුත් ඔබේ මානසික පීඩාකාරී තත්ත්වය බොහෝ දුරට සමනය කරගන්නට ඔබට හැකියාව ලැබෙනවා. දින චර්යාවක් ගොඩ නඟා ගැනීම තුළින් ඔබ ඔබේ දවස නිසි ආකාරයෙන් සැලසුම් කර ගන්නා අතර එමගින් ඔබට කටයුතු මඟහැරීම , අතපසුවීම සහ අධික ලෙස කාර්යබහුල බවට පත්වීම සිදු වන්නේ නැහැ. මෙයින් අවම වන්නේ ඔබේ මානසික පීඩාකාරී තත්ත්වයයි.

ව්‍යායාම කරන්න 

ව්‍යායාම කිරීම , එසේත් නැත්නම් ඔබේ ශරීරය වෙහෙසට පත් කරන කුමක් හෝ ක්‍රියාකාරකමක නියැලීම මගින් ඔබේ මනසට යම් බලපෑමක් එල්ල කරනවා. ඒ වගේම ව්‍යායාම කිරීම නිසා රාත්‍රියේදී ඔබට හොඳ නින්දක් ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. උදෑසන කාලයේදී හෝ සවස් කාලයේදී අවම වශයෙන් විනාඩි තිහක කාලයක්වත් ඇවිදීම , දිවීම , බයිසිකල් පැදීම හෝ යෝගා අභ්‍යාසයක නිරත වීම වැනි ව්‍යායාමයක නිරත වීමට වගබලා ගන්න.

වැදගත් නොවන දේවල් අත හරින්න 

දරා ගැනීමේ ශක්තිය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන අතර කෙනෙකු ඉතා හොඳින් දරාගන්නා දේවල් දරා ගැනීමට ඔබට හැකියාවක් නැති වන්නට පුළුවන්. ඒ නිසා එදිනෙදා ජීවිතයේදී ඔබට සිදුවන සියලුම සිදුවීම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් , ඒවා පිළිබඳව සිතමින් , ඒවා කෙරෙහි සංවේදී වීම හැකිතාක් අවම කරන්න.ඔබට වැදගත් නොවන සිදුවීම් අතහැර දමන්න.

නින්දට යාමට පෙර කාල සටහනක් සකස් කරන්න 

ඔබ මානසික වශයෙන් පීඩාවට සහ වෙහෙසීමට ලක්වීමට ප්‍රධාන කාරණයක් තමයි ඔබ ඔබේ ජීවිතයේ සැලසුම් කර ගෙන නොතිබීම. ඔබට මගහැරුණු දේවල් සහ ඔබට කිරීමට තිබෙන දේවල් පිළිබඳව සිතමින් වද වීමත් ඔබව මානසික වශයෙන් වෙහෙසට සහ පීඩාවට පත් කරනවා. ඒ නිසා සෑම රාත්‍රියකදීම ඔබේ ඊළඟ දවස සැලසුම් කරන්න.ඒ ඒ කාර්යයන් සඳහා කාල රාමු සකසන්න. උදෑසන අවදි වීමේ පටන් රාත්‍රී නින්දට යාම දක්වා ඔබේ දවස ඉතා හොඳින් සැලසුම් කරන්න.

මානසිකව වෙහෙසට පත්වීම සහ පීඩාවට පත්වීම අතිශය සාමාන්‍ය දෙයක් වුවත් එමගින් ඔබේ ජීවිතයට බොහෝ දුරට බලපෑම් එල්ල කළ හැකියි. මානසික පීඩාවේ ලක්ෂණ කෙරෙහි බොහෝ දෙනා අවධානය යොමු නොකරන නිසා එමගින් ඇති වන ප්‍රතිඵල එතරම් හොඳ වන්නේ නැහැ.මේ ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන ආවේ ඔබ මානසික වශයෙන් වෙහෙසට පත් වී සිටින බවට හඳුනා ගත හැකි ලක්‍ෂණ සහ ඒවා වෙනුවෙන් ඔබට කළ හැකි පිළියම් කිහිපයක් ගැනයි.

Related Articles

Don't Miss


Latest Articles