සන්තාන සුසුම් සර – 5

0
4493

වජිරා විසින් සෝදා වියළෙන්නට දමා තිබූ අස්විද ගේ ඇඳුම් ටික වැලෙන් ගත්තේ නිලූපා ය. ඒ නිලූකා ගේ බලකිරීම මතයි. මීට පෙර අවස්ථා කිහිපයකදී ම අස්විද ගේ රැවුමට ලක්ව ඇති බව සිහි වෙත්දී නිලූපා ට මේ වගේ දෙයක් කරන්නට සිතෙන්නේ ම නැත. නමුත් නිලූකා කියනවා වාගේ අස්විද වන් කෙනෙකු ගේ කැමැත්ත ලබා ගන්නට ටිකක් වෙහෙස වූවාට කම් නැත.

‘ඇඳුන් ටික නවල කාමරේටම ගිහින් දෙනව. කොයි පිරිමියගෙ පඬුපුල් ආසනෙත් රත් වෙනව ගෑනියෙක් තමුන් වෙනුවෙන් ඉන්නව කියල දැනෙනකොට’

‘අනේ මේ මනුස්සයගෙ පඬුපුල් ආසනේනං හදල තියෙන්නෙ මොනවගෙන්ද මන්දා අක්කෙ. මොන දේකින්වත් රත් වෙන්නෑ අයියො’

‘හරි හරි අපි තව ටිකක් ට්‍රයි කරමුකො. වටින දේවල් අයිති කරගන්න ටිකක් අමාරුයි තමයි. අමාරුයි වගේද ඉන්න හිටින්න තැනක් තියන හොඳ ජොබ් එකක් කරන පිරිමියෙක් කියන්නෙ. මැරෙනකල් මේ මට වගේ කාල ඇඳල සැපට ඉන්න පුළුවන්නෙ’

‘ඔයා ඔය සැප විඳිනවද අක්කෙ’ කියා අසන්නට නිලූපා ගේ මුව නලියෑවේ ය. නමුත් අක්කා තරහ කරගෙන කිසිත් ලද නො හැකි බැව් දන්නා ඕ අස්විද ගේ ඇඳුම් ටික නවාගෙන කාමරය ඉදිරියට ගියා ය. දොර හැර දමා තිබුණෙන් අමුතුවෙන් තට්ටු කළ යුතු යයි ඇයට සිතුණේ නැත. ඕ රෙදි මිටිය පපුවට තුරුලු කරගෙන කාමරයට ඇතුලු වන විට අස්විද සිටියේ නඩුවකට කරුණු රැස් කරමින් සූදානම් වෙමිනි. නිලූපා දුටු ඔහු ගේ සිතේ ඉහිර ගියේ නො රිස්සුමකි. ඔහු ඇය වෙතට දැඩි බැල්මක් හෙළුවේ ය.

‘ඔයාගෙ ඇඳුම් ටික. නවල තියෙන්නෙ. මං අල්මාරියෙන් දාන්නද…’

‘ඇයි අම්ම නැද්ද…’

‘ඉන්නව. මං ගත්ත ඉතිං. මං ඔයාගෙ වැඩක් කරල දුන්නහම මොකද වෙන්නෙ…’

අස්විද පුටුව පස්සට දමමින් වහා මේසය ළඟින් නැගිටගත්තේ ය. නිලූපා ගේ දෑස් මත බියක් සනිටුහන් විය. ඇය ළඟින්, ඇය වෙතට දැඩි බැල්මක් හෙළාගෙන, ඇඟේ නො ගෑවී ඔහු එතැනින් නික්ම කාමරයෙන් පිටව ගියේ ය.

‘අම්මා’

තැති ගත් නිලූපා ඇඳුම් ටික යහන මතින් තබා වහා කාමරයෙන් නික්මුණා ය.

වජිරා හිටියේ රෑ කෑම පිළියෙළ කිරීමේ සූදානමෙනි. විජිත ට රෑට බත් ටිකක් ඕනේ ම ය. කඩයප්පන් කෑ විට ඔහු ගේ බඩ පපුව දැවිල්ල ගනී. එබැවින් එකක් එක්ක හෝ රෑට බතක් පිසින්නට වජිරා වගබලා ගනී. දිවා ආහාර ඉතුරු වුණොත් කලවමට කන්නට පාන් ගෙඩියක් ගෙන තබයි. බත් සමග පාන් කලවමේ අනාගෙන කන්නට අස්විද බෙහෙවින් ප්‍රිය ය.

දවල් ඉතිරි වූ ව්‍යාංජන වලට අලුතෙන් කරවල හොද්දක් පිසින්නට වජිරා තීරණය කළා ය. නාරං යුෂ දමා පොල් සම්බලයක් කොටා ගත් විට තාත්තාත් පුතාත් දෙදෙනා ම කැමති ය. වජිරා හොද්ද ඒදත්දී, එපා කියද්දී ම යසස්වි පොල් ගෑවා ය.

‘දුවගෙන් වැඩ ගන්න ඕන්නෑ මට. තාම මේ ගෙදර වැඩ ටික කරන්න මගෙ අත පය හයියයි’

වජිරා එහෙම කීවේ වැඩි හොඳට ය. යසස්වී ගෙදර වැඩ කරන එක ඇගේ හිතට හරි නැත.

‘අනේ…එහෙනං මං තනියම උයාගන්නං මගෙ කෑම ටික. ඒ කියන්නෙ ඕගොල්ලොන්ට මං පිට කෙනෙක් කියන එකනෙ…’

‘එහෙම නෙවෙයි දරුවො. මට ලෝබයි ඔයාගෙන් වැඩ ගන්න. තාම චූටි කෙල්ලනෙ’

‘මං මෙහෙ ඉන්නෙ හරිම ආසාවෙන් ආන්ටි. මගෙ අම්මට වගේම මං ඔයාටත් ආදරෙයි. මගෙ තාත්තටත් වැඩිය අංකල්ට දැන් මං ක්ලෝස්. මෙහෙම වැඩක් කරනකොට මං මේ ගෙදර කෙනෙක් වගේනෙ. ගෙදරදි අම්ම උයනකොටත් මං පොල් ගාල දෙනව… ලූණු අමු මිරිස් කපල දෙනව…සමහර දවස් වලට තනියම උයලත් තියනව’

‘එහෙනං ඉතිං බය නෑ. මට බැරි වුණ දාකට අපිට උයල කන්න දෙයිනෙ’

‘ආයිත් අහල. කන්න බැරි පුළුවං කොහොම වුණත් උයල දෙයි’

‘අම්මේ’ කියාගෙන අස්විද මුළුතැන්ගෙට ආවේ එතකොට ය. ඔහු ගේ බැල්මේ තිබූ දැඩි බව ද ගමන් වේගය ද නිසා වජිරා කරමින් සිටි කාරිය නවතාගෙන ඔහු දෙස බැලුවේ දෙගිඩියාවෙනි. යම් කිසි වරදක් සිදු වී තිබෙන බව අස්විද ගේ ස්වභාවය මත ඇය ඉවෙන් වාගේ හැඳින්නා ය. හිරමණය මත හිඳගෙන ම යසස්වි ද දෙනෙත් අයා ඔහු දෙස බලා සිටියා ය.

‘මොකද්ද අරය අර කරන්නෙ…’

‘මොකද්ද චූටි පුතා… කවුද…’

අම්මා ට පුතා ගේ අණ්ඩර දෙමළයෙන් බිඳුවකුදු වැටහුණේ නැත. නමුත් ඔහු නිකං ම එහෙම පරල නොවෙන බව දන්නා ඈ තුළ කිසියම් ගැස්මක් ඇතිව තිබේ. චූටි පුතා කේන්ති ගන්නවාට ඇත්තට ම ඇය බිය ය. ඒ ඔහු නිතර කෑ කෝ ගසනා චරිතයක් නොවන බැවිනි.

‘ඇයි එයාට මගෙ වැඩ කරන්න කිව්වෙ…’

‘කාටද… මොන වැඩද… මට තේරෙන්නෑ’

‘අර මගෙ ඇඳුං නවාගෙන රූම් එකට ආවෙ. අම්මට ඒව කරන්න බැරිනං කියන්න. මට කරගන්න පුළුවන්’

‘මට මොකද ඔයාගෙ වැඩ කරන්න බැරි… කවුද රෙදි අරං තියෙන්නෙ… නිලූපාද… මේ ගොල්ලොන්ටත් ඕන්නැති ඒවනෙ කරන්නෙ අප්ප. මං කතා කරන්නංකො නිලූකාට. හරි හරි ඔයා දැන් ඔය කේන්තිය අමතක කරන්නකො’

සර්වියට් එකෙන් අත පිසදාගත් වජිරා අස්විද ගේ අත් බාහුව පිරිමැද්දා ය. නමුත් ඔහු නික්ම ගියේත් නො නිවුණු කේන්තියෙනි.

‘අනේ මන්දා මේගෙල්ලො කොච්චර කිව්වත් කියන දේ අහන්නෑනෙ’

වජිරා වෙතින් දිස් වූයේ හිත් කරදරයක ස්වභාවයකි. යසස්වි හිරමණය මතින් නැගිට ඇය වෙත ගොස් උරහිස පිරිමදින්නට වූවා ය.

‘ඒකට ඉතිං කරපු කෙනාට බණින්නෙපැයි… ආන්ටිට බණින්නෙ… පිස්සුද කොහෙද…’

වජිරා මඳහස පෑවා ය.

‘එයා ඉතිං ඔක්කොම යවන්නෙ මගෙ පිටින් තමා’

තුසිතයේ සුරතලයට හැදෙනා සුදු පූසිය වජිරා ගේ මූණ බලමින් ඇගේ දෙපා වල දැවටුණේ ඈ සිත් වේදනාවකින් බව ඉව වැටුණා මෙනි.

‘සුදු කිටී… ඔයා දැං අයියගෙ ළඟට යන්න. ගිහිං පොඩ්ඩක් හුරතල් වෙලා එයාගෙ කේන්ති නිවල එන්න’

පූසිය නැවත ද ඤාව් කීවා ය. යසස්වී බිමට පහත් වී පූසිය ගේ හිස පිරිමැද්දා ය. පූසිය පුරු පුරු ගාමින් යසස්වී වෙත දැවටුණා ය. මීට පෙර ඇය පූසන්ට කැමති නැත. නමුත් දැන් සුදු කිටී ගැන ස්නේහයක් ඈ තුළ ලියලමින් තිබේ. තුසිතය පුදුම ය. එහි නිවැසියන් ද අමුතු ය. නමුත් යසස්වී තුසිතය ට ද එහි සාමාජිකයන් ට ද අමුතු බැඳීමකින් බැඳෙමින් තිබේ!

වජිරා ප්‍රමාද නොකර නිලූකා සමග කතා කළා ය. එසේ කළේ කැමැත්තකින් නොවේ. ඇය ඕනෑ ම දේකට අනවශ්‍ය ලෙස කලබල වෙයි. හඬ නගා කතා කරයි. හරියට රණ්ඩුවක් වාගේ ය. තුසිතයේ   නැන්දම්මා ලේලි ගැටළු ඇතිවෙන්නට ඉඩ නො තබන බවට වජිරා තමන්ට ම පිළිණ දීගත්තේ චේතිය විවාහ වීමටත් පෙර යි. නමුත් නියපොත්තෙන් කැපිය හැකි දේ පොරොවෙන් කපන්නට වෙන තැනට වැඩෙන්නට නො හැරිය යුතු ය.

‘ඉතිං මොකද වෙන්නෙ… දැන් තිස් හයක් වෙනකලුත් මගුල් හෙව්වනෙ. හරියන්නැති එකේ නංගිව හරි බැන්දහම ඉවරනෙ. ආයෙ හොයන්න බලන්න කියලයැ’

නිලූකා කෙලින් ම මාතෘකාවට අවතීර්ණ වූයේ මේ වතාවේ ය. එහෙම කළ එක හොඳ යයි වජිරා ද සිතුවා ය. එතකොට කෙළින් ම මේ යෝජනාව ප්‍රතික්ෂේප කළ හැක.

‘ඒක හරියන වැඩක් නෙවෙයි නිලූකා’

‘ඇයි ඒ… මොකද හරියන්නැත්තෙ… මොකද්ද නංගිගෙ වැරැද්ද…’

‘නෑ නෑ ඒ ළමයගෙ මුකුත් වරදක් තියනවට නෙවෙයි. ඒ වුණාට එක පවුලකින්ම අයිය මලෝ දෙන්නටම කසාද කරගන්න ඕන නෑ නිලූකා’

‘ඒක මාර වැඩක්නෙ. එහෙම දේවල් ඔය ඕනතරං වෙන්නෙ. නොබැඳම ඉන්නවට වැඩිය නරකද කාව හරි බඳින එක…’

‘අපේ අදහස කොහොම වුණත් එහෙම දේකට අස්විද නැමති නෑනෙ. ඒක නිසා ඔය ගැන බලාපොරොත්තු තියාගන්න එපා. අර ළමයගෙ ඔළුවට ඔය දේවල් දාල අනවශ්‍ය ගැටළුවක් ඇති කරන්නත් එපා නිලූකා’

‘එහෙම වුණොත් අපිට නිලූපාව මෙහෙ තියාගන්නත් බැරි වෙයි’ කියා ඇය නො කියා සිටියා ය.

නිලූකා ගස්සාගෙන යන්නට ගියා ය. වජිරා එවැනි දේවලින් නො සැළෙන ඍජු ගැහැනියකි. කියන්නට තිබෙන දෙය පැහැදිලිව කෙළින් ම කියා අවසන් කළ හැකි වීම ඇගේ හිතට සහනයක් විය. චේතිය ට කතා කරන්නට වන තැනට මේ ප්‍රශ්නය දිග් නො ගැසී, මෙතනින් කෙළවර වෙනවා නම් හොඳ ය!

තුසිතයේ කෑම මේසය සූදානම් වන්නේ විජිත, අස්විද හා වජිරා වෙනුවෙනි. චේතිය ගේ පවුලේ අය එක ම වෙලාවක කන්නේ නැත. චේතිය ඔහු ට කුසගිනි දැනෙනා වෙලාවක බෙදාගෙන කයි. අනිත් අය ද එසේ ය. ඔය තරම් හුරතල් කරන්නට ඇයට වෙලාවක් නො වෙතැයි නිලූකා කියයි. ඕනෑ ම වෙලාවක දැලි කුණු පෙරාගෙන කුස්සිය පැත්තේ කාලය ගත කළ ද ඇය කරනා මහ ලොකු වැඩක් නැත ය යන්න වජිරා ගේ නම් අදහසයි. නිලූකා කියන්නේ වැඩ වවාගන්නා ගැහැනියකි. ඇය එක වැඩක්වත් පිළිවෙළට නිමා කරන්නේ නැත. වැඩ කෙතරම් තිබුණත් වැටුණ වැටුණ තැන් වල නිදාගනී. දුරකතනයේ එල්ලීගෙන කා සමගින් හෝ කියවමින් වරු ගණන් කාලය ගත කරයි. එක වැඩක් නිමා නොකොට වෙනත් වැඩකට යයි. එතකොට ඇගේ දින චර්යාව අවුල් ගොඩක් වෙයි.

ලොකු පුතා චේතිය ගැන වජිරා ට විටෙක දුක සිතේ. ඔහු සිය බිරිඳට කරුණු පහදා දෙන්නේ නැති එක ගැන නො රිස්සුමක් ද ඇති නොවෙනවා නොවේ. නමුත් චේතිය ඇගේ කුසින් බිහි වූ පළමු දරුවා නිසා ඇයට ඔහු අමතක කොට සිටිත නො හැකි ය.

‘ලොකු පුතත් එන්නකො කෑම ටිකක් කන්න’

කියා චේතිය පේන්නට හිටියොත් වජිරා අනිවාර්යෙන් ම ආරාධනා කරන්නී ය. නමුත් චේතිය කුමක් හෝ කියා එය මගහරියි. නැත්නම් නිලූකාගෙන් ඔහු ට කනක් ඇහී ඉන්නට ලැබෙන්නේ නැත. එබැවින් චේතිය බත් පිඟාන බෙදාගත්දී වජිරා ඇගේ හොදි මාළු ඊට බෙදයි. ලොකු පුතාට බිරිඳ හරි හැටි නො සැලකීම ගැන ඇගේ හිතට අමාරු ය. නමුත් පවුල් ප්‍රශ්න ඇති නොවනු වස් ඇය ඔවුන්ගේ පවුලේ දේවලට අතපොවන්නට යන්නේ නැත.

පොල් සම්බල හා කරවල හොදි දීසි දෙක මේසය මතින් ගෙනැවිත් තිබ්බේ යසස්වී ය. ඒ වන විටත් තාත්තා හා චූටි පුතා මේසයට වාඩි වී සිටියහ. වෙනදාටත්, විශේෂයෙන් ම යසස්වි පැමිණීමෙන් පස්සේ, කෑම මේසයේදී අත්‍යවශ්‍ය දේකට මිස අස්විද කතා කළේ නැත. ඔහු ගේ ම වූ හුදෙකලා ලෝකයකට වී ඉක්මනට කෑම ගෙන ගියේ ය. නමුත් ඒ කිසි දවසක නොවූ තරහක් අද ඔහු ගේ මූණේ තිබේ.

‘වැඩිය කේන්ති ගත්තහම ඉක්මනට වයසට යනව නේ ආන්ටි…’

යසස්වී බත් බෙදාගන්නා අතරේ ඇඟට පතට නො දැනී කීවා ය.

‘අන්තිමට ළමයි මොන්ටිසෝරි ගෙනියන්න වෙන්නෙ හැරමිටිය ගගහ තමයි. නර්සරි ටීචර් එතකොට කතාකරන්නෙ බබාලගෙ සීයෙ කියල’

දැන් දැන් අස්විද කෝප ගෙන මේ කෙල්ලට බැණ වදිනු ඇතැයි බියක් වජිරා තුළ උපන. එබැවින් ඕ තොමෝ යසස්වි දෙස බැලුවේ ඔය විහිළු නවත්වන්න කියනවා වාගේ අසරණ බැල්මකිනි. යසස්විට ඒ බැල්ම නො තේරුණා නොවේ. ඇය ඒ නො තේරුණා සේ දිගට ම කතා කළා ය.

‘තුසිතෙට කොහිල වළක් නැද්ද අංකල්…’

‘න්… නෑනෙ’

විජිත හිටියේත් දෙගිඩියාවේ ය.

‘අපරාදෙ අංකල්ට හදන්න තිබුණෙ. එහෙනං අංකල්ට තිබුණ හැමදාම උදේට උදේට කොහිල අලයක් ගලෝගෙන එන්න. ආන්ටිට තියෙන්නෙ ඒක කටු පිටින් තම්බන්න තමයි’

යසස්වි හුරතල් ආරකින් එහෙම කියත්දී සිනහ යන්නට එන එක නතර කරගත නො හැකි ය. නමුත් අස්විද ට තවත් කේන්ති යතැයි බියෙන් සිනහ වෙන්නට ද නුපුළුවන.

‘හැබැයි ඔය අම්මලට ලොකු සීන් දාන පුතාල ඉන්නව නේද අංකල්… ඒගොල්ලො වයිෆ්ලගෙන් තමයි හැදෙන්නෙ. පාරක් දෙකක් කනකොට සුවච කීකරු හස්බන් වගේ හැදෙන්න පටංගන්නව. ඇයි ඉතිං වයිෆ්ගෙන් පාරක් දෙකක් කන්න බැරි හස්බන් කෙනෙක්ගෙන් ඇති වැඩකුත් නෑනෙ. බලන්නකො ඕගොල්ලො. අර යසස්වි කෙල්ල කිව්ව නේද ඕක කියල මතක් වෙයි දවසක’

අස්විද ට කෑම පිටිඋගුරේ ගියේ සිනහව හංගාගන්නට ගිය බැවිනි. මොනවත් කියලාත් බැරි ය. නො කියාත් බැරි ය. මේ කෙල්ල කතා කරන විදිහට බණින්නත් බැරි ය. බණින්න හේතුවකුත් නැති ය.

පරල වෙතැයි සිතූ චූටි පුතා බිම බලාගෙන කෑම ටික කා නැගිටිත්දී වජිරා සැනසුම් සුසුමක් හෙළුවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here