අරුමැති  ආදරයක් – 31

0
3842

අපූර්වා යුගාෂ්ගේ වාහනයෙන් බැස්සේ බස් නැවතුම පෙනෙන නොපෙනෙන දුරකදීය. ඕ හේෂානිට කෙටි පණිවිඩයක් යැවූයේ වාහනයට නැගුණු හැටියේමය. 

“යාලුවා ඇවිල්ල කියලා කිව්වද අපූර්වා…”

“ඔව් සර්…කිව් එකේ ඉන්නව කියල මට මැසේජ් එකක් එවලා තියෙනවා.”

අපූර්වා සිය ජංගම දුරකථනය ඔහු වෙත පෑවේ සිනහ මුසුවය.

“හැමදේකටම තැන්කියු අපූර්වා..”

“මමයි සර්ට එහෙම කියන්න ඕනේ.”

“අපි අලුත් තැනකින් ජීවිතය පටන් ගමු. පරිස්සමට ගිහිල්ලා ගෙදරට ගියපු ගමන් මට කෝල් එකක් දෙන්න.”

යුගාෂ්  පැවසුවේ යුවතියගේ නළලත මත සිය දකුණත තබමින්ය. ඒ ස්පර්ශයෙන් යුවතිය හැකිලී ගියාය. යුගාෂ්ගේ මුව මත සටහන් වූයේ ⁣සොඳුරු සිනහවකි. 

“තෙරුවන් සරණයි  පරිස්සමට යන්න. හයියෙන් ඩ්‍රයිව් කරන්න එපා. බුදු සරණයි..”

යුවතියගේ හඬ හැඬුම් මුසු වී තිබිණ.  යුගාෂ් ඒ ඇයි දැයි නෑසුවේය. දුක හෝ සතුට කඳුලක්ව පිටව ගොස් ඇය සම්පූර්ණයෙන්ම නිදහස් විය යුතු යැයි ඔහු විශ්වාස කළේය. යමක් සිතිය හැක්කේ ඒ නිදහස් වූ මනසින්ය. ‘අදින් පස්සේ ඔයා දකින්නේ සතුට විතරයි අපූර්වා’යැයි පවසා ගත්තේ තමාටමය.

හේෂානි උන්නේ අපූර්වාටත් එක්කම අසුනක් වෙන් කරගෙනය. හේෂානිට එහා පසින් අසුන්ගත්  ගමන්ම අපූර්වා කළේ යෙහෙළියගේ වමත තදින් මිරිකා ගැනීමය. කියන්නට දහසක් දේ වුවත් ඕ ඒ කිසිවක් නොකියා එකපිට එක හතිලෑවාය.

“කොහෙද බං ගියේ. උඹේ ඇස් දෙකත් රතු වෙලා. මොකුත් ප්‍රශ්නයක් නෙමෙයි නේද.”

අපූර්වා හිස වැනුවේ නැතැයි කියන්නටය.

“එහෙනම්…..බයත් හිතෙනවා බං…”

යුගාෂ් දහවල කතා කළ වේලේ සිට සිදු වූ සියල්ලම ඕ හේෂානි සමග පැවසුයේ අකුරක්වත් මග නොහරිමින්ය. ඒ කතාවේ තාලයට සිහින් වෙන, මහත්වන සිනාසෙන දෑස් දෙස හේෂානී බලා සිටියේ මහත් ඕනෑකමකින්ය. යළිත් උපදිමින් සිටින්නේ ඒ මිතුරියම වග විශ්වාසය

“අනේ දෙයියනේ.. මෙච්චර දේවල් උනාද..මං හූනා කියන්න වගේ කිව්ව නේද….ඒ ලෝයර් නම් උඹ ගැන මොනවම හරි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්නවා කියල. දැන් හරිද…”

“ඉතින් එහෙම දෙයක් කිව්වේ නෑ….”

“මෝඩියේ…ජීවිත කාලෙ පුරාම උඹත් එක්ක ඉන්නවා කිව්වේ..ඒක තමයි  ඉතින්. ඒ වගේ එඩියුකේටඩ්  අය මං ඔයාට ආදරෙයි කියලවත් අයි ලව් යූ කියලවත් කියන්නෙ නෑ බං. ඒවා ඒ කාලේ කොල්ලෝ කිව්වේ. ඊට වඩා හරි ගැඹුරු වචන වලින් තමයි එයා  උඹට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ තකහනියේ උඹේ බත් එකක් ගෙන්නගෙන ඒක උඹටම කියලා කවාගෙන. ලක්ෂ ගානක කෝස් වලට සල්ලි ගෙවලා..මොන අමාරුවකටද බං ඒ…..”

“අනේ මං නොලැබීම් වලට හරි බයයි.”

“නොලැබීම් වෙන්නේ ලැබුණු දේ රැක ගන්න බැරි උනොත්නේ. ඉතින් අපූ හැම තිස්සෙම සෘනාත්මකවම හිතන්නෙ නැතුව ජීවිතය දිහා ධනාත්මකව බලපන්. උඹ හැම තිස්සේම ලෝයර් මස්සිනාව රැක ගන්න උත්සාහ කරපං. එයා මේ විදිහට උඹත් එක්ක ජීවිත කාලෙ පුරාම ඉන්නවා කියලා කිව්වේ උඹේ  තත්ත්වය නොදැන නෙමෙයි නේ..”

“තව කොච්චර දේවල් හිතන්න තියෙනවද…යුගාෂ් සර්ගේ හැටියට එයා සාමාන්‍ය පවුලක කෙනෙක් කියලා හිතන්න අමාරුයි. එහෙම තැනකින් මං වගේ හිඟන කෙල්ලෙකුට කැමති වෙයිද.”

“ඔයාට කවුන්සලින් ඩිග්‍රි එකක්  කරන්න කියලා එයා කිව්වෙ මොනව හරි හේතුවක් ඇතුව වෙන්න ඇති. මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්න පුරුදු වෙන්න එපා. අද දවස ජීවිතය සතුටින් විඳින්න. මට හිතෙනවා යුගාෂ් සර්ගේ  ආදරේ බොරුවක් නෙමෙයි කියලා. ඔයාවත් ආරක්ෂා කරගෙන ඔයා ඒ ආදරෙන් සතුටු වෙන්න. අපි ජීවිතේ  ඉතුරු කාලයත්  එන විදිහකටට මුහුණ දෙමු. මං ඉන්නවනේ බං…”

“මම  බලාපොරොත්තු ඇති කරගන්න බය ඒ බලාපොරොත්තු කැඩිල බිඳිලා ගියහම දැනෙන වේදනාව විඳගන්න අපහසු නිසා. ඒක සමහරවිට ඔයාට නොතේරෙනව ඇති.”

“මට නොතේරෙනවා නෙමෙයි. මං පහුගිය කාලෙම ඔයා දිහා බලන් ඉදලා ඉගෙන ගත්තේ  ඒ පාඩම තමයි. ඔයාව අතෑරලා දාන්න හිතාගෙන ආදරය කරන කෙනෙකුට ඔයාගේ ජීවිතේ හදන්න වුවමනාවක් නෑ අපූ. අනිත් එක හැම තිස්සෙම යුගාෂ් සර් ළඟදි මේ කඳුළු ඉස්සර කර ගන්න එපා. කෝ බලන්න මස්සිනාකාරයා  අරන් දුන්නේ මොනවද කියලා.”

සුප්‍රසිද්ධ වෙළඳ ආයතනයක නමක්  ගසා තිබූ රෙදි බෑගය තුළට හේෂානි එබුනේ කතාව වෙනස් කිරීමට වූ උවමනාව නිසාමය. අපූර්වා තම ජීවිතය දෙස මේ සා සෘනාත්මකව බැලීම අරුමයක් නොවේ. එහෙත් යුගාෂ්ගේ  ආදරය ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරාවියැයි ඕ විශ්වාස කළාය.

“මොනවද බං මේ… උඹ පොඩි එකෙක් කියලා හිතා ගෙනද  මන්දා. චොක්ලට්, බිස්කට්, ටිපි ටිප්, බයිට්, චීස්, කිරි පැකට්, පලතුරු මාර ගාණක් වියදම් වෙන්නැති බං මේ ටිකට. අනේ බං…ඒ ආදරේ ඒක මාරයි.”

“ඒත්…මේවා ගත්තට මගේ හිතට මහ මොකක්ද වගේ.”

“මං මට දැණුන දෙයක් කියන්නේ..”

“මොකක්ද..”

“මේ ආදර කතාව හරි ලස්සන එකක් වෙයි. ඇයි දන්නවද මං එහෙම කියන්නේ බලන්න ඔයාට ගෙනත් දීලා තියෙන මේ දේවල් දිහා. ඒක හරි ආදරණීය තෑග්ගක්. චුට්ට චුට්ට ඔයාට තියාගෙන කන්න දේවල්. එයා හරි ආදරෙයි. එයා ඔයාව ලස්සනට කියවලා. ලෝයර් මස්සිනා ඔයා ගැන කොච්චර හිතනවද කියල ඒකෙන් පේනවා..”

“ඔයත් ඕන දෙයක් ගන්න. මං මේවා කවද කාලා ඉවර කරන්න ද..”

“මට පොරොන්දු වෙන්න දැන් සතුටින් ඉන්නව කියල. අපි මේ ජීවිතයේ ලැබීම් නොලැබීම් වලට මුහුණ දීපු මිනිස්සු. ලැබුණු දේත්, අද දවසත් සතුටින් බාර ගනිමු. දැන් අලුත් හීනයක් දකින්න.  මේ අහන්නකෝ…අම්මව ඩොක්ටර් ගාවට එක් කරගෙන යන දවසට මම එන්නම්…”

“එහෙම පුළුවන්නම් ලොකු දෙයක්…”

අපූර්වා එසේ පැවසූයේ යළිත් යෙහෙළියගේ වමත මිරිකා ගනිමින්ය.

ජීවිතයේ පැතූ සියල්ල තම දෙපා මුලට ලැබුණාක් වන්  සතුටක් හදවත විඳිමින් උන්නාය. එහෙත් ඒ සතුට අකුරු වලට පෙරලන්නට ඇගේ සිතෙහි වූයේ ලෝබ කමකි. මේ සතුටට ඇස්වහක් කටවහක් නොවදීවායි අපූර්වා පැතුවේ දෑස් පියාගෙනය. එතැන් සිට මතුගමට යනතුරුව ඕ  සිටියේ යුගාෂ්  ගැන කල්පනාවේය. 

                                       *************

“පුතා ඊයේ ඩිනර් එක ගත්තෙ නෑ කියලා මට නන්දනී කිව්වා. ඔලුව කැක්කුම නිසා මම ටිකක් කලින් නිදා ගත්ත පුතා.”

යුගාෂ්  උඩුමහලේ සිට පහත මාලයට පැමිණියේ කාර්යාලයට යාමට සූදානම්වය. උදේ ආහාරය සඳහා සකසා තිබුණු කුරක්කන් පිට්ටු කැබලි කිහිපයත්, කිරි හොදිත්, ලුණු මිරිසත් නන්දනී විසින් මේසය මත ගෙනැවිත් තැබුවේ එවේලෙහිය.

“ඇයි අම්මා ඔළුව කැක්කුමයි කිව්වේ…”

“ඊයේ දවසෙම එළියෙනෙ පුතා හිටියේ. ඒක දැන් හරි.”

“අපි ඔක්කොටම කාලා වැඩි වුණා නේද ලොකු නෝනා..”

“ඒකනං ඇත්ත..ඊයේ නන්දනීයි මමයි රෑට කෑවෙ පාන් පෙත්තක් විතරයි.”

“මටත් උනේ ඒකම තමයි අම්මා…”

තමාරා උන්නේ යුගාෂ්ගේ පිඟානට පිට්ටුත් කිරි හොඳින් බෙදමින්ය. යුගාෂ් තිගැස්සී ඇය දෙස  බැලුවේත් ඇය යුගාෂ් දෙස බැලුවේත් එකම වරකය. ඊළඟ තත්පරයේ යුගාෂ් වෙහෙස වූයේ තම මුවින් පිට වූ වදන් නිවැරදි කර ගන්නටය. අම්මා අපූර්වාව වටහා ගත යුත්තේ කාලයත් සමගය. ඉක්මන් වී ඕ ගැන වැරදි වැටහීමක් ඒ සිත්හි ඉපැද්දීම යුතු නොවේයැයි යුගාෂ් විශ්වාස කළේය.

“ඊයේ තීක්ෂණගේ වැඩකට එළියට ගියා අම්මා. එද්දි  පාර අයිනේ තියෙන පොඩි රෙස්ටුරන්ට් එකකින් කෑවේ. එතන කෑම මාර රසයි. ටිකක් වැඩිපුර කැවුනා.”

“පාර අයිනෙ ගෙයක් උනානම් අපූර්වාටත් ඒ වගේ පොඩි රෙස්ටුරන්ට් එකක් කරන්න තිබ්බා පුතා. ඇත්තමයි  ඒ අත් ගුණය නම්…බලන් ඉදිද්දි දියුණු වෙයි.”

“එයා තව ටිකක් ඉගෙන ගත්තාවේ අම්මා….මට පරක්කු වෙනවා. මම ගිහින් එන්නම්”

“තවම පොඩි කෙල්ලෙක්නේ පුතා. අම්මා තාත්තා ලඟට වෙලා කියව කියව ඉන්න වයස ඔය. මෙච්චර ලොකු වෙච්ච ඔයත් හුරතල් වෙනකොට…”

නන්දනී ගෙන ආ කෑම බඳුන් තරුණයා අත තැබුවේත් තමාරාමය. තමාරා සේවිකාවට  උපදෙස් දී තිබුණේ ඔහුගේ කෑම බඳුන් දෙදෙනකුට සෑහෙන්නට සකසන ලෙසය. විශේෂ ව්‍යාංජනයක් වෙතොත් එය වෙනම බෙදා යවන්නේ යුගාෂ්ගේ කාර්යාලයේ සේවය කරන යුවතියන් දෙදෙනා වෙනුවෙන්ය. දෙපා වැඳ තමාගේ කොපුලත් නලළතත් සිපගත් තරුණයා විසෙල් වර්ගයේ ජීප් රථයට නැගී නොපෙනී යනතුරුම තමාරා ආලින්දයට වී බලා සිටියාය. මේ ඇගේ ජීවිතයෙහි වූ එකම සැනසුමයි.

තමාරා ඇය හඳුනාගෙන උන් කොන්ත්‍රාත් වැඩ කරනා පෙදරේරුවරයෙකුට කතා කළේ දහවලේය. ඔහු ඇගේ  පුද්ගලික වැඩ කටයුතු සඳහාත් කාන්තා සමිතියෙන් සිදුකළ සමහර ඉදිකිරීම් සඳහාත් සම්බන්ධ වූ අයෙකි.  යුගාෂ්ගේ මිතුරා නිවාස සැලැස්මෙහි දළ සටහනක් එවා තිබිණ. 

“මැඩම්ලගේ වැඩක් කියන්නේ ඉතින් මගේ වැඩක් වගේ තමයි. මැඩම් නැකතක් බලලා මට කියන්නකෝ අපි ඉක්මනට වැඩේ පටන් ගමු.”

හෙට බැංකුවට ගොස් ඒ සඳහා අවශ්‍යය මුදල් රැගෙන ආ යුතුයැයි තමාරා සිතුවේ ඒ දළ සටහන දෙස බලා සිටිනා අතරේය. ඒ සඳහා යුගාෂ්ගේ මුදල් ලබා නොගන්නට ඇය තීරණය කළේ අපූර්වාගේ නිවසට ගිය මුල්ම දිනයේදීය. පියසීලී දකින වාරයක් වාරයක් පාසා තමරාට සිහිවන්නේ තම මවය. අදටත් අම්මාත් තාත්තාත් හරි හම්බ කරමින් ඉතිරි කල දේපළවලින් විශාල ආදායමක් මාසිකව ඇයට ලැබේ. ඒ කොතරම් ප්‍රමාණයක්දැයි යුගාෂ් කිසි දිනක සොයා බලන්නේ නැත. ඔහු තමා මෙන්ම සරල ජීවිතයක් පතන දරුවෙකි. 

යුගාෂ් මුලින්ම ගියේ කාර්යාලයට නොවේ. දින කිහිපයක් තිස්සේ කළ සොයා බැලීම් වලට පසුව අපූර්වාගේ මහ ගෙදර ඉඩම් නඩුව පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් ඔහුට දැනගත හැකි විය. අපූර්ව වාගේ සීයා නමට තිබූ ස්ථිර ඔප්පු නොමැති බලපත්‍රයක් පමණක් හිමි නිශ්චල දේපල නිශ්ශංක ඔහුගේ නමට පවරාගෙන තිබුණේ නිවැරදිම ක්‍රමයට නොවේ. එය සම්පූර්ණයෙන්ම තම සහෝදරයා නොමඟ යැවීමකි. ඔහු ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට පැමිණියේ ඒ වගතුග පිළිබඳව සොයා බලන්නටය. පාසල් සමයෙහි එක්ව උන් මිතුරෙකු ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඉහල නිළයක් දරන බව පැවසූයේ තීක්ෂණය. කාර්යාලීය රථ ගාලෙහි ජීප් රථය නතර කළ යුගාෂ් කාර්යාල සංකීරණයට පිවිසියේ මිතුරාට දුරකතන ඇමතුමක් ලබා දුන්නාට පසුවය. 

“මචං ඒ ෆයිල් එක කරපු ඔෆිසර් දැන් රිටායර් වෙලා. දැනට ඒ සෙක්ෂන් එකේ වැඩ බාරව ඉන්න ඔෆිසර්  එක්ක අපිට කතා කරන්න පුළුවන්. මචං දන්න තරමින් මේ වගේ වැඩක් කෙරෙද්දී ඒ ඉඩම පැවරිලා තිබුණු කෙනාගේ වයිෆ් වගේම  ඉන්න දරුවෝ සියල්ලෝම සයින් කරන්න ඕනේ. කොහොමටත් බං එක්කෙනෙක් නමට මුලින් ඉඩම පවරගන්න ඕනේ. ඊට පස්සේ තමයි බෙඳීම් සිද්ධ වෙන්නේ. කොතැනක හරි අවුලක් තියනව. අපි මේ ඔෆිසර් එක්ක කතාකරලා බලමු.”

ඉදිරියට පැමිණි මිතුරා යුගාෂ් පිළිගෙන පැවසූයේ අදාළ නිලධාරියා හමුවට කැඳවාගෙන යන ගමනේදීය.

ඔහුගේ ජංගම දුරකථනය පුෂ්පානන්දගේ අංකය සටහන් කරමින් නාද වූයේ එවේලෙහිය. තත්පර කිහිපයක් දුරකථනයේ මුහුණත දෙස බලා උන් තරුණයා එය නිහඬ කර දැමුවේ පිළිතුරක් නොදීමය.

“අංකල් සේනක එක්ක කියනව ඇහුනා මේ නඩුවේ ඔයාගේ පැත්තට වාසි වෙන්න තිබුණු සාක්ෂි හැම දෙයක්ම විනාශ කරලා දැම්මා කියලා. යුගාෂ් පරිස්සමෙන්…හොඳට හිතල වැඩ කරන්න..”

ඉන් අනතුරුව “ක්ලික්” හඬින් නාද වූ ජංගම දුරකථනය මත සටහන් වූ වට්ස්ඇප් පණිවිඩය කියවූ තරුණයාගේ මුව මත සටහන් වූයේ අවඥයා සහගත සිනහවකි. ඒ සමගම ඔහු “ස්තුතියි..” යැයි සටහන් කරමින් පංචාලි වෙත කෙටි පණිවිඩයක් යැව්වේය. 

( හෙටත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here