පරමාකන්ද ගමේ පන්සල් භූමියට ඉහලින් පිහිටා ඇති ගල මුදුනට නැගි ඕනම අයෙකුට මුලු පරමාකන්ද ගමම බලන්නට හැකිය. සමුධ්‍යාත් අරුණත් උන්නේ ගල මුදුනේ හිඳගෙන ඈත ඉර බැස යන දසුන දෙස බලාගෙනය. සමුධ්‍යාගේ අත තිබුනේ අරුණගේ අතේ පැටලී අලුත් කතාවක් අරඹන්නට බලාපොරොත්තුවෙන් ය.
“ඔයා ආයෙ කවද්ද කොළඹ යන්නේ?” කියා සමුධ්‍යා අහද්දී අරුණ හිනාවී මෙතෙක් වෙලා ගම දිහාවට යොමු වී තිබුණ දෙනෙත සමුධ්‍යා දිහාවට හරවා තමන්ගේ දෙනෙත සමුධ්‍යාගේ උරහිස් මත රැඳෙව්වේය.
“මම ගමේ ඉන්නවට ඔයා කැමති නැද්ද ඔච්චර ඉක්මනට කොළඹ යවාගන්න හදන්නෙ මාව?” කියා අරුණ අහද්දී සමුධ්‍යා කලේ මූණෙන් ඉඟිබිඟි කර තමන්ගේ අමනාපය පෙන්නන එකය.
“එහෙම නෙවෙයි අනේ”
“එහෙනම් කොහොමද අනේ?” කියා අරුණ හිත අස්සේ තියෙන හැම ප්‍රශ්නයක්ම පැත්තක තබා විහිලු කරද්දි සමුධ්‍යා අරුණගේ දෑතෙන් මිදී ගල් තලාව උඩ මදක් එහාට ඇවිද ගියාය.
“මට බයයි ඔයා ගමේ ඉන්න එක මොක උනත් ඔයාට කරදරයක් වෙයි කියලා. මොක උනත් ඔයාලගෙ තාත්තා උනත් ඉන්නෙ තරහෙන් වෙච්ච එකේ ඔයා ප්‍රශ්න දාගන්නෙ නැතුව කොළඹ ඉන්නවනම් මම කැමතියි” කියා සමුධ්‍යා කියද්දී අරුණ ආයෙම වතාවක් සමුධ්‍යා ළඟට විත් ඇගේ දෑත තමන්ගේ දෑත අස්සෙ තුරුලු කරගත්තේය.
“මම කොහොමත් හෙට දවල් යන්න කියලා හිටියෙ. මට අම්මව දාලා යන්න අමාරුයි සමුධ්‍යා. අම්ම හරියට දුකෙනුයි වේදනාවෙනුයි ඉන්නෙ. එයා හරියකට කන්නෙ බොන්නෙවත් නෑ. මට එහෙම වෙලාවක අම්මව දාලා කොළඹ ගිහින් හිත නිදහසේ වැඩක් කරගන්න පුලුවන් වෙයි කියලා ඔයා හිතනවද?”
“ඔයාට ආන්ටිව කොළඹ එක්කරගෙන යන්න බැරිද?”
“බැරිකමක් නෑ. ඒ උනාට අම්මා එන්න කැමතිවෙයිද කියල මට ඇත්තටම හිතාගන්න බෑ”
“ආන්ටි අකමැති උනත් මම හිතන්නෙ ඔයා ආන්ටිව කොළඹ එක්කරගෙන ගියා නම් හොඳයි. නැත්තම් ඔයා, ලක්ෂිත, ඔයාලගෙ තාත්තා කවුරුවත් නැති ගෙදරක තනියෙන් ඉන්න ගිහින් ආන්ටි අසනීප වෙයි. එහෙම එකේ ඔයා එක්ක අඩුගානෙ කොළඹ ගියොත් ආන්ටි පොඩ්ඩක් හරි හොඳින් ඉඳීවි නේද?”
“කොළඹ ගියත් ඔයා දන්නවනෙ මගෙ ජොබ් එක අනුව මට දවස තිස්සෙම ගෙදර ඉන්න විදියක් නෑ. ඒ උනාට ඔයා කියන එක ඇත්තක් නැතුවත් නෙවෙයි”
“මම නෙක්ස්ට් වීක් කොළඹ එනවා. ඉස්කෝලෙ නිවාඩු හම්බුවෙනවනෙ. ඒ හන්දා මමත් කොලඹ එනවනෙ. සති කීපයක්ම ඉන්නවනෙ එතකොට. ආන්ටිට ප්‍රශ්නයක් නැත්තම් මට එන්න පුලුවන් ආන්ටිව බලන්න කතාකරන්න. ඒ උනාට ආන්ටි කැමතිවෙයිද දන්නෙ නෑ හැම ප්‍රශ්නයක් මම පටන් ගත්ත ඒව වෙද්දි මම එහෙම ආන්ටිව බලන්න එනවට”
“අපි බලමුකො. ඔයා බයවෙන්න එපා. මම ඔයාට කියන්නම් මොනවා උනත්. දැන් යන් නේද? නැත්තම් කට්ටිය බලාවි ඇයි ඔයා පරක්කු කියලා” අරුණ අත දිගු කරද්දී සමුධ්‍යා ඒ අතේ පැටලුනේ ආදරයෙනි. සතුටෙනි. සැනසීමෙනි. ඒ සැනසීම සතුට ආදරය සදාකාලික වේවා යැයි පැතුමක් එක්කය. එහෙත් සමුධ්‍යාත් අරුණත් නොදැන ඔවුන් දෙදෙනා වෙතට එල්ල වී තිබුන දෙනෙත් යුවලක් තිබුනේ ඒ සතුට, සැනසීම, ආදරය බිඳ වට්ටවන බලාපොරොත්තුවකිනි.
ලක්ෂිතව අත් අඩංගුවට ගන්නට හේතු වුන සත්සරාගේ සිදුවීම පිළිබඳ සියලුම විස්තර පොලිසිය සහ ළමා හා කාන්තා කාර්‍යංශය වෙත භාරදෙන්නට මුල් පියවර තබා ඇත්තේ සමුධ්‍යා බව විදුර දැනගත්තේ ලක්ෂිත මාර්ගයෙනි. ඒ එදා නිලධාරින් සමග කල කතා බහේදි ඔවුන්ගෙන් පිට වූ වචන අතර “දරුවගෙ වෙනස් කම් නිරික්ෂණය කරපු ඉස්කෝලේ ටීචර්” යන වදන තිබුණ බවත් ඒ වෙන කිසිවෙකුත් නොව සමුධ්‍යාම විය හැකි බවත් විදුරට කීවේ ලක්ෂිතය. එදා ඒ වචන ඇසුන වෙලේ කිසිත් වෙනසක් පෙන්වුවේ නැති නමුත්, සත්සරාව මෙවන් මගකට යොමු කරන්නට හැකි එකම කෙනා සමුධ්‍යා ලෙස ලක්ෂිත සැක කරේ මෙපමණක් කාලයකට සත්සරාව එවන් මගකට යොමු කරන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවුන නිසාවෙනි.
“මගෙ ඔලුවට සමුධ්‍යා ඇරෙන්න වෙන කාවවත්ව එන්නෙ නෑ. අනික මං හිතන්නෙ නෑ එච්චර ගටක් තියෙන වෙන එකෙක් ඔය ගමේවත් ඉස්කෝලෙවත් ඇති කියලා. අනික ඉස්කෝලෙ උගන්නන ගොඩක් එවුන් ගමේ උන්මනෙ. උන් කීයටවත් බය නැතුව අපිට අරින්න එන්නෙ නෑ ඔය වගේ වැඩ කරලා” කියා ලක්ෂිත කියද්දී නිහඬව උන්නද විදුරගේ හිත තිබුනේ දොඩමලුවය.
“ඔය කියන ගුරී මොනවද කරන්නෙ කියලා හොයපං” කියා විදුර වැඩේ භාරදුන්නෙ තමන්ගේ හොඳම, විශ්වාසවන්තම හෙංචයියන්ගෙන් එකෙක්ටය.
“ඒකි යන්නෙ එන්නෙ කොහෙද? කා එක්ක ඉන්නෙ? කන්නෙ බොන්නෙ ඔක්කොම විස්තර හොයන්න ඕනා. ඔක්කොටම වඩා බලන්න ඕන ඇත්තටම මේ වැඩේට ඒකිගෙ තියෙන සම්බන්ධෙ මොකද්ද කියන එක. දැන් ලබන සතියෙ දිහාවට ඉස්කෝලෙ නිවාඩු දුන්නයින් පස්සෙ ඒකි අනිවාර්‍යෙන්ම ගමෙන් යන හන්දා හොයන දෙයක් හොයන්නයි කරන දෙයක් කරන්නයි ඕන ඊට ඉස්සර වෙලා කියන එක මතක තියාගනිං” කියා විදුර කියද්දී හෙංචයියා අහන් උන්නේ සුවච කීකරු සුනඛයෙකු මෙනි. කොහොමත් අයිතිකාරයන්ට වඩා කටු කන බල්ලන්ගේ සද්දෙ වැඩි බව සැවොම දන්නා කරුණකි.
අරුණත් සමුධ්‍යාත් පන්සලේ සිට ආපහු වතාව්ක ගම දිහාවට එන අයුරුත්, අරුණ සමුධ්‍යා දිහාවටත් සමුධ්‍යා අරුණ දිහාවටත් හෙලන්නට යෙදුන ආදරේ මුසු බැල්මත් ඔවුන් දෙසටම නෙත් යොමාගෙන උන් ඒ හෙංචයියාගෙ දෙනෙත ගැටුණේය. හෙංචයියා උන්නේ තමන්ට කන්නට කටු දෙන මිනිසා වෙත දුව ගොස් මේ විස්තර කියන ඉක්මනකය.
මේ කිසිවක් නොදත් අරුණත් සමුධ්‍යාත් උන්නේ දාහක් ප්‍රශ්න මැද්දෙ අරඹන්නට යෙදුන සුහුඹුල් ප්‍රේම කතාවකට රේන්ද අල්ලමිනි. ඒ ප්‍රේමය ඇරඹුන රැයේ සමුධ්‍යාටත් අරුණටත් නින්දක් තිබුනේ නැත. එකිනෙකා ගැන බෙදාහදාගන්න දැනගන්න විස්තර අහන්න කරුණු කාරණා රැසක් තිබුන රැයක් නිදාගෙන අපතේ යවන්න සමුධ්‍යාවත් අරුණවත් කැමති උනේ නැත. ඉතින් එදා රැයේ ඔවුන් දෙදෙනාම උන්නෙ ළඟ ළඟ එන අනතුරක් ගැන කිසිත් ඉවක් නොමැතිව ප්‍රේම ගඟක පීනමිනි.
“හෙට කීයටද යන්නෙ?” කියා සමුධ්‍යා අහද්දිත් අරුණ උන්නේ ඇඳේ හාන්සි වී කොට්ටය යටින් එක අතක් තබාගෙන අනෙක් අතෙන් දුරකතනය කනේ රඳවාගෙනය.
“ටිකක් දවල් වෙලා යන්න ඉන්නෙ. ඔයා හෙට ඉස්කෝලේ නේද? යන්න කලින් බලලා යන්න එන්නද?”
“එපා එපා”
“ඇයි එපා කියන්නේ?”
“කවුරුහරි දැක්කොත්?”
“කවුරුහරි මම ඔයා එක්ක කතාකරනවා දකීවි කියලා ඔයාට ලැජ්ජද?” කියා අරුණ අහද්දී සමුධ්‍යා උන්නේ එයට දෙන්නට ඕන පිළිතුර වෙනුවෙන් වචන එක් රැස් කරන උත්සහයකය.
“ලැජ්ජාවක් නෙවෙයි අනේ. මොකටද ලැජ්ජ වෙන්නෙ?”
“එහෙනම් ඇයි ඉතින් එන්න එපා කියන්නෙ?” කියා අරුණ අහද්දී අරුණට තිබෙන්නෙ පොඩි කොල්ලෙකුගේ වැනි මියුරු කටහඬක් බව සිතී සමුධ්‍යාගේ දෙතොල මද මුදු ආදරණීය සිනාවක් වෙනුවෙන් මෑත් වුණාය.
“ඔයා දන්නවනෙ අපි දෙන්නම ඉන්නෙ එකම ප්‍රශ්නෙක දෙපැත්තක හිරවෙලා. එහෙම වෙලාවක අපි දෙන්න අතන මෙතන කතාකර කර ඉන්නවා, හම්බුවෙනවා දකින එක ප්‍රශ්නයක් නේද? අපි නොහිතන විදියෙ තව තව ප්‍රශ්න ඇතිවෙයි කියලා බයක් තියෙනවා. ඒකයි මම එහෙම කිව්වෙ. නැතුව අකමැත්තක් හන්දා නෙවෙයි”
“ප්‍රශ්නෙ තියෙන වෙලාවෙ අපි දෙන්න කතාකරන එක අපි දෙන්නට ප්‍රශ්නයක් වෙයි කියලා ඔයා හිතනවද?” කියා අරුණ අහද්දි සමුධ්‍යාට දෙන්නට තිබුනේ එකම උත්තරයකි.
“ඔව්”
“එතකොට ඔයා හිතන්නේ මේ ප්‍රශ්නෙ ඉවර වෙන දවසක අපි දෙන්නා එහෙම එකතුවෙන එක කාටවත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලද?”
අරුණ ඇසූ ඒ ප්‍රශ්නයට සමුධ්‍යා ළඟ ඇත්තටම පිළිතුරක් තිබුනේ නැත.