සන්තාන සුසුම් සර – 12

0
4839

යසස්වී රියදුරු පුහුණුව ලැබීම, ඉරිදා සිට අරඹන්නට තීරණය විය. එ් තීරණය අනිත් අයටත්   වැඩිය, ඇය විසින් ම ගනු ලැබූවක් කීවාට වරදක් නැත.
 පහළ මහළේ දී තුසිතයේ සියල්ලන් එක්ව සවස තේ පාණය කිරීමෙන් පසු අස්විද හෙමිහිට මතු මහළට පිවිසියේ ය. ඒ කතා බහ තුසිතයේ ක්ෂුද්‍ර පවුලෙහි හෘදයාංගම හමුවයි. හදවත් වල වන සංවේදී ම කාරණා ගැන උනුන් සන්නිවේදනය කරනුයේ එහිදී ය. සාමාන්‍යයෙන් අස්විද වැඩි කතා බහක් නැතිවාට යසස්වි ආවාට පස්සේ ඒ හමුව පාළුවෙන් තොර ය. සජීවී ය. සිනහවෙන් ද විහිළු තහළුවෙන් ද බර ය. වැඩියෙන් ම කතා කරන්නේ යසස්වී හා විජිතයි. ඔහු ගෙවා ආ ජීවිතයෙහි, කාලයේ පුලිනතලා අතරේ සැඟව ගිය යම් යම් සිදුවීම් යසස්වි නිසා ඉස්මතු වෙයි. ඇය ඒ පැරණි කතා හාරා පාරා අහන්නට රිසි ය. එහෙම පිළිසඳරකට සූදානම් කෙනෙකු මීට පෙර තුසිතයෙහි සිටියේ නැත. යසස්විට වන බැඳීම නිසා සනුක ද ඇතැම් දිනෙක රෑ වන තුරු ම මතු මහළට වී කතා බහේ යෙදෙයි. සීයා ට කියන්නට කතා සරිත් සාරගරයක් තිබී ඇති බව ඔහ දන්නේත් දැන් ය.
ඒ රස කතා ස්මරණය කරනා එක විජිත ට සතුටකි. ඔහු ඒවා කියන්නේ හඬ නගා සිනහ වෙමින් හා බොර පාට දෑස් ආලෝකවත් කරගනිමනි. වජිරා මෘදු හසරැල්ලකින් ළඟට වී සිටී. විජිත ගේ කතාවකට අනුබලයක් හ්ම්මිටියක් තබයි.
ළඟින් හිටියා වාගේ දැනුණාට ඔහු ද පියා ට දුරින් හිඳ ඇති බව අස්විද ට දැනෙනුයේ ඔහු එතෙක් අසා නොතිබි පැරණි කතා බොහොමයක් දැන් දැන් කියවෙත්දී ය. කතා කරන්නට කෙනෙකු නැතිව පියා වුව සිටින්නට ඇත්තේ කෙතරම් හුදෙකලාවක දැයි එවිට ඔහු ට සිතේ.
දරුවන් උස් මහත් වී ඔවුන්ගේ ජීවිත සංකීර්ණ වන විට දෙමාපියන් මගහැරී යාම සාමාන්‍ය තත්වයකි. නමුත් එය කෙතරම් වැරදි දැයි දැන් අස්විද ට වැටහේ. විජිත යසස්වී එක්ක කතා කරන්නේ, කාලයක් ආහාර පාණ නොමැතිව සිටි කෙනෙකුට හදිසියේ ඒවා ලැබුණා සේ ය. තාත්තා එක්ක ඔය පරණ දේවල් කතා කරමින් ඉන්නට අස්විද ට කිසි දාක උනන්දුවක් ඇති වී නැත. වර්තමාන සිදුවීම් ගැන ද ඔහු වැඩිපුර කතා කළා නොවේ. ටික වෙලාවක් මතු මහළට වී සිටියත් වැඩිපුර රජවුණේ නිහැඬියාවයි. යම් යම් දේ ගැන හාරමින් ප්‍රශ්න කරමින් කතා බහක් ඇති කළේ වුව අම්මා ය. අස්විද ගේ සන්නිවේදනයක් තිබුණේත් වජිරා සමගයි. දියණියක නැති ගෙදර තාත්තා පසෙකට ම තල්ලු වී ගොස් තිබිණි. පුතුන්ට ඔහු හා කතා කරන්නට මාතෘකා තිබුණේ නැත. රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, කාලයක් තිස්සේ වත්තේ පිටියේ ගහ කොළ සමගින් කතාබහ කරමින් සිටි තාත්තා ට මිතුරියක- දියණියක ලැබී තිබේ. ඇය හින්දා ඔහු සතුටෙනි. ඇය හින්දා ඔහු ප්‍රබෝධයෙනි. 
‘හෙට ඉඳං මං ඩ්‍රයිවින් ඉගෙනගන්නව. අස්විදයිය උගන්නනව. නේහ්…’ 
කතාබහ අතරේ දී යසස්වි එසේ කීවේ අස්විද කිසි සේත් බලාපොරොත්තු නොවූ අයුරිනි. 
‘මේම්…’ 
‘ඔන්න නෑ බෑ නෑ හොඳේ. මං කිව්වනෙ මං ගෙවන්නං කියල’ 
‘අනේ දුව… අයියට ඉතිං එහෙම දේකට වෙලාවක් නෑනෙ’ 
වජිරා ඒ මැදිහත්වීම කළේ අස්විද ට කේන්ති ගොස් යසස්වි ගේ හිත රිදෙන යමක් කියවෙන්නට පෙරයි. සාමාන්‍යයෙන් ඔහු අකමැති දෙයකට ඇවිටිලි කරනවාට නො රිසි පුද්ගලයෙකි. එහෙම වෙලාවට ඔහු කෝප ගෙන කෑගසයි. නිලූපා සම්බන්ධයෙන් වජිරා ට ඔය අත්දැකීම තිබේ. නමුත් යසස්වි අහේතුකව හිත රිදවාගන්නවාට ඕ තොමෝ කැමති වූයේ නැත.
‘අනේ ඉතිං ඕකට මහ වෙලාවක් යන්නෑ. දවසකට එක පැය බාගයක් තිබුණනං ඇති. මෙයා ගෙදර ආපු වෙලේ ඉඳං කොච්චර වෙලාවක් බකංනිලං ඉන්නවද… ඒ වෙලාවෙ ඔහොම උදව්වක් කරන්න බැරිද…’ 
‘අ… බලමුකො… සතියකට දවසක් දෙකක් වගේවත් වෙලාවක් තිබුණොත් මං බලන්නං’ 
අස්විද අසීරුවෙන් කියාගත්තේ ය. ඔහු බිය වූයේ අම්මා මැදිහත් වීමෙන් මේ යෝජනාව ඉල්ලා අස්කරගන්නට යසස්විට සිදු වනු ඇත කියා ය.
‘අනේ ඔව් පුතේ. මොනා වුණත් දැන් මේ දැරිවිගෙ පවුල කියන්නෙ මේ අපිනෙ. මොකද අම්ම තාත්ත සහෝදරයො ළඟපාතක ඉන්නව කියලයැ. ඒ ළමයට ඕන දෙයක් හොයල බලල කරල දෙන එක අපේ යුතුකමක්නෙ’ 
විජිත ඒ විදිහට මැදිහත් වීම අස්විද ට පහසුවක් විය. එතකොට මේ රියදුරු පුහුණුවෙහි වගකීමෙන් වැඩි කොටසක් තාත්තා මත පැටවිය හැකි හෙයිනි.
අස්විද සූරියබණ්ඩාර ට ඉරිදා ට පහන් වූයේ ම තිගැස්මක් එක්ක ය. මීට පෙර කිසි දාක ඔහු ගෑනු ළමයෙකුට රිය හසුරුවන්නට කියා දී නැත. රිය පදින්නට දැන සිටියාට ඒ ගැන කියාදෙන්නේ කෙසේ ද කියා වුව ඔහු ට සිතාගත හැකි වූයේ නැත. 
‘මේ… ඔය වැඩේ ලර්නර්ස් එකකින් කරගත්තොත් හොඳයි කියල හිතෙන්නැද්ද…’ 
කියා ඔහු යසස්වි විවසූයේ හිතේ වූ දෙගිඩියාව නිසාම ය.
‘මොකද්ද අනේ එක වචනයක් කියන්නකො අප්ප’ 
යසස්වි ගේ පරළවීම මත, අස්විද බොමින් උන් තේ කෝප්පය ගැස්සී තේ බිඳක් ද බිම ඉහිරිණි.
‘මං කිව්වෙ මේ…’ 
‘මං කිව්වනෙ ඔය ලර්නර්ස් කාරයො මට පේන්න බෑ කියල. උං හිතං ඉන්නෙ උං මේ වාහනේක ඩ්‍රයිවින් නෙවෙයි රාවනාගෙ දඬුමොණරෙ ඩ්‍රයිව් කරන්න කියල දෙනව කියලයි.  මේ සැරේ ලර්නර්ස් එකකට යන්න වුණොත්නං මං ඔය එකෙක්ගෙ දත් සෙට් එක බඩට යවලයි එන්නෙ’ 
අස්විද ගේ ඇස් බැම ඉහළ නැංවිණ. නළලෙහි රැල්ලක් ද විහිද ගියේ ය. ඔහු ගේ අතක් ඉබේට ම සිය කොපුල් මත්තෙන් දත් දෙපෙළ පිරිමැද්දේ ය.
‘අ… බලමුකො එහෙනං ට්‍රයි කරල’ 
‘තෑන්ක් යූ සුදු අයියා…’ 
යසස්වී වහා ම සිය ස්වරූපය යක්ෂාත්මයෙන් සුරඟන ආත්මය දක්වා රූපාන්තරණය කළා ය. 
අස්විද යසස්වි ට රිය පුහුණුව ලබා දෙන්නට යනවා කියන ආරංචිය ඒ උදයේ තුසිතය ගිනි ඇවිලවූයේ ය. 
‘ඔයාගෙ මල්ලිට අපේ නංගිව පොඩ්ඩක් ඔය කාර් එකේ ඔෆිස් එක ළඟට දාං යන්න බෑ. හැබැයි මේ කොහෙංවත් කඩං පාත් වෙච්ච යසස්විට ඩ්‍රයිවිං උගන්නන්න යනවලු’ 
නිලූකා චේතිය ගේ ඇඟට කඩන් පැන්නා ය. ඔහු කළේ සන්සුන් සිනහවක් නගාගන්නා එකයි.
‘ඉතිං ඒකට මං මක්කරන්නද… ඒක ඒ මිනිහගෙ කැමැත්තනෙ’ 
‘මං කියන්නෙ හොඳද ඔය කරන වැඩේ… අපේ දරුවංගෙ වයසෙ කියන්නෙ එයාගෙත් දරුවෙක් කියල කියන්න පුළුවන් නේද ඒ කෙල්ල…’ 
‘ඉතිං මනුස්සයො කසාද බඳින්න යනව නෙවෙයිනෙ… ඩ්‍රයිවින් උගන්නන්නනෙ’ 
‘ඒ වුණාට හරි නෑනෙ පොඩි කෙල්ලෙක්ව ඔහොම අරං යන එක… වෙන කවුරුත් නැතුව. අනික දිල්නුක යසස්වි ගැන කැමැත්තෙන් ඉන්න එකේ’ 
‘නිලූකා මේ… නිකං මෙතන අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්නැතුව ඉන්නවද… ඒව අම්මයි තාත්තයි බලාගනී. යසස්වි ඇවිත් තියෙන්නෙත් අම්මගෙ ඇඳුනුංකමටනෙ’ 
චේතිය තරමක් තදින් කතා කළේ මේ හේතුව මත නිලූකා තුසිතයට ගිනි තබනු ඇති බව ඉවෙන් වාගේ දැනුණ බැවිනි. ඔහු ට ඇගේ මේ ගති ස්වභාවයන්  රුස්සන්නේ ම නැත. නමුත් නිලූකා කියන්නේ යමක් පහදා දුන්නාට වටහාගන්නා විදිහේ තැනැත්තියක නොවේ. ඇය වජිරා සමගින් ද ආඩපාලි කීවා ය. 
‘යසස්වි ඇහුවෙ… චූටි පුතා බෑ කියද්දිත් ඒ ළමය බල කළා. ටිකක් උගන්නන්න කියල තාත්තත් කියපු නිසයි ඔය චූටි පුතා කැමති වුණේ’ 
නැන්දම්මා සිදුවීමෙහි බර අඩු කොට ලේලියගේ හිත හැදෙන සේ කීවා ය.
යසස්වි රියට නැගුණේ අස්විද එය පාරට ගෙන රියදුරු අසුන ඇයට පිරිනැමූ පසුවයි. එතැනදී ඔහු රියෙහි ප්‍රධාන අංග ගැන ඈ දැනුවත් කළේ ය. විජිත හා වජිරා ගේට්ටුව ළඟ හිඳ හසරැල්ලකින් බලා සිටියහ. නිලූකා වරින් වර ගෙදොරකඩට එමින් ද යළිත් ගස්සාගෙන ඇතුළට යමින් ද සිටියා ය. ගේ ඉදිරිපිටින් වන්නේ බස් ධාවනය වන පුළුල් මාර්ගයක් වන නිසාවෙන් විජිත කල් ඇතිව ම ඒ ෆෝ කොළයක රතු ෆෙල්ට් පෑනකින් ලියා එල්  බෝඩ් එකක් රියෙහි පසුපස සවි කළේ ය.
‘ඔය කෙල්ල දවස් දෙක තුනකින් ඕක පැදං යනව. ඔට්ටුයි නැද්ද බලන්නකො’ 
විජිත කැට තබා වජිරා ට කීවේ විශ්වාසයෙන් හඬ නගා හිනැහෙමිනි.
‘අනේ පරිස්සමෙං දරුවො’ 
යයි වජිරා හත් අට වතාවක් ම කීවා ය. 
‘හෙමීට ක්ලච් එක දෙන ගමන් වාහනේ ඉස්සරහට ගන්න ඕනෙ’ 
අස්විද පැහැදිලි කරන්නට වූයේ ය.
 ‘ඒ ගමං සයිඩ් මිරර් එකෙන් පිටිපස්ස බලන්නෝනෙ වාහන එනවද කියල. නැත්තං පාරට දාන්නයි තියෙන්නෙ. කෝ බලන්න හෙමීට ක්ලච් එක දෙන්න’ 
යසස්වි ට ඕනෑ වූයේ හොඳ ම ශිෂ්‍යාවක වන්නටයි. නමුත් කුමක් සිදු වූවා ද කියා ඇය දන්නේ නැත. රිය ගැස්සී ගියේ ය.
‘ඔය ඉතිං කියපු දේද කළේ… එක පාරටම අත්අරින්නෑ… හෙමීටයි ක්ලච් එක දෙන්නෙ
අස්විද රියදුරු අසුන පැත්තට දකුණු කකුල දමා එසේ කොට පෙන්වූයේ ය.
‘හරි දැං ඔහොම හෙමීට ඇක්සල් කරගෙන ඉස්සරහට ගන්න. දැන් චුට්ටක් පාගන්න. එකපාරටම එපා. පාර ඉස්සරහ බලන්න. ඉස්සරහ වාහනනං මිනිස්සු පාර පනිනවනං බ්‍රේක් එකට කකුල යන්නෝනෙ’ 
යසස්වි ගේ කන් දෙක පිරී වාගේ ය. හැම වෙලාවේ ම අස්විද සැරෙන් කතාකරයි. ඇගේ උඩු තොල් මත්තෙහි දහදිය බින්දු පෙළක් දිළිසෙයි. ඇතැම් විට ඔහු කියනා දෙයක් ඇයට ඇහෙන්නේත් නැති තරමි. කියන දෙයක් ඔළුවේ රැඳෙන්නේත් නැති තරමි. 
‘ස්ටියරින් වීල් එක ඔච්චර තද කරල අල්ලන්න එපා. ඔය… මටවත් වාහනේ කපන්න බෑ තදකරං ඉන්න හැටියට. ඕක රිලැක්ස් එකේ අල්ලන්නකො අප්ප’ 
යසස්වි ගේ ඇස් වලට කඳුළක් පුරා එමින් තිබිණ. මුලදී චණ්ඩි කතා කීවාට අස්විද ගේ        සැරවැර කිරීම් ඉදිරියේ මහත් අසරණකමක් හිතට දැනෙමින් තිබේ.
‘ඔහොම බ්‍රේක් කරන්න. ඔහොම බ්‍රේක් කරන්න’ 
ගැස්සී රිය නතර වූ පසු අස්විද හෑන්ඩ් බ්‍රේක් ඇද දැමුවේ ය.
‘මේ ඔහොම දරදඬු වෙලා ඩ්‍රයිව් කරන්න බෑ. ඔක්කෝටම ඉස්සෙල්ල මුළු ඇඟම රිලැක්ස් කරං ඉන්න. ස්ටියරින් වීල් එකේ එල්ලිලනෙ… හදිස්සියකදි මටවත් හොලවන්න බැරි විදිහට’ 
‘මට බෑ’ 
කියමින් යසස්වී සීට් බෙල්ට් එක ගලවා දමා රියෙන් බැස්සා ය. එසැනෙන් අස්විද ද බැසගත්තේ ය.
‘ඇයි මොකද බැරි…’ 
‘සැර කරනවනෙ ඉතිං… බණිනකොට මට මුකුත් කරගන්න බැරිවෙනව’ 
‘හරි හරි. නගින්නකො’ 
ඒ සටන් විරාමය ද මතක තිබෙන්නේ තව ටිකක් දුරට රිය පදින තුරාවට පමණකි. කරන්න කියන දේ යසස්වි ට මතක් වෙන්නේ ම නැත. කරන්නේ ම කරන්නට එපා කියන දේ ය. ඉතින් අස්විද ගෙන් බැණුම් කෝටියකි. 
යළි ගෙදර එන විට දෙදෙනා ගේ ම ඇඟේ ලේ රත් වී තිබිණ. 
‘කිසි දෙයක් තේරෙන්නැති මැටි මෝලක්’ 
අස්විද ගේ හිත කීවේ එසේ යි.
‘දන්නවනං එයාගෙං ඉගෙන ගන්න යනවයැ. අහංකාර පණ්ඩිතයෙක්’ 
යසස්වි හිතෙන් බැන්නේ එහෙම ය.
‘ආයිත්නං මං එයාගෙං ඉගෙනගන්න යන්නෑ අංකල්. වාහනේට නැග්ග වෙලේ ඉඳං මට බැන්න එක කළේ. මගෙ ඔළුවත් කනව දුන්නනං’ 
ගෙදර ආ ගමන් යසස්වී විජිත ට පැමිණිලි කළා ය.
‘චූටි පුතා බැන්න…’ 
විශ්මිත වූයේ වජිරා ය.
‘ඔයාගෙ චූටි පුතා තමයි. ඔයා හිතං ඉන්නෙ එයා හරියට කතා කරගන්නත් බැරි නොදරුව කියලනෙ ආන්ටි. බලන්නෙපැයි ඇරියහම කට. අර මගෙ ලර්නර්ස්කාරය හොඳයි මෙයත් එක්ක බලනකොට. මන්නං යන්නෑ ආයි’ 
ඇය ස්ථිර තීන්දුවක් ගෙන බුම්මාගත්තා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here