සියක් සියපත් 24

සියපත් හා පංකජී එක්ව පෙර දා රාත්‍රියේ අලුත් කඩ දොර හරහා හරස් අතට දමනා ලද රතු පාට රිබන් පටිය කතුරෙන් කපා ‘කෑම කාමරේ’ අලුත් කෑම කඩය විවෘත කළේ ශාන්ත හා සුජීවා  ය. ගමේ කටයුතු වලදී මුල් පෙළේ සිටිනා කෙනෙකු ඒ සඳහා ගෙන්වන්නට ඔහු උත්සාහ කළ ද සියපත් තරයේ කියා සිටියේ විවෘත කිරීමට විශේෂ කෙනෙකු අනවශ්‍ය බවයි. ශාන්ත කවදටත් සියපත් ගේ වචනයට ඇහුම්කන් දුන් තාත්තෙකි. මේ වෙලාවේත් ඔහු කර බා ගත්තේ දැන් ලොකු දුව වඩාත් දැනුම් තේරුම් ඇත්තියක නිසා පමණක් නොව ඇය රටේ ලෝකේ වැදගත් හා ධනවත් පවුලක සාමාජිකයන්ගේත් සිත් දිනා ගන්නට සමත් වී සිටිනා සුවිශේෂ තැනැත්තියක ලෙස ඔහු ගේ හදවත ආඩම්බරයෙන් ද විශ්මයෙන් ද පුරවා ඇති නිසා ය. කෙසේ වෙතත් තමන්ගේ අතින් ඒ රිබන් එක කපනු වස් සියපත් ඔහු වෙත කතුරක් දෙත්දී නම් ශාන්ත ට වාවා ගත නො හැකි විය.

“අනේ පුතේ…මං කවුද මෙහෙම දෙයක් කරන්න…ඒකනෙ මං කවුරු හරි වැදගත් කෙනෙක්ට එන්න කියන්න ඇහුවෙ..පුතා එපා කිව්වනෙ…”

“තාත්තයි අම්මයි මිසක් මේ වැඩේ කරන්න වෙන සුදුසු කෙනෙක් ඇති කියල මං හිතන්නෑ තාත්තෙ. අපේ පවුල මේ තත්වෙට ගේන්න අද වෙනකල් ලිප් බොක්කවල් වල ඔය දෙන්න උහුල ගත්ත ගින්දර…ඒක මෙහෙම නිවා ගත්ත එක සමරන්න ඕනත් ඔය දෙන්න මුල් වෙලා. නැකත පහු වෙන්න කලින් අම්මයි තාත්තයි රිබන් එක කපන්නකො”

“එහෙනං පුතා මේක කරන්න. අපිට මෙච්චර ඉක්මනට මෙහෙම හීනයක් දකින්න පුළුවන් වුණේ පුතා නිසා. මේ වාසනාව ඔයා අරං ආපු එකක්”

ශාන්ත හා සුජීවා රිබන් පටිය කැපුවේ සියපත් ගෙන් බේරෙන්නට බැරි වූ හින්දා ය. කඩය තුළින් ඔවුන් පිළිගන්නට අලුත් තීන්ත සුවඳ හමා ආවේ ය. ගෙදරින් හදා ගෙන ආ කිරිබත් හා කැවිලි පෙවිලි වල ද අලෙවිය සඳහා සැකසුණු කෑම වර්ග වල ද සුවඳවල් එක්වී එතැන මැවූයේ සුවඳ ලෝකයකි. අලුත් තැන හා එතැනට සපයා ගන්නට සිදු වූ කලමණා වෙනුවෙන් සැලකිය යුතු වියදමක් දරන්නට සිදු විය. සියපත් ගේ මාස කිහිපයක වැටුප් වලින් වෙන් කොට තැබූ මුදලට අමතරව සුජීවා ගමේ සමිතියකින් ස්වයං රැකියා ණයක් ද ලබා ගත්තා ය. ඒ සියල්ල යොදා කළ ආයෝජනය ගැන කිසි දාක පසුතැවෙන්නට හේතුවක් නැත. ගෙදර අමාරුවෙන් කර ගෙන ගිය අපිළිවෙල කඩයේ හැටියට මේ නවීන පෙනුමැති බොජුන් හල ඔවුන් තුළ නව බලාපොරොත්තු දල්වන්නට සමත් වී තිබිණ.

“තාත්ත මෙහෙම තැනක ඉඳගන්නව බලන්න මට හීනයක් තිබුණ. දැං ඒ හීනෙ හැබෑ වෙලා”

ශාන්ත කැශියර් අසුනේ හිඳ සිනහවක් පෑ කල සියපත් ඔහු ගේ බඳ වටා දෑත ම දමා තාත්තා ට තුරුලු වූවා ය. ඇස් වල නොව සතුටු කඳුළු ඇගේ හිතේ තිබිණි.

“තාත්ත තව තවත් දියුණු වෙන්න ඕනෙ. ඔය දෙන්න අපි නිසා වින්ද දුක් වල හැටියට…දවසක සැපෙංම ඉන්නයි ඕනෙ. දවසක මේ හැම දේම කරන්න සේවකයො අරං…ඔය දෙන්න වැඩ බලාගෙන සැපට සනීපෙට ඉන්නව දකින්න තිබුණොත් මට ඒ ඇති…”

“අපි දුක් විඳින්නෙ අපේ කෙල්ලො දෙන්න ලොකු වෙනකල් විතරයි කියල අම්මයි මායි හැමදාම කතා වුණා පුතේ. අපි හිතුවටත් වැඩිය ඉක්මනට ඔයා ඒ තැනට අපිව අරං ගියා. හැම දෙමව්පියෙක්ටම ලැබෙන්න ඕනෙ ඔයාල වගේ දරුවො. ඒ අතිං අපි මොන තරං වාසනාවන්තද…”

“එහෙම නෙවෙයි අනේ..හැම දරුවෙක්ටම ලැබෙන්න ඕනෙ මේ වගේ තාත්ත කෙනෙකුයි අම්ම කෙනෙකුයි. දහ දුක් විඳගෙන හරි පැටව් තුරුල් කර ගෙන හදන…ඉපදිච්ච ගමං ළමයි කුණු ගොඩවල් වලට විසි කරන…ගඟට මූදට දාන දෙමව්පියො ඉන්න ලෝකෙක…අපි දෙන්න ලොකු කර ගන්න ඔය දෙන්න විඳපු දුකක්…”

ශාන්ත සියපත් ව වැළඳ ගත්තේ ය. සුජීවා ඉවත බලා ගෙන කඳුළක් පිස ගත්තා ය.

“අපි ඉතිං අරං හදා ගත්ත දුවලනෙ. අපිව තුරුල් කර ගන්නෙ නෑ”

පංකජී නෝක්කාඩු කියමින් විත් සියපත් ව හා ශාන්ත ව සිය දෑතින් බදා ගත්තා ය.

“ඒක තමයි. මොකට අරං හදා ගත්තද මන්දා මෙයාව…මාව විතරක් තියා ගන්නැතුව”

ශාන්ත සිය දූවරුන් දෙදෙනා ගේ ම හිස් මුදුන් සිප ගත්තේ අසීමිත පීතෘ ස්නේහයකිනි.

“හැබැයි තාත්තගෙ බඩ දැං තවත් ලොකු වෙයි…මුදලාලි කෙනෙක් වුණාට පස්සෙ”

කොයි තරම් සිනහ වුණත් ඒ සිනහව යට සන්තාපයක් හැංගී ඇති බවක් සියපත් නො දැන උන්නා නොවේ. කඩයේ විවෘත කිරීම් වලින් පස්සේ ඔවුහු එහි රැඳිය යුතු නැතිය යන්න ශාන්ත ගේ අදහස වූයෙන් සියපත් හා පංකජී ගෙදර පැමිණියහ. ඒ එන අතර වාරයේ සියපත් කතා කළේ ම පංකජී ගේ අධ්‍යාපන කටයුතු ගැන ය. ඇය සරසවි සුදුසුකම් ලැබීම සඳහා දැරිය යුතු වෙහෙස ගැන ය. පංකජී ඒ මාවතේ සිය අනාගතය වෙත යන්නට පටන් ගත්තාට පස්සේ ජීවිතයෙන් ඉල්ලන්නට යමක් ඇයට තව නැතැයි සියපත් කීවා ය. ඇදෙස හොඳින් බැලුවා මිස පංකජී කහවණුගොඩ නිවුන්නු ගැන කිසිත් ම නොකීවා ය. නමුත් අක්කා ඒ එක තරුණයෙකු ගැන සිතින් බැඳී සිටින බව ඇය දැන සිටියා ය. නො දැන සිටියේ ඒ සිහිනයෙන් අවදි වෙත්දී ඇයට කොහොම රිදෙනු ඇත්ද කියා පමණකි.

ඒ වෙත්දීත් සියපත් පැමිණ නැති බව සදාතන දැන ගත්තේ මදිරා ගේ කාමරයට ගිය ඉක්බිති ය. 

“කෝ මේ සියපත් තාම ඇවිත් නැද්ද අද…”

ඔහු එසේ විචාලේ තරමක දැඩි බවක් ආරෝපණය කර ගෙන කමිස අත යන්තමින් අල්වා අත් ඔරලෝසුව දෙස බලමිනි. මදිරා ගේ දෙතොල් අතරට අමුතු හැඩයක මඳහසක් පැමිණිය ද ඇය එය සදාතන ට දකින්නට හැරියේ නැත.

“අද සියපත් එන්නෑ මල්ලා”

එය ඉතා සාමාන්‍ය ප්‍රකාශයකි. නමුත් සදාතන ගේ ඇතුළාන්තයේ කැළඹීමක් ඇති විය. අක්කාට පෙනෙන්නට ඒ කැළඹුම නිදහස් කරන්නට ද නො හැකි ය. 

“එහෙම කොහොමද…කාගෙන් අහලද එයා නිවාඩු ගත්තෙ…”

“මට කිව්ව මල්ලි. අද එයාලගෙ කඩයක් ඕපන් කරනව. සමහර විට කෙල්ල දවස් දෙක තුනක් නිවාඩු ගනී”

මදිරා එසේ කීවේ කෝකටත් සූදානමක් ඇතිව ය. සියපත් සිටි තත්වයේ හැටියට දිගට ම වැඩට එන්නට ඇයට හිත හදා ගත නො හැකි වන්නට පුළුවන. එහෙම වුණොත් ඇය දෙතුන් දිනක් ගෙදරට වී සිටියාවේ කියා මදිරා සිතුවා ය. සිතේ හට ගන්නා ඇතැම් ප්‍රශ්න වලට හොඳ ම විසඳුම් ලැබෙන්නේ එතකොට ය. ප්‍රශ්න වලින් ඈත් වී ඔහේ සිටිනා විට ය. හිත නිදහස් වෙන්නට හරිනා විට ය. කහවණුගොඩ මැදුරට එන්නට බෑ කියා හිතෙනා ඇගේ හිත, එසේ නෑවිත් සිටින විට තමන්ව තේරුම් ගන්නට ඉඩ තිබේ. එසේ නෑවිත් සිටින්නට නො හැකි බව හෝ තේරුම් ගන්නට ඉඩ තිබේ.

සදාතන ට උදේ කාලය නො සන්සුන් එකක් විය. කාර්යාලයට ගිය ද හිත එක් තැන් කර ගෙන වැඩක් කළ නො හැකි බවක් ඔහු ට දැනිණ. යම් කිසි අඩුවක්, හිස් කමක්, අතෘප්තිමත් බවක් විටින් විට ඔහු අත්වින්දේ ය. ටික වෙලාවක් නො සන්සුන් සක්මනක යෙදී උන් හෙතෙම ක්ෂණික සිතිවිල්ලකට නතුව සියපත් ට දුරකතන ඇමතුමක් ගත්තේ ය.

ඒ වෙලාවේ ඇය සිටියේ යහන මත වැටී තමන් තුළ ම හිස් වී යමිනි. කිසිවක් ම සිතන්නට සියපත් ට ඕන නොවී ය. ඇය කළේ ඔහේ බලා ගත් අත බලාගෙන නිස්සාර වෙන්නට හිතට ඉඩ දෙන එක ය.

ජංගම දුරකතනය හැඬවෙත්දී ඇය තිගැස්සී ගියා ය. තිරය මත සදාතන ගේ නම දකිත්දී ඉද්ද ගැසුවා සේ නැගී සිටියා ය.

“ස්..සර්…”

“කොහෙද ඉන්නෙ…”

“ගෙ..දර..”

“අක්ක කිව්වෙ කඩේක ඕපනිං එකක්ද මොකද්ද කියල”

“ඒක උදේ තිබුණෙ සර්. ඒක ඉවර වෙලා මායි නංගියි ගෙදර ආව”

“ඉතිං දැන් මුකුත් වැඩක් නැද්ද…”

“නෑ”

“එහෙනං ලෑස්ති වෙලා ඉන්න පැය බාගෙන්. තේරුමක් නැතුව නිවාඩු ගන්න ඕන නෑනෙ”

සියපත් යමක් කියන්නට පෙර ම දුරකතන සම්බන්ධය බිඳ වැටිණ. සියපත් හා පංකජී මූණෙන් මූණ බලා ගත්හ. එතෙක් වෙලා ආත්මය අරක් ගෙන තිබූ හෝන්දු මාන්දු ගතිය කොහේ අතුරුදන් වූයේ ද කියා සොයා ගන්නටත් නො හැකි විය. සියපත් කඩිනමින් සූදානම් වූවා ය.

“දොර වහගෙන පරිස්සමෙන් ඉන්න හොඳේ. අම්මට කියන්න මට වැඩට එන්න කිව්ව කියල”

ගෙන් පිටතට එන ගමන් සියපත් කීවා ය. පංකජී ‘අක්කෙ’ කියා කතා කළා ය.

“එයාටත් ඔයා දකින්නැතුව එක දවසක් ඉන්න බෑ නේ…”

සියපත් ගේ මුහුණේ ලස්සන සිනහවක් පිපුණි.

“පිස්සි. එහෙම එකක් නෙවේ. මං නැති වුණහම ගෙදර වැඩ බලන්නත් කෙනෙක් නෑනෙ”

අඩියට දෙකට බොරළු මිදුල තරණය කළ යුවතිය ගුරු පාර දිග ඇවිද යන විටත් සදාතන ගේ රිය නැවතී තිබිණ. චමත්කාරයක් ගුලියක් සේ උගුරේ හිර වෙනු සියපත් ට දැනිණ. කඩේ සිට ගෙදර ආ වෙලාවේ පටන් නිස්සාර හිස් කමක කරවටක් ගිළුණ හිත මේ තරම් ඉක්මනින් පිරී උතුරා යන්නට ගත්තේ කොහොමද කියා ඇය දන්නේ නැත. ඇගේ ඇස් විදුලි එළි වාගේ දිළිසෙමින් තිබිණ. ආසන පටි දමා ගන්නට සැබවින් ඇයට අමතක වූයේ ය. සදාතන එය කළේ ඇගේ සිරුරේ ඇඟිල්ලක් හෝ ස්පර්ශ නොවෙන තරම් පරිස්සමට ය. 

“මෙහෙම කරන්නෙපා”

ඔහු ඒ වචන දෙක පිටතට දැම්මේ රිය පෙරට ඇදෙන්නට ගත් ගමන් ය. සියපත් ඇස් ලොකු කොට බැලුවා ය. සදාතන එක වරක් හිස හරවා බැලුවේ ය. ඔහු ඉදිරි මග දෙස බලා ගත් ඉක්බිතිත් ඇය සිය බැල්ම වෙනස් කළේ නැත. 

“උදේට ඔයා දකින්න නැති වුණහම ඒ දවස ගෙවා ගන්න එක කොච්චර අමාරුද කියල ඔයා දන්නෑ”

කන් අඩි පැලෙන්නට හදනවා වාගේ රිදුමක් සියපත් ට දැනිණ. ඕ දත් ඇඳි දෙක තද කොට ගත්තා ය. වම් අත මඳක් ඔසවා කන් පෙත්ත පාමුල රිදෙනා තැන තද කර ගත්තා ය.

“මේක අමාරුයි තමයි. ටිකක් නෙවෙයි ගොඩක් අමාරු වෙයි. ඇත්ත… මං පොරොන්දුවක් දීල තියෙනව. ඒත් දැන් මට ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න විදිහක් නෑ. ඒ පොරොන්දුව නිසාවත්…මට මෙතන පහු කර ගෙන යන්න බෑ. මොකක් ම හරි සිද්ද වෙනකල්…පැනල දුවන්නැතුව මං ළඟට වෙලා ඉන්න. මට ඔය බිස්නස්වත් සල්ලිවත් ඕන්නෑ. ඒත් තාත්ත එයාගෙ ජීවිතේම කැප කරපු බිස්නස් එක වැටෙන්න අතාරින්නත් බෑ. ඒ හැම දේම මගෙ ඔළුව උඩ පැටවිල තිබිච්චදෙන්. ඔයා හිනා වෙවී ඉන්න. මං කොහොම හරි හැම දේම බැලන්ස් කර ගන්නං”

සියපත් ගේ කොපුල් තලා දිග කඳුළු වැල් දෙකක් රූරා යමින් තිබිණ. තවමත් ඇය සදාතන දෙස බලා ගත් ගමන් ය. ඇයට සැබවින් එහෙම ඇහුණා ද? ඔහු ඇත්තට ම එහෙම කීවා ද? මේ තරම් උගුර රිදෙන්නේ ඇයි? මේ කම්මුලට දැනෙනා කඳුළු මේ තරම් උණුහුම් ඇයි? දත් දෙපෙළ කටස් ගා එකිනෙක ගැටිණ. සියපත් අතකින් මුව වසා ගත්තා ය. 

“මට මේ ඇති සර්…කවදාවත් ම ඔයා එයා අත් ඇරල මං ළඟට එන්න හිතන්න ඕන නෑ. මට මේ ඇති. මැරෙනකල්ම ඇති. මං අඬල පුරුදු කෙල්ලෙක්. කඳුළු පුරුදු කෙල්ලෙක්. ඒත් එයා…අනේ එයා කොච්චර හොඳයිද…”

“හරි හරි ඔච්චර කියනවනං දෙන්නවම බඳින්නංකො”

සියපත් ට කඳුළු අතරින් ම සිනා ගියේ ය. ජීවිතය කියන්නේ එහෙම දෙයකට බව ඇය දනී. හඬ හඬා සිනහ වෙන එකට ය. හඬමින් ම සිනහ වෙන්නට හේතු හොයනා එකට ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles