“කොහෙද බං මේ…”
තීක්ෂණ විමතියෙන් විමසූයේ මේ ඔහුට හුරු පුරුදු තැනක් නොවූ නිසාය. ඊයේ පෙරේදා සිට යුගාෂ්ගේ සමහර මැඩ හරි අමුතු ඒවාය. විටෙක ඔහුගේ විලාශය රහස් පරීක්ෂකවරයෙකු සේය.
“වරෙන්කෝ…කට පියන්”
“උඹ ඒ කාලෙ පාඩම් කලාට වඩා ෂර්ලොක්හෝම්ස් පොත් කියවපු එකේ වැරැද්ද තමයි මේ.”
යුගාෂ් සිනහසෙමින් සිය මිතුරා දෙසට හැරුණේ මඳක් පැරැණි තාලයට නිමවූ නිවසේ ගේට්ටුව අභියසදීය. පර්චස් දහයක් පමණ වූ ඉඩමෙහි තැනින් තැන වූයේ පොල් ගස්ය. මදක් විසාල නිවසක් වූවාට කලකින් එහි නඩත්තු කටයුත්තක් සිදු වූ බවක් පෙනෙන්නට නොවේ.
“මචං….අපූර්වලාගේ ලීඩ් එකට මෙන්න මේ ගෙදර ඉන්න රාජ්‍ය සේවකයෙක් තමයි බොරු ඩොකියුමන්ට් හදල තියෙන්නේ.”
“නෑ…උඹට ෂුවර්ද…නැත්නම් ගුටි කන්න තමයි වෙන්නේ”
යුගාෂ් හිස වැනුවේ ජයග්‍රාහී ලීලාවෙන්ය. සොල්දර ගෙදර ඉඩම පිළිබඳව මේ වන විටත් ඔහු බොහෝ තොරතුරු එක්රැස් කරගෙන උන්නේය. දැන් ඇත්තේ ඒවා සනාථ කර ගැනීමය.
දොර ඇරියේ අවුරුදු විසි හතරක පමණ යුවතියකි.
“මිස්ටර් අමරසේකර ඉන්නවද…”
ඕ ඇසුවේ යුගාෂ් දෙසත් තීක්ෂණ දෙසත් මාරුවෙන් මාරුවට බලමින්ය.
“කවුද මේ…”
“ආ… ඒ දවස්වල අපි මිශ්‍ර අමරසේකරකින් පොඩි වැඩ වගයක් කර ගත්තා. ඒ ගැන චුට්ටක් කතා කරගන්න ආවෙ. නම කිව්වට ලොකු මතකයක් නැතුව ඇති”
යුවතිය නිවස තුළට නික්ම ගියේ මිතුරන් දෙදෙනා ආලින්දයේම සිටියදීය.
“අමරසේකර අංකල්ගේ දුවත් නරකම නෑ. බැරිද දන්නෙ නෑ ඥාතීත්වයක් ගොඩ නගා ගන්න.”
“බැරි කමක් නෑ හැබැයි මගේ වැඩෙන් පස්සේ.”
බතික සරමක් සහ නිල් ඉරි වැටුණු උඩුකමිසයක් ඇඳගෙන මැදිවියේ පුද්ගලයෙකු ආලින්දයට පැමිණියේ එවේලෙහිය. ඔහු නළලතේ රඳවාගෙන උන් උපැස්යුවල නිසි අයුරින් ස්ථානගත කොට තරුණයන් දෙස බැලුවේ විමසිල්ලේය.
“මට නම් ඒ තරමට පුරුදු නෑ මේ ළමයි දෙන්නා.”
“අපිට මිස්ටර් සමරසේකර එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද…”
එසේ ඇසුවේ තීක්ෂණය.
“එන්න ඉඳගන්න…කාරණය..”
මිතුරන් දෙදෙනා මුහුණින් මුහුණ බලා ගත්තේ ඔහු එසේ පැවසුවාට පසුවය. පෙනුමේ හැටියට නම් ඔහු එවන් කපටි මිනිසෙකුයැයි සිතිය නොහැක.
“ඔෆිස් එකට ගියා මිස්ටර් සමරසේකර හොයාගෙන. එහෙන් තමයි කිව්වේ මිස්ටර් දැන් පැන්ෂන් කියලා. විවේක සුවයෙන් ගෙදරට වෙලා කාලය ගත කරන වෙලාවේ අපි ආපු එක කරදරයක් වුණා නම් සමාවෙන්න ඕනේ.”
“මොන විවේක සුවයක් ද ළමයෝ. ඒ රාජකාරිය කොච්චර නිදහස්ද කියල හිතෙන්නෙ දැන්. පුරුද්දට උදේ ඇහැරුණාට පස්සේ හැන්දෑ වෙනකල් මොනවා මොනවා හරි වැඩ ඉතින්. දරුවන්ගේ වැඩ දරුවන්ගෙත් දරුවන්ගේ වැඩ මනුස්සයෙක් කියන්නේ තමන්ගෙ රස්සාවෙන් පැන්ෂන් ගත්තට මැරෙනකල්ම ජීවිතෙන් පැන්ෂන් ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මේ ළමයි ආපු කාරණය කිව්ව නම්.”
“අපි දෙන්නම ලෝයර්ස්ලා. මම යුගාෂ්, මේ චින්තන. මිස්ටර් සමරසේකරට මතකද මීට අවුරුදු තුනකට කලින් මතුගම තිබුණු ලීඩ් එකකට ඩොකියුමන්ට් හැදුවා.”
“එහෙම ඉඩම්වලට කොච්චරනම් අත්‍යවශ්‍ය ලියකියවිලි හදන්න ඇද්ද දරුවෝ. දැන් පැන්ෂන් අරගෙනත් අවුරුදු දෙකක් වෙනවා”
“මේවා ලීගලි හදපු ඩොකියුමන්ට්ස් නෙමෙයි. හිතවත්කමට හෝ මුදලට හදපු එකක් ගැනයි අපි මේ අහන්නේ”
“මං එහෙම වැඩ කරල නෑ කවදාවත්….”
එවර සමරසේකර පැවසූයේ කලබලයෙන්ය. ඒ කලබලයේම වූයේ අමුත්තකි.
“මිස්ටර් මම ලෝයර් කෙනෙක්. මේ විදිහට මෙතනට ආවෙ හැම දෙයක්ම නිවැරදිවම සහතික කරගෙන. පුළුවන් නම් අපිට ඇත්ත කියන්න. මෙහෙම ඉල්ලන්නේ බොහෝම කරුණාවෙන්. සුහද කතා බහක් ගොඩ නගා ගන්න ඕන උන නිසා තමයි මේ විදිහට ආවේ. එහෙම නැති උනානම් උසාවි නියෝගයකින් හරි පොලිස් වොරන්ට් එකකින් හරි අපිට හමු වෙන්න තිබුනා. රාජ්‍ය සේවයේ උසස් නිලධාරියෙක් උන ඔබතුමාට මම නීතිය කියලා දෙන්න අවශ්‍ය නැහැනේ.”
“මං කියන්නේ ඇත්ත මම එහෙම වැරදි වැඩ කරලා නෑ. මගේ රාජකාරී රෙකෝඩ්ස් බලන්න. එහෙම කවදාවත් මගේ අතින් වරදක් වෙලා කියලා මාව ඉන්ටඩික් කරලාවත් මට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වලවත් නෑ. ඔය මහත්තයලට හොයලා බලන්න පුළුවන්”
“ඔඕ මං ඒක දන්නවා… අන්න ඒ නිසයි මම මිස්ටර් සමරසේකරව මෙහෙම මුණගැහිලා කතා කරන්න ආවෙ. රෙකෝඩ්ස්වල නැති ෆයිල් එකක් තමයි මේ. හැබැයි මෙන්න මේ ෆයිල් එක එළියට ගියොත් සමහරවිට මේ විවේක කාලය ජේල් එකේම ගත කරන්න වෙයි. මිශ්‍ර සමරසේකර ගාවට නිශ්ශංකව අරගෙන එන්නේ ලෝයර් පුෂ්පානන්ද. සමහර විට ලෝයර් පුෂ්පානන්ද ඕන තරම් වැඩ මිස්ටර් සමරසේකරට කියලා කරගෙන ඇති. මේ ඉඩමේ අයිතියක් පැහැදිලිව කාටවත් තිබුණෙ නෑ. හැබැයි මේ ඉඩම භුක්ති වින්දේ ඒ පවුලේ ලොකු සහෝදරයා. එයාගේ තාත්තා මැරෙන්න කලින් නොතාරිස් කෙනෙක් ගාව ලියපු ලියවිල්ලක් මගින් ඒ ලොකු සහෝදරයාට ඉඩම පවරනවා. මේ සහෝදරයා තමන්ගේ මල්ලිව විශ්වාස කරලා තමන්ගේ අත්සන ඇතුව ලියුමක් දෙනවා නිවැරදි ඔප්පුවක් ලබා ගැනීමේ කටයුත්ත සඳහා තමන්ගේ සහෝදරයාගේ නමට සම්පූර්ණ ඉඩම පවරන්න කියලා. එහෙම වෙලාවකදි ඔබතුමා ඒ නිසි ක්‍රමවේදයෙන් බැහැර වෙලා තමයි වැඩ කරගෙන ගිහින් තියෙන්නේ. අන්න ඒ ලියවිල්ල ප්‍රයෝජනයට අරගෙන තමයි මිස්ටර් සමරසේකර නිශ්ශංක රුබේරු කියන කෙනාගේ නමට මේ ඉඩමේ සම්පූර්ණ තනි අයිතිය පවරන්නේ. සම්පූර්ණයෙන් නීති විරෝධී වූ ක්‍රමයකට. මේ සමහර ලිපි ලේඛණ ව්‍යාජ ඒවා කියලා මම මේ වෙද්දිත් තහවුරු කරගෙන තියෙන්නෙ මිස්ටර් සමරසේකර”
“නෑ.. නෑ මම නෙමෙයි. ඒ වෙනකාට හරි කියලා කර ගත්ත දෙයක් වෙන්න ඇති. මම එහෙම කිසිම නීති විරෝධී වැඩක් කරලා නෑ.”
“ඇත්තටම අපිට වුවමනාව තියෙන්නේ මේ වෙච්ච වැරද්ද නිවැරදි කරන්න. මිස්ටර් සමරසේකර අපිට ඇත්ත කිව්වොත් අපි උපරිම උත්සාහ කරනවා මිස්ටර් සමරසේකරව බේර ගන්න. මිස්ට සමරසේකරගේ තනතුරේදී මේ වගේ දේවල් ඕන තරම් වෙන්නපුළුවන්. ඒවා නීත්‍යානුකූලව ඔප්පු කරන්න සාධකත් තියෙන්න පුළුවන් බව මතක තියාගෙන. මොකක්ද ඒ රහස් සදාකාලික නෑ. එකක් පිටිපස්සේ එකක් ඇදෙන්න පුළුවන්. ඔබතුමා තීරණය කරන්න තමන්ගේ ජීවිතය නිදහසේ ගත කරන මේ කාලෙදි තමන්ගේ කීර්ති නාමයයි විශ්‍රාම වැටුපයි දෙකම අහිමි කරගන්නවද, වැරැද්ද නිවැරදි කරගන්නවද කියලා”
මදක් දැඩි හඬකින් පැවසූයේ තීක්ෂණය. එතැන් සිට සමරසේකර වූයේ කල්පනාවකය. තිදෙනාගෙන් එක් අයෙකුවත් ඒ නිහඬතාවය බිඳ දමන්නට ඉස්සර නොවූ තරම්ය. ඒ නිහඬකම විනාඩි දෙක තුනක් දක්වා දිගු වද්දී මුලින්ම හඬ අවදි කලේ යුගාෂ්ය.
“ගොඩක් මිනිස්සු උවමනාවෙන් හොරකංවත් වැරදි වැඩවත් කරන්නෙ නෑ මිස්ටර් සමරසේකර. ඒවට මිනිස්සු පොළඹ වන්න මොනවා මොනවා හරි හේතු තියෙනවා. සමහර විට මිස්ටර් සමරසේකර උනත් මේ දේ කරන්න ඇත්තෙ මොනවා හරි සාදාරණ හේතුවක් නිසා වෙන්න ඇති. මොකද අපි දන්නවා මිස්ටර් සමරසේකර බොහොම වැදගත් විදිහට තමන්ගේ රාජකාරියේ නියුතුවුණු මනුස්සයෙක් කියලා. ඒ ඔක්කොම විස්තර හොයාගෙන තමයි අද අපි මෙතනට ආවේ. ඔබතුමාට පුළුවන්කමක් තියෙනවනං අපිත් එක්ක ඇත්ත කතා කරන්න. අපි මේක අතාරින්නේ නෑ”
යුගාෂ් වැඩිපුර දක්ෂ මේ අයුරේ ඉමෝෂනල් බ්ලැක්මේල් කිරීම් වලටය.
“මෙහෙමයි මහත්තයෝ…”
එසේ පවසා සමරසේකර හෙළුවේ දිගු සුසුමකි. යුගාෂ් මින් විනාඩි කිහිපයකට පෙර තමාගේත් තීක්ෂණගේත් අනන්‍යතාවය පැහැදිලි කලේ ඔවුන් සතු රාජකාරී හැඳුනුම්පත් පෙන්වමින්ය. තමාට ගැලවිල්ලක් නොවන බව සමරසේකර විශ්වාස කළේ එනිසාය.
“කියන්න මිස්ටර් සමරසේකර. අපේ පැත්තෙන් ඔබතුමාට කරන්න පුළුවන් හැම උදව්වක්ම අපි කරනවා.”
“රාජ්‍ය සේවකයෙකුගේ වැටුප කීයක්ද කියලා මං ඔය ළමයින්ට අමුතුවෙන් කියන්න ඕන නෑ. හැබැයි එහෙම උනත් වැරදි යැඩ කරන එක සාධාරණයි කියලා මම කියන්නෙත් නෑ. මගේ නෝනා රස්සාවක් කරන්නේ නෑ. මට ළමයි පස් දෙනෙක් ඉන්නවා. ලොකුම ළමයි දෙන්නා ටුවින්ස්ලා. පොඩිම ළමයා ආබාධිතයි. ඒ හින්ද තමයි මගේ නෝනට රස්සාවකට යන්න බැරි වුණේ. මේ ගෙවල් දොරවල් වත් මගේ නෙමෙයි මහත්තයා. මහත්තයාට තේරෙනවා ඇති මේවා දිහා බැලුවහම මේවා දැන් ගරා වැටෙන්නත් ළඟයි කියලා. මේ මගේ නෝනගේ මහ ගේ. ළමයි පස් දෙනත් එක්ක, නෝනත් එක්ක මහ ගෙදර ජීවත් වෙන්න තෝර ගත්තු මට ලෙඩ ඇඳේ ඉන්න අම්මවත් බලාගන්න වුණා. එතකොට මහත්තයා හිතන්න ඔය පඩියෙන් පුලුවන්ද අපි අට දෙනෙක්ගෙ බඩවල් පුරවගන්න. වේලක් ඇර වේලක් හරි කාලා බඩවල් පුරවගන්න පුළුවන්කම තිබුණත් මේ ළමයින්ට උගන්වන්න ඕන බෙහෙත් හේත් අරං දෙන්න ඕනේ මහත්තයාට තේරෙන එකක් නෑ ළමයි පොඩි කාලේ දොස්තර කෙනෙක් ගෙදර නවත්ත ගත්තනම් හරි කියලා හිතෙන තරමටම මේ ළමයි නිතර නිතර අසනීප වුණා.”
“මට නොතේරෙනවා නෙමෙයි මිස්ටර් සමරසේකර”
“ඔය කාලෙදි තමයි මට පුෂ්පානන්ද මහත්තයා හමුවුණේ. පුෂ්පානන්ද මහත්තයාට මං අපි ඔෆිස් එක පැත්තෙන් කෙරෙන්න තියෙන පොඩි පොඩි වැඩ සෑහෙන්න කරලා දීලා තියෙනවා. ඔය…අස්ථානගත වෙච්ච ඩොකියුමන්ට්ස් හොයලා දෙන වගේ දේවල්. පුෂ්පානන්ද මහත්තයා මට ඒවට හොඳට ගෙව්වා. මේ වගේ බරපතල වැඩ නං මං එහෙමකට කියලා කරලා නෑ මහත්තයෝ. මට මතකයි. ඔය නිශ්ශංක කියන මනුස්සයත් රජයේ සේවකයෙක්. ඔය මං පැන්ෂන් ගන්න ඉඳපු අවුරුද්ද. මගේ වැඩිමල් දුවලා දෙන්නගෙම වෙඩින් එක තිබුණෙත් ඔය අවුරුද්දේ. දහඅතේ ණය වෙලා එරිලා ඉඳපු අවුරුද්දක්. පුෂ්පානන්ද මහත්තයා නිශ්ශංකව මගේ ළඟට එක්කරගෙන ආවා. ඒවා නිරවුල් වෙච්ච ඉඩම් නෙමෙයි. ඒ නිසා පැහැදිලිවම මට පුළුවන්කම තිබුණා එතන යමක් කරන්න. මේක රැවටීමක් තමයි. හරිනම් ඔය ඉඩමේ අයිතිය තිබුණු සහෝදරයා එතන ඉදලා මං ඉදිරිපිට අත්සන ගහන් ඕනේ තාවකාලික ලියවිල්ලකින් නිශ්ශංකට ඉඩම පවරනවා කියලා. මොකද ඔප්පුව හැදිලා එන්නෙ එක් අයෙකුගේ නමට. පසුව තමයි බෙදීමක් විය යුත්තේ. ඔය සහෝදරයගේ වගේම අම්මගේ අත්සනත් නිශ්ශංකට අපූරුවට ගහන්න පුළුවන්කම තිබුණා. ඒ් නිසා බාධාවක් උනේම නෑ. නිශ්ශංක මහත්තයා මට ලක්ෂ තුනක් දුන්නා ඒ වෙනුවෙන්. මගේ තුන්වෙනි දුවගේ කසාද කටයුතු සිද්ධ වෙනවා ලබන මාසේ අන්තිමේ. මහත්තයාලට පුළුවන් නම් මට පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. මේ ළමයින්ට ලොකු නින්දාවක් වෙන්නේ එහෙම උනොත් මං හිරේ විලංගුවේ වැටෙයි මහත්තයෝ. මගේ මේ දරු පවුල බලාගන්නේ කවුද.”
“වරදක් කළා නං ඒකට දඬුවමක් තියෙන්නම ඕනේ. මිස්ටර් සමරසේකර දන්නවනේ. මොනම හේතුවක් නිසා හරි මේ සිද්ධ වෙලා තියෙන්නේ වංචාවක් කියලා. මිස්ට සමරසේකර ඒ ලක්ෂ තුන අරගෙන තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්න ඇති. නමුත් ඊට පස්සේ ගොඩක් දේවල් වෙලා තියෙනවා. සමරසේකර තමන්ගේ දරු පවුල ආරක්ෂා කරද්දී මේ ගෙදර ඉන්නවා වගේම දුවෙකුට තමන්ගේ මුළු ජීවිතයම නැතිවෙලා තියෙනවා.”
“ඒ කිව්වේ මහත්තයා……”
“ඔය නිශ්ශංක කියන මනුස්සයාගේ සහෝදරයා මේ ඉඩකඩන් සේරම නිශ්ශංක ට අයිති වුණාට පස්සේ මහ පාරට වැටිලා තියෙනවා. තමන්ගේ අම්මයි, බිරිඳයි, ගෑනු දරුවෙකුයිත් එක්ක. ඔය මනුස්සයා අවුරුදු පහක් විතර ඔය ඉඩමට නඩු කිව්වා කියලා මිස්ටර්ස් සමරසේකර දන්නවා ඇතිනේ. ඔව්..නමුත් නිශ්ශංක මටනං කිව්වේ සහෝදරයට වන්දියක් ගෙවනවා කියලා..එහෙම නඩුවක් තිබුණු බව දන්නවා. හැබැයි ඒකෙ කාලවකවානුවක් ගැන මම දන්නෙ නෑ.”
“එහෙම නඩු කියලා සතේටම හිඳිලා ණයකාරයෙක් වෙලා අන්තිමට ඒ මනුස්සයා ඔය ඉඩමේම එල්ලිලා මැරිලා. එයාගේ වයිෆ් තමයි ඉස්සර වෙලාම දැකලා තියෙන්නේ තමුන්ගේ මනුස්සයා ඒ විදිහට එල්ලිලා ඉන්නවා. එදා ඉදලා ඒ ගෑනු කෙනා මානසික රෝගියෙක්. මේ වෙද්දි අංගොඩ මානසික විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. මිස්ටර් සමරසේකර තමන්ගේ ගෑණු දරුව පරිස්සම් කරද්දි ඒ ගෙදර ගෑණු දරුවා තාත්තගේ ත්‍රීවිලර් එක හයර් කරලා තමයි ජීවත් වෙන්නේ.”
“අයියෝ මොන අපරාධයක්ද ඒක”
සමරසේකර සිය උපැස් යුවල ගලවා දෑස් මුල මිරිකා ගන්නා ආකාරය යුගාෂ් දුටුවේය. බොහෝ මිනිසුන් තමන්ගේ ජීවිතවල ප්‍රශ්නවලට පිළියම් සොයන්නේ අන් අය ගැන නොසිතමින්ය. වරදකරුවන් කවුරුන්දැයි නොතේරෙන්නේ එනිසාය.
“ඒවා ආපහු හදන්න වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි.”
“මගේ අතින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වෙලා තියෙන්නේ ලොකු වරදක්.”
“මේ වැරැද්දම තව ගොඩක් අයට වෙලා ඇති.”
“මට තේරෙනවා මහත්තයෝ. මම දැන් මොකක්ද කරන්න ඕනේ. මට වරදක් වෙනවා කියන්නේ මහත්තයෝ මගේ දරුවන්ට පාරේ බැහැලා යන්න ක්‍රමයක් නැති වෙනවා. එහෙම උනොත් මටත් වෙන්නෙ වෙන්නෙ ඒ වගේ ජීවිතේ නැති කරගන්න තමයි. වෙන විසඳුමක් නෑ.”
“මිස්ටර් සමරසේකර අපිව ඉමෝෂනල් බැලැක් මේල් කරනවද..”
එවර තීක්ෂණ ඇසුවේ සිනාසෙමින්ය.
“තරුණ දරුවෝ වෙච්ච ඕගොල්ලන්ට තාත්තා කෙනෙක්ගෙ වගකීම් තාත්තා කෙනෙක්ගේ වේදනාව තේරෙන්නේ නැතුව ඇති. මං කියන් නෑ කොයිම වෙලාවකවත් මම හරි කියල. මගේ අතින් ඒ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ලොකු වැරැද්දක්. හැබැයි ඒක මං හිතා මතා කරපු වරදක් නෙමෙයි. කරන්න දෙයක් නැතිකමට මගේ අතින් සිද්ධ වෙච්ච වරදක්. මාව ආරක්ෂා කරලා කරන්න පුළුවන් දෙයක් මහත්තයලා කරන්න. ඔය රුපියලකින්වත් මං එක බුලත් විඩක්වත් කාපු මිනිහෙක් නෙමෙයි මහත්තයෝ”
“බලමු අවශ්‍යතාවයක් වුණොත් මම ආපහු මිස්ටර් සමරසේකර හම්බවෙන්න එන්නම්.”
“මට මහත්තයාගේ ටෙලිෆෝන් නම්බර් එක දීලා යන්න පුළුවන්ද.”
“මේ මගේ කාඩ් එක. පුළුවන් නම් නං අපි මේ විදිහට මේ ගැන ප්‍රශ්න කරන්න ආවා කියලා පුෂ්පානන්දට නොකිය ඉන්න. එහෙම වුණොත් මට මිස්ටර් සමරසේකරව බේරගන්න ක්‍රමයක් ගැන කල්පනා කරන්න පුළුවන්.ඔබතුමා මතක තියාගන්න මේ සිදුවීමට සම්පූර්ණම වැරදි කාරයා ඔබතුමාව කරන්නත් මට පුළුවන්. මෙතනින් එහාට මම කියන විදිහට වැඩකරමු මිස්ටර් අමරසේකර.
“එක පාරක් වෙච්ච වැරැද්ද දෙවැනි පාර වෙන්න මං ඉඩ තියන්නේ නෑ මහත්තයෝ. ඒ පවුලට වෙච්ච දේ ඇහුවට පස්සේ මට මාවම එපාවුනා.”
“එක අත්සනකට මොනතරම් දේවල් කරන්නන පුළුවන්ද. ඒ නිසා වගකිවයුතු රාජකාරියක නිරත වෙන හැම මනුස්සයෙක්ම ප්‍රවේසම් වෙන්න ඕනේ. තමන් මේ වග කියන්නේ පුටුවකටත්වත් මේසයකටවත්, තනතුරකටවත්, කොලේකටවත් නෙමෙයි තවත් මනුස්ස ජීවිතයකට කියන එක සිහියෙ තියා ගත්තනම් හරි.”
යුගාෂ් නැගී සිටියේ එසේ පවසමින්ය.
“මහත්තයාල මුකුත් බිව්වෙත් නෑ.”
“බොහෝම ස්තුතියි දැන් එපා. සමරසේකර කලබල වෙන්න එපා. ඇත්තටම අපිත් එක්ක අවංකව කතා කරපු නිසා ඔබතුමා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් කරනවා.”
“ඒ මොනව කලත් රාජ්‍ය සේවකයෙක් අල්ලස් ගැනීමේ චෝදනාව බරපතලයි කියලා මං දන්නවා මහත්තයෝ.”
සමරසේකර එසේ පැවසූයේ ගේට්ටුව අසලදීය.
“ඇත්තටම කිව්වහම බං අපි හැමෝම එක එක විදිහට අසරණයි නේද..”
තීක්ෂණය එසේ ඇසුවේ වාහනයට නැගී බඳ පටිය පලඳා ගන්නා ගමන්ය.
“අසරණකම කියන්නෙ වැරදි වැඩ කරන්න දෙන ලයිසන් එකක් නෙමෙයි බං.”
“උඹ දැන් අපූර්වාගේ නඩුව උඩට ගන්නවද….”
“සමහරවිට”
යුගාෂ් එසේ පැවසූයේ කඳු පල්ලමක් වූ පටු මාර්ගයේ වාහනය පරිස්සමට ඉදිරියට ගෙනයන අතරේය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)